දෙවෙනි ලේකම් 19:1-11

  • යේහු යෙහෝෂපාට්ට අවවාද කරයි (1-3)

  • යෙහෝෂපාට් බොරු නමස්කාරය අයින් කරයි (4-11)

19  ඊටපස්සේ යූදාවල රජ වුණ යෙහෝෂපාට් කරදරයක් නැතුව යෙරුසලමේ තිබුණ එයාගේ මාලිගාවට ආපහු ආවා.+  එතකොට අනාගතවක්තෘවරයෙක් වුණ හනානිගේ+ පුතා යේහු+ යෙහෝෂපාට් රජ ළඟට ගිහින් මෙහෙම කිව්වා. “දුෂ්ටයන්ට උදව් කරන එක හරි දෙයක් කියලා ඔබ හිතනවාද?+ යෙහෝවා දෙවියන්ට වෛර කරන අයට ආදරේ කරන එක හරි දෙයක්ද?+ ඔබ එහෙම කරපු නිසා යෙහෝවාට ඔබත් එක්ක ගොඩක් කේන්ති ගිහිල්ලයි තියෙන්නේ.  ඒත් ඔබේ හොඳ පැති දෙවියන් දැකලා තියෙනවා.+ මොකද නමස්කාර කරන්න මිනිස්සු හදලා තිබුණ කණු* ඔබ දේශයෙන් අයින් කරලා දැම්මා. ඒ වගේම සැබෑ දෙවියන්ට ළං වෙලා ඔහු කැමති දේ කරන්න ඔබ මුළු හදවතින්ම අධිෂ්ඨාන කරගත්තා.”*+  යෙහෝෂපාට් දිගටම යෙරුසලමේ ජීවත් වුණා. එයා ආපහු සැරයක් සෙනඟ අතරට යන්න තීරණය කළා. ඉතින් එයා බෙයර්ෂෙබා ඉඳන් එෆ්‍රායිම් කඳුකරය+ වෙන කල්ම ගිහින් සෙනඟට උනන්දු කළා එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට ආයෙත් නමස්කාර කරන්න කියලා.+  ඒ වගේම එයා යූදාවල තිබුණ ආරක්ෂාව වැඩි කරපු හැම නගරයකම විනිශ්චයකරුවන්වත් පත් කළා.+  රජ ඒ විනිශ්චයකරුවන්ට මෙහෙම කිව්වා. “ඔයාලා නඩු විභාග කරද්දී හොඳට හිතලා බලන්න. මොකද විනිශ්චය කරද්දී ඔයාලා නියෝජනය කරන්නේ මිනිස්සුන්ව නෙමෙයි යෙහෝවාව. ඔයාලා තීන්දුවක් දෙද්දී ඔහු ඔයාලා එක්කම ඉඳියි.+  යෙහෝවා ගැන ලොකු ගෞරවයක්* ඔයාලාගේ හිතේ තියෙන්න ඕනේ.+ ඔයාලා කරන වැඩේ පොඩ්ඩක්වත් සැහැල්ලුවට ගන්න එපා. මොකද අපේ දෙවි යෙහෝවා අසාධාරණයට,+ විශේෂ සැලකිලි පෙන්නන එකට,+ අල්ලස් ගන්න එකට කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.”+  යෙහෝෂපාට් රජ යෙරුසලමෙත් විනිශ්චයකරුවන්ව පත් කළා. ඒකට එයා තෝරගත්තේ ලෙවීවරුන්ගෙන්, පූජකයන්ගෙන් සහ ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්ගෙන් සමහරදෙනෙක්ව. එයාලාගේ වගකීම වුණේ යෙරුසලමේ හිටපු සෙනඟගේ නඩු යෙහෝවා වෙනුවෙන් විනිශ්චය කරලා ඒවා විසඳන එක.+  රජ එයාලට මෙහෙම අණ කළා. “ඔයාලට දීලා තියෙන මේ වගකීම් ඉටු කරද්දී යෙහෝවා ගැන ඔයාලාගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා කියලා පේන්න ඕනේ. ඔහුට විශ්වාසවන්තව ඉන්න. මුළු හදවතින්ම ඔහුට කීකරු වෙන්න.* 10  වෙනත් නගරවල ඉන්න ඔයාලාගේ සහෝදරයන්* නඩුවක් විසඳගන්න ඔයාලා ළඟට එයි. ඒක මිනී මැරුමක්+ ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්තං නීතියක් හරි ආඥාවක් හරි නියෝගයක් හරි තීන්දුවක් හරි අදාළ කරගන්න විදිහ ගැන ඇති වුණ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එයාලා කරන්න ඕනෙ මොකක්ද කියලා ඔයාලා පැහැදිලිව කියන්න ඕනේ. එතකොට එයාලට පුළුවන් යෙහෝවා ඉස්සරහා වරදකරුවන් වෙන එකෙන් වළකින්න. ඔයාලා ඒක කළේ නැත්නම් ඔයාලා එක්කයි, ඔයාලාගේ සහෝදරයන් එක්කයි දෙවියන්ට ගොඩක් කේන්ති යයි. ඒ විදිහට නඩු විසඳුවොත් තමයි වරදකරුවන් වෙන්නේ නැතුව ඉන්න ඔයාලට පුළුවන් වෙන්නේ. 11  නායක පූජක අමරියාව මම ඔයාලාගේ ප්‍රධානියා විදිහට පත් කරනවා.+ යෙහෝවාට කරන නමස්කාරය සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක විසඳන්න එයා ඔයාලට උදව් කරයි. ඉෂ්මායෙල්ගේ පුතා වන සෙබදියාව යූදා ගෝත්‍රයේ නායකයා විදිහටත් රජට සම්බන්ධ කාරණා විසඳන්නත් මම පත් කරනවා. ඔයාලාගේ වගකීම් ඉටු කරන්න ලෙවීවරු ඔයාලට උදව් කරයි. ඔයාලට භාර දීපු වැඩේ නිර්භීතව කරන්න. හරි දේ කරන අයත් එක්ක යෙහෝවා අනිවාර්යයෙන්ම ඉඳියි.”*+

පාදසටහන්

හෝ, “මුළු හිතම යොමු කළා.”
මූ.අ., “ගරුබියක්.”
හෝ, “සම්පූර්ණ භක්තියක් පෙන්නන්න.”
විනිශ්චයකරුවන් වෙන්න පුළුවන්.
හෝ, “ඔයාලා කරන හොඳ දේවලට යෙහෝවා ආශීර්වාද කරයි.”