දෙවෙනි රාජාවලිය 16:1-20
16 රෙමලියාගේ පුතා වුණ පේකා පාලනය කරපු 17වෙනි අවුරුද්දේදී යූදාවල රජකම් කරපු යෝතම්ගේ පුතා වුණ ආහස්+ රජකමට පත් වුණා.
2 ආහස් රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 20යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 16ක් පාලනය කළා. ඒත් එයා වැඩ කළේ එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත් වැඩ කරපු විදිහට නෙමෙයි. ආහස් එයාගේ දෙවි වන යෙහෝවා හරියි කියලා සලකන දේවල් කළේ නැහැ.+
3 එයා වැඩ කළේ ඊශ්‍රායෙල්වල රජවරු වැඩ කරපු විදිහටයි.+ යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් ඉස්සරහින් පන්නලා දාපු ජාතීන් කරපු පිළිකුල්සහගත දේවලුත් එයා කළා.+ එයා එයාගෙම පුතාව පවා ගින්නෙන් දවලා පූජාවක් විදිහට ඔප්පු කළා.*+
4 එයා උස් තැන්වල,+ කඳු මුදුන්වල සහ සරුවට වැඩුණ හැම ලොකු ගහක් යටම+ දුම ඉහළට නඟින විදිහට පූජා ඔප්පු කළා.
5 ඔය කාලේදී සිරියාවේ රජ වුණ රෙෂින් සහ රෙමලියාගේ පුතා වුණ ඊශ්‍රායෙල්වල රජකම් කරපු පේකා ආහස්ට විරුද්ධව යුද්ධ කරන්න ආවා.+ එයාලා යෙරුසලම වැටලුවත් නගරය අල්ලගන්න එයාලට බැරි වුණා.
6 ඊටපස්සේ සිරියාවේ රජ වුණ රෙෂින් ඒලත්+ නගරය අල්ලගෙන ඒක ආපහු ඒදොම්වරුන්ට භාර දුන්නා. ඒලත්වල හිටපු යුදෙව්වන්වත්* එයා පන්නලා දැම්මා. ඊටපස්සේ ඒදොම්වරු ඒ නගරයට ඇවිත් ඒකේ පදිංචි වුණා. එයාලා අද වෙන කල්ම එහේ ඉන්නවා.
7 ඉතින් ආහස් ඇසිරියාවේ රජ වුණ තිග්ලත්පිලෙසෙර්+ ළඟට පණිවිඩකරුවන් යවලා මෙහෙම කිව්වා. “මම ඔබේ සේවකයා. මම ඔබේ පුතෙක් වගේ. ඉතින් දැන් ඇවිත් මාව සිරියාවේ රජගෙනුයි, ඊශ්‍රායෙල්වල රජගෙනුයි බේරගන්න. එයාලා මාත් එක්ක සටන් කරන්න ඇවිල්ලා ඉන්නවා.”
8 ආහස් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ භාණ්ඩාගාරවල තිබුණ රිදීයි, රත්තරනුයි අරගෙන ඒවා ඇසිරියාවේ රජට අල්ලසක් විදිහට යැව්වා.+
9 එතකොට ඇසිරියාවේ රජ ආහස් කියපු දේ අහලා දමස්කයට ගිහින් ඒක අල්ලගත්තා. ඊටපස්සේ එහේ හිටපු මිනිස්සුන්ව එයා වහලුන් විදිහට කිර්වලට අරන් ගියා.+ එයා රෙෂින්වත් මැරුවා.+
10 ආහස් රජ ඇසිරියාවේ රජ වුණ තිග්ලත්පිලෙසෙර්ව හම්බ වෙන්න දමස්කයට ගියා. එතකොට දමස්කයේ තිබුණ පූජාසනය එයා දැක්කා. ඉතින් එයා ඒකේ චිත්‍රයකුයි, ඒක හදලා තියෙන විදිහ විස්තර කරන සැලැස්මකුයි+ පූජක උරියාහ්ට යැව්වා.
11 ඉතින් පූජක උරියාහ්+ දමස්කයේ ඉඳන් ආහස් රජ එවපු සැලැස්මට අනුව පූජාසනයක් හැදුවා.+ රජ දමස්කයේ ඉඳන් එන්න කලින් පූජක උරියාහ් ඒක හදලා ඉවර කළා.
12 රජ දමස්කයේ ඉඳන් ආවාම ඒ පූජාසනය දැක්කා. එයා ඒක ළඟට ගිහින් ඒක උඩ පූජා ඔප්පු කරන්න පටන්ගත්තා.+
13 ආහස් ඒ පූජාසනය උඩ දවන පූජා සහ ධාන්‍ය පූජා ගින්නෙන් දවලා ඔප්පු කළා. එයා පාන පූජාත් පූජාසනය උඩට වක් කළා. හවුල් පූජාවල ලේත් පූජාසනයට ඉස්සා.
14 ඊටපස්සේ ආහස් දේවමාලිගාව ඉස්සරහා ඒ කියන්නේ යෙහෝවා ඉස්සරහා තිබුණ තඹ පූජාසනය+ එතනින් අයින් කළා. ඒක තිබුණේ එයා හදපු පූජාසනයයි, යෙහෝවා දෙවියන්ගේ මාලිගාවයි අතරේ. අයින් කරපු තඹ පූජාසනය ආහස් එයා හදපු පූජාසනයට උතුරට වෙන්න තිබ්බා.
15 ආහස් රජ පූජක උරියාහ්ට+ මෙහෙම අණ කළා. “දැන් ඉඳන් මේ ලොකු පූජාසනය උඩ තමයි උදේට ඔප්පු කරන දවන පූජාවයි,+ හවසට ඔප්පු කරන ධාන්‍ය පූජාවයි+ ගින්නෙන් ඔප්පු කරන්න ඕනේ. රජ ඔප්පු කරන දවන පූජායි, ධාන්‍ය පූජායි මේ පූජාසනය උඩ ඔප්පු කරන්න. ඒ විතරක් නෙමෙයි සෙනඟ ඔප්පු කරන දවන පූජා, ධාන්‍ය පූජා, පාන පූජා හැම එකක්මත් ඔප්පු කරන්න ඕනෙ මේක උඩ. දවන පූජා විදිහට ඔප්පු කරන සත්තුන්ගේ ලේත් අනිත් හැම පූජාවකටම ඔප්පු කරන සත්තුන්ගේ ලේත් මේ පූජාසනයට ඉහින්න. තඹ පූජාසනයට මොකක්ද කරන්න ඕනෙ කියලා මම පස්සේ තීරණේ කරලා කියන්නම්.”
16 පූජක උරියාහ් ආහස් රජ අණ කරපු හැම දෙයක්ම කළා.+
17 ආහස් රජ දේවමාලිගාවේ තිබුණ කරත්තවල+ පැතලි තහඩු කෑලිවලට කපලා ඒ කරත්ත උඩ තිබුණ භාජනත් අයින් කළා.+ තඹවලින් හදපු ගොනුන්+ උඩ තියලා තිබුණ මුහුද කියලා හඳුන්වපු ලොකු භාජනයත් එයා එතනින් අයින් කළා. එයා ඒක ගල් අතුරපු තැනකින් තිබ්බා.+
18 සබත් දවස්වලට පාවිච්චි කරන්න සෙවිලි කරපු තැනක් දේවමාලිගාව ළඟ හදලා තිබුණා. ඒකත් ආහස් එතනින් අයින් කළා. රජට යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ඇතුල් වෙන්න හදලා තිබුණ දොරත් එයා වහලා දැම්මා. එයා ඒ හැම දෙයක්ම කළේ ඇසිරියාවේ රජට තිබුණ බය නිසයි.
19 ආහස්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු දේවල් ගැන යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+
20 ඊටපස්සේ ආහස් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ දාවිත්ගේ නුවරේ තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ හෙසකියා*+ රජකමට පත් වුණා.
පාදසටහන්
^ මූ.අ., “ගින්නක් මැදින් යැව්වා.”
^ හෝ, “යූදාවල මිනිස්සුන්වත්.”
^ තේරුම, “යෙහෝවා ශක්තිමත් කරයි.”