දෙවෙනි රාජාවලිය 25:1-30

  • නෙබුකද්නෙෂර් යෙරුසලම වටලයි (1-7)

  • යෙරුසලමයි, දේවමාලිගාවයි විනාශ කරයි; දෙවෙනි පාරටත් පිරිසක්ව ගෙනියයි (8-21)

  • සෙනඟව බලාගන්න ගෙදලියාව පත් කරයි (22-24)

  • ගෙදලියාව මරයි. සෙනඟ ඊජිප්තුවට පලා යයි (25, 26)

  • බැබිලෝනියේදී යෙහෝයාකින්ව නිදහස් කරයි (27-30)

25  ශෙදකියා පාලනය කරපු නමවෙනි අවුරුද්දේ දහවෙනි මාසේ දහවෙනිදා බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්+ එයාගේ මුළු හමුදාවත් එක්ක යෙරුසලමට විරුද්ධව සටන් කරන්න ආවා.+ එයා යෙරුසලමට විරුද්ධව සටන් කරන්න කඳවුරු බැඳගෙන නගරය වටලන්න ඒක වටේට පවුරක් ගොඩනැඟුවා.+  ශෙදකියා පාලනය කරපු 11වෙනි අවුරුද්ද වෙන කල්ම බැබිලෝනියේ හමුදාව යෙරුසලම වටලගෙන හිටියා.  හතරවෙනි මාසේ නමවෙනිදා වෙද්දී සාගතය කොච්චර දරුණු වුණාද+ කියනවා නම් දේශයේ හිටපු මිනිස්සුන්ට කන්න කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.+  කල්දිවරු නගරයේ පවුර කඩාගෙන ඇතුළට ආවා.+ ඒකට කලින් එදා රෑම නගරයේ හිටපු සෙබළු හැමෝම රජගේ උයන ළඟ, තාප්ප දෙක අතරේ තිබුණ දොරටුවෙන් පැනලා ගියා. ඒ වෙද්දී කල්දිවරු නගරය වටලගෙනයි හිටියේ. ශෙදකියා රජත් අරබා නිම්නයට යන පාරෙන් පැනලා ගියා.+  ඒත් කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියා පස්සේ එළවගෙන ගිහිල්ලා යෙරිකෝවට කිට්ටුවෙන් තියෙන පාළුකරයේදී එයාව අල්ලගත්තා. ශෙදකියාගේ හමුදාව එයාව අත්හැරලා දාලා ඒ මේ අත දිව්වා.  කල්දිවරුන්ගේ හමුදාව ශෙදකියාව අල්ලගෙන+ රිබ්ලාවල හිටපු බැබිලෝනියේ රජ ළඟට එයාව අරගෙන ගියා. එහෙදී එයාට දෙන්න ඕනෙ දඬුවම තීරණය කළා.  එයාලා ශෙදකියා ඉස්සරහම එයාගේ පුතාලව මරලා දැම්මා. ඊටපස්සේ නෙබුකද්නෙෂර් ශෙදකියාගේ ඇස් අන්ධ කරලා එයාට තඹ විලංගු දාලා එයාව බැබිලෝනියට අරන් ගියා.+  පස්වෙනි මාසේ හත්වෙනිදා ඒ කියන්නේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් පාලනය කරපු 19වෙනි අවුරුද්දේ බැබිලෝනියේ රජගේ සේවකයෙක් සහ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ යෙරුසලමට ආවා.+  එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයයි,+ රජමාලිගාවයි,+ යෙරුසලමේ තිබුණ හැම ගෙයක්මයි,+ ප්‍රසිද්ධ හැමෝගෙම ගෙවලුයි ගිනි තියලා විනාශ කළා.+ 10  ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා එක්ක හිටපු කල්දිවරුන්ගේ මුළු හමුදාවම එකතු වෙලා යෙරුසලම වටේ තිබුණ පවුර සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා.+ 11  නගරයේ ඉතුරු වෙලා හිටපු හැමෝවමයි, බැබිලෝනියේ රජට යටත් වුණ අයවයි, දේශයේ ඉතුරු වෙලා හිටපු අනිත් හැමෝවමයි ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් වහලුන් විදිහට අරන් ගියා.+ 12  ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා දේශයේ හිටපු දුප්පත්ම මිනිස්සුන්ගෙන් සමහරදෙනෙක්ව දේශයේ නවත්තලා ගියා. එයා එයාලට අණ කළා මිදිවතුවලයි, කෙත්වතුවලයි වැඩ කරන්න කියලා.+ 13  කල්දිවරු යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ තඹ කුලුනුයි,+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ කරත්තයි,+ මුහුද+ කියලා හඳුන්වපු ලොකු තඹ භාජනෙයි කෑලිවලට කපලා ඒවාවල තිබුණ තඹ බැබිලෝනියට අරන් ගියා.+ 14  අළු දාන්න තිබුණ භාජන, පහන් තිර නිවලා දාන්න පාවිච්චි කරපු උපකරණ, සවල්, කුසලාන සහ ගෘහයේ පාවිච්චි කරන්න තිබුණ අනිත් හැම තඹ භාජනයක්මත් එයාලා අරන් ගියා. 15  ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා පිරිසිදු රත්තරන්වලිනුයි,+ රිදීවලිනුයි+ හදලා තිබුණ ගිනි අඟුරු දාන භාජන සහ බඳුනුත් අරගෙන ගියා. 16  යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් සලමොන් හදපු කුලුනු දෙකෙයි, මුහුද කියලා හඳුන්වපු ලොකු භාජනෙයි, කරත්තවලයි මනින්න බැරි තරම් තඹ ප්‍රමාණයක් තිබුණා.+ 17  ඒ එක කුලුනක උස රියන්* 18යි.+ කුලුන මුදුනේ තිබුණ වැඩ දාපු කොටස තඹවලින් හදලා තිබුණා. ඒ කොටසේ උස රියන් තුනයි. ඒ කොටස සරසපු දැල සහ ඒකේ තිබුණ දෙළුම් ගෙඩිත් තඹවලින් හදලා තිබුණා.+ අනිත් කුලුනත් හදලා තිබුණේ ඒ විදිහටමයි. 18  ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා නායක පූජක සෙරායාවත්+ එයාගේ උදව්වට හිටපු පූජක ශෙපනියාවත්+ දොරටු පාලකයන් තුන්දෙනාවත් අරන් ගියා.+ 19  සෙබළුන්ට අණ දුන්න රජගේ නිලධාරියෙක්වත්, රජට කිට්ටුවෙන් හිටපු පස්දෙනෙක්වත් නගරයේදී එයා අල්ලගත්තා. හමුදාවට සෙනඟව බඳවගත්ත හමුදාපතිගේ ලේකම්වත් නගරයේ ඉතුරු වෙලා හිටපු සාමාන්‍ය මිනිස්සු 60දෙනෙක්වත් එයා අල්ලගත්තා. 20  ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන්+ එයාලව රිබ්ලාවල හිටපු බැබිලෝනියේ රජ ළඟට අරගෙන ගියා.+ 21  බැබිලෝනියේ රජ එයාලව හමාත් දේශයේ+ රිබ්ලාවලදී මරලා දැම්මා. ඒ විදිහට යූදාවල මිනිස්සුන්ව එයාලාගේ දේශයෙන් අයින්ම කරලා දැම්මා.+ 22  බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර් යූදා දේශයේ නතර කරලා ගිය සෙනඟගේ+ වැඩ බලන්න ගෙදලියාව+ පත් කළා. ගෙදලියා කියන්නේ ෂාපාන්ගේ+ පුතා වුණ අහිකාම්ගේ+ පුතා. 23  බැබිලෝනියේ රජ ගෙදලියාව පත් කළා කියලා හමුදාපතීන්ටයි, එයාලාගේ සෙබළුන්ටයි ආරංචි වුණ ගමන්ම එයාලා මිෂ්පාවල හිටපු ගෙදලියාව හම්බ වෙන්න ගියා. නෙතනියාගේ පුතා වුණ ඉෂ්මායෙල්, කාරියාගේ පුතා වුණ යෝහානාන්, නෙටොෆාවල කෙනෙක් වුණ තන්හුමෙත්ගේ පුතා සෙරායා, මයකාවල කෙනෙක්ගේ පුතෙක් වුණ යයෂනියා සහ එයාලාගේ සෙබළු තමයි ගෙදලියාව හම්බ වෙන්න ගියේ.+ 24  එතකොට ගෙදලියා එයාලයි, එයාලාගේ සෙබළුයි ඉස්සරහා දිවුරලා මෙහෙම කිව්වා. “කල්දිවරුන්ට සේවය කරන්න බය වෙන්න එපා. මේ දේශයේ ඉඳන් බැබිලෝනියේ රජට සේවය කරන්න. ඔයාලා එහෙම කළොත් ඔයාලට කිසි කරදරයක් වෙන්නේ නැහැ.”+ 25  හත්වෙනි මාසේදී ඉෂ්මායෙල්+ තව මිනිස්සු දහදෙනෙක් එක්ක ඇවිල්ලා ගෙදලියාට පහර දීලා එයාව මරලා දැම්මා. ගෙදලියා එක්ක මිෂ්පාවල හිටපු යුදෙව්වන්වත් කල්දිවරුන්වත් එයාලා මරලා දැම්මා.+ ඉෂ්මායෙල් කියන්නේ රජ පවුලට අයිති කෙනෙක්. එයා එලිෂාමාගේ පුතා වුණ නෙතනියාගේ පුතා. 26  ඒ සිද්ධියෙන් පස්සේ හමුදාපතීන් ඇතුළුව ලොකු කුඩා හැම කෙනෙක්ම ඊජිප්තුවට ගියා.+ මොකද එයාලට කල්දිවරුන් ගැන ලොකු බයක් ඇති වුණා.+ 27  යූදාවල රජකම් කරපු යෙහෝයාකින්+ බැබිලෝනියේ වහලෙක් විදිහට හිටපු 37වෙනි අවුරුද්දේ 12වෙනි මාසේ 27වෙනිදා බැබිලෝනියේ රජ වුණ එවිල්මෙරොදක් යෙහෝයාකින්ව හිරෙන් නිදහස් කළා.+ ඒ අවුරුද්දේ තමයි එවිල්මෙරොදක් රජකමට පත් වුණේ. 28  එවිල්මෙරොදක් යෙහෝයාකින්ට කරුණාව පෙන්නලා බැබිලෝනියේ හිරකරුවන් විදිහට හිටපු අනිත් රජවරුන්ට වඩා එයාට ගෞරවයෙන් සැලකුවා. 29  ඉතින් යෙහෝයාකින් හිරකරුවෙක් විදිහට ඇඳන් හිටපු ඇඳුම් අයින් කරලා අලුත් ඇඳුම් ඇන්දා. එදා ඉඳන් එයා කෑම කෑවේ රජගේ මේසයෙන්. එයා මැරෙන කල්ම ඒ අවස්ථාව එයාට ලැබුණා. 30  එයා ජීවත් වුණ හැම දවසකම රජගේ කෑමවලින් පංගුවක් එයාට ලැබුණා.

පාදසටහන්

රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). උප. B14 බලන්න.