දෙවෙනි ලේකම් 16:1-14

  • ආසා සිරියාව එක්ක ගිවිසුමක් ඇති කරගනියි (1-6)

  • හනානි ආසාට අවවාද කරයි (7-10)

  • ආසාගේ මරණය (11-14)

16  ආසා පාලනය කරපු 36වෙනි අවුරුද්දේදී ඊශ්‍රායෙල්වල රජ වුණ බාෂා+ යූදාවලට විරුද්ධව ඇවිත් රාමාවල+ ආරක්ෂාව වැඩි කළා.* බාෂා එහෙම කළේ යූදාවල රජ වුණ ආසාගේ දේශයට කාටවත් ඇතුල් වෙන්නවත් පිට වෙන්නවත් බැරි වෙන්නයි.+  එතකොට ආසා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සහ රජමාලිගාවේ භාණ්ඩාගාරවල තිබුණ රිදී සහ රත්තරන් අරගෙන+ ඒවා දමස්කයේ හිටපු සිරියාවේ රජ වුණ බෙන්හාදද්ට+ යැව්වා. ආසා එයාට මේ පණිවිඩයත් යැව්වා.  “අපි දෙන්නා අතරෙත් මගේ තාත්තායි, ඔබේ තාත්තායි අතරෙත් ගිවිසුමක් තියෙනවා. මං ඔබට මේ රිදී සහ රත්තරනුත් එවනවා. දැන් මම ඔබෙන් ඉල්ලන්නේ ඊශ්‍රායෙල්වල රජ වන බාෂා එක්ක ඔබ ඇති කරගත්ත ගිවිසුම අහෝසි කරන්න කියලයි. එතකොට එයා මගේ දේශයෙන් අයින් වෙලා යයි.”  බෙන්හාදද් ආසා රජ කියපු දේ අහලා එයාගේ හමුදාවල ප්‍රධානීන්ව ඊශ්‍රායෙල්වල තිබුණ නගරවලට විරුද්ධව යැව්වා. එයාලා ඊයොන්,+ දාන්+ සහ ආබෙල්මායිම්වලට වගේම නෆ්තලී ප්‍රදේශයට අයිති නගරවල තිබුණ ගබඩාවලට පහර දුන්නා.+  ඒ ගැන බාෂාට ආරංචි වුණ ගමන්ම එයා රාමාවල කරපු ඉදි කිරීම්* වැඩ නවත්තලා යන්න ගියා.  ඊටපස්සේ ආසා රජ යූදාවල මිනිස්සු හැමෝවම එකතු කරගෙන රාමාවලට+ ගිහින් බාෂා එහේ ඉදි කිරීම් කරන්න පාවිච්චි කරපු ගලුයි, ලීයි එහෙන් අරගෙන ආවා. ආසා රජ ඒවා පාවිච්චි කරලා ගෙබාවල+ සහ මිෂ්පාවල+ ඉදි කිරීම් වැඩ කරලා ඒ නගරවල ආරක්ෂාව වැඩි කළා.*+  ඒ කාලේදී දිවැසිවරයෙක් වුණ හනානි+ යූදාවල රජ වුණ ආසා ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා. “ඔබ ඔබේ දෙවි වන යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කරන්නේ නැතුව සිරියාවේ රජ ගැන විශ්වාසය තිබ්බ නිසා සිරියානු හමුදාව ඔබේ අතින් බේරිලා ගියා.+  ඔබට විරුද්ධව ආපු ඉතියෝපියානු සහ ලිබියානු හමුදාව කොච්චර ලොකු හමුදාවක්ද! එයාලට කොච්චර නම් අසරුවනුයි, යුධ රථයි තිබුණාද! ඒත් එදා ඔබ යෙහෝවා ගැන විශ්වාසය තිබ්බ නිසා ඔහු එයාලව යටත් කරගන්න ඔබට උදව් කළා.+  ඇත්තටම යෙහෝවා මේ පොළොවේ සිද්ධ වෙන හැම දෙයක් දිහාම හොඳින් බලාගෙන ඉන්නවා.+ ඔහු එහෙම කරන්නේ මුළු හදවතින්ම ඔහුට ළැදි* අය වෙනුවෙන් ඉදිරිපත් වෙලා* එයාලට උදව් කරන්නයි.+ ඒත් මේ වෙලාවේදී ඔබ වැඩ කළේ හරිම මෝඩ විදිහටයි. ඒ නිසා දැන් ඉඳන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+ 10  ඒත් ඒක ඇහුවාම ආසාට දිවැසිවරයා එක්ක හොඳටම කේන්ති ගිහින් එයාව හිරේ දැම්මා.* ඒ කාලේදීම ආසා තවත් සමහර අයට පීඩා කරන්නත් පටන්ගත්තා. 11  ආසා රජගේ ඉතිහාසය ගැන විස්තර මුල ඉඳන් අග වෙන කල්ම යූදාවල සහ ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+ 12  ආසා පාලනය කරපු 39වෙනි අවුරුද්දේදී එයාගේ කකුල්වල ලෙඩක් හැදුණ නිසා එයා ගොඩක් අසනීප වුණා. කොච්චර අසනීපෙන් හිටියත් එයා යෙහෝවාගෙන් උදව් ඉල්ලනවා වෙනුවට ලෙඩ සුව කරන අයගෙන් පිහිට පැතුවා. 13  ඊටපස්සේ ආසා මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා.+ එයා මැරුණේ එයා පාලනය කරපු 41වෙනි අවුරුද්දේදී. 14  එයාලා දාවිත්ගේ නුවරේ+ ආසා රජම හදලා* තිබුණ, හරිම ලස්සන සොහොන් ගෙයි එයාව තැන්පත් කළා. එයාගේ මළ සිරුර තියලා තිබුණේ බෝල්සම් තෙලුයි, වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කරලා හදපු විශේෂ තෛලයකුයි+ ගල්වපු යහනක. එයාලා ආසා වෙනුවෙන් ලොකු ගින්නකුත් පත්තු කළා.*

පාදසටහන්

හෝ, “වැඩි දියුණු කළා; ආයෙත් ඉදි කළා.”
හෝ, “ආරක්ෂාව වැඩි කරන්න කරපු වැඩ; අලුතින් කරපු වැඩ.”
හෝ, “ආයෙත් ඉදි කළා.”
හෝ, “සම්පූර්ණ භක්තියක් පෙන්නන.”
හෝ, “ශක්තිය පෙන්නලා.”
මූ.අ., “දඬුකඳේ ගැහුවා.”
මූ.අ., “හාරලා.”
පේන විදිහට මේක කළේ ආසාව ආදාහනය කරන්න නෙමෙයි සුවඳ ද්‍රව්‍ය දවන්නයි.