දෙවෙනි තෙසලෝනික 1:1-12

  • සුබ පැතුම් (1, 2)

  • තෙසලෝනිකවරුන්ගේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙයි (3-5)

  • ශුභාරංචිය පිළිගන්නේ නැති අයට දඬුවම් ලැබෙනවා (6-10)

  • සභාව වෙනුවෙන් යාච්ඤා කරයි (11, 12)

1  පාවුල්, සිල්වානස්* සහ තිමෝතිගෙන්,+ අපේ තාත්තා වන දෙවියන් සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් එක්ක එකට බැඳිලා ඉන්න තෙසලෝනිකවරුන්ගේ සභාව වෙතට.  අපේ තාත්තා වන දෙවියන්ගේ සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවත්* සමාදානයත් ඔයාලට ලැබෙන්න කියලා අපි පතනවා.  සහෝදරයෙනි, ඔයාලා ගැන දෙවියන්ට කියලා ඔහුට නිතරම ස්තුති කරන්න අපි බැඳිලා ඉන්නවා. මොකද අපිට ආරංචි වෙලා තියෙනවා ඔයාලාගේ විශ්වාසය තව තවත් ශක්තිමත් වෙනවා කියලා. ඒ වගේම එකිනෙකා ගැන ඔයාලා හැම කෙනෙක්ටම තියෙන ආදරය දවසින් දවස වැඩි වෙනවා+ කියලත් අපිට දැනගන්න ලැබුණා.  ඒ නිසා දෙවියන්ට අයිති සභාවන් අතරේ අපි ඔයාලා ගැන හරිම ආඩම්බරයෙන් කතා කරනවා.+ මොකද කොච්චර දුක් පීඩා, දුෂ්කරතාවලට මුහුණ දුන්නත් ඔයාලා ඒ හැම එකක්ම විඳදරාගන්නවා.+ ඔයාලාගේ විශ්වාසය අඩු වෙන්න දෙන්නෙත් නැහැ.  ඒකෙන් ඔප්පු වෙනවා දෙවියන් හැම දේම ධර්මිෂ්ඨව විනිශ්චය කරලා තියෙනවා කියලා. දෙවියන්ගේ රාජ්‍යය ලබන්න ඔයාලා සුදුසුයි කියලා ඔහු තීරණය කරලා තියෙන්නේ ඒ නිසයි. ඇත්තටම ඔයාලා දුක් විඳින්නෙත් ඒ රාජ්‍යය වෙනුවෙන්.+  දෙවියන් ධර්මිෂ්ඨ කෙනෙක් නිසා ඔයාලට පීඩා කරන අයට ඔහු අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා.+  ඒත් ස්වාමීන් වන යේසුස් ඔහුගේ බලවත් දේවදූතයන් එක්ක+ ස්වර්ගයේ ඉඳන් එළිදරව් වෙන අවස්ථාවේදී+ දැන් පීඩා විඳින ඔයාලට අපිත් එක්කම සහනයක් අද්දකින්න ලැබෙනවා.  යේසුස් ඇවිළෙන ගිනි ජාලාවක් එක්ක එළිදරව් වෙලා, දෙවියන්ව අඳුරගෙන නැති අයටත් අපේ ස්වාමීන් වන යේසුස් ගැන ශුභාරංචිය පිළිගන්නේ නැති අයටත් දඬුවම් කරනවා.+  ඔහු එයාලව විනිශ්චය කරලා එයාලට සදාකාල විනාශය නියම කරයි.+ එයාලට ආයෙත් ස්වාමීන් ඉස්සරහට එන්න ලැබෙන්නෙවත් ඔහුගේ තේජවත් බලය අද්දකින්න ලැබෙන්නෙවත් නැහැ. 10  යේසුස් තමන්ගේ ශුද්ධ තැනැත්තන් එක්ක තේජසට පත් වෙන්න එන ඒ දවසේදී ඔහු ගැන විශ්වාසය තියපු හැමෝම ඔහු දිහා ලොකු ගෞරවයකින් බලයි. අපි දීපු සාක්ෂිය විශ්වාස කරපු ඔයාලත් ඒ අය අතරේ ඉඳියි. 11  ඔයාලව කැඳවපු දෙවියන් ඔයාලට දෙන්න පොරොන්දු වුණ දේ ලබන්න ඔයාලා සුදුසුයි කියලා තීරණය කරනවා දකින්නයි අපි කැමති.+ ඒ නිසයි අපි නිතරම ඒ ගැන කියලා යාච්ඤා කරන්නේ. අපි දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඔහුගේ බලයෙන්, ඔයාලා වෙනුවෙන් කරන්න හිතන් ඉන්න හැම හොඳ දෙයක්ම ඒ විදිහටම කරන්න කියලා. ඒ වගේම විශ්වාසයක් ඇතුව ඔයාලා කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න සලස්වන්න කියලත් අපි ඉල්ලනවා. 12  අපි එහෙම යාච්ඤා කරන්නේ ඔයාලා මාර්ගයෙන් අපේ ස්වාමීන් වන යේසුස්ගේ නමට ලොකු ගෞරවයක් ලැබෙන්න ඕනෙ නිසයි. ඒ වගේම ඔහු එක්ක තියෙන බැඳීම නිසා ඔයාලා තේජසට පත් වෙනවා දකින්න අපිට ඕනෙ නිසයි. ඒ හැම දෙයක්ම වෙන්නේ අපේ දෙවියන්ගේ සහ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව නිසයි.

පාදසටහන්

සීලස් කියලත් හඳුන්වනවා.
හෝ, “ලබන්න නොවටිනා කරුණාවත්.” “පැහැදිලි කිරීමක්” බලන්න.