දෙවෙනි පේතෘස් 2:1-22

  • බොරු ගුරුවරු එයි (1-3)

  • බොරු ගුරුවරුන්ට අනිවාර්යයෙන් විනිශ්චය ලැබෙයි (4-10අ)

    • දේවදූතයන්ව ටාටරස්වලට වීසි කළා (4)

    • ජලගැල්ම; සොදොම් සහ ගොමෝරා (5-7)

  • බොරු ගුරුවරුන්ගේ ලක්ෂණ (10ආ-22)

2  ඒත් දෙවියන්ගේ සෙනඟ අතරේ බොරු අනාගතවක්තෘවරු හිටියා. ඒ විදිහටම ඔයාලා අතරෙත් බොරු ගුරුවරු ඉඳියි.+ ඔයාලාගේ විශ්වාසය විනාශ කරලා දාන නිකායන්* එයාලා හොර රහසේ හඳුන්වලා දෙයි. එයාලව මිල දීලා ගත්ත අයිතිකරුව+ පවා එයාලා ප්‍රතික්ෂේප කරයි. ඒ විදිහට එයාලා තමන් පිටටම විනාශය ඉක්මනින්ම ගෙන්නගන්නවා.  කිසිම ලැජ්ජාවක් බයක් නැතුව එයාලා කරන පහත් දේවල්ම කරන්න*+ එයාලා තව හුඟදෙනෙක්ව පොලඹවයි. ඒ දේවල් නිසා සත්‍ය මාර්ගය ගැන නින්දාසහගත කතා පැතිරෙයි.+  ඒ වගේම එයාලට තියෙන කෑදරකම නිසා එයාලා බොරු බොරු දේවල් කියලා ඔයාලාගෙන් වාසි ප්‍රයෝජන ගනියි. ඒත් හුඟ කාලෙකට කලින් තීරණය කරලා තියෙන, එයාලට ලැබෙන විනිශ්චය+ පරක්කු වෙන්නේ නැතුව ඉටු වෙනවා. එයාලා අනිවාර්යයෙන්ම විනාශ වෙනවා.+  වැරදි කරපු දේවදූතයන්ට දඬුවම් කරන එකෙන් දෙවියන් වැළකුණේ නැහැ.+ ඔහු එයාලව ටාටරස්වලට*+ වීසි කළා. එයාලා වෙනුවෙන් වෙන් කරලා තියෙන විනිශ්චය එයාලට දෙන කල් ඝන අන්ධකාරයේ එයාලව දම්වැල්වලින් බැඳලා තිබ්බා.*+  ඒ වගේම අතීතයේ තිබුණ ලෝකයට දඬුවම් දෙන එකෙනුත් ඔහු වැළකුණේ නැහැ.+ දෙවියන් ගැන ගෞරවයක් නැති මිනිස්සුන්ගෙන් පිරුණ ඒ ලෝකය පිටට ඔහු ජලගැල්මක් ගෙනාවා.+ ඒත් දෙවියන් හරියි කියලා සලකන දේවල් ගැන දේශනා කරපු නෝවාවයි,+ එයාත් එක්ක තව හත්දෙනෙක්වයි දෙවියන් ඒ වෙලාවේ ආරක්ෂා කළා.+  ඔහු සොදොම් සහ ගොමෝරා ගිනිබත් කරලා ඒ නගරවල්වලට දඬුවම් කළා.+ ඒකෙන් ඔහු පෙන්නුවා ඔහුට කිසිම ගෞරවයක් පෙන්නන්නේ නැති අයට ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා.+  ඒත් දුෂ්ට මිනිස්සු කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන* විදිහ දැකලා ගොඩක් දුක් වුණ ලොත්ව ඔහු බේරගත්තා.+ මොකද එයා ධර්මිෂ්ඨ කෙනෙක්.  දුෂ්ට මිනිස්සු අතරේ ජීවත් වුණ ඒ ධර්මිෂ්ඨ මිනිසා* එයාලා කරපු දුෂ්ට වැඩ දවසක් දවසක් ගාණේ දැක්කා. ඒවා ගැන එයාට ඇහුණා. ඒ නිසා එයා හිටියේ දරාගන්න බැරි වේදනාවකින්.  එහෙමනම් දෙවියන් ගැන භක්තියක් තියෙන අයව පීඩාවලින් ගලවගන්නේ කොහොමද කියලා යෙහෝවා* දන්නවා+ කියලා ස්ථිර වෙන්න පුළුවන්. ඒ වගේම විනිශ්චය කරන දවසේදී අධර්මිෂ්ඨ අයව විනාශ කරන්න වෙන් කරලා තියන්න ඕනෙ කොහොමද+ කියලත් ඔහු දන්නවා. 10  විශේෂයෙන්ම වැරදි ආශාවන්වලට අහු වෙලා අනිත් අයවත් අපවිත්‍ර දේවල් කරන්න පොලඹවන අයව+ ඔහු වෙන් කරලයි තියෙන්නේ. අධිකාරියක් තියෙන අයව හෙළා දකින අයවත්+ ඔහු වෙන් කරලයි තියෙන්නේ. තමන් කැමති දේම කරන්න එයාලට තියෙන්නේ පුදුම නිර්භීතකමක්. දෙවියන්ගෙන් ගෞරවයක් ලැබිලා තියෙන අයට විරුද්ධව කතා කරන්න එයාලා පොඩ්ඩක්වත් බය නැහැ. 11  ඒත් එයාලට වඩා ලොකු බලයක්, ශක්තියක් තියෙන දේවදූතයන් එයාලට නින්දාවක් වෙන විදිහට චෝදනා කරන්නේ නැහැ. මොකද ඒ දේවදූතයන්ට යෙහෝවා* ගැන ගෞරවයක් තියෙනවා.*+ 12  ඒත් මේ මිනිස්සු හරියට හිතන්නේ බලන්නේ නැතුව ඉවෙන් වැඩ කරන, උගුලකට අහු වෙලා මැරිලා යන්න ඉපදෙන සත්තු වගේ. මේ මිනිස්සු දන්නේ නැති දේවල් ගැන නින්දාසහගත විදිහට කතා කරනවා.+ එයාලා කරන දුෂ්ට වැඩ නිසා එයාලා විනාශ වෙලා යනවා. 13  එයාලා යන මේ හානිකර ගමනේ ප්‍රතිඵලය විනාශයයි. දවල් කාලේදී පවා එයාලා තමන්වම සතුටු කරගන්න දේවල් කරලා ලොකු තෘප්තියක් අද්දකිනවා.+ එයාලා හරියට ඇඳුමක තියෙන පැල්ලමක් වගේ. හමේ තියෙන කැළලක් වගේ. ඔයාලා එක්ක උත්සවවලට හවුල් වෙන ගමන් අනිත් අයට බොරු දේවල් උගන්නලා ඒ අයව නොමඟ යවන එකෙන් එයාලා ලොකු සතුටක් ලබනවා.+ 14  එයාලාගේ ඇස් රාගයෙන්* මත් වෙලා.+ පව්කාර දේවල්වලින් අයින් වෙලා ඉන්න එයාලට බැහැ. දුර්වල අයව එයාලා අල්ලගන්නවා. කෑදර විදිහට වැඩ කරන්න එයාලා හරිම දක්ෂයි. එයාලට දෙවියන්ගෙන් දඬුවම් ලැබෙනවා. 15  හරි මාර්ගය අත්හැරලා ගිය නිසා එයාලා නොමඟ ගිහින්. එයාලා යන්නේ බෙයොර්ගේ පුතා වුණ බාලාම් ගිය පාරේ.+ වැරදි දේවල් කරලා ලැබෙන තෑග්ගට එයා ගොඩක් ආස කළා.+ 16  එයා කරපු දේ වැරදියි කියලා එයාට පෙන්නලා දුන්නා.+ බර උස්සගෙන යන සතෙක්ට කතා කරන්න බැරි වුණත් ඒ අනාගතවක්තෘගේ සතා මනුස්ස කටහඬකින් කතා කරලා එයා කරන්න ගිය මෝඩ වැඩේට බාධා කළා.+ 17  එයාලා වතුර නැති උල්පත් වගේ. තද හුළඟකට ගහගෙන යන මීදුමක් වගේ. එයාලට වෙන් කරලා තියෙන්නේ ඝන අන්ධකාරය විතරයි.+ 18  එයාලා හිත් ඇදගන්න විදිහට කතා කළාට ඒවා නිකම්ම නිකම් හිස් වචන. කිසිම ලැජ්ජාවක් බයක් නැති විදිහට හැසිරෙන* එයාලා, වැරදි පාරෙන් ළඟදී අයින් වුණ අයව ඒ වැරදිම ආයෙත් කරන්න පොලඹවනවා.+ ඒ අයගේ වැරදි ආශාවන් අවුස්සන විදිහට හැසිරිලා එයාලා එහෙම කරනවා.+ 19  ඒ දුෂ්ට මිනිස්සු එයාලා කියන දේවල් අහන අයට නිදහස ලැබෙනවා කියලා කිව්වාට එයාලා ඉන්නෙත් පව්කාරකමට වහල් වෙලයි.+ මොකද කෙනෙක් තමන්ව පාලනය කරන්න තව කෙනෙක්ට ඉඩ දෙනවා නම් එයා ඒ කෙනාගේ වහලෙක්.*+ 20  ඇත්තටම ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස් ගැන නිවැරදි දැනුමක් ලබාගෙන මේ ලෝකේ අපවිත්‍ර දේවල්වලින් නිදහස් වුණාට පස්සේ+ ආයෙත් ඒ දේවල්වලටම අහු වෙලා ඒවාට වහල් වෙලා ඉන්නවා නම් එයාලා මුලින් හිටපු තත්වෙට වඩා දැන් ඉන්න තත්වය භයානකයි.+ 21  ඇත්තටම හරි මාර්ගය ගැන දැනගෙන, එයාලට ලැබුණ ශුද්ධ ආඥාවලින් අයින් වෙලා යනවාට වඩා ඒ මාර්ගය ගැන නිවැරදි දැනුමක් ලබාගන්නේ නැතුව හිටියා නම් එයාලට හොඳයි.+ 22  ඒකෙන් එයාලා පෙන්නනවා “බල්ලෙක් උගේ වමනය ලෙව කනවා. හෝදපු ඊරි ආයේ මඩේ පෙරළෙනවා”+ කියලා කියපු හිතෝපදේශය ඇත්තක් කියලා.

පාදසටහන්

හෝ, “එක එක කණ්ඩායම්.”
හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙන්න.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ සමහරවිට, “ඝන අන්ධකාරයේ තියෙන වළවල්වලට දැම්මා.”
හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙන.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
ග්‍රීක භාෂාවෙන් සීකී. “පැහැදිලි කිරීමක්” බලන්න.
උප. A5 බලන්න.
උප. A5 බලන්න.
හෝ, “ඔහු ඉස්සරහා ගෞරවයෙන් වැඩ කරනවා.”
හෝ, “අනාචාරයෙන්.”
හෝ, “නින්දිත ක්‍රියාවල නිරත වෙන.” ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “තමන්ව පාලනය කරන්න යම් දේකට ඉඩ දෙනවා නම් එයා ඒකට වහල් වෙනවා.”