දෙවෙනි රාජාවලිය 8:1-29

  • ෂුනෙම් ජාතික කාන්තාවගේ ඉඩම ආපහු ලැබෙයි (1-6)

  • එලිෂා, බෙන්හාදද් සහ හසායෙල් (7-15)

  • යෙහෝරම් යූදාවල රජ වෙයි (16-24)

  • අහසියා යූදාවල රජ වෙයි (25-29)

8  දවසක් එලිෂා එයා ආපහු ජීවත් කරවපු දරුවාගේ+ අම්මාට කතා කරලා මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන් කියලා තියෙනවා මේ දේශයට සාගතයක් එනවා කියලා.+ ඒක අවුරුදු හතක් පුරා තියෙයි. ඉතින් ඔයා ඔයාගේ පවුලේ අයත් එක්ක වෙන කොහෙට හරි ගිහින් විදේශිකයන් විදිහට ජීවත් වෙන්න.”  ඒ ස්ත්‍රිය සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු කියපු විදිහටම කළා. එයා එයාගේ පවුලේ අයත් එක්ක පිලිස්තිවරුන්ගේ දේශයට+ ගිහින් අවුරුදු හතක් එහේ හිටියා.  අවුරුදු හත ඉවර වුණාම ඒ ස්ත්‍රිය පිලිස්තිවරුන්ගේ දේශයෙන් ආපහු ආවා. ඊටපස්සේ එයාගේ ගේයි, ඉඩමයි ආපහු දෙන්න කියලා රජගෙන් ඉල්ලන්න එයා රජ ළඟට ගියා.  ඒ වෙලාවේ රජ සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුගේ සේවකයා වුණ ගෙහාසී එක්ක කතා කරකරයි හිටියේ. රජ ගෙහාසීගෙන් මෙහෙම ඇහුවා. “මොනවාද එලිෂා කරපු පුදුම දේවල්? අනේ, ඒ හැම එකක් ගැනම මට කියන්න.”+  එලිෂා මැරුණ දරුවෙක්ව ආයෙත් ජීවත් කරවපු විදිහ+ ගැන ගෙහාසී විස්තර කරකර ඉද්දීම ඒ දරුවාගේ අම්මා එතනට ආවා. ඒ ස්ත්‍රිය එතනට ආවේ එයාගේ ගේයි, ඉඩමයි ආපහු දෙන්න කියලා+ රජගෙන් ඉල්ලන්න. එතකොට ගෙහාසී “මගේ ස්වාමීනි, රජතුමනි, මෙයා ගැන තමයි මං කියකිය හිටියේ. මේ ඉන්නේ එලිෂා ආපහු ජීවත් කරවපු දරුවා” කියලා කිව්වා.  එතකොට රජ වෙච්ච හැම දෙයක් ගැනම ඒ ස්ත්‍රියගෙන් ඇහුවා. එයා මුළු විස්තරේම රජට කිව්වා. ඊටපස්සේ රජ ඒ ස්ත්‍රියට උදව් කරන්න නිලධාරියෙක්ව පත් කරලා එයාට මෙහෙම කිව්වා. “මේ ස්ත්‍රියට අයිති හැම දෙයක්ම එයාට ආපහු දෙන්න. මෙයා මෙහේ හිටපු නැති කාලේ එයාගේ ඉඩමෙන් ලැබුණ අස්වැන්නේ වටිනාකමත් එයාට දෙන්න.”  සිරියාවේ රජ වුණ බෙන්හාදද්+ අසනීප වෙලා හිටපු කාලේ එලිෂා දමස්කයට+ ආවා. ඉතින් “සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු+ මෙහෙට ඇවිත් ඉන්නවා” කියලා රජට දැනුම් දුන්නා.  ඒක අහලා රජ හසායෙල්ට+ කතා කරලා මෙහෙම කිව්වා. “තෑග්ගක් අරන් සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුව+ හම්බ වෙන්න යන්න. එයාට කියන්න ‘මගේ අසනීපේ හොඳ වෙයිද’ කියලා යෙහෝවා දෙවියන්ගෙන් අහන්න කියලා.”  හසායෙල් එලිෂාට තෑග්ගක් විදිහට දෙන්න දමස්කයේ තියෙන හොඳම දේවල් ඔටුවන් 40දෙනෙක්ගේ පිටේ පටවගෙන එලිෂාව හම්බ වෙන්න ගියා. එයා එලිෂා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “ඔබව හම්බ වෙන්න මාව එව්වේ ඔබේ සේවකයා* වන සිරියාවේ බෙන්හාදද් රජයි. රජතුමා ඔබෙන් අහන්න කිව්වා එයාගේ අසනීපේ හොඳ වෙයිද කියලා.” 10  එලිෂා එයාට මෙහෙම කිව්වා. “‘ඔයා අනිවාර්යයෙන්ම සනීප වෙනවා’ කියලා රජට ගිහින් කියන්න. ඒත් යෙහෝවා මට හෙළි කරලා තියෙනවා එයා අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා.”+ 11  එහෙම කියලා එලිෂා හසායෙල් දිහා බලාගෙන හිටියා. ඒ නිසා හසායෙල්ට ලොකු අපහසුවක් දැනුණා. ඊටපස්සේ සැබෑ දෙවියන්ගේ පණිවිඩකරු අඬන්න පටන්ගත්තා. 12  එතකොට හසායෙල් “මගේ ස්වාමීනි, ඇයි ඔබ අඬන්නේ” කියලා ඇහුවා. එලිෂා හසායෙල්ට මෙහෙම කිව්වා. “ඔයා ඊශ්‍රායෙල් සෙනඟට කරන්න යන්නේ මොනවාද කියලා මං දන්නවා.+ පවුරුවලින් වට කරපු එයාලාගේ නගරවලට ඔයා ගිනි තියලා එයාලාගේ දක්ෂම සෙබළුන්ව කඩුවෙන් මරලා දානවා. එයාලාගේ ළමයින්ව පොළොවේ ගහලා මරනවා. ගැබිනි ස්ත්‍රීන්ව කපලා දානවා.”+ 13  එතකොට හසායෙල් “ඔබේ සේවකයා වන මං එච්චර වැදගත් කෙනෙක් නෙමෙයි.* ඉතින් මං වගේ කෙනෙක් කොහොමද ඒ වගේ දෙයක් කරන්නේ” කියලා ඇහුවා. ඒත් එලිෂා එයාට මෙහෙම කිව්වා. “ඔයා සිරියාවේ රජ වෙනවා කියලා යෙහෝවා මට හෙළි කළා.”+ 14  ඊටපස්සේ හසායෙල් එලිෂා ළඟින් පිටත් වෙලා එයාගේ ස්වාමියා වන රජ ළඟට ගියා. එතකොට රජ “එලිෂා මොනවාද ඔයාට කිව්වේ” කියලා හසායෙල්ගෙන් ඇහුවා. “රජතුමා අනිවාර්යයෙන්ම සනීප වෙනවා කියලා එයා මට කිව්වා”+ කියලා හසායෙල් කිව්වා. 15  පහුවෙනිදා හසායෙල් ගනකම් රෙද්දක් අරගෙන ඒක වතුරට දාලා පොඟවලා ඒ රෙද්ද රජගේ මූණට තියලා රජ මැරෙන කල්ම ඒක තද කරගෙන හිටියා.+ ඊටපස්සේ හසායෙල් රජ වුණා.+ 16  ආහබ් රජගේ පුතා වුණ යෙහෝරම්+ ඊශ්‍රායෙල්වල රජකම් කරපු පස්වෙනි අවුරුද්දේදී තමයි යෙහෝෂපාට් රජගේ පුතා වුණ යෙහෝරම්+ යූදාවල රජකමට පත් වුණේ. එයා රජකමට පත් වෙද්දී යෙහෝෂපාට් යූදාවල රජකම් කරකරයි හිටියේ. 17  යෙහෝරම් රජකමට පත් වෙද්දී එයාගේ වයස අවුරුදු 32යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු අටක් පාලනය කළා. 18  යෙහෝරම් ආහබ්ගේ පවුලේ අය කළා වගේම+ ඊශ්‍රායෙල්වල රජවරු ගිය පාරේ ගියා.+ මොකද එයා විවාහ වෙලා හිටියේ ආහබ්ගේ දුව එක්ක.+ යෙහෝරම් යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+ 19  ඒත් යෙහෝවා ඔහුගේ සේවකයා වුණ දාවිත් ගැන හිතපු නිසා යූදා රාජ්‍යය විනාශ කරන්න ඔහු කැමති වුණේ නැහැ.+ ඔහු දාවිත්ට පොරොන්දු වෙලා තිබුණා එයාගෙනුයි, එයාගේ පුතාලාගෙනුයි පැවතෙන කෙනෙක් පාලනය කරන්න හැමදාටම ඉන්නවා* කියලා.+ 20  යෙහෝරම් යූදාවල රජකම් කරපු කාලේදී ඒදොම්වරු එයාට විරුද්ධව කැරලිගහලා+ එයාලටම කියලා රජ කෙනෙක්ව පත් කරගත්තා.+ 21  ඉතින් යෙහෝරම් එයාගේ යුධ රථ ඔක්කොමත් අරගෙන ගඟෙන් එගොඩ වෙලා ෂායීර්වලට ගියා. එහෙදී ඒදොම්වරු එයාවයි, එයාගේ යුධ රථ කණ්ඩායම්වලට අණ දෙන නිලධාරීන්වයි වට කළා. ඒත් රෑ යෙහෝරම් එයාලට පහර දීලා එයාලව පරාජය කළා. ඊටපස්සේ සෙබළු* එයාලාගේ කූඩාරම්වලට පලා ගියා. 22  ඒත් ඒදොම්වරු අද වෙන කල්ම යූදාවලට විරුද්ධව කැරලිගහනවා. ඒ කාලේදීම ලිබ්නාවල+ මිනිස්සුත් යූදාවලට විරුද්ධව කැරලිගැහුවා. 23  යෙහෝරම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 24  ඊටපස්සේ යෙහෝරම් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ දාවිත්ගේ නුවරේ තැන්පත් කළා.+ එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ අහසියා+ රජකමට පත් වුණා. 25  ඊශ්‍රායෙල්වල රජකම් කරපු ආහබ්ගේ පුතා වුණ යෙහෝරම් පාලනය කරපු 12වෙනි අවුරුද්දේදී තමයි යූදාවල රජකම් කරපු යෙහෝරම්ගේ පුතා අහසියා රජකමට පත් වුණේ.+ 26  අහසියා රජ වෙද්දී එයාගේ වයස අවුරුදු 22යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුද්දක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම අතලියා.+ අතලියා කියන්නේ ඊශ්‍රායෙල්වල රජකම් කරපු ඔම්රීගේ+ මිනිපිරිය.* 27  අහසියාත් ආහබ්ගේ+ පවුලේ අය ගිය පාරේම ගියා. එයාත් ආහබ්ගේ පවුලේ අය වගේ යෙහෝවා වැරදියි කියලා සලකපු දේවල් දිගටම කළා. මොකද එයා ආහබ්ගේ පවුලේ අයගේ නෑයෙක්.+ 28  ඉතින් එයා ආහබ්ගේ පුතා වුණ යෙහෝරම් එක්ක සිරියාවේ රජ වුණ හසායෙල්ට විරුද්ධව යුද්ධ කරන්න රාමොත්ගිලියද්වලට+ ගියා. එහෙදී සිරියානුවන් යෙහෝරම්ට පහර දීලා එයාට තුවාල කළා.+ 29  සිරියාවේ රජ වුණ හසායෙල් එක්ක+ රාමාවල* කරපු යුද්දේදී තුවාල වුණ යෙහෝරම් එයාගේ තුවාල සනීප කරගන්න ආපහු යෙෂ්‍රෙයෙල්වලට+ ගියා. යූදාවල රජකම් කරපු යෙහෝරම්ගේ පුතා වුණ අහසියා තුවාල වෙලා* හිටපු ආහබ්ගේ පුතා වුණ යෙහෝරම්ව බලන්න යෙෂ්‍රෙයෙල්වලට ගියා.

පාදසටහන්

මූ.අ., “පුතා.”
මූ.අ., “නිකම්ම නිකම් බල්ලෙක්.”
මූ.අ., “හැමදාටම පහනක් තියෙනවා.”
මෙතන කතා කරන්නේ ඒදොම්වරුන්ගේ සෙබළු ගැනද නැත්නම් යූදාවල සෙබළු ගැනද කියලා පැහැදිලි නැහැ.
මූ.අ., “දුව.”
රාමොත්ගිලියද්වලට කියපු කෙටි නමක්.
හෝ, “අසනීපෙන්.”