දෙවෙනි රාජාවලිය 12:1-21

  • යෙහෝයාෂ් යූදාවල රජ වෙයි (1-3)

  • යෙහෝයාෂ් දේවමාලිගාව අලුත්වැඩියා කරයි (4-16)

  • සිරියානුවන් ආක්‍රමණය කරයි (17, 18)

  • යෙහෝයාෂ්ව මරයි (19-21)

12  යේහු+ පාලනය කරපු හත්වෙනි අවුරුද්දේදී තමයි යෙහෝයාෂ්+ රජකමට පත් වුණේ. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 40ක් පාලනය කළා. යෙහෝයාෂ්ගේ අම්මාගේ නම ෂිබියාහ්. එයා බෙයර්ෂෙබාවල+ කෙනෙක්.  පූජක යෙහෝයාදාගෙන් මඟ පෙන්වීම් ලැබුණ කාලේ පුරාම යෙහෝයාෂ් යෙහෝවා දෙවියන් හරියි කියලා සලකන දේවල් කළා.  ඒත් නමස්කාරයට හදපු උස් තැන්+ ඒ විදිහටම තිබුණා. ඉතින් මිනිස්සු ඒ තැන්වලදී දුම ඉහළට නඟින විදිහට දිගටම පූජා ඔප්පු කළා.  යෙහෝයාෂ් පූජකයන්ට කතා කරලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන්ගේ ගෘහයට පරිත්‍යාගයන් විදිහට ගේන ඔක්කොම සල්ලි+ ඔයාලා එකතු කරන්න. ඒ කියන්නේ බද්දක් විදිහට එක් එක් කෙනා ගෙවන සල්ලියි,+ භාරයන් වෙලා තියෙන අය දෙන සල්ලියි,* හැම කෙනෙක්ම එයාලාගේ හිතේ කැමැත්තෙන් යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගේන සල්ලියි එකතු කරන්න.+  සල්ලි ලබා දෙන ඒ අයගෙන් පූජකයන් ඒවා අරගෙන දෙවියන්ගේ ගෘහයේ කැඩිලා බිඳිලා ගිහින් තියෙන තැන් අලුත්වැඩියා කරන්න ඒවා පාවිච්චි කරන්න ඕනේ.”+  ඒත් යෙහෝයාෂ් රජ පාලනය කරපු 23වෙනි අවුරුද්ද වෙන කල්ම පූජකයන් දේවමාලිගාවේ කැඩිලා බිඳිලා තිබුණ තැන් අලුත්වැඩියා කරලා තිබුණේ නැහැ.+  ඉතින් යෙහෝයාෂ් රජ පූජක යෙහෝයාදාටයි,+ අනිත් පූජකයන්ටයි එන්න කියලා මෙහෙම කිව්වා. “ඔයාලා දේවමාලිගාව අලුත්වැඩියා කරන්නේ නැත්තේ ඇයි? ඔයාලා දෙවියන්ගේ ගෘහයේ අලුත්වැඩියා කටයුතු කරන්නේ නැත්තං සල්ලි දෙන අයගෙන් තවත් සල්ලි එකතු කරන්න එපා.”+  ඉතින් එයාලා මිනිස්සුන්ගෙන් තවත් සල්ලි එකතු කරන්නේ නැහැ කියලත් දෙවියන්ගේ ගෘහය අලුත්වැඩියා කරන වගකීමෙන් නිදහස් වෙන්න එයාලා කැමතියි කියලත් පූජකයන් කිව්වා.  ඊටපස්සේ පූජක යෙහෝයාදා පෙට්ටියක් අරගෙන+ ඒකේ පියනේ හිලක් හදලා පූජාසනය ළඟ ඒක තිබ්බා. කෙනෙක් යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ඇතුල් වෙනකොට එයාගේ දකුණු පැත්තේ තමයි ඒ පෙට්ටිය තිබුණේ. යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගේන ඔක්කොම සල්ලි දොරටු පාලකයන් විදිහට සේවය කරපු පූජකයන් දැම්මේ ඒ පෙට්ටියට.+ 10  පෙට්ටියේ ගොඩක් සල්ලි එකතු වෙලා තියෙනවා කියලා තේරුණ ගමන්ම රජගේ ලේකම් සහ උත්තම පූජකයා ඇවිල්ලා ඒවා එකතු කරගත්තා. ඊටපස්සේ එයාලා යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගෙනල්ලා තිබුණ සල්ලි ප්‍රමාණය ගණන් කරලා බැලුවා.+ 11  එයාලා ඒ සල්ලි ගණන් කළාට පස්සේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ අලුත්වැඩියා කටයුතු බලාගන්න පත් කරලා හිටපු අයට ඒවා භාර දුන්නා. ඒ අය ඒ සල්ලිවලින් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ වැඩ කරපු වඩුවන්ටයි, ඉදි කිරීම් වැඩ කරපු අයටයි,+ 12  බිත්ති බඳින අයටයි, ගල් හැඩේට කපන අයටයි ගෙව්වා. යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ කැඩුණ බිඳුණ තැන් හදන්න අවශ්‍ය ලී සහ කපපු ගලුත් ඒ සල්ලිවලින් ගත්තා. ගෘහය අලුත්වැඩියා කරන්න ගිය අනිත් වියදම්වලටත් එයාලා ඒ සල්ලි පාවිච්චි කළා. 13  ඒත් රිදී බේසම්, පහන් තිර නිවලා දාන උපකරණ, බඳුන්, සහ හොරණෑ+ හදන්න යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගෙනාපු ඒ සල්ලි පාවිච්චි කළේ නැහැ. යෙහෝවා දෙවියන්ගේ ගෘහයට අවශ්‍ය වුණ වෙන කිසිම රත්තරන් භාණ්ඩයක්වත් රිදී භාණ්ඩයක්වත්+ හදන්න ඒ සල්ලි පාවිච්චි කළේ නැහැ. 14  එයාලා ඒ සල්ලි දුන්නේ ගෘහයේ වැඩ කරපු අයට විතරයි. ඒ සල්ලිවලින් එයාලා යෙහෝවා දෙවියන්ගේ ගෘහය අලුත්වැඩියා කළා. 15  වැඩ කරන අයට සල්ලි ගෙවන්න පත් කරලා හිටපු අය ලැබුණ සල්ලි පාවිච්චි කළේ කොහොමද කියලා කවුරුත් හොයලා බැලුවේ නැහැ. මොකද පත් කරලා හිටපු ඒ අය හරිම විශ්වාසවන්තයි.+ 16  වන්දි පූජාවලටයි,+ පාප පූජාවලටයි ගෙනාපු සල්ලි යෙහෝවා දෙවියන්ගේ ගෘහය අලුත්වැඩියා කරන්න පාවිච්චි කළේ නැහැ. ඒ සල්ලි පූජකයන්ට භාර දුන්නා.+ 17  ඒ කාලේදී තමයි සිරියාවේ රජ වුණ හසායෙල්+ ගාත්වලට+ විරුද්ධව සටන් කරලා ඒක අල්ලගත්තේ. ඊටපස්සේ හසායෙල් තීරණය කළා යෙරුසලමට පහර දෙන්න.+ 18  ඉතින් යූදාවල රජ වුණ යෙහෝයාෂ් තමන්ට කලින් යූදාවල රජකම් කරපු අහසියා, යෙහෝරම් සහ යෙහෝෂපාට් දේවමාලිගාවට කැප කරපු ශුද්ධ දේවල් ඔක්කොමයි, එයා දේවමාලිගාවට කැප කරපු ශුද්ධ දේවලුයි, යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩාගාරවල සහ රජමාලිගාවේ භාණ්ඩාගාරවල තිබුණ රත්තරන් ඔක්කොමයි එකතු කරගත්තා. ඊටපස්සේ එයා ඒවා සිරියාවේ රජ වුණ හසායෙල්ට යැව්වා.+ ඒ නිසා හසායෙල් යෙරුසලමට විරුද්ධව සටන් කරන එක අත්හැරලා එහෙන් යන්න ගියා. 19  යෙහෝයාෂ්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 20  අන්තිමේදී යෙහෝයාෂ්ගේ නිලධාරීන් කීපදෙනෙක් එයාට විරුද්ධව කුමන්ත්‍රණය කරලා+ එයාව මරලා දැම්මා. එයාව මැරුවේ මිල්ලෝ ගොඩැල්ල*+ ළඟ සිල්ලාවලට යන පාරේ තිබුණ ගෙදරක එයා ඉද්දියි. 21  ෂිමෙයාත්ගේ පුතා වුණ යෝෂාකාර් සහ ෂෝමෙර්ගේ පුතා වුණ යෙහොෂාබාද් කියන නිලධාරීන් තමයි එයාව මරලා දැම්මේ.+ යෙහෝයාෂ් මැරුණාම එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් දාවිත්ගේ නුවරේ තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ අමෂියා රජකමට පත් වුණා.+

පාදසටහන්

හෝ, “පුද්ගලයෙක්ගේ වටිනාකම වෙනුවෙන් ලබා දෙන්න පොරොන්දු වුණ සල්ලියි.”
සමහරවිට මේක හදන්න ඇත්තේ නගරයට ආරක්ෂාවක් විදිහට.