දෙවෙනි රාජාවලිය 13:1-25

  • යෙහෝයහාෂ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (1-9)

  • යෙහෝයාෂ් ඊශ්‍රායෙල්වල රජ වෙයි (10-13)

  • එලිෂා යෙහෝයාෂ්ගේ උද්‍යෝගය පරීක්ෂා කරයි (14-19)

  • එලිෂාගේ මරණය; එයාගේ ඇටකටුවල වැදිලා කෙනෙක් නැවත නැඟිටියි (20, 21)

  • එලිෂා කියපු අන්තිම අනාවැකිය ඉටු වෙයි (22-25)

13  යූදාවල රජකම් කරපු අහසියාගේ+ පුතා වුණ යෙහෝයාෂ්+ පාලනය කරපු 23වෙනි අවුරුද්දේදී තමයි යේහුගේ+ පුතා වුණ යෙහෝයහාෂ් ඊශ්‍රායෙල්වල රජ වුණේ. එයා සමාරියේ ඉඳන් අවුරුදු 17ක් පාලනය කළා.  යෙහෝවා දෙවියන් වැරදියි කියලා සලකන දේවල් යෙහෝයහාෂ් දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු වරද එයාත් කළා.+ එයා ඒ වරදින් අයින් වුණේම නැහැ.  ඒ නිසා යෙහෝවාට ඊශ්‍රායෙල් සෙනඟ එක්ක+ ගොඩක් කේන්ති ගියා.+ ඉතින් ඔහු සිරියාවේ රජ වුණ හසායෙල්ටයි,+ හසායෙල්ගේ පුතා වුණ බෙන්හාදද්ටයි+ ඊශ්‍රායෙල්වරුන්ට දිගටම පීඩා කරන්න ඉඩහැරියා.  කාලයක් ගියාට පස්සේ යෙහෝයහාෂ් දයාව පෙන්නන්න කියලා යෙහෝවාට කන්නලව් කළා. සිරියාවේ රජ ඊශ්‍රායෙල්වරුන්ට හිරිහැර කරපු විදිහ යෙහෝවා දැක්ක නිසා ඔහු යෙහෝයහාෂ් කරපු කන්නලව්වට ඇහුම්කන් දුන්නා.+  ඉතින් යෙහෝවා සිරියානුවන්ගේ අතින් ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න කෙනෙක්ව පත් කළා.+ ඊටපස්සේ ඊශ්‍රායෙල්වරු කලින් වගේ එයාලාගේ ගෙවල්වල කරදරයක් නැතුව සැනසීමෙන් ජීවත් වුණා.  (ඒත් ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු යෙරොබොවම් රජගේ පවුලේ අය කරපු වරදින් එයාලා අයින් වුණේ නැහැ.+ ඒ වරද එයාලා දිගටම කළා. නමස්කාර කරන්න හදපු කණුවත්*+ සමාරියේ දිගටම තිබුණා.)  යෙහෝයහාෂ්ගේ හමුදාවේ ඉතුරු වෙලා හිටියේ අසරුවන් 50දෙනෙකුයි, අශ්ව රථ 10කුයි, පාබළ හමුදාවේ සෙබළු 10,000කුයි විතරයි. මොකද කමතක ධාන්‍ය පාගද්දී ඉතුරු වෙන රොඩු වගේ සිරියාවේ රජ එයාලව පාගලා+ විනාශ කරලා තිබුණා.+  යෙහෝයහාෂ්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක්ම ගැනත් එයාගේ ශ්‍රේෂ්ඨත්වය ගැනත් ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.  ඊටපස්සේ යෙහෝයහාෂ් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ සමාරියේ.+ එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයාෂ් රජකමට පත් වුණා. 10  යූදාවල රජ වුණ යෙහෝයාෂ් පාලනය කරපු 37වෙනි අවුරුද්දේදී යෙහෝයහාෂ්ගේ පුතා වුණ යෙහෝයාෂ්+ ඊශ්‍රායෙල්වල රජකමට පත් වුණා. එයා සමාරියේ ඉඳන් අවුරුදු 16ක් රජකම් කළා. 11  එයා යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු ඔක්කොම වැරදි එයාත් කළා.+ එයා ඒවා අත්හරින්නේ නැතුව දිගටම කළා. 12  යෙහෝයාෂ්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක්ම ගැනත් එයාගේ ශ්‍රේෂ්ඨත්වය ගැනත් යූදාවල රජ වුණ අමෂියාට+ විරුද්ධව එයා සටන් කරපු විදිහ ගැනත් ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 13  ඊටපස්සේ යෙහෝයාෂ් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා.+ ඊශ්‍රායෙල්වල අනිත් රජවරුන් වගේ එයාවත් තැන්පත් කළේ සමාරියේ. එයාගෙන් පස්සේ යෙරොබොවම්*+ රජකමට පත් වුණා. 14  එලිෂා+ අසනීප වුණාම ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් එයාව බලන්න ආවා. ඒ අසනීපෙන් තමයි එලිෂා අන්තිමේදී මැරුණේ. එලිෂාව බලන්න ආපු වෙලාවේ රජ ගොඩක් අඬලා මෙහෙම කිව්වා. “තාත්තේ, මගේ තාත්තේ, ඊශ්‍රායෙල්වල යුධ රථයයි, අසරුවනුයි මට පේනවා.”+ 15  එතකොට එලිෂා එයාට මෙහෙම කිව්වා. “දුන්නකුයි, ඊතල කීපයකුයි ගන්න.” ඉතින් එයා දුන්නකුයි, ඊතල කීපයකුයි ගත්තා. 16  ඊටපස්සේ එලිෂා “දුන්න අතට අරන් විදින්න ලෑස්ති වෙන්න” කියලා ඊශ්‍රායෙල්වල රජට කිව්වා. එයා දුන්න අතට ගත්තාම එලිෂා එයාගේ අත් දෙකෙන් රජගේ අත් දෙක ඇල්ලුවා. 17  එලිෂා ඊළඟට මෙහෙම කිව්වා. “නැඟෙනහිර පැත්තට තියෙන ජනේලේ අරින්න.” රජ එහෙම කළාම “දැන් විදින්න” කියලා එලිෂා එයාට කිව්වා. ඉතින් රජ ඊතලයක් විද්දා. එතකොට එලිෂා මෙහෙම කිව්වා. “ඒක තමයි ජය ලබා දෙන යෙහෝවාගේ ඊතලය! සිරියානුවන්ව පරාජය කරන ඊතලය! අපෙක්වලදී+ ඔයා සිරියානුවන්ව පරාජය කරනවා. ඔයා එයාලව සම්පූර්ණයෙන්ම පරාජය කරනවා.” 18  එලිෂා මෙහෙමත් කිව්වා “ඉතුරු ඊතල ටික ගන්න.” ඊශ්‍රායෙල්වල රජ ඒවා අතට ගත්තාම එලිෂා එයාට කිව්වා “ඊතලවලින් බිමට ගහන්න” කියලා. ඉතින් රජ තුන් පාරක් ඊතලවලින් බිමට ගහලා නතර කළා. 19  එතකොට සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුට රජත් එක්ක කේන්ති ගියා. එයා රජට මෙහෙම කිව්වා. “ඔයාට තිබුණා නේද බිමට පස් පාරක් හරි හය පාරක් හරි ගහන්න. එහෙම කරා නම් ඔයාට සිරියානුවන්ව සම්පූර්ණයෙන්ම පරාජය කරන්න තිබුණා. ඒත් දැන් ඔයාට එයාලව පරාජය කරන්න පුළුවන් වෙන්නේ තුන් පාරක් විතරයි.”+ 20  ඒකෙන් පස්සේ එලිෂා මැරුණා. ඉතින් එයාව තැන්පත් කළා. හැම අවුරුද්දකම මුල* මෝවබ් දේශයෙන් කොල්ලකරුවන්+ ඇවිත් ඊශ්‍රායෙල් දේශය කොල්ල කෑවා. 21  දවසක් මිනිස්සු කීපදෙනෙක් මැරුණ කෙනෙක්ව තැන්පත් කරන්න යද්දී කොල්ලකරුවන් එනවා එයාලා දැක්කා. ඉතින් එයාලා ඉක්මනින් ඒ මිනිය එලිෂාගේ සොහොන් ගෙට වීසි කරලා එතනින් පැනලා දිව්වා. ඒ මිනිය එලිෂාගේ ඇටකටුවල වැදුණ ගමන්ම ඒ මැරුණ කෙනාට ආයේ පණ ඇවිල්ලා+ එයා හිටගත්තා. 22  යෙහෝයහාෂ් පාලනය කරපු කාලේ පුරාම සිරියාවේ රජ වුණ හසායෙල්+ ඊශ්‍රායෙල්වරුන්ට පීඩා කළා.+ 23  ඒත් යෙහෝවා ආබ්‍රහම්,+ ඊසාක්+ සහ යාකොබ්+ එක්ක ඇති කරගත්ත ගිවිසුම නිසා ඔහු ඊශ්‍රායෙල්වරුන් ගැන ගොඩක් හිතුවා. ඔහු එයාලට අනුකම්පා කරලා දයාව පෙන්නුවා.+ එයාලා විනාශ වෙලා යනවාට ඔහු කැමති වුණේ නැහැ. අද වෙන කල්ම ඔහු එයාලව ඔහු ඉස්සරහින් අයින් කරලා දාලා නැහැ. 24  සිරියාවේ රජ වුණ හසායෙල් මැරුණාට පස්සේ එයාගේ පුතා වුණ බෙන්හාදද් රජකමට පත් වුණා. 25  හසායෙල් රජ යෙහෝයහාෂ් එක්ක සටන් කරලා නගර කීපයක් අල්ලගෙනයි තිබුණේ. යෙහෝයහාෂ්ගේ පුතා වුණ යෙහෝයාෂ් හසායෙල්ගේ පුතා වුණ බෙන්හාදද් එක්ක සටන් කරලා ඒ නගර ආපහු අල්ලගත්තා. යෙහෝයාෂ් තුන් පාරක්ම බෙන්හාදද් එක්ක සටන් කරලා+ තමයි ඊශ්‍රායෙල්වල තිබුණ ඒ නගර ආපහු ගත්තේ.

පාදසටහන්

ඒ කියන්නේ දෙවෙනි යෙරොබොවම්.
ඒ කියන්නේ වසන්ත කාලේ.