දෙවෙනි ලේකම් 32:1-33

  • සෙනකෙරිබ් යෙරුසලමට තර්ජනය කරයි (1-8)

  • සෙනකෙරිබ් යෙහෝවාට නින්දා කරයි (9-19)

  • දේවදූතයෙක් ඇසිරියානු හමුදාවට පහර දෙයි (20-23)

  • හෙසකියාගේ අසනීපය සහ උඩඟුකම (24-26)

  • හෙසකියා කරපු දේවල් සහ එයාගේ මරණය (27-33)

32  හෙසකියා විශ්වාසවන්තව+ ඒ හැම දෙයක්ම කරලා ටික කාලයක් ගියාට පස්සේ ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ් යූදා දේශය ආක්‍රමණය කළා. සෙනකෙරිබ් ආරක්ෂාව වැඩි කරලා තිබුණ නගර වැටලුවා. එයාට ඕනෙ වුණේ ඒ නගරවල පවුරු කඩලා ඒවා අල්ලගන්නයි.+  සෙනකෙරිබ් ඇවිත් ඉන්නේ යෙරුසලමට විරුද්ධව යුද්ධ කරන අදහසින් කියලා හෙසකියාට තේරුණාම  එයා එයාගේ නිලධාරීනුයි, දක්ෂ සෙබළුයි එක්ක සාකච්ඡා කරලා නගරයෙන් එළියේ තියෙන දිය උල්පත් වහලා දාන්න තීරණය කළා.+ එයා ගත්ත ඒ තීරණයට ඒ අය සහය දුන්නා.  මිනිස්සු හුඟදෙනෙක් එකතු වෙලා “අපි මොකටද ඇසිරියාවේ රජවරුන්ට ලේසියෙන්ම වතුර හොයාගන්න ඉඩ දෙන්නේ” කියලා හැම දිය උල්පතක්මයි, දේශය මැදින් ගලාගෙන ගිය දිය පාරයි වහලා දැම්මා.  හෙසකියා ලොකු ධෛර්යයකින් දිගටම අවශ්‍ය දේවල් කළා. එයා ගරාවැටිලා තිබුණ පවුර ආපහු හදලා ඒක උඩ මුරකොටු හැදුවා. ඊටපස්සේ එයා පිටතින්* තවත් පවුරක් ගොඩනැඟුවා. එයා දාවිත්ගේ නුවරේ තිබුණ මිල්ලෝ කියන ගොඩැල්ලත්* අලුත්වැඩියා කළා.+ අවිආයුධ සහ පලිස් විශාල ප්‍රමාණයකුත් එයා හැදුවා.  හෙසකියා සෙනඟට නායකත්වය දෙන්න හමුදාපතීන්ව පත් කරලා එයාලව නගරයේ දොරටුව ළඟ තිබුණ ප්‍රධාන හන්දියට රැස් කළා. ඊටපස්සේ රජ එයාලව මෙහෙම දිරිගැන්නුවා.  “හිතට ධෛර්යය ගන්න. එඩිතරව ඉන්න. ඇසිරියාවේ රජටවත්+ එයාත් එක්ක ඉන්න ලොකු හමුදාවටවත් බය වෙන්න එපා. එයාලව දැකලා කලබල වෙන්නත් එපා. මොකද එයාත් එක්ක ඉන්න අයට වඩා ලොකු කට්ටියක් අපිත් එක්ක ඉන්නවා.+  එයා සටනට ඇවිත් ඉන්නේ එයාත් එක්ක ඉන්න මිනිස්සුන්ගේ ශක්තිය ගැන විශ්වාසය තියලා. ඒත් අපේ උදව්වට අපේ දෙවි යෙහෝවා අපිත් එක්ක ඉන්නවා. ඔහු තමයි අපි වෙනුවෙන් සටන් කරන්නේ.”+ යූදාවල රජ වුණ හෙසකියා කියපු ඒ දේවල් ඇහුවාම සෙනඟ දිරිගැන්වුණා.+  ඒ වෙද්දී ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ් එයාගේ ලොකු සේනාවත් එක්ක ලාකිෂ්වල+ කඳවුරු බැඳගෙනයි හිටියේ. එයා යූදාවල රජ වුණ හෙසකියාටයි, යෙරුසලමේ හිටපු යුදෙව්වන්ටයි මේ දේ කියන්න කියලා එයාගේ නිලධාරීන්ව යෙරුසලමට යැව්වා.+ 10  “ඇසිරියාවේ රජ වන සෙනකෙරිබ් මෙහෙම කියනවා. ‘දැන් යෙරුසලම වටලලයි තියෙන්නේ. ඒත් ඔයාලා මුකුත් කරන්නේ නැතුව යෙරුසලමට වෙලා බලාගෙන ඉන්නේ කවුරු ගැන විශ්වාසය තියලාද?+ 11  හෙසකියා කියනවා නේද “අපේ දෙවි යෙහෝවා ඇසිරියාවේ රජගේ අතින් අපිව බේරගනියි”+ කියලා. ඒවාට රැවටෙන්න එපා. හෙසකියා කියන දේවල් විශ්වාස කළොත් ඔයාලට වෙන්නේ බඩගින්නේ මැරිලා යන්න. 12  ඔයාලාගේ දෙවියන්ට නමස්කාර කරන්න හදලා තිබුණ පූජනීය ස්ථානයි,*+ පූජාසනයි+ අයින් කරලා දැම්මේ ඔය හෙසකියාම නෙමෙයිද? යූදාවලයි, යෙරුසලමෙයි සෙනඟට එයා නේද කිව්වේ “ඔයාලා නමස්කාර කරන්න ඕනෙත් පූජා ඔප්පු කරන්න ඕනෙත් එක පූජාසනයක් ඉස්සරහා විතරයි” කියලා?+ 13  මමයි, මගේ මුතුන්මිත්තනුයි අනිත් දේශවල හිටපු මිනිස්සුන්ට කරපු දේවල් ගැන ඔයාලා අහලා නැද්ද?+ ඒ දේශවල මිනිස්සු අදහපු දෙවිවරුන්ට පුළුවන් වුණාද එයාලාගේ දේශයන් මගේ අතින් බේරගන්න?+ 14  මගේ මුතුන්මිත්තන් ගොඩක් ජාතීන්ව නැත්තටම නැති කරලා දැම්මා. ඒ ජාතීන් අදහපු එක දෙවි කෙනෙක්ටවත් බැරි වුණා එයාලාගේ සෙනඟව මගේ අතින් බේරගන්න. එහෙමනම් මගේ අතින් ඔයාලව බේරගන්න ඔයාලාගේ දෙවියන්ට පුළුවන් කියලා ඔයාලා හිතන්නේ කොහොමද?+ 15  ඉතින් හෙසකියා කියන දේවල්වලට රැවටෙන්න එපා.+ එයා කියන එක වචනයක්වත් විශ්වාස කරන්න එපා. මගේ මුතුන්මිත්තන්ගෙන්වත් මගෙන්වත් බේරෙන්න එක ජාතියකටවත් එක රාජ්‍යයකටවත් පුළුවන් වුණේ නැහැ. එයාලාගේ එක දෙවි කෙනෙක්ටවත් බැරි වුණා එයාලව බේරගන්න. ඉතින් ඔයාලව මගේ අතින් බේරගන්න ඔයාලාගේ දෙවියන්ට පුළුවන් වෙයි කියලා නම් කොහොමටවත් හිතන්න එපා.’”+ 16  සෙනකෙරිබ්ගේ නිලධාරීන් සැබෑ දෙවි වන යෙහෝවාටයි, ඔහුගේ සේවකයා වුණ හෙසකියාටයි නින්දා කරන්න තව ගොඩක් දේවල් කිව්වා. 17  සෙනකෙරිබ් ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට නින්දා කරන්න+ ලිපිත් ලිව්වා.+ දෙවියන්ට විරුද්ධව එයා ලියපු ඒ ලිපිවල මෙහෙම සඳහන් කළා. “වෙනත් ජාතීන්ගේ දෙවිවරුන්ට එයාලාගේ සෙනඟව මගේ අතින් බේරගන්න බැරි වුණ විදිහටම+ හෙසකියාගේ දෙවියන්ටත් බැරි වෙනවා එයාගේ සෙනඟව මගේ අතින් බේරගන්න.” 18  එයාලා පවුර උඩ හිටපු යෙරුසලමේ මිනිස්සුන්ට ඇහෙන්න කෑගහලා යුදෙව්වන්ගේ භාෂාවෙන්ම ගොඩක් දේවල් කිව්වා. එයාලා එහෙම කළේ සෙනඟව හොඳටම බය කරලා නගරය අල්ලගන්නයි.+ 19  එයාලා පොළොවේ ඉන්න අනිත් හැම ජාතියක්ම අදහන දෙවිවරුන්ට විරුද්ධව කතා කරපු විදිහටම තමයි යෙරුසලමේ දෙවියන්ට විරුද්ධවත් කතා කළේ. ඇත්තටම ඒ දෙවිවරු මිනිස්සු හදාගත්ත දෙවිවරු. 20  ඒත් හෙසකියා රජයි, ආමොෂ්ගේ පුතා වුණ අනාගතවක්තෘ යෙසායායි+ ඒ ගැන දිගටම යාච්ඤා කළා. එයාලා උදව් ඉල්ලලා ස්වර්ගයේ දෙවියන්ට කන්නලව් කළා.+ 21  එතකොට යෙහෝවා දේවදූතයෙක්ව යවලා ඇසිරියාවේ රජගේ කඳවුරේ හිටපු යුද්දෙට දක්ෂ සෙබළු හැමෝවමයි,+ හැම නිලධාරියෙක්වමයි, අධිපතියෙක්වමයි විනාශ කරලා දැම්මා. ඉතින් නින්දාවට පත් වුණ සෙනකෙරිබ් ආපහු එයාගේ දේශයට හැරිලා ගියා. පස්සේ දවසක එයා එයාගේ දෙවියන්ගේ දේවාලේට ගිය වෙලාවේ එයාගෙම පුතාලා එයාට කඩුවෙන් පහර දීලා එයාව මරලා දැම්මා.+ 22  ඒ විදිහට යෙහෝවා දෙවියන් හෙසකියාවයි, යෙරුසලමේ සෙනඟවයි ඇසිරියාවේ රජ වුණ සෙනකෙරිබ්ගේ අතිනුත් අනිත් හැම සතුරෙක්ගේ අතිනුත් ගලවගත්තා. ඊටපස්සේ දෙවියන් දේශය පුරාම සාමකාමී වාතාවරණයක් තියෙන්න ඉඩහැරියා. 23  ගොඩක් අය යෙහෝවාට පරිත්‍යාග කරන්න දේවල් අරගෙන යෙරුසලමට ආවා. එයාලා යූදාවල රජ වුණ හෙසකියාටත් වටින දේවල් තෑගි කළා.+ ඒ කාලේ හැම ජාතියකටම අයිති අය හෙසකියාට ලොකු ගෞරවයකින් සැලකුවා. 24  ඒ කාලේදී හෙසකියා අසනීප වෙලා මරණාසන්න වුණා. එයා ඒ ගැන යෙහෝවාට යාච්ඤා කළාම+ දෙවියන් එයාට උත්තර දුන්නා විතරක් නෙමෙයි ඒක ස්ථිර කරන්න ලකුණකුත්* දුන්නා.+ 25  ඒත් දෙවියන් එයා වෙනුවෙන් කරපු ඒ යහපත් දේවල් එයා අගය කළේ නැහැ. එයාගේ හිතේ උඩඟුකමක් ඇති වුණා. ඒ නිසා හෙසකියා එක්කයි, යෙරුසලමේ සහ යූදාවල සෙනඟ එක්කයි දෙවියන්ට ගොඩක් කේන්ති ගියා. 26  ඊටපස්සේ හෙසකියා+ එයාට ඇති වුණ උඩඟුකම ගැන පසුතැවිලා නිහතමානීව වැඩ කරන්න පටන්ගත්තා.+ යෙරුසලමේ සෙනඟත් ඒ දේම කළා. ඒ නිසා හෙසකියා පාලනය කරපු කාලේදී යෙහෝවා එයාලට දඬුවම් කළේ නැහැ. 27  හෙසකියාට ගොඩක් ධන සම්පත් වගේම ලොකු ගෞරවයකුත් ලැබුණා.+ එයාට ලැබුණ රිදී, රත්තරන්, මැණික්, බෝල්සම් තෙල්, පලිස් සහ අනිත් වටින දේවල් එකතු කරලා තියන්න එයා ගබඩා ඉදි කළා.+ 28  ධාන්‍ය, අලුත් වයින් සහ තෙල් රැස් කරලා තියන්නත් එයා ගබඩා හැදුවා. එයා එළුවන්, බැටළුවන් සහ ගවයන් වගේ සත්ව රැළවල්වලට ගාල් හැදුවා. 29  හෙසකියා ගොඩක් නගරත් හැදුවා. එළුවන්, බැටළුවන් සහ ගවයන් විශාල ප්‍රමාණයකුත් එයා අයිති කරගත්තා. මොකද ගොඩක් දේවල් ලබාගන්න දෙවියන් එයාට උදව් කළා. 30  හෙසකියා තමයි ගීහොන්+ උල්පතෙන් ගලාගෙන ආපු එක දිය පාරක් වහලා දාලා+ ඒ උල්පතෙන් ගලාගෙන ආපු තව දිය පාරක් බස්නාහිර පැත්තට ඒ කියන්නේ දාවිත්ගේ නුවර+ පැත්තට ගලාගෙන යන විදිහට හැදුවේ. හෙසකියා කරපු හැම දෙයක්ම එයා සාර්ථකව කළා. 31  ඉතින් දේශයේ සිද්ධ වුණ+ පුදුමසහගත දේ*+ ගැන එයාගෙන් විස්තර අහලා දැනගන්න බැබිලෝනියේ අධිපතීන් එයාලාගේ නියෝජිත පිරිසක්ව හෙසකියා ළඟට එව්වා. හැබැයි ඒ වෙලාවේ එයා කරන්න ඕනෙ මොනවාද කියන තීරණය ගන්න සැබෑ දෙවියන් එයාටම ඉඩ දුන්නා.+ මොකද දෙවියන්ට ඕනෙ වුණා එයාව සෝදිසි කරලා එයාගේ හිතේ තියෙන හැම දෙයක්ම දැනගන්න.+ 32  හෙසකියාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැනයි, දෙවියන් ගැන එයාට තිබුණ නොසැලෙන ආදරේ+ නිසා එයා කරපු දේවල් ගැනයි ආමොෂ්ගේ පුතා වුණ අනාගතවක්තෘ යෙසායාගේ දර්ශනය+ ඇතුළත් ලියවිල්ලේ සඳහන් වෙනවා. ඒ ගැන යූදාවල සහ ඊශ්‍රායෙල්වල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලෙත්+ සඳහන් වෙනවා. 33  ඊටපස්සේ හෙසකියා මැරුණා. එයාගේ මුතුන්මිත්තන් වගේ එයාවත් තැන්පත් කළා. එයාව තැන්පත් කළේ දාවිත්ගේ පුතාලව තැන්පත් කරපු තැනට+ පහළින් තියෙන බෑවුමේ. යෙරුසලමේ සහ යූදාවල හැමෝම එයාට ලොකු ගෞරවයක් දීලා තමයි එයාව තැන්පත් කළේ. එයාගෙන් පස්සේ එයාගේ පුතා වුණ මනස්සේ රජකමට පත් වුණා.

පාදසටහන්

ඒ කියන්නේ පවුරුවලින් වට වෙලා තිබුණ නගරයට පිටින්.
සමහරවිට මේක හදන්න ඇත්තේ නගරයට ආරක්ෂාවක් විදිහට.
මූ.අ., “උස් තැනුයි.”
හෝ, “පුදුමසහගත දේකුත් කළා.”
හෝ, “ලකුණ.”