දෙවෙනි ලේකම් 14:1-15

  • අබියාගේ මරණය (1)

  • ආසා යූදාවල රජ වෙයි (2-8)

  • ආසා ලක්ෂ දහයක ඉතියෝපියානු හමුදාව පරාජය කරයි (9-15)

14  ඊටපස්සේ අබියා රජ මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ දාවිත්ගේ නුවරේ+ තැන්පත් කළා. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ ආසා රජකමට පත් වුණා. එයා පාලනය කරපු මුල් අවුරුදු දහය පුරාම දේශයේ සාමකාමී වාතාවරණයක් තිබුණා.  ආසා එයාගේ දෙවි වන යෙහෝවා හරියි කියලා සලකන යහපත් දේවල් කළා.  එයා වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න හදපු පූජාසනයි,+ පූජනීය ස්ථානයි* අයින් කළා. නමස්කාර කරන්න හදපු කුලුනු+ කුඩු කරලා කණු*+ කපලා දැම්මා.  ආසා යූදාවල සෙනඟට එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට නමස්කාර කරන්න කියලත් දෙවියන්ගේ නීතිය සහ ඔහු අණ කරපු හැම දෙයක්ම පිළිපදින්න කියලත් කිව්වා.  එයා යූදාවල හැම නගරයකම තිබුණ පූජනීය ස්ථාන සහ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරපු පූජාසන අයින් කළා.+ එයා පාලනය කරපු කාලේදී රාජධානිය පුරාම සාමකාමී වාතාවරණයක් තිබුණා.  දේශය පුරාම සාමකාමී වාතාවරණයක් තිබුණ නිසා ආසා ආරක්ෂාව වැඩියෙන් තියෙන නගර යූදාවල ඉදි කළා.+ යෙහෝවා ආසාට සාමකාමී කාලයක් උදා කරලා දීලා තිබුණ නිසා ඒ කාලේදී එයාට විරුද්ධව යුද්ධ කරන්න කවුරුත් ආවේ නැහැ.+  ඉතින් ආසා යූදාවල සෙනඟට මෙහෙම කිව්වා. “අපි මේ නගර හදලා ඒවා වටේ පවුරුයි, මුරකොටුයි+ හදලා ඒවාට දොරටුයි,* අගුලුයි හයි කරමු. අපි අපේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් හොයලා බලලා ඒ විදිහට වැඩ කරපු නිසා බාධාවක් නැතුව අපිට මේ දේශයේ කැමති දෙයක් කරන්න පුළුවන්. අපි ඔහුගේ මඟ පෙන්වීම් හොයපු නිසා ඔහු අපිට සාමය උදා කරලා දුන්නා.” ඉතින් එයාලා ඉදි කරන්න හිතපු හැම දෙයක්ම සාර්ථකව කළා.+  ආසාට යූදා ගෝත්‍රයට අයිති මිනිස්සු තුන්ලක්ෂයකින් හැදුණු හමුදාවක් හිටියා. එයාලා ළඟ ලොකු පලිස් සහ හෙල්ල තිබුණා. බෙන්ජමින් ගෝත්‍රයට අයිති යුද්දෙට දක්ෂ සෙබළු දෙලක්ෂ අසූදාහකුත් එයාත් එක්ක හිටියා. එයාලා ළඟ කුඩා පලිස් සහ දුනු තිබුණා.+  පස්සේ කාලෙක ඉතියෝපියානු ජාතික සේරා ලක්ෂ දහයක හමුදාවක් එක්ක එයාලට විරුද්ධව සටනට ආවා. එයාගේ හමුදාවට යුධ රථ 300කුත් තිබුණා.+ එයා මරේෂාහ්+ ළඟට ආවාම 10  ආසාත් එයාට විරුද්ධව සටන් කරන්න ගියා. හමුදාවන් දෙකම මරේෂාහ්වල ෂෙපාතා කියන නිම්නයේ සටන් කරන්න පෙළ ගැහුණා. 11  ඒ වෙලාවේ ආසා එයාගේ දෙවි වන යෙහෝවාට මෙහෙම කන්නලව් කළා.+ “අනේ යෙහෝවා, ඔයා උදව් කරන අය ශක්තිමත්ද නැද්ද කියන එක ඔයාට ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපි දන්නවා.+ අනේ යෙහෝවා අපේ දෙවියනි, අපිට උදව් කරන්න. අපි සම්පූර්ණයෙන්ම විශ්වාසය තියන්නේ ඔයා ගැනයි.+ අපි මේ ලොකු හමුදාවට විරුද්ධව ආවේ ඔයාගේ නමින්.+ අනේ යෙහෝවා, ඔයා තමයි අපේ දෙවියන්. මේ නිකම්ම නිකම් මිනිස්සුන්ට ඉඩ දෙන්න එපා ඔයාට වඩා බලයක් තියෙනවා කියලා පෙන්නන්න.”+ 12  ඉතින් යෙහෝවා දෙවියන් ආසා සහ යූදාවල සෙනඟ ඉස්සරහම ඉතියෝපියානු හමුදාව පරාජය කළා. ඒ නිසා එයාලා පැනලා දිව්වා.+ 13  ආසා රජයි, එයාත් එක්ක හිටපු සෙනඟයි ගෙරාර්+ වෙන කල්ම ඉතියෝපියානු හමුදාව පස්සේ පන්නගෙන ගිහින් එයාලට පහර දුන්නා. එයාලා ඉතියෝපියානුවන්ගෙන් එක් කෙනෙක්වත් ඉතුරු කළේ නැහැ. ඒ විදිහට යෙහෝවා දෙවියනුයි, ඔහුගේ හමුදාවයි එයාලව සම්පූර්ණයෙන්ම පරාජය කළා. ඊටපස්සේ සෙනඟ ඉතියෝපියානු හමුදාවට අයිති වටින දේවල් ගොඩක් අරගෙන ගියා. 14  එයාලා ගෙරාර් අවට තිබුණ ඔක්කොම නගරවලටත් පහර දුන්නා. ඒ නගරවල හිටපු හැමෝටම යෙහෝවා ගැන ලොකු බයක් ඇති වෙලා තිබුණා. ඒ නගරවල ගොඩක් වටින දේවල් තිබුණ නිසා එයාලා ඒ හැම දෙයක්ම ගත්තා. 15  එයාලා කූඩාරම්වල ජීවත් වුණ සත්ව රැළවල් බලාගත්ත අයටත් පහර දුන්නා. එයාලා එළු බැටළු රැළවල් සහ ඔටුවන් විශාල ප්‍රමාණයක් අල්ලගත්තා. ඊටපස්සේ එයාලා ආපහු යෙරුසලමට ආවා.

පාදසටහන්

මූ.අ., “උස් තැනුයි.”
මූ.අ., “පියන් දෙකක් තියෙන දොරවලුයි.”