දෙවෙනි ලේකම් 18:1-34

  • යෙහෝෂපාට් ආහබ් එක්ක ගිවිසුමක් ඇති කරගනියි (1-11)

  • පරාජය ගැන මිකායා අනාවැකියක් කියයි (12-27)

  • ආහබ් රාමොත්ගිලියද්වලදී මැරෙයි (28-34)

18  යෙහෝෂපාට් ගොඩක් පොහොසත්, හරිම ප්‍රසිද්ධ කෙනෙක් වුණා.+ ඒත් එයා එයාගේ පවුලේ කෙනෙක්ව ආහබ්ගේ පවුලේ කෙනෙක්ට විවාහ කරලා දුන්නා.+  ඉතින් අවුරුදු කීපයකට පස්සේ එයා ආහබ්ව හම්බ වෙන්න සමාරියට+ ගියා. ආහබ් රජ යෙහෝෂපාට් වෙනුවෙනුත් එයා එක්ක ආපු සෙනඟ වෙනුවෙනුත් බැටළුවන් සහ ගවයන් ලොකු ප්‍රමාණයක් පූජා විදිහට ඔප්පු කළා. ඊටපස්සේ ආහබ්, එයාත් එක්ක රාමොත්ගිලියද්වලට+ විරුද්ධව සටනට යන්න යෙහෝෂපාට්ව කැමති කරවගත්තා.  ඊශ්‍රායෙල්වල රජ වුණ ආහබ් යූදාවල යෙහෝෂපාට් රජට මෙහෙම කිව්වා. “රාමොත්ගිලියද්වලට යන්න ඔයා මාත් එක්ක එනවාද?” එතකොට යෙහෝෂපාට් මෙහෙම කිව්වා. “මම ඔයාත් එක්ක එන්නම්. මගේ හමුදාව ඔයාගේ හමුදාව කියලා හිතන්න. මං මේ යුද්දේදී ඔයාට උදව් කරන්නම්.”  ඒත් යෙහෝෂපාට් “අපි ඉස්සෙල්ලා මේ ගැන යෙහෝවාගෙන් අහලා බලමුද”+ කියලා ඊශ්‍රායෙල්වල රජගෙන් ඇහුවා.  ඉතින් ඊශ්‍රායෙල්වල රජ අනාගතවක්තෘවරු 400දෙනෙක්ව රැස් කරලා එයාලාගෙන් මෙහෙම ඇහුවා. “අපි රාමොත්ගිලියද්වලට විරුද්ධව සටන් කරන්න යන්නද? එහෙම නැත්තං ඒක අත්හැරලා දාන්නද?” එතකොට එයාලා “යන්න. රජතුමාට ඒ නගරේ අල්ලගන්න සැබෑ දෙවියන් උදව් කරනවා” කියලා කිව්වා.  ඒත් යෙහෝෂපාට් මෙහෙම ඇහුවා. “යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරයෙක් මෙහේ නැද්ද?+ අපි එයාගෙනුත් අහලා බලමු දෙවියන් මේ ගැන මොනවාද කියන්නේ කියලා.”+  එතකොට ඊශ්‍රායෙල්වල රජ යෙහෝෂපාට්ට මෙහෙම කිව්වා. “යෙහෝවාගෙන් මේ ගැන අහන්න පුළුවන් තව එක මනුස්සයෙක් නම් ඉන්නවා.+ හැබැයි මට එයාව පේන්න බෑ. එයා හැම වෙලේම මං ගැන කියන්නේ නරක අනාවැකි. කවදාවත් හොඳ එකක් නම් කියලා නෑ.+ එයා තමයි ඉම්ලාහ්ගේ පුතා මිකායා.” එතකොට යෙහෝෂපාට් මෙහෙම කිව්වා. “රජතුමා එහෙම කියන එක නම් හොඳ නැහැ.”  ඉතින් ඊශ්‍රායෙල්වල රජ එයාගේ නිලධාරියෙක්ට එන්න කියලා මෙහෙම කිව්වා. “ඉක්මනින් ගිහින් ඉම්ලාහ්ගේ පුතා මිකායාව මෙහෙට එක්කගෙන එන්න.”+  ඒ වෙලාවේ ඊශ්‍රායෙල්වල රජ සහ යූදාවල රජ වුණ යෙහෝෂපාට් රාජකීය ඇඳුම් ඇඳගෙන එයාලාගේ සිංහාසනවල ඉඳගෙනයි හිටියේ. එයාලා හිටියේ සමාරියේ දොරටුව ළඟ තිබුණ කමතේ. අනාගතවක්තෘවරු හැමෝම එයාලා ඉස්සරහා අනාවැකි කියකියයි හිටියේ. 10  එතකොට කෙනානාගේ පුතා වුණ ශෙදකියා යකඩ අං දෙකක් හදාගෙන මෙහෙම කිව්වා. “‘ඔබ සිරියානුවන්ට මේ අංවලින් ඇනලා* එයාලව නැත්තටම නැති කරනවා’ කියලා යෙහෝවා කිව්වා.” 11  අනිත් අනාගතවක්තෘවරු හැමෝමත් ඒකට සමාන අනාවැකි කිව්වා. “රාමොත්ගිලියද් නගරෙට යන්න. ඔබ අනිවාර්යයෙන්ම දිනනවා.+ රජතුමාට ඒ නගරේ අල්ලගන්න යෙහෝවා උදව් කරනවා” කියලා එයාලා කිව්වා. 12  ඉතින් මිකායාව එක්කගෙන එන්න ගිය පණිවිඩකරු මිකායාට මෙහෙම කිව්වා. “මේ අහන්න! අනාගතවක්තෘවරු හැමෝම කියන්නේ රජතුමා දිනනවා කියලා. අනේ, ඉතින් ඔයාත් ඒ වගේ+ හොඳ දෙයක් කියන්න.”+ 13  ඒත් මිකායා එයාට මෙහෙම කිව්වා. “ජීවමාන දෙවි වන යෙහෝවා ඉස්සරහා දිවුරලා මම ඔයාට කියනවා, මගේ දෙවියන් කියන දෙයක් ඇරෙන්න වෙන කිසිම දෙයක් කියන්න මට බැහැ.”+ 14  මිකායා රජ ළඟට ආවාට පස්සේ රජ මෙහෙම ඇහුවා. “මිකායා, මම රාමොත්ගිලියද්වලට විරුද්ධව සටන් කරන්න යන්නද? එහෙම නැත්තං ඒක අත්හැරලා දාන්නද?” එතකොටම එයා “යන්න, ඔබ අනිවාර්යයෙන්ම දිනනවා. එයාලව අල්ලගන්න රජතුමාට පුළුවන් වෙනවා” කියලා කිව්වා. 15  එතකොට රජ මෙහෙම කිව්වා. “ඔයා යෙහෝවාගේ නමින් කතා කරද්දී මට ඇත්ත කියයි කියලයි මං බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත කියන්නේ කියලා කී සැරයක් ඔයාට දිවුරන්න කියලා මං කියන්න ඕනෙද?” 16  ඉතින් මිකායා මෙහෙම කිව්වා. “එඬේරෙක් නැති බැටළුවන් වගේ+ ඊශ්‍රායෙල්වරු කඳුකරය පුරා විසිරිලා ඉන්න විදිහ මට පේනවා. යෙහෝවා කියන්නේ මේකයි. ‘මෙයාලට දැන් ස්වාමියෙක් නැහැ. ඉතින් එයාලා එක් එක් කෙනාට පුළුවන් එයාලාගේ ගෙවල්වලට සමාදානයෙන් යන්න.’” 17  එතකොට ඊශ්‍රායෙල්වල රජ යෙහෝෂපාට්ට මෙහෙම කිව්වා. “මං ඔයාට කිව්වේ නැද්ද ‘එයා මං ගැන කියන්නෙම නරක අනාවැකි. කවදාවත් හොඳ දෙයක් නම් කියලා නෑ’ කියලා?”+ 18  ඊටපස්සේ මිකායා මෙහෙම කිව්වා. “යෙහෝවා කියන දේට ඇහුම්කන් දෙන්න. යෙහෝවා දෙවියන් ඔහුගේ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා මං දැක්කා.+ ස්වර්ගයේ සේනාවන්+ ඔහුගේ දකුණු පැත්තෙත් වම් පැත්තෙත් හිටගෙන හිටියා.+ 19  ඊටපස්සේ යෙහෝවා මෙහෙම කිව්වා. ‘කාටද පුළුවන් ඊශ්‍රායෙල්වල රජ වන ආහබ්ව රවට්ටන්න? එයාව රැවැට්ටුවොත් යුද්ධ කරන්න එයා රාමොත්ගිලියද්වලට යයි. එහෙදී එයා මැරෙයි.’ ඉතින් එක දේවදූතයෙක් එක අදහසක් දුන්නා. තවත් දේවදූතයෙක් තව අදහසක් දුන්නා. 20  ඊටපස්සේ එක දේවදූතයෙක්+ යෙහෝවා ඉස්සරහට ඇවිත් මෙහෙම කිව්වා. ‘මම එයාව රවට්ටන්නම්.’ එතකොට යෙහෝවා ඇහුවා ‘ඔයා කොහොමද ඒක කරන්නේ’ කියලා. 21  ඒ දේවදූතයා මෙහෙම උත්තර දුන්නා. ‘මම ගිහින් එයාගේ අනාගතවක්තෘවරු හැමෝවම බොරු කියන්න පොලඹවන්නම්.’ එතකොට දෙවියන් ‘යන්න, ගිහින් ඒක කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම එයාව රවට්ටන්න පුළුවන් වෙනවා’ කියලා කිව්වා. 22  ඒ නිසයි යෙහෝවා දේවදූතයෙක්ට ඉඩ දුන්නේ ඔබේ අනාගතවක්තෘවරුන්ව බොරු කියන්න පොලඹවන්න.+ ඒත් ඇත්තටම යෙහෝවා තීන්දු කරලා තියෙන්නේ ඔබට විපතක් ගේන්නයි.” 23  එතකොට කෙනානාගේ පුතා වුණ ශෙදකියා+ මිකායාගේ+ කම්මුලට ගහලා+ මෙහෙම ඇහුවා. “ඔයා කියන්නේ යෙහෝවාගේ බලය දැන් මගෙන් අයින් වෙලා ඔයාට උදව් කරනවා කියලද?”+ 24  මිකායා මෙහෙම කිව්වා. “ඔයා හැංගෙන්න ගේ ඇතුළෙම තියෙන කාමරේට යන දවසට ඒකට උත්තරේ ඔයාට ලැබෙයි.” 25  එතකොට ඊශ්‍රායෙල්වල රජ මෙහෙම කිව්වා. “මිකායාව අරගෙන ගිහින් නගරේ ආණ්ඩුකාරයා වන ආමොන්ටයි, රජගේ පුතා* වන යෝවාෂ්ටයි භාර දෙන්න. 26  එයාලට කියන්න රජතුමා මෙහෙම දැන්නුවා කියලා. ‘මම කරදරයක් නැතුව ආපහු එන කල් මේ මනුස්සයාව හිරේ දාලා+ වැඩිය කන්න බොන්න දෙන්නේ නැතුව තියන්න.’” 27  ඒත් මිකායා මෙහෙම කිව්වා. “ඔබ කරදරයක් නැතුව ආපහු ආවොත් ඒ කියන්නේ යෙහෝවා මාත් එක්ක කතා කරලා නැහැ.”+ එයා මෙහෙමත් කිව්වා. “මෙතන ඉන්න හැමෝම ඒක මතක තියාගන්න.” 28  ඊටපස්සේ ඊශ්‍රායෙල්වල රජ යූදාවල රජ වුණ යෙහෝෂපාට් එක්ක රාමොත්ගිලියද්වලට+ ගියා. 29  ඊශ්‍රායෙල්වල රජ යෙහෝෂපාට්ට මෙහෙම කිව්වා. “මං අනිත් අයට මාව අඳුරගන්න බැරි වෙන විදිහට ඇඳගෙන යුද්දෙට යන්නම්. ඒත් ඔයා රාජකීය ඇඳුම් ඇඳගෙන යන්න.” ඉතින් ඊශ්‍රායෙල්වල රජ එයාව අඳුරගන්න බැරි වෙන විදිහට ඇඳගත්තාට පස්සේ එයාලා යුද්දෙට ගියා. 30  සිරියාවේ රජ එයාගේ අශ්ව රථ කණ්ඩායම්වලට අණ දෙන නිලධාරීන්ට මෙහෙම අණ කරලා තිබුණා. “සෙබළු එක්කවත් නිලධාරීන් එක්කවත් සටන් කරලා වැඩක් නැහැ. ඊශ්‍රායෙල්වල රජ එක්ක විතරක් සටන් කරන්න.” 31  අශ්ව රථ කණ්ඩායම්වලට අණ දෙන නිලධාරීන් යෙහෝෂපාට්ව දැක්ක ගමන්ම මෙහෙම කතා වුණා. “අර ඉන්නේ ඊශ්‍රායෙල්වල රජ තමයි.” ඉතින් එයාලා එයාට පහර දෙන්න එයා හිටපු පැත්තට ගියා. එතකොට යෙහෝෂපාට් උදව් ඉල්ලලා කෑගහන්න පටන්ගත්තා.+ ඒ වෙලාවෙම එයාගේ උදව්වට ආපු යෙහෝවා සතුරන්ව වෙන පැත්තකට යන්න සැලැස්සුවා. 32  අශ්ව රථ කණ්ඩායම්වලට අණ දෙන නිලධාරීන්ට තේරුණාම එයා ඊශ්‍රායෙල්වල රජ නෙමෙයි කියලා එයා පස්සේ යන එක එයාලා අත්හැරලා දැම්මා. 33  කෙනෙක් විද්ද ඊතලයක් ඊශ්‍රායෙල්වල රජ ඇඳගෙන හිටපු යුද ඇඳුමේ තිබුණ කොරපොතු වගේ කෑලි අතරින් ගිහින් රජගේ ඇඟේ වැදුණා. ඒත් එයා ඒක විද්දේ රජට විදින්න හිතාගෙන නෙමෙයි. ඉතින් රජ එයාගේ අශ්ව රථය පදවපු කෙනාට මෙහෙම කිව්වා. “මට හොඳටම තුවාලයි. රථය හරවගෙන මාව යුද පිටියෙන්* එළියට ගෙනියන්න.”+ 34  ඒත් එදා දවස පුරාම එයාලා සටන් කරපු නිසා ඊශ්‍රායෙල්වල රජට සිද්ධ වුණා එයාගේ අශ්ව රථයට වෙලා ඉන්න. රජ සේවකයන්ගේ උදව් ඇතුව සිරියානු හමුදාව දිහාවට හැරිලා හවස් වෙන කල්ම රථයේ හිටගෙන හිටියා. ඉර බැහැගෙන යන වෙලාවේදී එයා මැරුණා.+

පාදසටහන්

හෝ, “තල්ලු කරලා.”
සමහරවිට රජ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්.
මූ.අ., “කඳවුරෙන්.”