දෙවෙනි ලේකම් 10:1-19

  • ඊශ්‍රායෙල්වරු රෙහබෝවම්ට විරුද්ධව කැරලිගහයි (1-19)

10  රෙහබෝවම්ව රජකමට පත් කරන්න+ ඊශ්‍රායෙල්වරු හැමෝම ෂීකෙම්වලට+ ආවා. ඒ නිසා රෙහබෝවම් එහෙට ගියා.  ඒ ගැන නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්ට+ ආරංචි වුණාම එයා ඊජිප්තුවේ ඉඳන් ආපහු ආවා. (ඒ වෙද්දී යෙරොබොවම් හිටියේ ඊජිප්තුවේ. මොකද එයා සලමොන් රජගෙන් පැනලා ගිහිල්ලා ජීවත් වුණේ එහේ.)+  සෙනඟ යෙරොබොවම්ට පණිවිඩයක් යවලා එයාව ගෙන්නගත්තා. ඊටපස්සේ යෙරොබොවම් ඊශ්‍රායෙල් සෙනඟත් එක්ක රෙහබෝවම් රජ ළඟට ගිහින් මෙහෙම කිව්වා.  “ඔබේ තාත්තා අපිට දරාගන්න බැරි තරම් බරක්* පැටෙව්වා.+ ඒත් ඔබ ඔබේ තාත්තා වගේ අපෙන් ගොඩක් වැඩ ගන්නේ නැතුව අපේ බර සැහැල්ලු කළොත් අපි ඔබට සේවය කරනවා.”  එතකොට රෙහබෝවම් රජ එයාලට මෙහෙම කිව්වා. “දවස් තුනකින් ආපහු එන්න.” ඉතින් සෙනඟ එතනින් පිටත් වෙලා ගියා.+  රෙහබෝවම් රජ එයාගේ තාත්තා වුණ සලමොන් ළඟ උපදේශකයන් විදිහට සේවය කරපු වැඩිමහල්ලන්ගෙන්* මෙහෙම ඇහුවා. “ඔයාලා මොකද හිතන්නේ? මං මොනවාද මේ සෙනඟට කියන්න ඕනේ?”  එයාලා මෙහෙම උත්තර දුන්නා. “ඔබ මේ සෙනඟට හොඳින් සලකලා එයාලා සතුටු වෙන උත්තරයක් දුන්නොත් එයාලා හැමදාම ඔබට සේවය කරයි.”  ඒත් එයා වැඩිමහල්ලන් දුන්න උපදෙස පිළිගත්තේ නැහැ. ඒ වෙනුවට එයා පොඩි කාලේ ඉඳලා ආශ්‍රය කරපු, දැන් එයාගේ සේවකයන් විදිහට ඉන්න තරුණ අයගෙන් උපදෙස් ගත්තා.+  රජ එයාලාගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලා මොනවාද මේ ගැන හිතන්නේ? ‘ඔබේ තාත්තා අපිට පටවපු බර සැහැල්ලු කරන්න’ කියලා මගෙන් ඉල්ලපු සෙනඟට අපි මොනවාද කියන්නේ?” 10  රජ පොඩි කාලේ ඉඳලා ආශ්‍රය කරපු ඒ තරුණයෝ මෙහෙම කිව්වා. “‘ඔබේ තාත්තා අපිට දරාගන්න බැරි තරම් බරක් පැටෙව්වා. ඒත් ඔබ ඒ බර සැහැල්ලු කරන්න ඕනෙ’ කියලා කියපු සෙනඟට මෙහෙම කියන්න. ‘මං තාත්තාට වඩා ගොඩක් තදින් ඔයාලා එක්ක වැඩ කරනවා.* 11  මගේ තාත්තා දරාගන්න බැරි බරක් ඔයාලට පැටෙව්වා තමයි. හැබැයි මං ඊටත් වඩා ලොකු බරක් ඔයාලට පටවනවා. තාත්තා ඔයාලාගෙන් වැඩ ගත්තේ කසවලින් ගහලා. මං ගහන්නේ කටු අමුණපු කසවලින්.’”* 12  “දවස් තුනකින් එන්න” කියලා රජ කියපු නිසා යෙරොබොවම් සෙනඟත් එක්ක තුන්වෙනි දවසේ රෙහබෝවම් රජව හම්බ වෙන්න ආවා.+ 13  ඒත් රජ සෙනඟට තදින් කතා කළා. ඒ විදිහට රෙහබෝවම් රජ වැඩිමහල්ලන් දීපු උපදෙස ගණන් ගත්තේ නැහැ. 14  තරුණයන් උපදෙස් දුන්න විදිහට එයා සෙනඟට මෙහෙම කිව්වා. “මං ඔයාලාගේ බර තව වැඩි කරනවා. ඔයාලට දරාගන්න බැරි බරක් පටවනවා. තාත්තා ඔයාලාගෙන් වැඩ ගත්තේ කසවලින් ගහලා. මං ඔයාලට ගහන්නේ කටු අමුණපු කසවලින්.” 15  රජ සෙනඟගේ ඉල්ලීමට එකඟ වුණේ නැහැ. ඇත්තටම ඒ වගේ දෙයක් වුණේ සැබෑ දෙවියන් එහෙම වෙන්න සැලැස්සුව නිසයි.+ යෙහෝවා එහෙම කළේ ෂීලෝවලින් ආපු අහියා+ මාර්ගයෙන් නෙබාත්ගේ පුතා වුණ යෙරොබොවම්ට ඔහු කියපු දේ ඉටු කරන්නයි. 16  රජ එයාලාගේ ඉල්ලීම ඉටු කළේ නැති නිසා ඊශ්‍රායෙල් සෙනඟ රජට මෙහෙම කිව්වා. “අපිට දාවිත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. යෙස්සේගේ පුතාගෙන් අපිට ඇති වැඩේ මොකක්ද? එයාලාගේ උරුමය එයාලම තියාගත්තදෙන්! ඊශ්‍රායෙල්වරුනි, දැන් ඔයාලා හැමෝම ඔයාලාගේ දෙවිවරු ළඟට යන්න. දාවිත් එයාගේ පෙළපත බලාගත්තදෙන්!”+ එහෙම කියලා මුළු ඊශ්‍රායෙල් සෙනඟම එයාලාගේ ගෙවල්වලට ගියා.+ 17  ඒත් රෙහබෝවම් යූදා දේශයට අයිති නගරවල හිටපු ඊශ්‍රායෙල්වරුන්ව දිගටම පාලනය කළා.+ 18  දවසක් රෙහබෝවම් රජ, සේවයට බඳවගත්ත අයගේ වැඩ බලන්න පත් කරලා හිටපු හදොරාම්ව+ ඊශ්‍රායෙල් සෙනඟ ළඟට යැව්වා. එයාලා එකතු වෙලා හදොරාම්ට ගල් ගහලා එයාව මැරුවා. ඒත් රෙහබෝවම් රජ කොහොමහරි එයාගේ අශ්ව රථයට නැඟගෙන යෙරුසලමට පැනලා ගියා.+ 19  ඊශ්‍රායෙල්වරු අද වෙන කල් දාවිත්ගේ පෙළපතට විරුද්ධව වැඩ කරනවා.

පාදසටහන්

මූ.අ., “දරාගන්න බැරි වියගහක්.”
හෝ, “වයසින් වැඩි උපදේශකයන්ගෙන්.”
මූ.අ., “මගේ තාත්තාගේ තුනටියට වඩා මගේ පොඩි ඇඟිල්ල මහතයි.”
කසයට අමුණපු කටු නිසා ඒක ගෝනුස්සෙක්ගේ වලිගයට සමාන කරලා තිබුණා.