දෙවෙනි ලේකම් 25:1-28

  • අමෂියා යූදාවල රජ වෙයි (1-4)

  • ඒදොම්වරු එක්ක යුද්ධ කරයි (5-13)

  • අමෂියා රූපවලට නමස්කාර කරයි (14-16)

  • ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් එක්ක යුද්ධ කරයි (17-24)

  • අමෂියාගේ මරණය (25-28)

25  අමෂියා රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 25යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 29ක් පාලනය කළා. එයාගේ අම්මාගේ නම යෙහෝයද්දන්. එයා යෙරුසලමේ කෙනෙක්.+  යෙහෝවා දෙවියන් හරියි කියලා සලකන දේවල් අමෂියා දිගටම කළා. හැබැයි එයා ඒවා කළේ මුළු හදවතින්ම නෙමෙයි.  රජ විදිහට අමෂියා බලය තහවුරු කරගත්ත ගමන්ම එයාගේ තාත්තාව මරපු නිලධාරීන්ව එයා මරලා දැම්මා.+  හැබැයි එයා ඒ අයගේ පුතාලව මරලා දැම්මේ නැහැ. මොකද මෝසෙස්ට දුන්න නීතියේ සඳහන් වෙලා තිබුණ දේට අනුව එයා වැඩ කළා. ඒ නීතියේ යෙහෝවා මෙහෙම කියලා තිබුණා. “පුතෙක්ගේ වරදක් නිසා එයාගේ තාත්තාව මරලා දාන්න එපා. තාත්තාගේ වරදක් නිසා එයාගේ පුතාව මරලා දාන්නත් එපා. කෙනෙක්ව මරලා දාන්න ඕනෙ එයා කරන වරදටයි.”+  අමෂියා යූදාවල හිටපු හැමෝවම රැස් කළා. එයාලාගේ පෙළපත්වලට අනුව දාහේ සහ සීයේ කණ්ඩායම්වල ප්‍රධානීන් යටතේ එයාලව රැස් කළා. ඒ විදිහට එයා යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවලට අයිති හැමෝවම රැස් කළා.+ ඊටපස්සේ අවුරුදු 20ක් සහ ඊට වඩා වැඩි අයව ලියාපදිංචි කළා.+ එතකොට එයා දැනගත්තා හමුදා සේවයට හොඳින් පුහුණු කරපු සෙබළු තුන්ලක්ෂයක් ඉන්නවා කියලා. ඒ හැමෝටම හෙල්ල සහ විශාල පලිස් පාවිච්චි කරලා හොඳට සටන් කරන්න හැකියාව තිබුණා.  ඒ අයට අමතරව අමෂියා රිදී තලෙන්ත* 100ක් දීලා යුද්දෙට දක්ෂ සෙබළු ලක්ෂයක් ඊශ්‍රායෙල් හමුදාවෙන් කුලියට ගත්තා.  ඒත් සැබෑ දෙවියන්ගේ සේවකයෙක් රජ ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබේ හමුදාවට ඊශ්‍රායෙල් හමුදාවේ අයව එකතු කරගන්න එපා. මොකද ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවියන් උදව් කරන්නේ නැහැ.+ එෆ්‍රායිම්වරුන්ගෙන් කාටවත් ඔහු උදව් කරන්නේ නැහැ.  කිසි දේකට බය වෙන්න එපා. ඔබේ හමුදාව විතරක් අරගෙන යුද්දෙට යන්න. හැබැයි ඔබ එහෙම කළේ නැත්නම් සැබෑ දෙවියන්ට පුළුවන් ඔබව සතුරන්ගේ අතට භාර දෙන්න. මොකද ඔබට උදව් කරන්නත් ඔබව පරාජය වෙන්න සලස්වන්නත් දෙවියන්ට පුළුවන්.”+  ඒ වෙලාවේ අමෂියා සැබෑ දෙවියන්ගේ සේවකයාට මෙහෙම කිව්වා. “එතකොට ඊශ්‍රායෙල්වරුන්ගේ හමුදාවට මං දුන්න තලෙන්ත 100ට මොකද වෙන්නේ?” සැබෑ දෙවියන්ගේ සේවකයා මෙහෙම කිව්වා. “යෙහෝවාට පුළුවන් ඔයාට ඊට වඩා ගොඩක් දේවල් දෙන්න.”+ 10  ඉතින් අමෂියා එෆ්‍රායිම්වරුන්ගෙන් ගෙන්නගත්ත හමුදාව එයාගේ හමුදාවෙන් අයින් කරලා ආපහු එයාලාගේ ගෙවල්වලට යැව්වා. ඒ නිසා ඒ හමුදාවේ අයට යූදාවල සෙනඟ එක්ක ගොඩක් කේන්ති ගියා. ඉතින් එයාලා කේන්තියෙන් පුපුර පුපුර එයාලාගේ ගෙවල්වලට ගියා. 11  ඊටපස්සේ අමෂියා හිතට ධෛර්යය අරගෙන එයාගේ හමුදාවත් එක්ක ලුණු නිම්නයට+ ගියා. එහෙදී එයා සේයිර්වල+ මිනිස්සු 10,000ක් මරලා දැම්මා. 12  යූදාවල මිනිස්සු තවත් 10,000දෙනෙක්ව අල්ලගත්තා. එයාලා ඒ අයව එහේ තිබුණ පර්වත මුදුනට අරන් ගිහින් පහළට වීසි කළා. පල්ලෙහට වැටෙද්දී එයාලාගේ ශරීර කෑලි කෑලිවලට පැළිලා ගියා. 13  ඔය අතරේ අමෂියා එයාගේ හමුදාවෙන් අයින් කරලා ආපහු ගෙවල්වලට යවපු පිරිස+ සමාරියේ+ ඉඳන් බෙත්හෝරොන්+ වෙන කල් තිබුණ යූදාවලට අයිති නගරවලට පහර දුන්නා. එයාලා ඒ නගරවල හිටපු 3,000දෙනෙක්ව මරලා ඒ නගරවල තිබුණ ගොඩක් දේවලුත් කොල්ල කෑවා. 14  අමෂියා ඒදොම්වරුන්ට පහර දීලා ආපහු එද්දී සේයිර්වල මිනිස්සු අදහපු දෙවිවරුන්ගේ රූපත් එයා අරගෙන ආවා. එයා ඒවා එයාගේ දෙවිවරුන් විදිහට සලකලා+ ඒවා ඉස්සරහා වැඳ වැටෙන්න පටන්ගත්තා. ඒවාට පූජාත්* ඔප්පු කළා. 15  ඉතින් යෙහෝවාට අමෂියා එක්ක ගොඩක් කේන්ති ගිහින් අනාගතවක්තෘවරයෙක්ව රජ ළඟට යැව්වා. එයා අමෂියා ළඟට ගිහින් මෙහෙම කිව්වා. “ඔබ ඒ මිනිස්සු අදහපු දෙවිවරුන්ට නමස්කාර කරන්නේ මොකටද? ඔබේ අතින් තමන්ගේ සෙනඟවවත් බේරගන්න ඒ දෙවිවරුන්ට පුළුවන් වුණාද?”+ 16  අනාගතවක්තෘවරයා ඒ දේ කියද්දී රජ මෙහෙම කිව්වා. “කට වහගන්නවා!+ කවුද ඔයාගෙන් උපදෙස් ඉල්ලුවේ?+ කට වහගත්තේ නැත්තං ඔයාව මරලා දාන්න කියලා මං නියෝග කරනවා.” එතකොට අනාගතවක්තෘවරයා කතා කරන එක නැවැත්තුවා. හැබැයි ඊට කලින් එයා මෙහෙම කිව්වා. “ඔබ කරන වැරදි දේවල් නිසාත් මං කියපු දේ ඇහුවේ නැති නිසාත් ඔබව විනාශ කරලා දාන්න දෙවියන් තීරණය කරලයි තියෙන්නේ.”+ 17  එයාගේ උපදේශකයන්ගෙන් උපදෙස් ගත්තාට පස්සේ යූදාවල රජ වුණ අමෂියා ඊශ්‍රායෙල්වල රජකම් කරපු යේහුගේ මුනුපුරා සහ යෙහෝයහාෂ්ගේ පුතා වුණ යෙහෝයාෂ් ළඟට පණිවිඩකරුවන් යවලා මෙහෙම දැන්නුවා. “මාත් එක්ක සටනට එන්න.”*+ 18  එතකොට ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් යූදාවල රජ වුණ අමෂියාට මේ පණිවිඩය යැව්වා. “ලෙබනොන්වල කටු පඳුරක් තිබුණා. දවසක් ඒ කටු පඳුර එහේ තිබුණ දේවදාර ගහකට මෙහෙම කිව්වා. ‘ඔයාගේ දුවව මගේ පුතාට බන්දලා දෙන්න.’ ඒත් ලෙබනොන්වල කැලේ ඉන්න සතෙක් ඇවිල්ලා ඒ කටු පඳුර පාගලා දැම්මා. 19  ඔයා කියනවා ‘බලන්න! මං ඒදොම්වරුන්ව පැරැද්දුවා’+ කියලා. ඉතින් දැන් ඔයාගේ ඔළුව ඉදිමිලා. ඔයාට ඕනෙ තවත් ගෞරවය ලබාගන්න. හැබැයි ඔයා ඔයාගෙම ගෙදරට* වෙලා හිටියොත් හොඳයි. මොකටද නිකං ප්‍රශ්න ඇති කරගෙන මැරුම් කන්න හදන්නේ? ඔයාට විතරක් නෙමෙයි යූදාවල මිනිස්සුන්ටත් මේකෙන් ලොකු අනතුරක් වෙයි.” 20  ඒත් අමෂියා ඒක ගණන් ගත්තේ නැහැ.+ ඇත්තටම සැබෑ දෙවියන් තමයි එහෙම වෙන්න සැලැස්සුවේ. මොකද එයාලා ඒදොම්වරුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළා.+ ඉතින් දෙවියන්ට ඕනෙ වුණා එයාලව සතුරන්ගේ අතට අහු කරලා දෙන්න.+ 21  ඉතින් ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් යූදාවල රජ වුණ අමෂියාට විරුද්ධව සටන් කරන්න ආවා. එයාලා යූදාවලට අයිති බෙත්ෂෙමෙෂ්වලදී+ තමයි සටන් කළේ. 22  ඊශ්‍රායෙල්වරු අතින් යූදා හමුදාව පරාජයට පත් වුණා. ඉතින් සෙබළු තම තමන්ගේ ගෙවල්වලට* පලා ගියා. 23  ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් යූදාවල රජ වුණ අමෂියාව බෙත්ෂෙමෙෂ්වලදී අල්ලගත්තා. අමෂියා කියන්නේ යෙහෝයහාෂ්ගේ* පුතා වුණ යෙහෝයාෂ්ගේ පුතා. ඊටපස්සේ ඊශ්‍රායෙල්වල රජ වුණ යෙහෝයාෂ් අමෂියාව අරගෙන යෙරුසලමට ඇවිල්ලා යෙරුසලමේ පවුරෙන් රියන් 400ක* කොටසක් කඩලා දැම්මා. ඒ කියන්නේ එෆ්‍රායිම් දොරටුවේ+ ඉඳන් කොනේ දොරටුව+ වෙන කල් තිබුණ කොටස එයා කඩලා දැම්මා. 24  යෙහෝයාෂ් රජ රජමාලිගාවේ භාණ්ඩාගාරවල වගේම සැබෑ දෙවියන්ගේ ගෘහයේ ඕබෙද්ඒදොම් භාරයේ තිබුණ රත්තරන්, රිදී සහ වටින භාණ්ඩ හැම එකක්ම ගත්තා.+ එයා ඇපකරුවන් විදිහට පිරිසක්වත් අරගෙන ආපහු සමාරියට ගියා. 25  ඊශ්‍රායෙල්වල රජකම් කරපු යෙහෝයහාෂ්ගේ පුතා+ වුණ යෙහෝයාෂ්+ මැරුණාට පස්සේ යූදාවල රජකම් කරපු යෙහෝයාෂ්ගේ පුතා වුණ අමෂියා+ තව අවුරුදු 15ක් ජීවත් වුණා. 26  අමෂියාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන මුල ඉඳන් අගට යූදාවල සහ ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. 27  අමෂියා යෙහෝවා දෙවියන්ව අත්හැරිය කාලේ ඉඳලා යෙරුසලමේ හිටපු පිරිසක් අමෂියාට විරුද්ධව කුමන්ත්‍රණය කළා.+ ඒ නිසා එයා ලාකිෂ්වලට පැනලා ගියා. ඒත් එයාලා මිනිස්සු කීපදෙනෙක්ව යවලා ලාකිෂ්වලදී අමෂියාව මරලා දැම්මා. 28  ඊටපස්සේ එයාලා අමෂියාගේ මිනිය අශ්ව රථයක දාලා අරගෙන ආවා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ යූදාවල තිබුණ ප්‍රධාන නගරයේ තැන්පත් කළා.

පාදසටහන්

තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.
හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජාත්.”
හෝ, “අපි මූණට මූණ හම්බ වෙමු.”
හෝ, “මාලිගාවට.”
මූ.අ., “කූඩාරම්වලට.”
අහසියා කියලත් හඳුන්වනවා.
මීටර් 178ක් (අඩි 584ක්) විතර. උප. B14 බලන්න.