දෙවෙනි රාජාවලිය 7:1-20
7 එතකොට එලිෂා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියන දේට ඇහුම්කන් දෙන්න. ‘හෙට මේ වෙලාව වෙද්දී සමාරියේ දොරටුව* ළඟ සිහින්ව කොටාගත්ත පිටි සෙයා මිනුමක්* ෂෙකෙලයකට* විකිණෙයි. බාර්ලි සෙයා මිනුම් දෙකක් ෂෙකෙලයකට ගන්න පුළුවන් වෙයි’ කියලා යෙහෝවා කියනවා.”+
2 එතකොට රජගේ විශ්වාසවන්තම හමුදා නිලධාරියා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් අහසේ කවුළු ඇරලා ධාන්‍ය වැටෙන්න සැලැස්සුවත් ඒක* නම් වෙයි කියලා හිතන්න බැහැ.”+ ඒකට එලිෂා මෙහෙම උත්තර දුන්නා. “ඒක වෙන විදිහ ඔයා ඔයාගේ ඇස් දෙකෙන්ම දකිනවා.+ ඒත් ඒවා කන්න නම් ඔයාට ලැබෙන්නේ නැහැ.”+
3 ඔය අතරේ නගරයේ දොරටුව ළඟ හිටපු ලාදුරු රෝගීන් හතරදෙනෙක්+ මෙහෙම කතා වුණා. “ඇයි අපි මැරිලා යන කල් මෙතනට වෙලා බලාගෙන ඉන්නේ?
4 සාගතයක් තියෙන නිසා+ නගරේ ඇතුළට ගියත් අපි මැරෙනවා. මෙතනට වෙලා හිටියත් අපි මැරෙනවා. ඉතින් දැන් අපි සිරියානුවන්ගේ කඳවුරට යමු. එයාලා අපිව මැරුවේ නැත්තං හොඳයි. මැරුවත් ඉතින් කරන්න දෙයක් නෑ.”
5 හවස අඳුර වැටුණාට පස්සේ එයාලා සිරියානු හමුදාවේ කඳවුර පැත්තට ගියා. එයාලා කඳවුරේ සීමාවටම ආවත් කිසිම කෙනෙක් පේන්න හිටියේ නැහැ.
6 මොකද යෙහෝවා දෙවියන් අශ්වයන් සහ යුධ රථ එක්ක ලොකු හමුදාවක් එන සද්දේ සිරියානු සෙබළුන්ට ඇහෙන්න සලස්වලා තිබුණා.+ ඉතින් එයාලා මෙහෙම කතා වුණා. “ඔය එන්නේ හිත්තීවරුන්ගෙයි, ඊජිප්තුවරුන්ගෙයි රජවරු. ඊශ්‍රායෙල්වල රජ අපිත් එක්ක සටන් කරන්න එයාලව කුලියට අරන් වගේ.”
7 එයාලා ඒ වෙලාවෙම කඳවුරෙන් පැනලා ගියා. එයාලා එයාලාගේ කූඩාරම්, අශ්වයන්, බූරුවන් ඔක්කොම එහෙම්මම අත්හැරලා දාලා කළුවරේම පණ කඩාගෙන දිව්වා.
8 ලාදුරු රෝගීන් සිරියානු කඳවුරේ සීමාවට ආවාට පස්සේ එක කූඩාරමකට ඇතුල් වෙලා ඒකේ තිබුණ කෑම බීම කන්න බොන්න පටන්ගත්තා. ඒකේ තිබුණ රත්තරන්, රිදී සහ ඇඳුම් එයාලා අරන් ගිහින් හැංගුවා. ඊටපස්සේ එයාලා ආපහු ඇවිත් තවත් කූඩාරමක් ඇතුළට ගිහින් ඒකේ තිබුණ දේවලුත් අරන් ගිහින් හැංගුවා.
9 අන්තිමේදී එයාලා මෙහෙම කතා වුණා. “අපි කරන මේ වැඩේ හරි නෑ. මේක සතුටු වෙන්න පුළුවන් දවසක්! අපි ගිහිල්ලා මේ ගැන අනිත් අයටත් කියමු. උදේ වෙන කල් මේ ගැන කියන්නේ නැතුව හිටියොත් අපි ලොකු කරදරේක වැටෙයි. දැන්මම ගිහිල්ලා මේ ගැන රජමාලිගාවට කියමු.”
10 ඉතින් එයාලා ගිහින් නගරයේ දොරටු පාලකයන්ට කෑගහලා මෙහෙම කිව්වා. “අපි සිරියානුවන්ගේ කඳවුරට ගියා. එහේ කවුරුත් නෑ. කටහඬක්වත් අපිට ඇහුණේ නැහැ. කඳවුරේ හිටියේ ගැටගහපු අශ්වයනුයි, බූරුවනුයි විතරයි. කූඩාරම්වල බඩු මුට්ටුත් එහෙම්මම තියෙනවා.”
11 ඒ වෙලාවෙම දොරටු පාලකයෝ කෑගහලා රජමාලිගාවේ හිටපු අයට ඒ ගැන දැනුම් දුන්නා.
12 එතකොටම නිදාගෙන හිටපු රජ ඇහැරිලා එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “සිරියානුවන් කරන්න හිතාගෙන ඉන්න දේ මං කියන්නම්. එයාලා හොඳටම දන්නවා අපි ඉන්නේ බඩගින්නේ කියලා.+ ඉතින් එයාලා කඳවුරේ තියෙන දේවල් එහෙම්මම තියලා කැලේට ගිහින් හැංගිලා බලාගෙන ඉන්නවා ඇති. එයාලා හිතන්නේ අපි නගරෙන් එළියට ආවාම අපිව අල්ලගෙන නගරෙට ඇතුල් වෙන්න පුළුවන් කියලා.”+
13 එතකොට රජගේ එක සේවකයෙක් මෙහෙම කිව්වා. “අනේ, අපි මිනිස්සු කීපදෙනෙක්ව නගරේ ඉතුරු වෙලා ඉන්න අශ්වයන් පස්දෙනෙක් එක්ක එහෙට යවමු. එයාලා එහෙට ගියා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ. මෙහේ හිටියත් එහෙට ගියත් කොහොමත් මැරෙනවා. මේ වෙද්දී ඊශ්‍රායෙල්වල කොච්චර නම් මිනිස්සු මැරුණාද! නගරේ ඉන්න අපි හැමෝටම වෙන්නෙත් හෙට අනිද්දා මැරෙන්න වෙන එකයි. ඒ හින්දා ඔන්න ඔහේ එයාලව යවලා බලමු.”
14 ඉතින් එයාලා අශ්වයනුත් එක්ක අශ්ව රථ දෙකක් ලෑස්ති කළා. “ගිහින් බලලා එන්න” කියලා රජ එයාලව සිරියානු කඳවුරට පිටත් කරලා යැව්වා.
15 එයාලා සිරියානු හමුදාව හොයාගෙන යොර්දාන් ගඟ වෙන කල්ම ගියා. සිරියානු හමුදාව කලබල වෙලා පැනලා දුවද්දී එයාලා දාලා ගිය ඇඳුම් සහ උපකරණ මඟ හැම තැනම තිබුණා. ඉතින් ඒ මිනිස්සු ආපහු ඇවිත් රජට ඒ ගැන දැනුම් දුන්නා.
16 ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟ සිරියානුවන්ගේ කඳවුරට ගිහින් ඒකේ තිබුණ දේවල් කොල්ල කෑවා. ඉතින් යෙහෝවා කියපු විදිහටම+ සිහින්ව කොටාගත්ත පිටි සෙයා මිනුමක් ෂෙකෙලයකටත් බාර්ලි සෙයා මිනුම් දෙකක් ෂෙකෙලයකටත් ගන්න පුළුවන් වුණා.
17 ඒ වෙලාවේ රජ එයාගේ විශ්වාසවන්තම හමුදා නිලධාරියාව තමයි නගරයේ දොරටුව මුර කරන්න පත් කරලා තිබුණේ. ඒත් සෙනඟ එතනින් කඩාගෙන බිඳගෙන දුවද්දී එයා පෑගිලා මැරුණා. රජ සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුව හම්බ වෙන්න ආපු වෙලාවේ එයා රජට කියපු දේ ඒ විදිහටම ඉටු වුණා.
18 සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු රජට මෙහෙම කියලා තිබුණා. “හෙට මේ වෙලාවට සමාරියේ දොරටුව ළඟ බාර්ලි සෙයා මිනුම් දෙකක් ෂෙකෙලයකට විකිණෙයි. සිහින්ව කොටාගත්ත පිටි සෙයා මිනුමක් ෂෙකෙලයකට ගන්න පුළුවන් වෙයි.” ඒක ඒ විදිහටම ඉටු වුණා.+
19 ඒත් හමුදා නිලධාරියා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුට මෙහෙම කියලා තිබුණා. “යෙහෝවා දෙවියන් අහසේ කවුළු ඇරලා ධාන්‍ය වැටෙන්න සැලැස්සුවත් ඒ වගේ දෙයක් නම් වෙයි කියලා හිතන්න බැහැ.” ඒකට එලිෂා මෙහෙම උත්තර දීලා තිබුණා. “ඒක වෙන විදිහ ඔයා ඔයාගේ ඇස් දෙකෙන්ම දකිනවා. ඒත් ඒවා කන්න නම් ඔයාට ලැබෙන්නේ නැහැ.”
20 ඒ නිලධාරියාට වුණෙත් ඒකම තමයි. මොකද සෙනඟ දොරටුව ළඟින් කඩාගෙන බිඳගෙන දුවද්දී එයා පෑගිලා මැරුණා.