දෙවෙනි ලේකම් 22:1-12

  • අහසියා යූදාවල රජ වෙයි (1-9)

  • අතලියා පාලනය උදුරගනියි (10-12)

22  ඊටපස්සේ යෙරුසලමේ හිටපු සෙනඟ යෙහෝරම්ගේ බාලම පුතා වුණ අහසියාව රජකමට පත් කළා. මොකද අරාබි ජාතිකයන් එක්ක යූදාවලට ආපු කොල්ලකරුවෝ යෙහෝරම්ගේ වැඩිමල් පුතාලා හැමෝවම මරලා දාලා තිබුණා.+ ඉතින් යෙහෝරම්ගේ පුතා වුණ අහසියා යූදාවල රජකම් කරන්න පටන්ගත්තා.+  අහසියා රජකමට පත් වෙද්දී එයාගේ වයස අවුරුදු 22යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුද්දක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම අතලියා.+ අතලියා ඔම්රීගේ+ මිනිපිරිය.*  අහසියාත් ආහබ්ගේ පවුලේ අය ගිය පාරේම ගියා.+ මොකද එයාට උපදෙස් දුන්නේ එයාගේ අම්මා. ඉතින් එයා ගොඩක් දුෂ්ට දේවල් කළා.  එයාත් ආහබ්ගේ පවුලේ අය වගේ යෙහෝවා වැරදියි කියලා සලකපු දේවල් දිගටම කළා. එයාගේ තාත්තාගේ මරණයෙන් පස්සේ ආහබ්ගේ පවුලේ අය තමයි එයාගේ උපදේශකයන් විදිහට වැඩ කළේ. ඒකෙන් එයාටම ලොකු හානියක් වුණා.  එයාලාගේ උපදෙස්වලට අනුව වැඩ කරපු එයා ආහබ්ගේ පුතා වුණ යෙහෝරම් එක්ක සිරියාවේ රජ වුණ හසායෙල්ට+ විරුද්ධව යුද්ධ කරන්න රාමොත්ගිලියද්වලට+ ගියා. එහෙදී දුනුවායන්ගේ ප්‍රහාර නිසා යෙහෝරම්ට තුවාල වුණා.  සිරියාවේ රජ වුණ හසායෙල්+ එක්ක රාමාවල කරපු යුද්දේදී තුවාල වුණ යෙහෝරම් එයාගේ තුවාල සනීප කරගන්න ආපහු යෙෂ්‍රෙයෙල්වලට+ ගියා. ඉතින් යූදාවල රජකම් කරපු යෙහෝරම්ගේ+ පුතා වුණ අහසියා* තුවාල වෙලා*+ හිටපු ආහබ්ගේ පුතා වුණ යෙහෝරම්ව+ බලන්න යෙෂ්‍රෙයෙල්වලට ගියා.  ඒත් අහසියා යෙහෝරම්ව බලන්න ගිය මේ අවස්ථාව අහසියාව විනාශ කරලා දාන්න දෙවියන් පාවිච්චි කළා. එහෙට ගියාම එයා යෙහෝරම් එක්ක නිම්ෂිගේ මුනුපුරා* වුණ යේහුව+ හම්බ වෙන්න ගියා. ආහබ්ගේ පවුලේ අයව+ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න යෙහෝවා යේහුව තමයි අභිෂේක කරලා තිබුණේ.  ආහබ්ගේ පවුලේ අයට විරුද්ධව දීපු විනිශ්චය යේහු ක්‍රියාත්මක කරද්දී යූදාවල අධිපතීන්වයි, අහසියාගේ සහෝදරයන්ගේ පුතාලවයි, අහසියාගේ සේවකයන්වයි එයාට හම්බ වුණා. ඉතින් එයා එයාලවත් මරලා දැම්මා.+  ඊටපස්සේ එයා අහසියාව හොයාගෙන ගියා. යේහුගේ සේවකයන් අහසියා සමාරියේ හැංගිලා හිටපු තැනින් එයාව අල්ලගෙන යේහු ළඟට අරගෙන ආවා. ඊටපස්සේ එයාලා අහසියාව මරලා දැම්මා. හැබැයි එයාලා එයාව තැන්පත් කළා.+ මොකද “මෙයා මුළු හදවතින්ම යෙහෝවාට සේවය කරපු+ යෙහෝෂපාට්ගේ මුනුපුරෙක්” කියලා එයාලා කිව්වා. අහසියාගෙන් පස්සේ රජකම භාරගන්න හැකියාව තිබුණ කිසිම කෙනෙක් එයාගේ පවුලේ හිටියේ නැහැ. 10  අහසියාගේ අම්මා වුණ අතලියා+ එයාගේ පුතා මැරුණා කියලා දැනගත්තාම යූදාවල රජ පෙළපතට අයිති හැමෝවම මරලා දාන්න උත්සාහ කළා.+ 11  ඒත් රජගේ දුව වුණ යෙහෝෂබියත් අහසියාගේ පුතා යෙහෝයාෂ්ව+ බේරගන්න පියවර ගත්තා. එයා අතලියා මරන්න නියම කරලා තිබුණ රජගේ පුතාලා හිටපු තැනට ගිහින් යෙහෝයාෂ්ව එතනින් හොරෙන් අරන් ගියා. දරුවාවයි, දරුවාව බලාගත්ත සේවිකාවවයි එයා නිදන කාමරේක තියාගත්තා. ඒ විදිහට යෙහෝරම්+ රජගේ දුව වුණ යෙහෝෂබියත්ට අතලියාගෙන් දරුවාව හංගලා තියාගන්න පුළුවන් වුණා. (යෙහෝෂබියත් කියන්නේ පූජක යෙහෝයාදාගේ+ බිරිඳ වගේම අහසියාගේ අක්කා.) ඒ නිසා අතලියාට දරුවාව මරලා දාන්න බැරි වුණා.+ 12  දරුවා එයාලත් එක්ක අවුරුදු හයක් හිටියා. දරුවාව හංගලා තියාගත්තේ සැබෑ දෙවියන්ගේ ගෘහයේ. ඒ කාලේදී අතලියා තමයි දේශය පාලනය කළේ.

පාදසටහන්

මූ.අ., “දුව.”
සමහර හෙබ්‍රෙව් අත්පිටපත්වල සඳහන් වෙන්නේ “අෂරියා” කියලා.
හෝ, “අසනීපෙන්.”
මූ.අ., “පුතා.”