දෙවෙනි රාජාවලිය 23:1-37

  • යොෂියා කරපු හොඳ දේවල් (1-20)

  • පාස්කු උත්සවය සමරයි (21-23)

  • යොෂියා සැබෑ නමස්කාරය වෙනුවෙන් කරපු තව දේවල් (24-27)

  • යොෂියා මැරෙයි (28-30)

  • යෙහෝයහාෂ් යූදාවල රජ වෙයි (31-33)

  • යෙහෝයාකිම් යූදාවල රජ වෙයි (34-37)

23  ඉතින් රජගේ අණට අනුව එයාලා යූදාවලයි, යෙරුසලමෙයි හිටපු වැඩිමහල්ලන් හැමෝවම රැස් කළා.+  ඊටපස්සේ රජ යූදාවල පුරුෂයන් හැමෝමයි, යෙරුසලමේ හිටපු හැමෝමයි, පූජකයෝයි, අනාගතවක්තෘවරුනුයි ඒ කියන්නේ ලොකු කුඩා හැමෝවම එකතු කරගෙන යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගියා. එතනදී රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබිලා හම්බ වුණ+ ගිවිසුම+ සඳහන් කරලා තියෙන මුළු ලියවිල්ලම+ එයාලට ඇහෙන්න කියෙව්වා.  රජ කුලුන ළඟ හිටගෙන යෙහෝවා එක්ක ගිවිසුමක් ඇති කරගත්තා.*+ එයා පොරොන්දු වුණේ ගිවිසුම සඳහන් වුණ ලියවිල්ලේ තියෙන හැම දෙයක්ම පිළිපදිනවා කියලයි. ඒ විදිහට එයා යෙහෝවාට කීකරු වෙනවා කියලත් ඔහුගේ ආඥා, සිහිගැන්වීම් සහ පනත් මුළු හදවතින්ම පිළිපදිනවා කියලත් පොරොන්දු වුණා. ඒ දේ කරන්න එයා උපරිමයෙන් මහන්සි වෙනවා* කියලත් පොරොන්දු වුණා. එතන හිටපු හැමෝමත් ඒ ගිවිසුමට එකඟ වුණා.+  ඊටපස්සේ රජ උත්තම පූජකයාටත්+ අනිත් පූජකයන්ටත් දොරටු පාලකයන්ටත් අණ කළා බාල්ටයි, කණුවටයි,*+ ආකාශ වස්තූන්වලටයි නමස්කාර කරන්න හදලා තිබුණ හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ගේ මාලිගාවෙන් එළියට ගේන්න කියලා. රජ ඒවා යෙරුසලමෙන් එළියේ තියෙන කිද්‍රොන් නිම්නයේ තිබුණ කෙත්වලට අරන් ගිහින් පිච්චුවා. එයා ඒවාවල අළු බෙතෙල්වලට ගෙනිච්චා.+  ඒ විදිහට රජ උස් තැන්වල වෙනත් දෙවිවරුන්ට පූජා ඔප්පු කරන්න පත් කරලා හිටපු පූජකයන් කරපු හැම දෙයක්ම නවත්තලා දැම්මා. යූදාවල රජවරු තමයි යූදාවල නගරවලයි, යෙරුසලම අවටයි සේවය කරන්න ඒ පූජකයන්ව පත් කරලා තිබුණේ. ඒ වගේම යොෂියා රජ බාල්ට, ඉරට, හඳට, රාශි චක්‍රයට සහ අනිත් ආකාශ වස්තූන්වලට පූජා ඔප්පු කරපු අයවත් අයින් කරලා දැම්මා.+  නමස්කාර කරන්න ගෙනල්ලා තිබුණ කණුව*+ එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් එළියට අරන් ඇවිත් යෙරුසලමෙන් පිට තියෙන කිද්‍රොන් නිම්නයට අරගෙන ගිහිල්ලා ඒක පුච්චලා දැම්මා.+ ඊටපස්සේ එයා ඒක කුඩු කරලා ඒ කුඩු සාමාන්‍ය මිනිස්සු තැන්පත් කරන සොහොන්වලට වීසි කළා.+  යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ හදලා තිබුණ පිරිමි ගණිකා නිවාසත්+ එයා කඩලා දැම්මා. ඒ නිවාසවල ඉඳන් තමයි කණුවට* කරපු නමස්කාරය වෙනුවෙන් ස්ත්‍රීන් කූඩාරම් විව්වේ.  ඊටපස්සේ එයා යූදාවල හැම නගරයකම හිටපු පූජකයන්ව පන්නලා දැම්මා. එයාලා පූජා ඔප්පු කරපු උස් තැන් හැම එකක්මත් ආයේ නමස්කාර කරන්න බැරි විදිහට අපවිත්‍ර කළා. ගෙබා+ ඉඳන් බෙයර්ෂෙබා+ වෙන කල් තිබුණ හැම නගරයකම එයා ඒ විදිහට කළා. නගරයේ ප්‍රධානියා වුණ යොෂුවාගේ නිවසට යන දොරටුව ළඟ නමස්කාර කරන්න හදලා තිබුණ උස් තැනුත් එයා කඩලා දැම්මා. කෙනෙක් නගරයේ දොරටුවෙන් ඇතුල් වුණාම ඒ උස් තැන් තිබුණේ වම් පැත්තට වෙන්න.  නමස්කාර කරන්න හදලා තිබුණ උස් තැන්වල සේවය කරපු පූජකයෝ යෙරුසලමේ තිබුණ යෙහෝවා දෙවියන්ගේ පූජාසනය ළඟ සේවය කළේ නැහැ.+ ඒත් අනිත් පූජකයන්* එක්ක මුහුන් දාපු නැති රොටි කන්න එයාලට අවසර දීලා තිබුණා. 10  යොෂියා බෙන්හින්නොම් නිම්නයේ*+ තියෙන තෝෆෙත්+ කියන තැනත් ආයේ පුදපූජා ඔප්පු කරන්න බැරි විදිහට අපවිත්‍ර කළා. රජ එහෙම කළේ කිසිම කෙනෙක්ට ආයේ තමන්ගේ පුතාව හරි දුවව හරි ගින්නෙන් දවලා මෝලෙක්ට+ පූජා කරන්න බැරි වෙන්නයි. 11  යූදාවල රජවරු හිරුට+ කරන නමස්කාරය වෙනුවෙන් කැප කරපු අශ්වයන්ව යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ඇතුල් කරන එක එයා තහනම් කළා. ඒ අශ්වයන්ව ඇතුල් කළේ නාතන්මෙලෙක් කියන නිලධාරියාගේ ශාලාව* හරහායි. ඒ ශාලාව තිබුණේ කුලුනු පෙළ ළඟ. හිරුට කරන නමස්කාරය වෙනුවෙන් තිබුණ අශ්ව රථත් එයා පුච්චලා දැම්මා. 12  යූදාවල රජවරු ආහස්ගේ උඩුමහල් කාමරයේ පැතලි වහලේ උඩ හදලා තිබුණ පූජාසනත් රජ කඩලා දැම්මා.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ මළු දෙකක මනස්සේ හදලා තිබුණ පූජාසනත් එයා කඩලා දැම්මා.+ එයා ඒ පූජාසන කුඩු කරලා ඒ කුඩු කිද්‍රොන් නිම්නයට වීසි කළා. 13  යෙරුසලමට ඉස්සරහින් ඔලීව කන්දට* දකුණින් තිබුණ නමස්කාර කරන්න හදපු උස් තැන් ආයේ පාවිච්චි කරන්න බැරි විදිහට රජ අපවිත්‍ර කරලා දැම්මා. ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ සලමොන් සීදොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දේවතාවියක් වුණ අෂ්ටොරෙත්ටයි, මෝවබ් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවියෙක් වුණ කෙමොෂ්ටයි, අම්මොන්වරුන්ගේ+ පිළිකුල්සහගත දෙවියෙක් වුණ මිල්කොම්ටයි+ නමස්කාර කරන්න තමයි ඒ උස් තැන් හැදුවේ. 14  නමස්කාර කරන්න තිබුණ කුලුනු යොෂියා කෑලිවලට කඩලා, කණු* කපලා දැම්මා.+ ඒ තැන් එයා මිනී ඇටවලින් පුරවලා දැම්මා. 15  ඊශ්‍රායෙල්වරුන්ව වරදට පොලඹවපු නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම් නමස්කාර කරන්න බෙතෙල්වල හදපු පූජාසනයයි, උස් තැනයි එයා කඩලා දැම්මා.+ ඒවා කැඩුවාට පස්සේ රජ උස් තැනට ගිනි තියලා ඒක කුඩු කරලාම දැම්මා. නමස්කාර කරන්න හදලා තිබුණ කණුවත්* එයා පුච්චලා දැම්මා.+ 16  යොෂියා හැරිලා බලද්දී කන්දේ තිබුණ සොහොන් ගෙවල් එයා දැක්කා. ඒවාවල තිබුණ ඇටකටු එළියට අරන් ඒවා පූජාසනය උඩ තියලා පුච්චන්න කියලා එයා කිව්වා. එහෙම කළේ ආයේ නමස්කාරයට පාවිච්චි කරන්න බැරි විදිහට ඒක අපවිත්‍ර කරන්නයි. යෙහෝවා ඔහුගේ අනාගතවක්තෘ මාර්ගයෙන් කියලා තිබුණ විදිහටම ඒක සිද්ධ වුණා.+ 17  පස්සේ එයා “අර තියෙන සොහොන් කොත කාගෙද” කියලා ඇහුවා. එතකොට නගරයේ මිනිස්සු මෙහෙම උත්තර දුන්නා. “ඒ තියෙන්නේ යූදා ඉඳන් ආපු සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුගේ සොහොන.+ එයා තමයි ඔබ බෙතෙල්වල පූජාසනයට දැන් කරපු දේවල් ගැන අනාවැකියක් කිව්වේ.” 18  ඉතින් රජ මෙහෙම කිව්වා. “එයාගේ ඇටකටුවලට කාටවත් අත තියන්න ඉඩ දෙන්න එපා. ඒවා එහෙම්මම තිබුණාවේ.” ඉතින් එයාලා එයාගේ ඇටකටුවලට මුකුත් කළේ නැහැ. සමාරියෙන් ආපු අනාගතවක්තෘවරයාගේ ඇටකටුවලටත් එයාලා කිසිම දෙයක් කළේ නැහැ.+ 19  ඊශ්‍රායෙල්වල රජවරු සමාරියේ නගරවල+ නමස්කාර කරන්න හදපු උස් තැන්වල තිබුණ දේවාල හැම එකක්ම යොෂියා අයින් කළා. ඒ දේවාල හදපු එක ගැන දෙවියන්ට ගොඩක් කේන්ති ගිහින් තිබුණා. යොෂියා බෙතෙල්වලදී කරපු දේම ඒ තැන්වලටත් කළා.+ 20  එයා ඒ උස් තැන්වල සේවය කරපු හැම පූජකයෙක්වම ඒ පූජාසන උඩම මරලා දැම්මා. එයා මිනී ඇට අරගෙන ඒ පූජාසන උඩ තියලා ඒවා පිච්චුවා.+ ඊටපස්සේ යොෂියා ආයෙත් යෙරුසලමට ගියා. 21  ඊටපස්සේ රජ මුළු සෙනඟටම මෙහෙම අණ කළා. “ගිවිසුම සඳහන් වෙලා තියෙන මේ ලියවිල්ලේ කියලා තියෙන විදිහට+ ඔයාලාගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පාස්කු උත්සවය පවත්වන්න.”+ 22  ඊශ්‍රායෙල් දේශයේ හිටපු විනිශ්චයකරුවන්ගේ කාලේදීවත් ඊශ්‍රායෙල් පාලනය කරපු රජවරුන්ගේ කාලේදීවත් යූදා පාලනය කරපු රජවරුන්ගේ කාලේදීවත් මේ වගේ පාස්කු උත්සවයක් පවත්වලා තිබුණේ නැහැ.+ 23  ඒත් යොෂියා රජ පාලනය කරපු 18වෙනි අවුරුද්දේදී ඒ වගේ පාස්කු උත්සවයක් යෙහෝවා වෙනුවෙන් යෙරුසලමේදී පැවැත්තුවා. 24  මැරුණ අය එක්ක කතා කරන්න හදන අයවයි, ශාස්ත්‍ර කියන අයවයි+ යොෂියා පන්නලා දැම්මා. ටෙරෆිම් රූප*+ සහ පිළිකුල් රූප* විතරක් නෙමෙයි යූදා දේශයෙයි, යෙරුසලමෙයි තිබුණ හැම පිළිකුල් දෙයක්මත් එයා අයින් කරලාම දැම්මා. එයා එහෙම කළේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ+ තිබිලා පූජක හිල්කියාට හම්බ වුණ ලියවිල්ලේ+ කියලා තිබුණ විදිහටම කරන්න ඕනෙ නිසයි. 25  මුළු හදවතින්ම+ යෙහෝවා ළඟට ආපහු හැරිලා ඇවිල්ලා ඔහුට සේවය කරපු රජ කෙනෙක් යොෂියාට කලින්වත් පස්සෙවත් හිටියේ නැහැ. මෝසෙස්ට දීපු නීතියේ තියෙන හැම දෙයක්ම ඒ විදිහටම කරන්න උපරිම උත්සාහයක් දරපු* යොෂියා ඒ වෙනුවෙන් එයාගේ මුළු ශක්තියම යෙදෙව්වා. 26  ඒත් මනස්සේ යෙහෝවා දෙවියන්ව කේන්ති ගස්සන දේවල් ගොඩක් කරලා තිබ්බා. ඒ නිසා යූදාවලට විරුද්ධව ගින්නක් වගේ ඇවිළිලා තිබුණ දෙවියන්ගේ කේන්තිය නිවිලා ගියේ නැහැ.+ 27  යෙහෝවා මෙහෙම කිව්වා. “මම ඊශ්‍රායෙල්වලට කරපු දේම+ යූදාවලටත් කරනවා. මම යූදා අයින්ම කරලා දානවා.+ මම තෝරගත්ත නගරය වන යෙරුසලමත් ‘මේක හැමදාම මගේ නම දරයි’+ කියලා මම කියපු ගෘහයත් මම අත්හරිනවා.” 28  යොෂියාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 29  ඊජිප්තුවේ රජ වුණ නෙකෝ කියන පාරාවෝ යුප්‍රටීස් ගඟ ළඟ හිටපු ඇසිරියාවේ රජගේ උදව්වට යද්දී යොෂියා පාරාවෝට විරුද්ධව සටන් කරන්න ගියා. පාරාවෝ එයාව දැක්කාම මෙගිද්දෝවලදී+ එයාව මරලා දැම්මා. 30  රජගේ සේවකයෝ එයාගේ මළ සිරුර අශ්ව රථයක දාගෙන මෙගිද්දෝ ඉඳන් යෙරුසලමට ගෙනල්ලා එයාගෙම සොහොන් ගෙයි තැන්පත් කළා. ඊටපස්සේ යූදාවල මිනිස්සු යොෂියාගේ පුතා වුණ යෙහෝයහාෂ්ව රජ විදිහට අභිෂේක කළා.+ 31  යෙහෝයහාෂ්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 23යි. එයා යෙරුසලමේ ඉඳන් මාස තුනක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම හමුතල්.+ එයා ලිබ්නාවල කෙනෙක් වුණ යෙරෙමියාගේ දුව. 32  යෙහෝයහාෂ් එයාගේ මුතුන්මිත්තන් වගේ යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කරන්න පටන්ගත්තා.+ 33  නෙකෝ+ කියන පාරාවෝ යෙරුසලමේ ඉඳන් පාලනය කරපු යෙහෝයහාෂ්ව රජකමෙන් අයින් කරලා හමාත් දේශයේ රිබ්ලාවල+ එයාව හිර කරලා තිබ්බා. ඊටපස්සේ පාරාවෝ යූදා දේශයෙන් රිදී තලෙන්ත* 100කුයි, රන් තලෙන්තයකුයි දඩයක් විදිහට ගත්තා.+ 34  නෙකෝ කියන පාරාවෝ යොෂියා වෙනුවට යොෂියාගේ පුතා වුණ එලියාකීම්ව රජකමට පත් කරලා එයාගේ නම යෙහෝයාකිම් කියලා වෙනස් කළා. පාරාවෝ යෙහෝයහාෂ්ව ඊජිප්තුවට අරගෙන ගියා.+ අන්තිමේදී යෙහෝයහාෂ් ඊජිප්තුවේදී මැරුණා.+ 35  යෙහෝයාකිම් රත්තරනුයි, රිදීයි පාරාවෝට ගෙව්වා. ඒත් පාරාවෝ ඉල්ලපු ගාණ දෙන්න එයාට දේශයේ හිටපු මිනිස්සුන්ගෙන් බද්දක් අය කරන්න සිද්ධ වුණා. එයා එක් එක් කෙනාගේ වත්කමට අනුව දේශයේ හිටපු මිනිස්සුන්ගෙන් බද්දක් විදිහට රිදීයි, රත්තරනුයි අරගෙන ඒක පාරාවෝට දුන්නා. 36  යෙහෝයාකිම්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 25යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 11ක් පාලනය කළා.+ එයාගේ අම්මාගේ නම ෂෙබිදා. එයා රූමාවල කෙනෙක් වුණ පෙදායාගේ දුව. 37  යෙහෝයාකිම් එයාගේ මුතුන්මිත්තන් වගේම+ යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+

පාදසටහන්

හෝ, “ගිවිසුම අලුත් කළා.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
මූ.අ., “එයාලාගේ සහෝදරයන්.”
හෝ, “හින්නොම්ගේ පුතාලාගේ නිම්නයේ.” “පැහැදිලි කිරීමක්” යටතේ තියෙන “ගෙහෙන්නාව” බලන්න.
හෝ, “කෑම කාමරය.”
හෝ, “විනාශයේ කන්දට.” ඔලීව කන්දේ දකුණටම වෙන්න තිබුණ කොටස. “පව්කාර කන්ද” කියලත් කියනවා.
හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ රූප කොච්චර පිළිකුල් දේවල්ද කියලා විස්තර කරන්න “ගොම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා.
හෝ, “පවුලේ අය වැන්ද දෙවිවරුන්ගේ පිළිම.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.