දෙවෙනි ලේකම් 12:1-16

  • ෂීෂක් යෙරුසලමට පහර දෙයි (1-12)

  • රෙහබෝවම්ගේ පාලනය අවසන් වෙයි (13-16)

12  රෙහබෝවම්ගේ රජකම තහවුරු වෙලා එයා බලවත් වුණ ගමන්ම+ එයායි, එයාත් එක්ක හිටපු මුළු ඊශ්‍රායෙල් සෙනඟයි යෙහෝවා දෙවියන්ගේ නීතිය පිළිපදින එක අත්හැරියා.+  එයාලා ඒ විදිහට යෙහෝවාට අකීකරු වුණ නිසා රෙහබෝවම් පාලනය කරපු පස්වෙනි අවුරුද්දේදී ඊජිප්තුවේ රජ වුණ ෂීෂක්+ යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන්න ආවා.  එයාට යුධ රථ 1,200කුයි, අසරුවන් 60,000කුයි හිටියා. ඊජිප්තුවේ ඉඳන් එයාත් එක්ක ගණන් කරන්න බැරි තරම් විශාල සේනාවකුත් ආවා. ඒ සේනාවට ලිබියන්වරු, සුක්කිවරු සහ ඉතියෝපියානු ජාතිකයන් ඇතුළත් වුණා.+  යූදාවල තිබුණ ආරක්ෂාව වැඩි කරපු නගර අල්ලගත්ත එයා අන්තිමට යෙරුසලම ළඟටම ආවා.  ෂීෂක්ගෙන් එල්ල වුණ තර්ජනය නිසා රෙහබෝවම් රජයි, යූදාවල අධිපතීනුයි යෙරුසලමට එකතු වුණා. අනාගතවක්තෘ ෂෙමායා+ එයාලා ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “යෙහෝවා මෙහෙම කියනවා. ‘ඔයාලා මාව අත්හැරියා. ඒ නිසා මමත් ඔයාලව අත්හරිනවා.+ මම ඔයාලව ෂීෂක්ගේ අතට භාර දෙනවා.’”  ඒක අහලා රජයි, ඊශ්‍රායෙල්වල අධිපතීනුයි පසුතැවිලි වෙලා+ මෙහෙම කිව්වා. “යෙහෝවා ධර්මිෂ්ඨයි.”  එයාලා පසුතැවිලි වුණ විදිහ යෙහෝවා දැක්කා. ඉතින් යෙහෝවාගේ මේ පණිවිඩය ෂෙමායාට ලැබුණා. “එයාලා පසුතැවිලි වුණ විදිහ මං දැක්කා. ඒ නිසා මම එයාලව විනාශ කරන්නේ නැහැ.+ වැඩි කල් යන්න කලින් මං එයාලව බේරගන්නවා. මං මගේ කේන්තිය එයාලට විරුද්ධව පිට කරන්නේ නැහැ. ඒ නිසා යෙරුසලම විනාශ කරන්න මං ෂීෂක්ට ඉඩ දෙන්නේ නැහැ.  ඒත් එයාලා ෂීෂක්ගේ සේවකයෝ වෙනවා. එතකොට වෙනත් දේශවල රජවරුන්ට* සේවය කරනවාට වඩා මට සේවය කරන එක කොච්චර හොඳද කියලා එයාලා තේරුම්ගනියි.”  ඊජිප්තුවේ රජ වුණ ෂීෂක් යෙරුසලමට විරුද්ධව ඇවිත් යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ වටින දේවලුයි,+ රජමාලිගාවේ තිබුණ වටින දේවලුයි පැහැරගත්තා. සලමොන් රජ හදපු රත්තරන් පලිස් ඇතුළුව හැම දෙයක්ම එයා අරගෙන ගියා.+ 10  ඒ නිසා රෙහබෝවම් රජ ඒවා වෙනුවට තඹ පලිස් හදලා ඒවා රජමාලිගාවේ දොරටු මුර කරපු අයගේ ප්‍රධානීන්ට භාර දුන්නා. 11  රජ යෙහෝවාගේ ගෘහයට ආපු හැම වෙලාවකදීම මුරකරුවෝ ඒ පලිස් අරගෙන එයාත් එක්ක ආවා. රජ එතනින් ගියාම එයාලා ආපහු ඒවා මුරකුටිවලින් තිබ්බා. 12  රෙහබෝවම් රජ පසුතැවිලි වුණ නිසා යෙහෝවාගේ කේන්තිය නිවිලා ගියා.+ ඔහු එයාලව සම්පූර්ණයෙන්ම විනාශ කළේ නැහැ.+ ඒ වගේම යූදාවල සෙනඟ කරපු සමහර හොඳ දේවලුත් තිබුණා.+ 13  රෙහබෝවම් රජ යෙරුසලමේ එයාගේ බලය තව තවත් තහවුරු කරගෙන දිගටම පාලනය කළා. එයා රජ වෙද්දී එයාගේ වයස අවුරුදු 41යි. ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති නගරවලින් යෙහෝවා දෙවියන් ඔහුගේ නම දරන්න තෝරගත්ත නගරය වන යෙරුසලමේ ඉඳන් එයා අවුරුදු 17ක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම නයමා. එයා අම්මොන් ජාතික ස්ත්‍රියක්.+ 14  රෙහබෝවම් යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් ලබාගන්න හදවතින්ම අදිටන් කරගෙන හිටියේ නැති නිසා එයා වැරදි දේවල් කළා.+ 15  රෙහබෝවම්ගේ ඉතිහාසය ගැන විස්තර මුල ඉඳන් අග වෙන කල් අනාගතවක්තෘ ෂෙමායා+ සහ අනාගතවක්තෘ ඉද්දෝගේ වචන ඇතුළත් පෙළපත් වාර්තාවල+ සඳහන් වෙනවා. රෙහබෝවම් සහ යෙරොබොවම්+ අතර නිතරම යුද්ධ ඇති වුණා. 16  අන්තිමේදී රෙහබෝවම් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ දාවිත්ගේ නුවරේ.+ රෙහබෝවම්ගෙන් පස්සේ එයාගේ පුතා වුණ අබියා+ රජකමට පත් වුණා.

පාදසටහන්

මූ.අ., “රාජ්‍යයන්වලට.”