දෙවෙනි ලේකම් 26:1-23

  • උසියා යූදාවල රජ වෙයි (1-5)

  • උසියාගේ යුද සැලසුම් (6-15)

  • උඩඟුකම නිසා උසියාට ලාදුරු හැදෙයි (16-21)

  • උසියාගේ මරණය (22, 23)

26  ඊටපස්සේ යූදාවල හිටපු හැමෝම එකතු වෙලා උසියාව+ එයාගේ තාත්තා වුණ අමෂියා වෙනුවට රජකමට පත් කළා. උසියා රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 16යි.+  අමෂියා රජව එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළාට පස්සේ+ උසියා ඒලොත්+ නගරය යූදාවල පාලනය යටතට අරගෙන ඒක ආපහු ගොඩනැඟුවා.  උසියා+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 16යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 52ක් පාලනය කළා. උසියාගේ අම්මාගේ නම යෙකොලියා. එයා යෙරුසලමේ කෙනෙක්.+  උසියා එයාගේ තාත්තා වුණ අමෂියා වගේ යෙහෝවා හරියි කියලා සලකන දේවල් දිගටම කළා.+  සෙකරියා ජීවත් වුණ කාලේ පුරාම උසියා දෙවියන්ට සේවය කළා. මොකද සැබෑ දෙවියන්ට ගරුබිය පෙන්නන්නේ කොහොමද කියලා සෙකරියා එයාට කියලා දුන්නා. උසියා සැබෑ දෙවි වන යෙහෝවාට සේවය කරපු කාලේ පුරාම දෙවියන් එයාට ආශීර්වාද කළා.+  උසියා පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කරන්න ගියා.+ එයා ගාත්,+ යබ්නෙ+ සහ අෂ්දොද්+ නගරවල පවුරු කඩලා ඒවා අල්ලගත්තා. ඊටපස්සේ එයා අෂ්දොද් අවට ප්‍රදේශයේ සහ පිලිස්තිවරුන්ට අයිති වෙනත් ප්‍රදේශවල නගර හැදුවා.  පිලිස්තිවරුන්වයි, ගුර්බාල්වල හිටපු අරාබි ජාතිකයන්වයි,+ මෙයූනිම්වරුන්වයි පරාජය කරන්න සැබෑ දෙවියන් එයාට දිගටම උදව් කළා.  අම්මොන්වරුනුත්+ එයාට බදු ගෙවන්න පටන්ගත්තා. එයා කොච්චර බලවත් පාලකයෙක් වුණාද කියනවා නම් ඊජිප්තුව වෙන කල් තිබුණ හැම තැනකම එයා ප්‍රසිද්ධ වුණා.  උසියා යෙරුසලමේ තිබුණ කොනේ දොරටුව,+ නිම්න දොරටුව+ සහ නගරයේ බැම්ම ළඟ මුරකොටු හදලා+ ඒවාවල ආරක්ෂාව තවත් වැඩි කළා. 10  එයා පාළුකරයේ මුරකොටු ඉදි කළා.+ ගොඩක් පොකුණු හැදුවා.* (මොකද එයාට සත්ව රැළවල් ගොඩක් හිටියා.) එයා ෂෙපේලාවල සහ උස් තැනිතලාවෙත්* ඒ දේවල්ම හැදුවා. උසියා රජ කඳුකරයේ සහ කර්මෙල්වල ගොවිතැන් කරන්නයි, මිදිවතු වවන්නයි මිනිස්සුන්ව පදිංචි කළා. මොකද එයා කෘෂිකර්මයට ගොඩක් කැමති කෙනෙක්. 11  ඕනම වෙලාවක යුද්ධ කරන්න ලෑස්ති පිට හිටපු හමුදාවකුත් උසියාට හිටියා. සේනාංකවලට බෙදලා හිටපු ඒ හමුදාව නිතරම සටන්වලට ගියා. එයාලව ගණන් කරලා ලියාපදිංචි+ කළේ ලේකම් වුණ යෙයීයෙල්+ සහ නිලධාරියෙක් වුණ මයසේයා. එයාලා දෙන්නාම සේවය කළේ රජගේ අධිපතියෙක් වුණ හනනියා යටතේ. 12  යුද්දෙට දක්ෂ ඒ සෙබළුන්ව අධීක්ෂණය කරන්න පෙළපත්වල ප්‍රධානීන් 2,600දෙනෙක් හිටියා. 13  එයාලා යටතේ අවිආයුධ තිබුණ සෙබළු තුන්ලක්ෂ හත්දාස් පන්සියදෙනෙක් හිටියා. රජ වෙනුවෙන් සතුරන්ට විරුද්ධව සටන් කරන්න ලෑස්ති පිට හිටපු එයාලා බලවත් හමුදාවක්.+ 14  උසියා මුළු හමුදාවටම හෙල්ල,+ පලිස්, හිස්වැසුම්, යුද ඇඳුම්,+ දුනු සහ ගල්පටි+ ලබා දුන්නා. 15  ඒ වගේම එයා ඉන්ජිනේරුවන් ලවා ඊතල සහ විශාල ගල් විදින්න පුළුවන් යුද යන්ත්‍ර හැදුවා. එයා ඒවා යෙරුසලමේ මුරකොටුවලයි, පවුරේ+ කොන්වලයි තිබ්බා. දෙවියන් එයාට ගොඩක් උදව් කරපු නිසා එයා බලවත් පාලකයෙක් වුණා. ඉතින් ඈත ප්‍රදේශවල හිටපු ජාතීන් අතරේ පවා එයා ප්‍රසිද්ධියට පත් වුණා. 16  ඒත් එයා බලවත් පාලකයෙක් වුණ ගමන්ම එයාගේ හිතේ ලොකු උඩඟුකමක් ඇති වුණා. කොච්චර උඩඟු වුණාද කියනවා නම් අන්තිමේදී ඒක එයාගේ විනාශයට හේතු වුණා. සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය උඩ සුවඳ ද්‍රව්‍ය දවන්න හිතාගෙන උසියා යෙහෝවාගේ මාලිගාවට ඇතුල් වුණා.+ ඒ විදිහට එයා එයාගේ දෙවි වන යෙහෝවාට විරුද්ධව වරදක් කළා. 17  එයා එතනට ගිය ගමන්ම පූජක අෂරියා සහ යෙහෝවා දෙවියන්ගේ පූජකයන් වුණ, එඩිතරව වැඩ කරපු තවත් 80දෙනෙක් එයා හිටපු තැනට ගියා. 18  එයාලා උසියා රජට කෙළින්ම මෙහෙම කිව්වා. “උසියා, යෙහෝවාට සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන එක ඔබට අයිති දෙයක් නෙමෙයි.+ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න පුළුවන් පූජකයන්ට විතරයි. මොකද ආරොන්ගෙන් පැවතෙන ඒ අයව තමයි ඒක කරන්න දෙවියන් තෝරගත්තේ.+ දැන් ශුද්ධස්ථානයෙන් එළියට යන්න. ඔබ කරපු දේ වැරදියි. ඉතින් ඔබට යෙහෝවා දෙවියන්ගෙන් කිසිම ගෞරවයක් ලැබෙයි කියලා හිතන්න එපා.” 19  ඒත් ඒක ඇහුවාම සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන භාජනය අතේ තියාගෙන හිටපු උසියාට හොඳටම කේන්ති ගියා.+ උසියා හරිම කේන්තියෙන් පූජකයන්ට කතා කරද්දීම එයාගේ නළලේ ලාදුරු රෝගය+ හටගත්තා. ඒ වෙලාවේ එයා හිටියේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය ළඟ පූජකයන් ඉස්සරහයි. 20  නායක පූජක අෂරියායි, අනිත් පූජකයනුයි දැක්කා උසියාගේ නළලේ ලාදුරු හැදිලා තියෙනවා කියලා. ඉතින් එයාලා ඉක්මනින්ම එයාව එතනින් එළියට ගෙනියන්න පියවර ගත්තා. යෙහෝවා එයාට දඬුවම් කරලා කියලා තේරුම්ගත්ත උසියාත් ඉක්මනින්ම එතනින් එළියට ගියා. 21  උසියා රජ මැරෙන කල්ම එයාට ලාදුරු රෝගය තිබ්බා. ලාදුරු රෝගියෙක් වුණ එයාට යෙහෝවා දෙවියන්ගේ ගෘහයට යන්න අවසර තිබුණේ නැති නිසා එයා වෙනම ගෙයක හිටියා.+ ඒ කාලේදී රජමාලිගාවේ හැම වැඩක්ම බැලුවේ රජගේ පුතා වුණ යෝතම්. සෙනඟගේ නඩු විභාග කළෙත් එයා.+ 22  උසියාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන මුල ඉඳන් අගට ආමොෂ්ගේ පුතා වුණ අනාගතවක්තෘ යෙසායා වාර්තා කරලා තියෙනවා.+ 23  ඊටපස්සේ උසියා මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. ඒත් එයාව තැන්පත් කළේ එයාගේ මුතුන්මිත්තන්ගේ සොහොන් ළඟ තිබුණ රජවරුන්ට අයිති ඉඩමක. එයාලා එහෙම කළේ එයා ලාදුරු රෝගියෙක් වුණ නිසයි. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ යෝතම්+ රජකමට පත් වුණා.

පාදසටහන්

හෝ, “සානුවෙත්.”
සමහරවිට මේවා පර්වත හාරලා හදාගන්න ඇති.