දෙවෙනි ලේකම් 30:1-27
-
හෙසකියා පාස්කුව පවත්වයි (1-27)
30 හෙසකියා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පාස්කු උත්සවයක් පවත්වන්න+ අදහස් කළා. යෙරුසලමේ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ පවත්වන ඒ උත්සවයට එන්න කියලා එයා ඊශ්‍රායෙල්වල හිටපු හැමෝටමයි,+ යූදාවල හිටපු හැමෝටමයි පණිවිඩයක් මාර්ගයෙන් දැන්නුවා. එෆ්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රවල+ අයටත් එයා ලිපි මාර්ගයෙන් ඒකට ආරාධනා කළා.
2 ඒත් රජයි, එයාගේ නිලධාරීනුයි, යෙරුසලමේ හිටපු හැමෝමයි තීරණය කළා පාස්කු උත්සවය දෙවෙනි මාසේ+ පවත්වන්න.
3 මොකද සාමාන්‍යයෙන් පාස්කු උත්සවය පවත්වන මාසේ+ ඒක පවත්වන්න එයාලට පුළුවන්කමක් තිබුණේ නැහැ. එහෙම වුණේ ඒ වෙද්දී පවිත්‍ර වෙලා හිටපු පූජකයන් ප්‍රමාණය මදි වුණ නිසයි.+ ඒ වගේම ඒ කාලේ වෙද්දී සෙනඟ යෙරුසලමට ඇවිත් හිටියෙත් නැහැ.
4 පාස්කු උත්සවය පවත්වන්න කරපු ඒ සැලසුම්වලට රජයි, මුළු සෙනඟයි කැමති වුණා.
5 ඒ නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා වෙනුවෙන් පාස්කු උත්සවය පවත්වන්න යෙරුසලමට එන්න කියලා නිවේදනයක් කරන්න එයාලා තීරණය කළා. එයාලා ඒ නිවේදනය මුළු ඊශ්‍රායෙල් දේශය පුරාම ඒ කියන්නේ බෙයර්ෂෙබා ඉඳන් දාන්+ වෙන කල්ම කළා. මොකද නීතියේ කියලා තිබුණ විදිහට හැමෝටම එකට එකතු වෙලා පාස්කු උත්සවය පවත්වන්න බැරි වෙලා තිබුණා.+
6 රජ අණ කරපු විදිහට පණිවිඩකරුවන් රජයි, එයාගේ නිලධාරීනුයි ලියපු ලියුම් අරගෙන මුළු ඊශ්‍රායෙල් දේශය සහ යූදා දේශය පුරා ගියා. ඒ ලියුම්වල මෙහෙම සඳහන් වුණා. “ඊශ්‍රායෙල් සෙනඟෙනි, ආබ්රහම්ගෙයි, ඊසාක්ගෙයි, ඊශ්රායෙල්ගෙයි දෙවි වන යෙහෝවා ළඟට ආපහු හැරිලා එන්න. එහෙම කළොත් ඉතුරු වෙලා ඉන්න ඔයාලට ඒ කියන්නේ ඇසිරියාවේ රජවරුන්ගේ+ අතින් බේරුණ ඔයාලට දෙවියන් ආයෙත් ළං වෙයි.
7 ඔයාලාගේ මුතුන්මිත්තන් වගේවත් සහෝදරයන් වගේවත් වැඩ කරන්න එපා. එයාලා එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට ද්‍රෝහි වුණා. ඒ නිසයි හැමෝම ඉස්සරහා නින්දාවට පත් වෙන්න දෙවියන් එයාලට ඉඩහැරියේ. ඒක අද ඔයාලටත් හොඳටම පේනවා.+
8 දැන් ඉතින් ඔයාලාගේ මුතුන්මිත්තන් වගේ මුරණ්ඩු විදිහට වැඩ කරන්න එපා.*+ යෙහෝවාට කීකරු වෙලා ඔහු හැමදාටම ශුද්ධ තැනක් විදිහට වෙන් කරපු ඔහුගේ ගෘහයට එන්න.+ එහෙට ඇවිත් ඔයාලාගේ දෙවි වන යෙහෝවාට සේවය කරන්න. ඔයාලා එහෙම කළොත් ගින්නක් වගේ ඇවිළිලා තියෙන ඔහුගේ කේන්තිය නිවිලා යයි.+
9 ඉතින් ආපහු හැරිලා යෙහෝවා ළඟට එන්න. එහෙම කළොත් ඔයාලාගේ පුතාලවයි, සහෝදරයන්වයි වහලුන් විදිහට අරන් ගිය අය එයාලට දයාව පෙන්නයි.+ එතකොට එයාලට ආයෙත් මේ දේශයට එන්න පුළුවන් වෙයි.+ මොකද ඔයාලාගේ දෙවි යෙහෝවා අනුකම්පාව පෙන්නන, දයාවන්ත කෙනෙක්.+ ඔයාලා ආපහු ඔහු ළඟට ආවොත් ඔහු අනිවාර්යයෙන්ම ඔයාලව පිළිගන්නවා.”+
10 පණිවිඩකරුවන් මනස්සේ සහ එෆ්‍රායිම් ගෝත්‍රවලට+ අයිති ප්‍රදේශ පුරා තිබුණ හැම නගරයකටම ගියා. එයාලා සෙබ්‍යූලන් ගෝත්‍රයට අයිති ප්රදේශයෙත් ඒ දේම කළා. ඒත් සෙනඟ පණිවිඩකරුවන්ව විහිළුවට අරන් එයාලට සමච්චල් කළා.+
11 ඒත් ආෂෙර්, මනස්සේ සහ සෙබ්‍යූලන් ගෝත්‍රවල සමහරදෙනෙක් නිහතමානීව ඒ ආරාධනය පිළි අරන් යෙරුසලමට ආවා.+
12 සැබෑ දෙවියන්ගේ ආශීර්වාදය යූදාවල හිටපු සෙනඟට ලැබුණා. ඒ නිසා එයාලා එකා වගේ* යෙහෝවා දෙවියන් කරන්න කියපු දේවල් ගැන රජයි, අධිපතීනුයි දුන්න ආඥා ඉටු කළා.
13 මුහුන් නොදැමූ රොටි උත්සවය+ පවත්වන්න දෙවෙනි මාසේදී+ විශාල සෙනඟක් යෙරුසලමට රැස් වුණා. ඇත්තටම ඒ කාලේ ගොඩක් කට්ටිය යෙරුසලමට ඇවිත් හිටියා.
14 එයාලා යෙරුසලමේ තිබුණ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන්න හදපු පූජාසනයි,+ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න හදපු පූජාසනයි+ අයින් කරලා ඒවා කිද්‍රොන් නිම්නයට වීසි කළා.
15 ඊටපස්සේ එයාලා දෙවෙනි මාසේ 14වෙනිදා පාස්කුවට ඔප්පු කරන සතුන්ව මැරුවා. සෙනඟ කරපු ඒ දේවල් දැක්කාම පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි ලොකු ලැජ්ජාවක් දැනුණා. ඉතින් එයාලා පවිත්‍ර වෙලා යෙහෝවා දෙවියන්ගේ ගෘහයට දවන පූජා අරන් ආවා.
16 සැබෑ දෙවියන්ගේ සේවකයා වුණ මෝසෙස්ට දුන්න නීතියේ සඳහන් වුණ විදිහට එයාලා එයාලට නියම වෙලා තිබුණ තැන්වලට ගිහින් හිටගත්තා. ඊටපස්සේ පූජකයන් ලෙවීවරු ගෙනත් දුන්න සතුන්ගේ ලේ අරගෙන ඒක පූජාසනය උඩට ඉස්සා.+
17 එකතු වෙලා හිටපු සෙනඟගෙන් හුඟදෙනෙක් පවිත්‍ර වෙලා හිටියේ නැහැ. ඒ නිසා පාස්කුවට ඔප්පු කරන සතුන්ව මරන්න එයාලට අවසර තිබුණේ නැහැ. ඉතින් ලෙවීවරු එයාලා වෙනුවෙන් ඒ දේ කළා. ලෙවීවරු එහෙම කළේ අපවිත්‍ර වෙලා හිටපු ඒ අයව+ යෙහෝවා ඉස්සරහා පවිත්‍ර තත්වයකට ගේන්නයි.
18 සෙනඟගෙන් හුඟදෙනෙක් විශේෂයෙන් එෆ්‍රායිම්, මනස්සේ,+ ඉසකාර් සහ සෙබ්‍යූලන් ගෝත්‍රවලට අයිති අය පවිත්‍ර වෙලා හිටියේ නැතත් පාස්කුවට ඔප්පු කරපු සතාව කෑවා. ඒක නීතියේ සඳහන් වුණ දේට විරුද්ධයි. ඒ නිසා හෙසකියා එයාලා වෙනුවෙන් මෙහෙම යාච්ඤා කළා. “යෙහෝවා, යහපත් දෙවියනි,+ එයාලට සමාව දෙන්න.
19 මොකද එයාලා මුළු හදවතින්ම අධිෂ්ඨාන කරගෙන ඉන්නේ සැබෑ දෙවියන් වන ඔබට ළං වෙන්නයි.+ එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි යෙහෝවා වන ඔබට නමස්කාර කරන්නයි. ඇත්ත, එයාලා ඔබ දීලා තියෙන ශුද්ධ ප්‍රමිතිවලට අනුව පවිත්‍ර වෙලා නැහැ+ තමයි. අනේ, ඒත් එයාලට සමාව දෙන්න.”
20 යෙහෝවා දෙවියන් හෙසකියාගේ යාච්ඤාවට ඇහුම්කන් දීලා සෙනඟට සමාව දුන්නා.
21 යෙරුසලමට එකතු වුණ ඊශ්‍රායෙල්වරු දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි උත්සවය+ හරිම සතුටින් සැමරුවා.+ ලෙවීවරුනුයි, පූජකයනුයි ඒ හැම දවසකම එයාලාගේ සංගීත භාණ්ඩ වාදනය කරලා යෙහෝවාට ප්‍රශංසා කළා. එයාලා ඒ විදිහට හරිම උද්යෝගයෙන් යෙහෝවාට ප්‍රශංසා කළා.+
22 යෙහෝවාට සේවය කරපු ලෙවීවරු එයාලාගේ වගකීම් ඥානවන්තව ඉටු කළා. ඒ නිසා හෙසකියා එයාලව අගය කරලා එයාලව දිරිගැන්නුවා. ලෙවීවරු සහ මුළු සෙනඟ උත්සවය පවත්වපු දවස් හත පුරාම උත්සවය වෙනුවෙන් හදපු කෑම කෑවා.+ එයාලා හවුල් පූජාත්+ ඔප්පු කළා. ඒ වගේම එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාට එයාලා ස්තුති කළා.
23 ඊටපස්සේ එකතු වෙලා හිටපු හැමෝම තවත් දවස් හතක් ඒ උත්සවය පවත්වන්න තීරණය කළා. ඉතින් එයාලා තව දවස් හතක් ගොඩක් සතුටින් ඒක සැමරුවා.+
24 යූදාවල රජ වුණ හෙසකියා රැස් වෙලා හිටපු අය වෙනුවෙන් ගොනුන් 1,000කුයි, බැටළුවන් 7,000කුයි දුන්නා. නිලධාරීනුත් රැස් වෙලා හිටපු අය වෙනුවෙන් ගොනුන් 1,000කුයි, බැටළුවන් 10,000කුයි දුන්නා.+ පූජකයන් විශාල පිරිසක් පවිත්‍ර වුණා.+
25 යූදාවල සෙනඟ හැමෝමයි, පූජකයනුයි, ලෙවීවරුනුයි, ඊශ්‍රායෙල්වලින් ආපු සෙනඟ හැමෝමයි,+ ඊශ්‍රායෙල්වලින් ආපු විදේශිකයනුයි,+ යූදාවල හිටපු විදේශිකයනුයි දිගටම සතුටු වුණා.
26 ඒ විදිහට යෙරුසලමේ රැස් වුණ හැමෝම ගොඩක් සතුටු වුණා. මොකද දාවිත්ගේ පුතා සහ ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ සලමොන්ගේ කාලෙන් පස්සේ මේ වගේ දෙයක් යෙරුසලමේ තිබිලා නැහැ.+
27 අන්තිමට ලෙවී ගෝත්‍රයට අයිති පූජකයන් රැස් වෙලා හිටපු සෙනඟට ආශීර්වාද කළා.+ දෙවියන්ට එයාලාගේ හඬ ඇහුණා. ඔහුගේ ශුද්ධ වාසස්ථානය වන ස්වර්ගයේ ඉඳන් ඔහු එයාලාගේ යාච්ඤාවට ඇහුම්කන් දුන්නා.