දෙවෙනි ලේකම් 28:1-27

  • ආහස් යූදාවල රජ වෙයි (1-4)

  • සිරියානුවන් සහ ඊශ්‍රායෙල්වරු අතින් පරාජය වෙයි (5-8)

  • ඕදෙද් ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු අඟවයි (9-15)

  • යූදාවල සෙනඟ විපත් අද්දකියි (16-19)

  • ආහස් බොරු දෙවිවරුන්ට වඳියි; ආහස්ගේ මරණය (20-27)

28  ආහස්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 20යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 16ක් පාලනය කළා. ඒත් එයා වැඩ කළේ එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත් වැඩ කරපු විදිහට නෙමෙයි. ආහස් යෙහෝවා දෙවියන් හරියි කියලා සලකන දේවල් කළේ නැහැ.+  එයා වැඩ කළේ ඊශ්‍රායෙල්වල රජවරු වැඩ කරපු විදිහටයි.+ එයා ලෝහවලින් බාල් දෙවිවරුන්ගේ රූප පවා හැදුවා.+  එයා බෙන්හින්නොම් නිම්නයේදී* පූජා* ඔප්පු කළා. එයාගේ පුතාලාවත් ගින්නෙන් දවලා පූජා විදිහට ඔප්පු කළා.+ ඒ විදිහට යෙහෝවා ඊශ්‍රායෙල්වරුන් ඉස්සරහින් පන්නලා දාපු ජාතීන් කරපු පිළිකුල්සහගත දේවල් එයා කළා.+  එයා උස් තැන්වල,+ කඳු මුදුන්වල සහ සරුවට වැඩුණ හැම ලොකු ගහක් යටම+ දුම ඉහළට නඟින විදිහට පූජා ඔප්පු කළා.  ඉතින් එයාගේ දෙවි වන යෙහෝවා එයාව සිරියාවේ රජ අතට අහු කරලා දුන්නා.+ සිරියානුවන් එයාව පරාජය කරලා එයාගේ සෙනඟගෙන් විශාල ප්‍රමාණයක් වහලුන් විදිහට දමස්කයට අරගෙන ගියා.+ ඒ විතරක් නෙමෙයි ඊශ්‍රායෙල්වල රජටත් ආහස්ව පරාජය කරන්න දෙවියන් ඉඩහැරියා. ඊශ්‍රායෙල්වල රජ ආහස්ගේ සෙනඟගෙන් හුඟදෙනෙක්ව මැරුවා.  රෙමලියාගේ පුතා වුණ පේකා+ එක දවසකදී යූදාවල හිටපු නිර්භීත පුරුෂයන් එක්ලක්ෂ විසිදාහක් මරලා දැම්මා. එයාලට එහෙම වුණේ එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාව අත්හැරපු නිසයි.+  එෆ්‍රායිම් ගෝත්‍රයේ යුද්දෙට දක්ෂ කෙනෙක් වුණ ෂික්රී, රජගේ පුතෙක් වුණ මයසේයාවයි, රජමාලිගාව භාරව හිටපු අෂ්‍රිකාම්වයි, රජගේ දෙවෙනියා විදිහට හිටපු එල්කානාවයි මරලා දැම්මා.  ඊශ්‍රායෙල්වරු යූදා දේශයෙන්* ස්ත්‍රීන් සහ දරුවෝ ලක්ෂ දෙකක් අල්ලගෙන එයාලව වහලුන් විදිහට අරන් ගියා. ඒ වගේම වටින දේවල් ගොඩක් කොල්ල කාගෙන ඒවාත් සමාරියට අරන් ගියා.+  ඒ කාලේ ඕදෙද් කියලා යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරයෙක් හිටියා. එයා ආපහු සමාරියට යන හමුදාව ඉස්සරහට ගිහින් එයාලට මෙහෙම කිව්වා. “ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා යූදාවල ඉන්න මිනිස්සු එක්ක කේන්තියෙන් හිටපු නිසයි එයාලව යටත් කරගන්න ඔයාලට ඉඩහැරියේ.+ ඒත් ඔයාලා එයාලව හරිම දරුණු විදිහට මරලා දැම්මා. ඒක දෙවියන් දැක්කා. 10  දැන් ඔයාලා හදන්නේ යෙරුසලමෙයි, යූදාවලයි සෙනඟව ඔයාලාගේ දාස දාසීන් කරගන්න.+ ඒත් මතක තියාගන්න ඔයාලත් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඉස්සරහා ගොඩක් වැරදි කරලා තියෙනවා. 11  දැන් මං කියන දේ අහන්න. ඔයාලා වහලුන් කරගන්න හදන ඔයාලාගේ සහෝදරයන්ව නිදහස් කරලා යවන්න. මොකද යෙහෝවාට ඔයාලා එක්ක ගොඩක් කේන්ති ගිහිල්ලයි ඉන්නේ.” 12  එෆ්‍රායිම් ගෝත්‍රයේ හිටපු සමහර ප්‍රධානීන් ඒ කියන්නේ යෙහෝහානන්ගේ පුතා වුණ අෂරියා, මෙෂිල්ලෙමොත්ගේ පුතා වුණ බෙරෙකියා, ෂල්ලුම්ගේ පුතා වුණ යෙහිෂ්කියා සහ හද්ලයිගේ පුතා වුණ අමාසා යුද්දෙට ගිහින් එන හමුදාව හම්බ වෙන්න ගියා. 13  එයාලා හමුදාවේ අයට මෙහෙම කිව්වා. “ඔයාලා අල්ලගත්ත අයව මෙහෙට ගේන්න එපා. එහෙම කරන එක යෙහෝවා සලකන්නේ වරදක් විදිහට. ඊශ්‍රායෙල්වරු දැනටමත් ඔහු ඉස්සරහා ගොඩක් වැරදි කරලා තියෙනවා. ඒ නිසා අපිත් එක්ක දෙවියන් හරිම කේන්තියෙන් ඉන්නේ. ඔයාලා දැන් මේ කරන්න හදන දෙයින් වෙන්නේ අපේ වැරදි තවත් වැඩි වෙන එකයි.” 14  ඉතින් හමුදාවේ අය අල්ලගෙන ආපු වහලුන්ව සහ කොල්ල කාගත්ත දේවල්+ අධිපතීන්ටයි, රැස් වෙලා හිටපු සෙනඟටයි භාර දීලා එතනින් යන්න ගියා. 15  ඊටපස්සේ වහලුන්ට උදව් කරන්න පත් කරපු පුරුෂයන් එයාලා ළඟට ගිහින් හමුදාව කොල්ල කාගත්ත දේවලින් ඇඳුම් අවශ්‍ය වෙලා හිටපු අයට ඇඳගන්න ඇඳුමුයි, පාවහනුයි දුන්නා. ඒ විතරක් නෙමෙයි එයාලට කෑම බීම සහ ඇඟේ ගාගන්න තෙලුත් දුන්නා. එයාලා දුර්වල වෙලා හිටපු අයව බූරුවන් පිටේ නග්ගගෙන අනිත් හැමෝමත් එක්ක තාල වර්ගයේ ගස්වලට ප්‍රසිද්ධ නගරයක් වුණ යෙරිකෝවට ඒ කට්ටියව එක්කගෙන ගියා. ඊටපස්සේ එයාලා ආපහු සමාරියට ගියා. 16  ඒ කාලේදී ආහස් රජ ඇසිරියාවේ රජවරුන්ගෙන් උදව් ඉල්ලුවා.+ 17  ඒදොම්වරු ආයෙත් යූදා දේශයට විරුද්ධව ඇවිල්ලා එහේ මිනිස්සුන්ට පහර දීලා එයාලව වහල්කමට අරගෙන ගියා. 18  පිලිස්තිවරුනුත්+ යූදා දේශයට අයිති ෂෙපේලාවල+ සහ නෙගෙබ්වල තිබුණ නගරවලට පහර දුන්නා. එයාලා බෙත්ෂෙමෙෂ්,+ ආයාලොන්,+ ගෙදේරොත්, සෝකෝ සහ ඒ අවට තිබුණ කුඩා නගර, තිම්නාහ්+ සහ ඒ අවට තිබුණ කුඩා නගර, ගිම්ෂෝ සහ ඒ අවට තිබුණ කුඩා නගර අල්ලගෙන ඒවාවල පදිංචි වුණා. 19  ඊශ්‍රායෙල්වල රජ වුණ ආහස්ගේ වැඩ නිසා යෙහෝවා යූදාවල සෙනඟට විපත්ති අද්දකින්න ඉඩහැරියා. ආහස් නිසා යූදාවල හිටපු මිනිස්සු ඉවක්බවක් නැතුව වැරදි දේවල් කරන්න පෙලඹුණා. ඒ විදිහට එයාලා යෙහෝවාට ද්‍රෝහි වුණා. 20  අන්තිමේදී ඇසිරියාවේ රජ වුණ තිල්ගත්පිල්නෙසෙර්+ එහෙට ආවා. එයා ආහස්ට උදව් කරනවා වෙනුවට කළේ ගොඩක් ප්‍රශ්න ඇති කරන එකයි.+ 21  ආහස් යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙනුයි, රජමාලිගාවෙනුයි,+ අධිපතීන්ගේ මන්දිරවලිනුයි ගන්න පුළුවන් හැම වටින දෙයක්ම අරගෙන ඇසිරියාවේ රජට තෑගි කළත් ඒකෙන් කිසිම වැඩක් වුණේ නැහැ. 22  ආහස් ප්‍රශ්නවලින් මිරිකිලා ඉද්දී තව තවත් වැඩියෙන් යෙහෝවාට අකීකරු වුණා. 23  ආහස් දමස්කයේ දෙවිවරුන්ට*+ ඒ කියන්නේ එයාව පරාජය කරපු සෙනඟගේ+ දෙවිවරුන්ට පූජා ඔප්පු කරන්නත් පටන්ගත්තා. මොකද එයා මෙහෙම හිතුවා. “සිරියාවේ රජවරුන්ගේ දෙවිවරුන් එයාලට උදව් කරනවා. එයාලට පූජා ඔප්පු කළොත් ඒ දෙවිවරුන්ගේ පිහිට මටත් ලබාගන්න පුළුවන් වෙයි.”+ ඒත් ඒ දෙවිවරුන්ට නමස්කාර කරපු නිසා එයාටයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟටයි වුණේ මහා විනාශයක්. 24  ආහස් සැබෑ දෙවියන්ගේ ගෘහයේ තිබුණ භාණ්ඩ එකතු කරගත්තා. ඊටපස්සේ එයා සැබෑ දෙවියන්ගේ ගෘහයේ තිබුණ ඒ භාණ්ඩ ඔක්කොම කෑලිවලට කපලා දැම්මා.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ දොරවලුත් එයා වහලා දැම්මා.+ යෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර හැම තැනම එයා වෙන දෙවිවරුන් වෙනුවෙන් පූජාසන හැදුවා. 25  එයා යූදාවල තිබුණ හැම නගරයකම වෙනත් දෙවිවරුන්ට පූජා* ඔප්පු කරන්න පූජනීය තැන් හැදුවා.+ ඒ විදිහට ආහස් එයාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාව ගොඩක් කේන්ති ගැස්සුවා. 26  ආහස්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම මුල ඉඳන් අගට යූදාවල සහ ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+ 27  ඊටපස්සේ ආහස් මැරුණා. එයාවත් එයාගේ මුතුන්මිත්තන් වගේ තැන්පත් කළා. එයාව තැන්පත් කළේ යෙරුසලමේ. ඒත් එයාව තැන්පත් කළේ ඊශ්‍රායෙල්වල රජවරුන්ව තැන්පත් කරන ස්ථානයේ නෙමෙයි.+ එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ හෙසකියා රජකමට පත් වුණා.

පාදසටහන්

හෝ, “හින්නොම්ගේ පුතාගේ නිම්නයේ.” “පැහැදිලි කිරීමක්” යටතේ තියෙන “ගෙහෙන්නාව” බලන්න.
හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජා.”
මූ.අ., “එයාලාගේ සහෝදරයන්ගෙන්.”
මූ.අ., “තමාට පහර දුන්න දමස්කයේ දෙවිවරුන්ට.”
හෝ, “දුම ඉහළට නඟින විදිහට පූජා.”