දෙවෙනි ලේකම් 35:1-27

  • යොෂියා පාස්කුව සමරන්න සැලසුම් කරයි (1-19)

  • යොෂියා පාරාවෝ නෙකෝ අතින් මැරුම් කයි (20-27)

35  යොෂියා රජ යෙහෝවා දෙවියන් වෙනුවෙන් යෙරුසලමේදී පාස්කු උත්සවය පැවැත්තුවා.+ එයාලා පළවෙනි මාසේ 14වෙනිදා+ පාස්කුවට ඔප්පු කරන සතුන්ව මැරුවා.+  එයා පූජකයන්ට එයාලට තිබුණ වගකීම් භාර දීලා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ එයාලට පැවරිලා තියෙන සේවය+ දිගටම කරගෙන යන්න එයාලව දිරිගැන්නුවා.  ඊටපස්සේ ඊශ්‍රායෙල්වරුන්ට නීතිය උගන්වපු,+ යෙහෝවා ශුද්ධයි කියලා සලකන ලෙවීවරුන්ට එයා මෙහෙම කිව්වා. “දාවිත්ගේ පුතා සහ ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ සලමොන් හදපු ගෘහයට ශුද්ධ ගිවිසුම් පෙට්ටිය අරගෙන එන්න.+ ඒක ඔයාලාගේ උරහිසේ තියාගෙන තැනින් තැනට ගෙනියන්න දැන් අවශ්‍ය නැහැ.+ ඔයාලාගේ දෙවි යෙහෝවාටයි, ඔහුගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ටයි සේවය කරන්න.  ඊශ්‍රායෙල්වරුන්ගේ රජ වුණ දාවිත්+ සහ එයාගේ පුතා වුණ සලමොන්+ ලියපු මඟ පෙන්වීම්වල කියලා තියෙන විදිහට ඔයාලාගේ පෙළපතට සහ ඔයාලා අයිති කණ්ඩායම්වලට අනුව බෙදිලා සේවය කරන්න සූදානම් වෙන්න.  ඔයාලාගේ පෙළපත් විදිහටයි, ඔයාලා අයිති කණ්ඩායම් විදිහටයි බෙදිලා ශුද්ධස්ථානය* ළඟ හිටගෙන ඉන්න. එතකොට ඔයාලාගේ සහෝදරයන් වන සෙනඟ එයාලාගේ පෙළපත්වලට අනුව එද්දී ඒ එක එක පෙළපතට සේවය කරන්න ලෑස්ති වුණ ලෙවීවරු කණ්ඩායමක් ඉඳියි.  පාස්කුවට ඔප්පු කරන සතුන්ව මැරුවාට පස්සේ+ ඔයාලා පවිත්‍ර වෙන්න. ඊටපස්සේ යෙහෝවා, මෝසෙස් මාර්ගයෙන් කරන්න කියලා අණ කරපු දේ ඔයාලාගේ සහෝදරයන් වෙනුවෙන් කරන්න ලෑස්ති වෙන්න.”  යොෂියා ඇවිත් හිටපු සෙනඟ වෙනුවෙන් බැටළු පැටවුන් සහ එළු පැටවුන් 30,000ක් පරිත්‍යාග කළා. එයා ගවයන් 3,000කුත් දුන්නා. එයා ඒ හැම දෙයක්ම දුන්නේ පාස්කු පූජාවට ඔප්පු කරන්නයි. එයාට අයිති දේවල්වලින් තමයි ඒවා පරිත්‍යාග කළේ.+  එයාගේ නිලධාරීනුත් කැමැත්තෙන්ම දෙන පූජාවක් විදිහට සෙනඟයි, පූජකයනුයි, ලෙවීවරුනුයි වෙනුවෙන් සතුන්ව පරිත්‍යාග කළා. සැබෑ දෙවියන්ගේ ගෘහයේ නායකයන් විදිහට හිටපු හිල්කියා,+ සෙකරියා සහ යෙහීයෙල් පාස්කු පූජාවට ඔප්පු කරන්න එළු පැටවුන් සහ බැටළු පැටවුන් 2,600කුත් ගවයන් 300කුත් පූජකයන් වෙනුවෙන් දුන්නා.  ලෙවීවරුන්ගේ ප්‍රධානීන් විදිහට හිටපු කොනනියා, එයාගේ සහෝදරයන් වුණ ෂෙමායා සහ නෙතනෙල් වගේම හෂබියා, යෙයීයෙල් සහ යෝෂාබාද් පාස්කු පූජාවට ඔප්පු කරන්න එළු පැටවුන් සහ බැටළු පැටවුන් 5,000කුත් ගවයන් 500කුත් ලෙවීවරු වෙනුවෙන් දුන්නා. 10  හැම දෙයක්ම ලෑස්ති කළාට පස්සේ රජ අණ කරපු විදිහට පූජකයන් එයාලට නියම කරපු තැන්වලත් ලෙවීවරු එයාලාගේ කණ්ඩායම්වලට අනුවත්+ හිටගෙන හිටියා. 11  එයාලා පාස්කු පූජාවට ඔප්පු කරන සතුන්ව මරලා+ උන්ගේ ලේ පූජකයන්ට ගෙනත් දුන්නා. පූජකයෝ ඒ ලේ අරගෙන පූජාසනය උඩ ඉස්සා.+ ලෙවීවරු තමයි මරපු සතුන්ව හම ගැහුවේ.+ 12  ඊටපස්සේ එයාලා පෙළපත්වලට අනුව ආපු සෙනඟට දෙන්න දවන පූජා ලෑස්ති කළා. ඒ නිසා සෙනඟට පුළුවන් වුණා මෝසෙස්ගේ ලියවිල්ලේ සඳහන් වෙලා තියෙන විදිහට පූජාවන් යෙහෝවාට පිළිගන්වන්න. ගවයන්වත් එයාලා ඒ විදිහට ලෑස්ති කළා. 13  එයාලා සාමාන්‍යයෙන් කරන විදිහට පාස්කුවට ඔප්පු කරන සතුන්ව ගින්නෙන් පිලිස්සුවා.+ ඒ වගේම එයාලා ශුද්ධ පූජාවන් හැළිවලයි, කල්දේරම්වලයි, ඇතිළිවලයි ඉව්වා. ඊටපස්සේ එයාලා ඉක්මනින්ම ඒවා සෙනඟට ගෙනත් දුන්නා. 14  එහෙම කළාට පස්සේ ලෙවීවරු එයාලා වෙනුවෙනුයි, ආරොන්ගෙන් පැවතෙන පූජකයන් වෙනුවෙනුයි පාස්කු පූජාව ලෑස්ති කළා. ආරොන්ගෙන් පැවතෙන පූජකයන් රෑ වෙන කල්ම දවන පූජාවනුත් තෙල් කොටසුත් ඔප්පු කරපු නිසා ලෙවීවරු තමයි පූජකයන් වෙනුවෙනුත් පාස්කු පූජාව ලෑස්ති කළේ. 15  දාවිත්,+ ආසාෆ්,+ හේමාන් සහ දෙවියන්ගෙන් ලැබුණ දර්ශන රජට දැනුම් දුන්න යෙදූතුන්+ අණ කරලා තිබුණ විදිහට ආසාෆ්ගෙන් පැවතෙන+ ගායකයන් එයාලට නියම කරලා තිබුණ තැන්වල හිටියා. ඒ වගේම දොරටු පාලකයන් හැම දොරටුවක් ළඟම හිටගෙන හිටියා.+ එයාලාගේ සහෝදරයන් වුණ ලෙවීවරු එයාලා වෙනුවෙන් පාස්කු පූජාව ලෑස්ති කරපු නිසා එයාලා කරකර හිටපු සේවය නතර කරන්න සිද්ධ වුණේ නැහැ. 16  එදා එයාලා යෙහෝවා කියලා තිබුණ විදිහට පාස්කුව පවත්වන්න අවශ්‍ය හැම දෙයක්ම ලෑස්ති කළා.+ යෙහෝවා දෙවියන්ගේ පූජාසනය උඩ දවන පූජා ඔප්පු කරන්නත් එයාලා හැම දෙයක්ම ලෑස්ති කළා. එයාලා ඒ හැම දෙයක්ම යොෂියා රජ අණ කරපු විදිහට කළා.+ 17  ඇවිල්ලා හිටපු ඊශ්‍රායෙල්වරු හැමෝම එකතු වෙලා ඒ දවසේදී පාස්කු උත්සවය පැවැත්තුවා. ඊටපස්සේ එයාලා දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්තුවා.+ 18  අනාගතවක්තෘ සාමුවෙල්ගේ කාලේ ඉඳලා ඒ වෙන කල් ඊශ්‍රායෙල් දේශයේ ඒ වගේ පාස්කු උත්සවයක් පවත්වලා තිබුණේ නැහැ. යොෂියා රජයි,+ පූජකයනුයි, ලෙවීවරුනුයි, යූදාවලින් සහ ඊශ්‍රායෙල්වලින් ඇවිත් හිටපු හැමෝමයි, යෙරුසලමේ සෙනඟයි එකතු වෙලා පවත්වපු ඒ පාස්කුව වගේ පාස්කුවක් ඊශ්‍රායෙල් දේශයේ හිටපු වෙන කිසිම රජ කෙනෙක් සංවිධානය කරලා තිබුණේ නැහැ. 19  ඒ පාස්කුව පැවැත්තුවේ යොෂියා රජකම් කරපු 18වෙනි අවුරුද්දේදී. 20  යොෂියා දේවමාලිගාව අලුත්වැඩියා කරලා ඒ හැම දෙයක්ම කළාට පස්සේ ඊජිප්තුවේ රජ වුණ නෙකෝ+ සටනකට යුප්‍රටීස් ගඟ ළඟ තියෙන කර්කෙමිෂ්වලට පිටත් වුණා. එතකොට යොෂියා එයාට විරුද්ධව සටන් කරන්න ගියා.+ 21  නෙකෝ රජ පණිවිඩකරුවන් අතේ යොෂියාට මෙහෙම දන්වලා යැව්වා. “යූදාවල රජ්ජුරුවනි, ඔබ මට විරුද්ධව ඇවිත් ඉන්නේ ඇයි? මම ආවේ ඔබත් එක්ක සටන් කරන්න නෙමෙයි. මම ආවේ වෙනත් ජාතියකට විරුද්ධව සටන් කරන්නයි. පරක්කු කරන්නේ නැතුව මේ සටන කරන්න කියලා දෙවියන් මට කිව්වා. මම මේ ඔබේම හොඳටයි කියන්නේ. දෙවියන්ගේ උදව් මට තියෙන නිසා ඔබ මේකට හරස් වුණොත් ඒක හරියට ඔබ දෙවියන්ට විරුද්ධව වැඩ කරනවා වගේ. එහෙම කළොත් දෙවියන් අතින් ඔබ විනාශ වෙයි.” 22  ඒත් යොෂියා ආපහු හැරිලා ගියේ නැහැ. නෙකෝ මාර්ගයෙන් දෙවියන් කියපු දේට ඇහුම්කන් දෙන්නේ නැතුව යොෂියා එයාව අඳුරගන්න බැරි විදිහට ඇඳගෙන+ සටනට ගියා. එයා නෙකෝට විරුද්ධව සටන් කරන්න මෙගිද්දෝ තැනිතලාවට+ ගියා. 23  දුනුවායන්ගේ ඊතලයක් යොෂියා රජට වැදුණා. ඉතින් රජ එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “මම හොඳටම තුවාල වෙලයි ඉන්නේ. මාව මෙතනින් අරගෙන යන්න.” 24  යොෂියාගේ සේවකයෝ එයා හිටපු යුධ රථයෙන් එයාව එළියට අරන් එයාගේ දෙවෙනි යුධ රථයට නග්ගගෙන එයාව යෙරුසලමට අරගෙන ආවා. එහෙදී එයා මැරුණා. ඊටපස්සේ එයාගේ මුතුන්මිත්තන්ගේ සොහොන් ගෙයි එයාව තැන්පත් කළා.+ යෙරුසලමේ සහ යූදාවල හිටපු හැමෝම යොෂියා ගැන අඬා වැලපුණා. 25  යොෂියා වෙනුවෙන් යෙරෙමියා+ ශෝක ගීයක් ගායනා කළා. අද වෙන කල් ගායක ගායිකාවන්+ හැමෝම යොෂියා ගැන ශෝක ගී ගායනා කරනවා. ඒ ශෝක ගී ගායනා කරන එක ඊශ්‍රායෙල් දේශයේ චාරිත්‍රයක් වුණා.* ශෝක ගී ඇතුළත් ලියවිල්ලෙත් ඒවා සඳහන් වෙලා තියෙනවා. 26  යොෂියාගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැනත් එයා යෙහෝවා දෙවියන්ගේ නීතියේ ලියලා තියෙන දේවල්වලට කීකරු වෙලා නොසැලෙන ආදරේකින් කරපු හැම දෙයක් ගැනත් 27  ඒ කියන්නේ එයා කරපු හැම දෙයක් ගැනම මුල ඉඳන් අගට ඊශ්‍රායෙල්වල සහ යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා.+

පාදසටහන්

ඒ කියන්නේ ගෘහයේ මළුව.
හෝ, “ගායනා කරන්න කියලා නියෝග කළා.”