දෙවෙනි රාජාවලිය 15:1-38
15 ඊශ්‍රායෙල්වල රජ වුණ යෙරොබොවම්* පාලනය කරපු 27වෙනි අවුරුද්දේදී යූදාවල රජකම් කරපු අමෂියාගේ+ පුතා වුණ අෂරියා*+ රජකමට පත් වුණා.+
2 අෂරියා රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 16යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 52ක් පාලනය කළා. අෂරියාගේ අම්මාගේ නම යෙකොලියා. එයා යෙරුසලමේ කෙනෙක්.
3 අෂරියා එයාගේ තාත්තා වුණ අමෂියා වගේ යෙහෝවා හරියි කියලා සලකන දේවල් දිගටම කළා.+
4 ඒත් නමස්කාරයට හදපු උස් තැන් ඒ විදිහටම තිබුණා.+ ඉතින් මිනිස්සු ඒ තැන්වලදී දුම ඉහළට නඟින විදිහට දිගටම පූජා ඔප්පු කළා.+
5 යෙහෝවා දෙවියන් අෂරියා රජට ලාදුරු රෝගයෙන් පහර දුන්නා.+ එයා මැරෙන කල්ම එයාට ලාදුරු රෝගය තිබ්බා. එයා හිටියේ වෙනම ගෙදරක.+ ඒ කාලේදී රජමාලිගාවේ හැම වැඩක්ම බැලුවේ රජගේ පුතා වුණ යෝතම්.+ සෙනඟගේ නඩු විභාග කළෙත් එයා.+
6 අෂරියාගේ ජීවිතේ අනිත් සිදුවීම්+ ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.
7 ඊටපස්සේ අෂරියා මැරුණා.+ එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ දාවිත්ගේ නුවරේ තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෝතම් රජකමට පත් වුණා.
8 යූදාවල රජ වුණ අෂරියා+ පාලනය කරපු 38වෙනි අවුරුද්දේදී යෙරොබොවම්ගේ පුතා වුණ සෙකරියා+ ඊශ්‍රායෙල්වල රජකමට පත් වුණා. එයා සමාරියේ ඉඳන් මාස හයක් පාලනය කළා.
9 සෙකරියාත් එයාගේ මුතුන්මිත්තන් වගේ යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු වැරදිවලින්+ එයා අයින් වුණේ නැහැ.
10 යාබෙෂ්ගේ පුතා වුණ ෂල්ලුම් සෙකරියාට විරුද්ධව කුමන්ත්‍රණය කරලා ඉබ්ලෙයාම්වලදී+ එයාව මරලා දැම්මා.+ ඊටපස්සේ ෂල්ලුම් රජ වුණා.
11 සෙකරියාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.
12 සෙකරියා ගැන යෙහෝවා යේහුට කියලා තිබුණ මේ දේ ඒ විදිහටම ඉටු වුණා. “ඔයාගෙන් පැවතෙන පරම්පරා හතරක්+ ඊශ්‍රායෙල්වල රජකම් කරනවා.”+
13 යූදාවල රජ වුණ උසියා+ පාලනය කරපු 39වෙනි අවුරුද්දේදී යාබෙෂ්ගේ පුතා වුණ ෂල්ලුම් රජකමට පත් වුණා. එයා සමාරියේ ඉඳන් මාසයක් පාලනය කළා.
14 ඊටපස්සේ ගාදීගේ පුතා වුණ මෙනහෙම් තිර්ෂාවල+ ඉඳන් සමාරියට ඇවිල්ලා යාබෙෂ්ගේ පුතා වුණ ෂල්ලුම්ව+ මරලා දැම්මා. පස්සේ මෙනහෙම් රජ වුණා.
15 ෂල්ලුම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැනත් එයා කරපු කුමන්ත්‍රණය ගැනත් ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.
16 ඒ කාලේදී තමයි මෙනහෙම් තිර්ෂාවල ඉඳන් ඇවිත් තිප්සාවලට පහර දුන්නේ. ඒ නගරයේ හිටපු අය දොරටු ඇරියේ නැති නිසා එයා එහේ හිටපු හැමෝවමයි, ඒ අවට ජීවත් වුණ හැමෝවමයි මරලා දැම්මා. එයා නගරය සම්පූර්ණයෙන්ම විනාශ කරලා ගැබිනි ස්ත්‍රීන්ව කපලා දැම්මා.
17 යූදාවල රජ වුණ අෂරියා රජකම් කරපු 39වෙනි අවුරුද්දේදී ගාදීගේ පුතා වුණ මෙනහෙම් ඊශ්‍රායෙල්වල රජකමට පත් වුණා. එයා සමාරියේ ඉඳන් අවුරුදු දහයක් පාලනය කළා.
18 යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් මෙනහෙම් දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු ඔක්කොම වැරදි එයාත් කළා.+ එයා ඒවා එයාගේ ජීවිත කාලේ පුරාම කළා.
19 ඔය කාලේදී ඇසිරියාවේ රජ වුණ පූල්+ ඊශ්‍රායෙල් දේශයට විරුද්ධව ආවා. ඒත් මෙනහෙම් එයාට රිදී තලෙන්ත* 1,000ක් දුන්නා. මොකද මෙනහෙම්ට ඕනෙ වුණේ පූල්ගේ උදව්වෙන් රජ විදිහට තමන්ගේ බලය තහවුරු කරගන්න.+
20 ඇසිරියාවේ රජට දෙන්න මෙනහෙම් රිදී එකතු කරගත්තේ ඊශ්‍රායෙල්වල උසස් තනතුරු දරපු, පොහොසත් අයගෙන්.+ ඒ එක් එක් කෙනාගෙන් මෙනහෙම් ෂෙකෙල්* 50 ගාණේ අය කළා. ඉතින් ඇසිරියාවේ රජ ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙන්නේ නැතුව ආපහු යන්න ගියා.
21 මෙනහෙම්ගේ+ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.
22 මෙනහෙම් මැරුණාම එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ පෙකහියා රජකමට පත් වුණා.
23 යූදාවල රජ වුණ අෂරියා පාලනය කරපු 50වෙනි අවුරුද්දේදී මෙනහෙම්ගේ පුතා වුණ පෙකහියා ඊශ්‍රායෙල්වල රජකමට පත් වුණා. එයා සමාරියේ ඉඳන් අවුරුදු දෙකක් පාලනය කළා.
24 එයාත් යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු වැරදිවලින්+ එයා අයින් වුණේ නැහැ.
25 එයාගේ හමුදාවේ නිලධාරියෙක් වුණ පේකා+ ඒ කියන්නේ රෙමලියාගේ පුතා එයාට විරුද්ධව කුමන්ත්‍රණය කළා. පේකා සමාරියේ රජමාලිගාවේ තිබුණ බලකොටුවේදී පෙකහියාවයි, අර්ගොබ්වයි, අරියාවයි මරලා දැම්මා. පේකා එක්ක ගිලියද්වලින් ආපු මිනිස්සු 50දෙනෙකුත් එයාගේ සහයට හිටියා. රජව මැරුවාට පස්සේ පේකා රජකමට පත් වුණා.
26 පෙකහියාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක්ම ගැන ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.
27 රෙමලියාගේ පුතා වුණ පේකා+ ඊශ්‍රායෙල්වල රජකමට පත් වුණේ යූදාවල රජ වුණ අෂරියා පාලනය කරපු 52වෙනි අවුරුද්දේදී. එයා සමාරියේ ඉඳන් අවුරුදු 20ක් පාලනය කළා.
28 යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් පේකා දිගටම කළා. ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් කරපු වැරදිවලින්+ එයා අයින් වුණේ නැහැ.
29 පේකා ඊශ්‍රායෙල්වල රජකම් කරපු කාලේදී ඇසිරියාවේ රජ වුණ තිග්ලත්පිලෙසෙර්+ දේශය ආක්‍රමණය කළා. එයා ඊයොන්, ආබෙල්බෙත්මයකා,+ යනෝවා, කෙදෙෂ්,+ හාෂොර් සහ ගිලියද්+ අල්ලගත්තා. ගලීලය ඒ කියන්නේ මුළු නෆ්තලී ප්‍රදේශයත්+ එයා අල්ලගත්තා. ඊටපස්සේ ඒ හැම ප්‍රදේශයකම හිටපු මිනිස්සුන්ව වහලුන් විදිහට එයා ඇසිරියාවට අරන් ගියා.+
30 උසියාගේ පුතා වුණ යෝතම්+ පාලනය කරපු 20වෙනි අවුරුද්දේදී ඒලාහ්ගේ පුතා වුණ හෝෂෙයා+ පේකාට විරුද්ධව කුමන්ත්‍රණය කළා. එයා රෙමලියාගේ පුතා වුණ පේකාව මරලා රජකමට පත් වුණා.
31 පේකාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.
32 ඊශ්‍රායෙල්වල රජ වුණ රෙමලියාගේ පුතා වුණ පේකා පාලනය කරපු දෙවෙනි අවුරුද්දේදී තමයි යූදාවල රජකම් කරපු උසියාගේ+ පුතා වුණ යෝතම්+ රජකමට පත් වුණේ.
33 යෝතම් රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 25යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 16ක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම යෙරුෂා. යෙරුෂා සාදොක්ගේ දුව.+
34 යෝතම් එයාගේ තාත්තා වුණ උසියා වගේ යෙහෝවා හරියි කියලා සලකන දේවල් දිගටම කළා.+
35 ඒත් නමස්කාරයට හදපු උස් තැන් ඒ විදිහටම තිබුණා. ඉතින් මිනිස්සු ඒ තැන්වලදී දුම ඉහළට නඟින විදිහට දිගටම පූජා ඔප්පු කළා.+ යෝතම් තමයි යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තියෙන ඉහළ දොරටුව හැදුවේ.+
36 යෝතම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු දේවල් ගැන යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.
37 ඒ කාලේදී යූදා දේශයට විරුද්ධව සටන් කරන්න+ සිරියාවේ රජ වුණ රෙෂින් සහ රෙමලියාගේ පුතා වුණ පේකා+ ආවා. එහෙම කරන්න එයාලව පෙලඹුවේ යෙහෝවා දෙවියන්.
38 ඊටපස්සේ යෝතම් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ දාවිත්ගේ නුවරේ තැන්පත් කළා. දාවිත් එයාගේ මුතුන්මිත්තෙක්. යෝතම්ගෙන් පස්සේ රජකමට පත් වුණේ එයාගේ පුතා වුණ ආහස්.
පාදසටහන්
^ ඒ කියන්නේ දෙවෙනි යෙරොබොවම්.
^ තේරුම, “යෙහෝවා උදව් කළා.” 2රාජා 15:13; 2ලේක 26:1-23; යෙසා 6:1 සහ සෙක 14:5 අෂරියාව උසියා කියන නමින් හඳුන්වලා තියෙනවා.