දෙවෙනි තෙසලෝනික 3:1-18

  • දිගටම යාච්ඤා කරන්න (1-5)

  • ප්‍රතිපත්ති සැහැල්ලුවට අරන් වැඩ කරන එක ගැන අනතුරු අඟවයි (6-15)

  • අවසන් වදන් (16-18)

3  සහෝදරයෙනි, අපි අන්තිමට ඔයාලාගෙන් ඉල්ලන්නේ දිගටම අපි වෙනුවෙන් යාච්ඤා කරන්න කියලයි.+ යෙහෝවා* දෙවියන්ගේ පණිවිඩය අපි මාර්ගයෙන් ඉක්මනින් පැතිරිලා යන්න+ කියලත් ඔයාලා කරනවා වගේ ඒ පණිවිඩය හුඟක් ගෞරවයෙන් පිළිගන්න අනිත් හැමෝගෙම හිත් පොලඹවන්න කියලත් දෙවියන්ගෙන් ඉල්ලන්න.  අපිට හානියක් කරන්න පුළුවන් දුෂ්ට මිනිස්සුන්ගෙන් අපිව ආරක්ෂා කරන්න+ කියලත් යාච්ඤා කරන්න. මොකද විශ්වාසය කියන දේ හැම කෙනෙක් ගාවම නැහැ.+  ඒත් ස්වාමීන් විශ්වාසවන්තයි. ඔහු ඔයාලව ශක්තිමත් කරලා දුෂ්ටයාගෙන් ඔයාලව ආරක්ෂා කරයි.  අපි ස්වාමීන්ගේ අනුගාමිකයන් වන නිසා අපිට හොඳටම විශ්වාසයි අපි දුන්න උපදෙස්වලට, මඟ පෙන්වීම්වලට එකඟව ඔයාලා වැඩ කරනවා කියලා. ඒ වගේම ඉස්සරහටත් ඔයාලා ඒ විදිහටම කරයි කියලා අපිට විශ්වාසයි.  අපේ පැතුම වෙන්නේ ස්වාමීන් ඔයාලාගේ හිත් හරි මඟට යොමු කරලා දෙවියන්ට ආදරේ කරන්නත්+ ක්‍රිස්තුස් වෙනුවෙන් විඳදරාගන්නත්+ ඔයාලට උදව් කරයි කියලයි.  සහෝදරයෙනි, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් ඔයාලාගෙන් දෙයක් ඉල්ලන්න කැමතියි. ඔයාලා* අපෙන් ඉගෙනගත්ත දේවල්වලට අනුව වැඩ කරන්නේ නැති,+ දෙවියන්ගේ ප්‍රතිපත්ති සැහැල්ලුවට ගන්න+ හැම සහෝදරයෙක්ගෙන්ම ඈත් වෙලා ඉන්න.  අපිව ආදර්ශයට ගන්න ඕනෙ විදිහ ගැන ඔයාලා දන්නවා.+ මොකද ඔයාලා අතරේ ඉද්දී අපි දෙවියන්ගේ ප්‍රතිපත්ති සැහැල්ලුවට අරන් වැඩ කළේ නැහැ.  අපි සල්ලි දෙන්නේ නැතුව කාගෙන්වත් නිකම් කෑම ඉල්ලගෙන කෑවේ නැහැ.+ ඔයාලාගෙන් සල්ලි, උදව් අරන් ඔයාලට බරක් වෙන්න අකමැති වුණ නිසා අපි රෑ දවල් දෙකේම මහන්සි වෙලා වැඩ කළා.+  ඔයාලාගෙන් දේවල් ඉල්ලන්න අපිට අයිතියක් තිබුණත්+ අපි එහෙම කළේ නැහැ. මොකද අපිට ඕනෙ වුණා ඔයාලට හොඳ ආදර්ශයක් වෙන්න.+ 10  අපි ඔයාලා එක්ක ඉද්දීත් ඔයාලට කිව්වේ “කෙනෙක් වැඩ කරන්න කැමති නැත්නම් එයා කෑම නොකා ඉන්න ඕනෙ”+ කියලයි. 11  ඒත් දෙවියන්ගේ ප්‍රතිපත්ති ගාණකටවත් ගන්නේ නැති සමහර අය ඔයාලා අතරේ ඉන්නවා+ කියලා අපිට ආරංචි වුණා. එයාලා කිසිම වැඩක් කරන්නේ නැතුව අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහනවා කියලත් අපිට ආරංචි වුණා.+ 12  ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් අපි ඒ වගේ අයගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ අනිත් අයට කරදරයක් වෙන්නේ නැතුව සාමකාමීව ජීවත් වෙන්න කියලයි. වැඩක්පළක් කරගෙන තමන්ම හම්බ කරගත්ත දෙයින් කාලා බීලා ඉන්න කියලත් අපි එයාලාගෙන් ඉල්ලනවා.+ 13  සහෝදරයෙනි, අත්හරින්නේ නැතුව දිගටම යහපත් දේ කරන්න. 14  මේ ලිපියේ අපි දීලා තියෙන මඟ පෙන්වීම්වලට කෙනෙක් කීකරු වෙන්නේ නැත්නම් එයා ගැන විශේෂ අවධානයකින් ඉන්න.* එයාව ආශ්‍රය කරන එකත් නවත්තන්න.+ එතකොට එයා හැසිරෙන විදිහ ගැන එයාටම ලැජ්ජාවක් දැනෙයි. 15  ඒත් එයාව හතුරෙක් විදිහට සලකන්න එපා. දිගටම එයාව සහෝදරයෙක් විදිහට සලකලා එයාට උපදෙස්, අවවාද ලබා දෙන්න.+ 16  සමාදානය ලබා දෙන ස්වාමීන්ගෙන් ඔයාලාගේ ජීවිතේ හැම දේකදීම ඔයාලට දිගටම සමාදානය ලැබෙන්න කියලා අපි පතනවා!+ ඔයාලා හැමෝටම ස්වාමීන්ගේ ආශීර්වාදය ලැබේවා! 17  පාවුල් වන මම මගේම අත්අකුරින් ඔයාලට සුබ පැතුම් ලියලා එවනවා.+ මම හැම ලිපියක්ම අවසන් කරන්නේ එහෙමයි. 18  ඔයාලා හැමෝටම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාව ලැබේවා!

පාදසටහන්

උප. A5 බලන්න.
හෝ සමහරවිට, “එයාලා.”
මූ.අ., “එයාව ලකුණු කරන්න.”