දෙවෙනි ලේකම් 29:1-36

  • හෙසකියා යූදාවල රජ වෙයි (1, 2)

  • හෙසකියා බොරු නමස්කාරය අයින් කරයි (3-11)

  • දේවමාලිගාව පවිත්‍ර කරයි (12-19)

  • දේවමාලිගාවේ සේවාවන් ආපහු පටන්ගනියි (20-36)

29  හෙසකියා+ වයස අවුරුදු 25දී රජකමට පත් වුණා. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 29ක් පාලනය කළා. හෙසකියාගේ අම්මාගේ නම අබියා. අබියා සෙකරියාගේ දුව.+  හෙසකියා එයාගේ මුතුන්මිත්තා වුණ දාවිත් වගේ+ යෙහෝවා හරියි කියලා සලකන දේවල් දිගටම කළා.+  එයා රජකමට පත් වුණ අවුරුද්දේ පළවෙනි මාසේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ දොරවල් ඇරලා ඒවා අලුත්වැඩියා කළා.+  ඊටපස්සේ එයා පූජකයන්වයි, ලෙවීවරුන්වයි නැඟෙනහිර පැත්තට වෙන්න තිබුණ එළිමහන් තැනට* රැස් කළා.  හෙසකියා එයාලට මෙහෙම කිව්වා. “ලෙවීවරුනි, මට ඇහුම්කන් දෙන්න. දැන් ඔයාලා පවිත්‍ර වෙන්න.+ ඊටපස්සේ ගිහිල්ලා ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාගේ ගෘහය නමස්කාර වැඩ වෙනුවෙන් පවිත්‍ර කරන්න. ශුද්ධස්ථානයේ තියෙන හැම අපවිත්‍ර දෙයක්ම අයින් කරන්න.+  අපේ තාත්තලා අපේ දෙවි වන යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් කරලා ඔහුට ද්‍රෝහි වුණා.+ එයාලා ඔහුව අත්හැරියා. එයාලා යෙහෝවා දෙවියන්ගේ ගෘහයට කිසි ගෞරවයක් පෙන්නුවේ නැහැ. එයාලා හිතාමතාම ඔහුව ප්‍රතික්ෂේප කළා.+  එයාලා ගෘහයට ඇතුල් වෙන තැන තිබුණ ශාලාවේ+ දොරවල් වහලා දැම්මා. පහන්+ දල්වන එකත් නතර කළා. එයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්ට ඒ ශුද්ධ ගෘහයේ සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කළේවත් දවන පූජා+ ඔප්පු කළේවත් නැහැ.  ඒ නිසා යෙහෝවාට යෙරුසලමේ සහ යූදාවල සෙනඟ එක්ක ගොඩක් කේන්ති ගියා.+ ඉතින් ඔහු එයාලා පිටට කරදර ගෙනාවා. ඒ ගැන අහන දකින අය හොඳටම බය වෙනවා. මිනිස්සුන්ට ඒක අදහාගන්න බැහැ. වෙච්ච ඒ දේ නිසා මිනිස්සු දෙවියන්ගේ සෙනඟට අපහාස කරනවා.* ඒක අද ඔයාලත් පැහැදිලිව දකිනවා.+  අපේ මුතුන්මිත්තන් කරපු වැරදි නිසා එයාලා කඩු පහරින් මැරුම් කෑවා.+ අපේ දරුදැරියන්වයි, භාර්යාවන්වයි වහලුන් විදිහට අරන් ගියා.+ 10  දැන් මට ඕනෙ* ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා එක්ක ගිවිසුමක් ඇති කරගන්නයි.+ එතකොට ගින්නක් වගේ ඇවිළිලා තියෙන ඔහුගේ කේන්තිය නිවිලා යයි. 11  මගේ සහෝදරයෙනි, ඔයාලට ලැබිලා තියෙන වගකීම සැහැල්ලුවට ගන්න මේක කාලයක් නෙමෙයි. මොකද යෙහෝවා ඔයාලව තමයි තෝරගෙන තියෙන්නේ ඔහු ඉස්සරහා සේවය කරන්න.+ පූජා ගින්නෙන් දවලා ඔහුට ඔප්පු කරන්න ඔහු තෝරගත්තේ ඔයාලවයි.”+ 12  ඒක ඇහුවාට පස්සේ ලෙවීවරු එයාලට භාර දීලා තිබුණ වැඩේ කරන්න පියවර ගත්තා. ඒ අයගේ නම් තමයි මේ: කෝහාත්වරු+ අතරින් අමාසායිගේ පුතා වුණ මාහත් සහ අෂරියාගේ පුතා වුණ යෝවෙල්. මෙරාරීගෙන්+ පැවතෙන අය අතරින් අබ්දීගේ පුතා වුණ කිෂ් සහ යෙහල්ලෙලෙල්ගේ පුතා වුණ අෂරියා. ගේර්ෂොන්ගෙන්+ පැවතෙන අය අතරින් සිම්මාගේ පුතා වුණ යෝවා සහ යෝවාගේ පුතා වුණ ඒදන්. 13  එලිෂාෆාන්ගෙන් පැවතෙන අය අතරින් ෂිම්රි සහ යෙවුයෙල්. ආසාෆ්ගෙන්+ පැවතෙන අය අතරින් සෙකරියා සහ මත්තනියා. 14  හේමාන්ගෙන්+ පැවතෙන අය අතරින් යෙහීයෙල් සහ ෂිමෙයි. යෙදූතුන්ගෙන්+ පැවතෙන අය අතරින් ෂෙමායා සහ උස්සියෙල්. 15  එයාලා අනිත් ලෙවීවරුන්වත් එකතු කරගෙන එයාලට පැවරිලා තියෙන සේවය ඉටු කරන්න පවිත්‍ර වුණා. ඊටපස්සේ එයාලා රජ අණ කරපු විදිහට යෙහෝවා දෙවියන්ගේ ගෘහය පවිත්‍ර කරන්න පටන්ගත්තා.+ යෙහෝවා කියලා තිබුණ දේවල්වලට අනුව තමයි රජ එයාලට හැම මඟ පෙන්වීමක්ම දුන්නේ. 16  යෙහෝවා දෙවියන්ගේ ගෘහය පවිත්‍ර කරන්න පූජකයන් ඒක ඇතුළට ගියා. එයාලා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ බොරු නමස්කාරයට පාවිච්චි කරපු හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ගේ ගෘහයෙන් එළියට ගෙනත් මළුවෙන් තිබ්බා.+ ඊටපස්සේ ලෙවීවරු ඒවා කිද්‍රොන් නිම්නයට+ අරගෙන ගිහින් වීසි කළා. 17  ඒ විදිහට පළවෙනි මාසේ පළවෙනිදා එයාලා ගෘහය පවිත්‍ර කරන වැඩේ පටන්ගත්තා. අටවෙනි දවස වෙද්දී යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ඇතුල් වෙන තැන තියෙන ශාලාව+ වෙන කල් පවිත්‍ර කරන්න එයාලට පුළුවන් වුණා. එයාලා තව දවස් අටක් යෙහෝවා දෙවියන්ගේ ගෘහය පවිත්‍ර කළා. පළවෙනි මාසේ 16වෙනිදා එයාලා ඒ හැම වැඩක්ම අවසන් කළා. 18  ඊටපස්සේ එයාලා හෙසකියා රජ ළඟට ගිහින් මෙහෙම කිව්වා. “අපි යෙහෝවා දෙවියන්ගේ ගෘහය සම්පූර්ණයෙන්ම පවිත්‍ර කළා. දවන පූජා ඔප්පු කරන පූජාසනයයි,+ ඒකට පාවිච්චි කරන හැම භාජනයක්මයි,+ දෙවියන්ට පූජා කරන රොටි තියන මේසෙයි,+ ඒකට පාවිච්චි කරන හැම බඳුනක්මයි අපි පවිත්‍ර කළා. 19  ආහස් රජ දෙවියන්ට ද්‍රෝහි වෙලා+ වැඩ කරපු කාලේ අයින් කරපු හැම භාණ්ඩයක්ම අපි ආයෙත් හදලා පරිශුද්ධ දේවල් විදිහට ඒවා වෙන් කළා.+ අපි ඒවා යෙහෝවා දෙවියන්ගේ පූජාසනය ඉස්සරහින් තිබ්බා.” 20  හෙසකියා රජ උදෙන්ම නැඟිටලා නගරයේ හිටපු අධිපතීනුත් එක්ක යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ගියා. 21  එයාලා රජ පවුලේ අය, දේවමාලිගාවේ සේවය කරන අය සහ යූදා දේශයේ සෙනඟ වෙනුවෙන්+ පාප පූජාවක් විදිහට ගොනුන් හත්දෙනෙක්වයි, බැටළුවන් හත්දෙනෙක්වයි, බැටළු පැටව් හත්දෙනෙක්වයි, එළුවන් හත්දෙනෙක්වයි අරන් ආවා. ඊටපස්සේ ඒ සතුන්ව යෙහෝවා දෙවියන්ගේ පූජාසනය උඩ තියලා ඔප්පු කරන්න කියලා රජ ආරොන්ගෙන් පැවතෙන පූජකයන්ට කිව්වා. 22  ඊටපස්සේ ගොනුන්ව මරලා+ පූජකයන් උන්ගේ ලේ අරන් පූජාසනය උඩට ඉස්සා.+ ඊළඟට එයාලා බැටළුවන්ව මරලා උන්ගේ ලේත් පූජාසනය උඩට ඉස්සා. එයාලා බැටළු පැටවුන්වත් මරලා උන්ගේ ලේත් පූජාසනය උඩට ඉස්සා. 23  ඊටපස්සේ පාප පූජාවක් විදිහට ඔප්පු කරන්න ගෙනාපු එළුවන්ව එයාලා රජ සහ එයා එක්ක ඇවිත් හිටපු සෙනඟ ඉස්සරහට ගෙනල්ලා උන්ගේ ඔළු උඩ එයාලාගේ අත් තිබ්බා. 24  පූජකයන් උන්ව මරලා පාප පූජාවක් විදිහට ඔප්පු කළා. ඊටපස්සේ ඊශ්‍රායෙල් සෙනඟගේ වැරදිවලට සමාව ලබාගන්න එයාලා උන්ගේ ලේ පූජාසනය උඩ තිබ්බා. මොකද දවන පූජාවයි, පාප පූජාවයි මුළු ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ඔප්පු කරන්න ඕනෙ කියලා රජ කියලා තිබුණා. 25  ඔය අතරේ ලෙවීවරු අත්තාළම්, වීණා+ සහ කුඩා වීණා අතේ තියාගෙන යෙහෝවා දෙවියන්ගේ ගෘහය ළඟ හිටගෙන හිටියා. රජ තමයි එයාලට ඒ විදිහට ඉන්න කිව්වේ. ඇත්තටම එයාලා හිටගෙන හිටියේ දාවිත් රජ,+ දෙවියන්ගෙන් ලැබුණ දර්ශන රජට දන්වපු ගාද්+ සහ අනාගතවක්තෘ නාතන්+ ගායකයන්ට දීලා තිබුණ මඟ පෙන්වීම්වලට අනුවයි. ඒ මඟ පෙන්වීම් යෙහෝවා ඔහුගේ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් තමයි දීලා තිබුණේ. 26  ලෙවීවරු දාවිත්ගේ කාලේ හදපු සංගීත භාණ්ඩ අතේ තියාගෙන හිටගෙන හිටියා. එතන හිටපු පූජකයන්ගේ අතේ හොරණෑ තිබුණා.+ 27  ඒ වෙලාවේ දවන පූජාව පූජාසනය උඩ තියලා ඔප්පු කරන්න+ කියලා හෙසකියා අණ කළා. දවන පූජාව ඔප්පු කරද්දී එයාලා යෙහෝවාට ගී ගායනා කරන්නත් පටන්ගත්තා. ඒ ගී හඬට ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ දාවිත් හදපු සංගීත භාණ්ඩවල හඬයි, හොරණෑවල හඬයි එකතු වුණා. 28  හොරණෑ හඬ මැද ගායකයන් ගී ගයද්දී එකතු වෙලා හිටපු හැමෝම එයාලාගේ ඔළුව බිමට නමාගෙන හිටියා. දවන පූජාව ඔප්පු කරලා ඉවර වෙන කල්ම ඒ දේවල් සිද්ධ වුණා. 29  පූජාව ඔප්පු කරලා ඉවර වුණ ගමන්ම රජයි, එයාත් එක්ක හිටපු හැමෝමයි දණින් වැටිලා දෙවියන්ට නමස්කාර කළා. 30  ඊටපස්සේ හෙසකියා රජයි, එතන හිටපු අධිපතීනුයි ලෙවීවරුන්ට කිව්වා දාවිත්+ සහ අනාගතවක්තෘ ආසාෆ්+ රචනා කරපු ගීත ගායනා කරලා යෙහෝවාට ප්‍රශංසා කරන්න කියලා. ඉතින් එයාලා ගොඩක් සතුටින් ප්‍රශංසා ගී ගායනා කළා. ඊටපස්සේ එයාලා දණින් වැටිලා දෙවියන්ට නමස්කාර කළා. 31  හෙසකියා එතන හිටපු හැමෝටම මෙහෙම කිව්වා. “ඔයාලා දැන් යෙහෝවාට සේවය කරන්න සුදුසු තත්වයකයි ඉන්නේ.* ඉතින් පූජා විදිහට ඔප්පු කරන්න සතුන්වයි, දෙවියන්ට ස්තුති කරන්න පූජායි අරගෙන දැන් යෙහෝවා දෙවියන්ගේ ගෘහයට එන්න.” ඒක ඇහුවාම රැස් වෙලා හිටපු සෙනඟ පූජා කරන්න සතුන්වයි, දෙවියන්ට ස්තුති කරන්න පූජායි අරගෙන ආවා. සමහර අය එයාලාගේ කැමැත්තෙන්ම දවන පූජාත් අරන් ආවා.+ 32  සෙනඟ දවන පූජා විදිහට ගවයන් 70කුයි, බැටළුවන් 100කුයි, බැටළු පැටව් 200කුයි ගෙනාවා. ඒ හැම සතෙක්වම ගෙනාවේ දවන පූජා විදිහට යෙහෝවාට ඔප්පු කරන්නයි.+ 33  ශුද්ධ පූජා විදිහට ගවයන් 600කුත් බැටළුවන් 3,000කුත් ගෙනාවා. 34  ඒත් දවන පූජා විදිහට ඔප්පු කරන්න ගෙනාපු සතුන්ව හම ගහන්න ඇති තරම් පූජකයන් හිටියේ නැහැ. ඒ නිසා එයාලාගේ සහෝදරයන් වුණ ලෙවීවරු එයාලාගේ උදව්වට ආවා.+ ඒක කරලා ඉවර වෙන කල් සහ අනිත් පූජකයන් පවිත්‍ර වෙන කල් ලෙවීවරු ඒ වැඩේට උදව් කළා.+ මොකද නමස්කාර වැඩ වෙනුවෙන් පවිත්‍ර වෙන එකේ වැදගත්කම පූජකයන්ට වඩා ලෙවීවරු හිතට අරන් තිබුණා. 35  ඒ වගේම ඔප්පු කරන්න ගොඩක් දවන පූජායි,+ හවුල් පූජාවල+ තෙල් කොටසුයි, දවන පූජා එක්ක ඔප්පු කරන පාන පූජායි තිබුණා.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ කරන හැම සේවයක්ම ආයෙත් පටන්ගත්තා. 36  හැම දෙයක්ම ඉක්මනින්ම සහ හොඳින් කරන්න සැබෑ දෙවියන් සෙනඟට උදව් කරපු නිසා+ හෙසකියා රජයි, මුළු සෙනඟයි ගොඩක් සතුටු වුණා.

පාදසටහන්

හෝ, “ජනයාට රැස් වෙන්න නගරයේ තිබුණ තැනකට.”
හෝ, “නින්දාවක් විදිහට විසිල් ගහනවා.”
හෝ, “මගේ හිතේ ආසාව.”
හෝ, “වෙන් කරලයි තියෙන්නේ.”