දෙවෙනි රාජාවලිය 24:1-20

  • යෙහෝයාකිම් කැරලිගහයි. පස්සේ මැරෙයි (1-7)

  • යෙහෝයාකින් යූදාවල රජ වෙයි (8, 9)

  • බැබිලෝනියට මුලින්ම පිරිසක් ගෙනියයි (10-17)

  • ශෙදකියා යූදාවල රජ වෙයි; එයා කැරලිගහයි (18-20)

24  යෙහෝයාකිම් රජ පාලනය කරපු කාලේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්+ යෙරුසලමට විරුද්ධව ආවා. අවුරුදු තුනක් යෙහෝයාකිම් නෙබුකද්නෙෂර්ට යටත් වෙලා හිටියා. ඒත් ඊටපස්සේ එයා නෙබුකද්නෙෂර්ට විරුද්ධව කැරලිගැහුවා.  කල්දිවරුන්ගෙයි,+ සිරියානුවන්ගෙයි, මෝවබ්වරුන්ගෙයි, අම්මොන්වරුන්ගෙයි කොල්ලකරුවෝ යෙහෝයාකිම්ට විරුද්ධව එන්න පටන්ගත්තා. එහෙම කරන්න එයාලව පෙලඹුවේ යෙහෝවා දෙවියන්. ඔහු යූදා දේශය විනාශ කරන්න එයාලව දිගටම එව්වා. යෙහෝවා ඔහුගේ සේවකයන් වුණ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කියලා තිබුණ දේවල් ඒ විදිහටම ඉටු වුණා.+  ඇත්තටම යූදා දේශයට මේ දේ වුණේ යෙහෝවා ඒක තීන්දු කරලා තිබුණ නිසයි. මනස්සේ කරපු වැරදි නිසා+ යූදා අයින්ම කරලා දාන්න දෙවියන් තීරණය කරලා තිබුණා.+  ඒ විතරක් නෙමෙයි මනස්සේ අහිංසක මිනිස්සු ගොඩක් මරලා දාලා+ මුළු යෙරුසලමම ලේ විලක් කරලා තිබුණා. ඒ නිසා යෙහෝවා සමාව දෙන්න කැමති වුණේ නැහැ.+  යෙහෝයාකිම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+  ඊටපස්සේ යෙහෝයාකිම් මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා.+ එයාට පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයාකින් රජකමට පත් වුණා.  ඊජිප්තුවේ රජ යටත් කරගෙන තිබුණ හැම ප්‍රදේශයක්ම ඒ කියන්නේ ඊජිප්තු නිම්නයේ*+ ඉඳන් යුප්‍රටීස් ගඟ+ වෙන කල් තිබුණ ප්‍රදේශ බැබිලෝනියේ රජ යටත් කරගත්තා. ඒ නිසා ඊජිප්තුවේ රජ ආයේ කවදාවත් එයාගේ හමුදාව ඊජිප්තු දේශ සීමාවෙන් පිටට යැව්වේ නැහැ.+  යෙහෝයාකින්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 18යි. එයා යෙරුසලමේ ඉඳන් මාස තුනක් පාලනය කළා.+ එයාගේ අම්මාගේ නම නෙහෂ්තා. එයා යෙරුසලමේ කෙනෙක් වුණ එල්නාතාන්ගේ දුව.  යෙහෝයාකින් එයාගේ තාත්තා වගේම යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. 10  ඒ කාලේදී බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්ගේ සේවකයන් ඇවිත් යෙරුසලම වැටලුවා.+ 11  එයාලා යෙරුසලම වටලගෙන ඉද්දී බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් එයාලා ළඟට ආවා. 12  ඉතින් යූදාවල රජ වුණ යෙහෝයාකින් එයාගේ අම්මායි, සේවකයනුයි, අධිපතීනුයි, උසස් නිලධාරීනුයි+ එක්ක බැබිලෝනියේ රජ ළඟට ගිහින් එයාට යටත් වුණා.+ බැබිලෝනියේ රජ පාලනය කරපු අටවෙනි අවුරුද්දේදී එයා යෙහෝයාකින්ව වහලෙක් විදිහට අරගෙන ගියා.+ 13  එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ තිබුණ හැම වස්තුවක්ම අරන් ගියා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ සලමොන් යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් හදපු රත්තරන් භාණ්ඩ හැම එකක්ම එයා කෑලිවලට කැපුවා.+ මේ හැම දෙයක්ම යෙහෝවා කියලා තිබුණ විදිහටම වුණා. 14  නෙබුකද්නෙෂර් යෙරුසලමෙන් 10,000දෙනෙක්ව වහලුන් විදිහට අරන් ගියා. අධිපතීන්,+ යුද්දෙට දක්ෂ අය, විවිධ කර්මාන්ත කරපු අය වගේම ලෝහවලින් වැඩ කරපු*+ හැමෝම ඇතුළුව යෙරුසලමේ හිටපු හැමෝවම එයා වහලුන් විදිහට අරන් ගියා. දේශයේ ඉතුරු වුණේ දුප්පත් අය විතරයි.+ 15  නෙබුකද්නෙෂර් යෙහෝයාකින්ව+ වහලෙක් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.+ යෙහෝයාකින් රජගේ අම්මාවත්, එයාගේ භාර්යාවන්වත්, උසස් නිලධාරීන්වත්, දේශයේ හිටපු වංශවත් අයවත් යෙරුසලමේ ඉඳන් බැබිලෝනියට වහලුන් විදිහට අරන් ගියා. 16  ඒ විතරක් නෙමෙයි බැබිලෝනියේ රජ වහලුන් විදිහට යුද්ධයට දක්ෂ පුරුෂයෝ 7,000කුත් විවිධ කර්මාන්ත කරපු අය වගේම ලෝහවලින් වැඩ කරපු* 1,000කුත් අරගෙන ගියා. එයාලා හැමෝම යුද්දෙට හොඳින් පුහුණු කරපු හරිම දක්ෂ අය. 17  බැබිලෝනියේ රජ යෙහෝයාකින්ගේ බාප්පා+ වුණ මත්තනියාව යූදාවල රජ විදිහට පත් කරලා එයාගේ නම ශෙදකියා+ කියලා වෙනස් කළා. 18  ශෙදකියා රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 21යි. එයා යෙරුසලමේ ඉඳලා අවුරුදු 11ක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම හමුතල්.+ එයා ලිබ්නාවල කෙනෙක් වුණ යෙරෙමියාගේ දුව. 19  ශෙදකියා යෙහෝයාකිම් වගේම යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+ 20  යෙරුසලමේ සහ යූදා දේශයේ මේ හැම දෙයක්ම සිද්ධ වුණේ යෙහෝවා එයාලා එක්ක කේන්තියෙන් හිටපු නිසයි. අන්තිමේදී ඔහු එයාලව අයින්ම කරලා දැම්මා.+ ඒ කාලේදී ශෙදකියා බැබිලෝනියේ රජට විරුද්ධව කැරලිගැහුවා.+

පාදසටහන්

හෝ සමහරවිට, “පවුරු හදපු.”
හෝ සමහරවිට, “පවුරු හදපු.”