දෙවෙනි ලේකම් 13:1-22

  • අබියා යූදාවල රජ වෙයි (1-22)

    • අබියා යෙරොබොවම්ව පරාජය කරයි (3-20)

13  යෙරොබොවම් රජකම් කරපු 18වෙනි අවුරුද්දේ අබියා යූදාවල රජ වුණා.+  එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු තුනක් රජකම් කළා. එයාගේ අම්මාගේ නම මිකායා.+ එයා ගිබෙයාවල+ කෙනෙක් වුණ උරියෙල්ගේ දුව. අබියා සහ යෙරොබොවම්+ අතරේ යුද්ධ ඇති වුණා.  ඉතින් අබියා යුද්දෙට දක්ෂ, හොඳට පුහුණු කරපු සෙබළු හාරලක්ෂයක් එක්ක යුද්දෙට ගියා.+ යෙරොබොවම් රජත් යුද්දෙට දක්ෂ, හොඳට පුහුණු කරපු සෙබළු අටලක්ෂයක් එක්ක සටන් කරන්න පෙළ ගැහිලා හිටියා.  එෆ්‍රායිම් කඳුකරයේ තියෙන ෂෙමරායිම් කන්දේ ඉඳන් අබියා මෙහෙම කිව්වා. “මං මේ කතා කරන්නේ යෙරොබොවම්ටයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟටයි. මට ඇහුම්කන් දෙන්න.  ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඊශ්‍රායෙල්වල රාජ්‍යය සදහටම දාවිත්ට දුන්නා කියලා ඔයාලා දන්නේ නැද්ද?+ ඒ රාජ්‍යය දාවිත්ටයි, එයාගේ පුතාලටයි ඔහු දුන්නා.+ ඔහු ඒක දුන්නේ ලුණු මාර්ගයෙන් ස්ථිර ගිවිසුමක්*+ ඇති කරගෙනයි.  ඒත් දාවිත්ගේ පුත් සලමොන්ගේ සේවකයෙක් වුණ නෙබාත්ගේ පුතා යෙරොබොවම්+ එයාගේ ස්වාමියාට විරුද්ධව කැරලිගැහුවා.+  ඔය අතරේ කිසි වැඩකට නැති මිනිස්සු කට්ටියකුත් එයාට එකතු වෙන්න පටන්ගත්තා. එයාලා සලමොන්ගේ පුතා වුණ රෙහබෝවම්ට විරුද්ධව ගහපු කැරැල්ල සාර්ථක වුණා. ඒ වෙනකොට රෙහබෝවම් තරුණයි. එයාට ඒ තරම් නිර්භීතකමක් තිබුණෙත් නෑ. ඒ හින්දා එයාලට විරුද්ධව කිසිම දෙයක් කරන්න එයාට පුළුවන් වුණේ නැහැ.  “ඔයාලා එක්ක ලොකු සෙනඟකුයි, දෙවිවරුන් විදිහට යෙරොබොවම් හදපු රන් වස්සන් දෙන්නායි ඉන්න නිසා ඔයාලා හිතාගෙන ඉන්නේ දාවිත්ගේ පුතාලාගේ අතේ තියෙන යෙහෝවාගේ පාලනයට විරුද්ධව සටන් කරන්න පුළුවන් කියලයි.+  ආරොන්ගෙන් පැවතෙන යෙහෝවාගේ පූජකයන්ව ඔයාලා පන්නලා දැම්මේ නැද්ද?+ ලෙවීවරුන්වත් පන්නලා දාලා වෙනත් ජාතීන් කරනවා වගේ ඔයාලට කැමති අයව පූජකයන් විදිහට ඔයාලා පත් කරගත්තේ නැද්ද?+ වස්සෙක්වයි, බැටළුවන් හත්දෙනෙක්වයි අරගෙන එන ඕනෙම කෙනෙක්ව ඔයාලා මේ කිසි වැඩකට නැති දෙවිවරුන්ගේ පූජකයෙක් විදිහට පත් කළා. 10  ඒත් අපි යෙහෝවාව අත්හැරියේ නැහැ. ඔහු තමයි අපේ දෙවියන්.+ අපේ පූජකයන් ආරොන්ගෙන් පැවතෙන අය. එයාලා තමයි යෙහෝවා ඉස්සරහා සේවය කරන්නේ. ලෙවීවරුනුත් එයාලාගේ සහයට ඉන්නවා. 11  එයාලා හැමදාම උදේ හවස+ යෙහෝවාට දවන පූජායි, සුවඳ ද්‍රව්‍යයි+ ඔප්පු කරනවා. පවිත්‍ර රත්තරන්වලින් හදපු මේස උඩ දෙවියන්ට පූජා කරන රොටි තියනවා.+ හැමදාම හවසට+ රත්තරන් පහන් රුක+ උඩ තියෙන පහන් එයාලා දල්වනවා. ඒ විදිහට අපි අපේ දෙවි යෙහෝවා ඉස්සරහා අපිට තියෙන වගකීම ඉටු කරනවා. ඒත් ඔයාලා ඔහුව අත්හැරියා. 12  සැබෑ දෙවියන් අපිත් එක්ක ඉන්නවා. ඔහු තමයි අපිට මඟ පෙන්නන්නේ. ඔහුගේ පූජකයනුත් අපිත් එක්ක ඉන්නවා. එයාලා හොරණෑ පිඹලා ඔයාලට විරුද්ධව යුද්ධ කරන්න සංඥා දෙන්න ලෑස්ති පිට ඉන්නවා. ඉතින් ඊශ්‍රායෙල්වරුනි, ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට විරුද්ධව සටන් කරන්න එපා. මොකද ඔයාලා අනිවාර්යයෙන්ම පරදිනවා.”+ 13  ඒත් යෙරොබොවම් යූදාවල හමුදාවට පිටිපස්සෙන් ගිහින් පහර දෙන්න සෙබළු කට්ටියක්ව රහසින් යැව්වා. ඉතින් යෙරොබොවම්ගේ හමුදාව, යූදාවල හමුදාවට ඉස්සරහින් හිටියා වගේම හැංගිලා ඉන්න එයා යවපු කට්ටිය පිටිපස්සෙන් හිටියා. 14  යූදාවල සෙබළුන්ට විරුද්ධව සටන් කරන්න ඉස්සරහින් විතරක් නෙමෙයි පිටිපස්සෙනුත් පිරිසක් එනවා කියලා එයාලා දැක්කාම එයාලා යෙහෝවාට කන්නලව් කරන්න පටන්ගත්තා.+ ඒ වෙලාවේ පූජකයන් හරිම සද්දෙන් හොරණෑ පිම්බා. 15  යූදාවල සෙබළු හැමෝම එක හඬින් මහ හයියෙන් කෑගහන්න පටන්ගත්තා. එතකොට සැබෑ දෙවියන් අබියා සහ යූදාවල සෙබළු ඉස්සරහා යෙරොබොවම්වයි, මුළු ඊශ්‍රායෙල් සේනාවයි පරාජය කළා. 16  ඉතින් ඊශ්‍රායෙල් හමුදාවේ අය පැනලා දුවන්න පටන්ගත්තා. දෙවියන් එයාලව යූදාවල හමුදාව අතට අහු කරලා දුන්නා. 17  අබියායි, එයාගේ හමුදාවයි ඊශ්‍රායෙල් හමුදාවේ ගොඩක් අයව මරලා දැම්මා. ඊශ්‍රායෙල් හමුදාවේ හිටපු යුද්දෙට හොඳට පුහුණු වුණ පුරුෂයෝ ලක්ෂ පහක් එයාලා මරලා දැම්මා. 18  ඊශ්‍රායෙල්වරුන්ට අත් වුණේ අන්ත පරාජයක්. ඒත් යූදාවල හමුදාව එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ගැන විශ්වාසය තිබ්බ නිසා එයාලා ඒ සටන ජය ගත්තා.+ 19  අබියා යෙරොබොවම් පස්සේ පන්නගෙන ගිහින් එයා යටතේ තිබුණ සමහරක් නගර අල්ලගත්තා. බෙතෙල්+ සහ ඒ අවට තිබුණ කුඩා නගර, යෙෂානා සහ ඒ අවට තිබුණ කුඩා නගර, එෆ්‍රායින්+ සහ ඒ අවට තිබුණ කුඩා නගර එයා අල්ලගත්තා. 20  අබියා පාලනය කරපු කාලේදී කලින් තරම් බලයක් ආයේ යෙරොබොවම්ට ලැබුණේ නැහැ. ඊටපස්සේ යෙහෝවා දෙවියන් යෙරොබොවම්ට පහර දුන්නා. ඒ නිසා එයා මැරුණා.+ 21  ඒත් අබියා එයාගේ බලය තව තවත් තහවුරු කරගත්තා. ඊටපස්සේ එයා භාර්යාවන් 14දෙනෙක්ව විවාහ කරගත්තා.+ අබියාගෙන් එයාලට පුතාලා 22දෙනෙකුයි, දුවලා 16දෙනෙකුයි ඉපදුණා. 22  අබියා ගැන අනිත් විස්තර ඒ කියන්නේ එයා කියපු කරපු දේවල් ගැන විස්තර අනාගතවක්තෘ ඉද්දෝගේ ලේඛනවල සඳහන් වෙනවා.+

පාදසටහන්

ඒ කියන්නේ ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැති ගිවිසුමක්.