දෙවෙනි ලේකම් 36:1-23
36 ඊටපස්සේ යූදාවල මිනිස්සු යොෂියා වෙනුවට එයාගේ පුතා වුණ යෙහෝයහාෂ්ව+ යෙරුසලමේ ඉඳන් රජකම් කරන්න පත් කළා.+
2 යෙහෝයහාෂ් රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 23යි. එයා යෙරුසලමේ ඉඳන් මාස තුනක් පාලනය කළා.
3 ඒත් ඊජිප්තුවේ රජ යෙරුසලමේ ඉඳන් පාලනය කරපු යෙහෝයහාෂ්ව රජකමෙන් අයින් කරලා යූදා දේශයෙන් රිදී තලෙන්ත* 100කුයි, රන් තලෙන්තයකුයි දඩයක් විදිහට ගත්තා.+
4 ඊජිප්තුවේ රජ යූදා සහ යෙරුසලම පාලනය කරන්න යෙහෝයහාෂ්ගේ සහෝදරයා වුණ එලියාකීම්ව පත් කරලා එයාගේ නම යෙහෝයාකිම් කියලා වෙනස් කළා. ඒත් එයාගේ සහෝදරයා වුණ යෙහෝයහාෂ්ව නෙකෝ+ ඊජිප්තුවට අරගෙන ගියා.+
5 යෙහෝයාකිම්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 25යි. එයා යෙරුසලමේ ඉඳන් අවුරුදු 11ක් පාලනය කළා. එයා එයාගේ දෙවි වන යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+
6 බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්+ යෙහෝයාකිම්ට තඹ විලංගු දාලා එයාව බැබිලෝනියට අරගෙන යන අදහසින් එයාට විරුද්ධව ආවා.+
7 නෙබුකද්නෙෂර් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ සමහර භාණ්ඩ බැබිලෝනියට අරගෙන ගිහින් ඒවා එයාගේ මාලිගාවේ තියාගත්තා.+
8 යෙහෝයාකිම්ගේ ජීවිතේ අනිත් සිදුවීම් ගැන ඒ කියන්නේ එයා කරපු පිළිකුල්සහගත දේවල් ගැනයි, එයා ගැන තියෙන නරක වාර්තා හැම එකක්ම ගැනයි ඊශ්‍රායෙල්වල සහ යූදාවල රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කරලා තියෙන ලියවිල්ලේ සඳහන් වෙනවා. එයාට පස්සේ එයාගේ පුතා වුණ යෙහෝයාකින් රජකමට පත් වුණා.+
9 යෙහෝයාකින්+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 18යි. එයා යෙරුසලමේ ඉඳන් මාස තුනකුත් දවස් දහයක් පාලනය කළා. එයා යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා.+
10 අලුත් අවුරුද්දක් පටන්ගන්නවත්* එක්කම නෙබුකද්නෙෂර් රජ එයාගේ හමුදාව යවලා යෙහෝයාකින්ව බැබිලෝනියට අරගෙන ආවා.+ එයාව අරගෙන එද්දී යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ වටින දේවලුත් අරන් ආවා.+ ඊටපස්සේ නෙබුකද්නෙෂර් යෙහෝයාකින්ගේ බාප්පා වුණ ශෙදකියාව යෙරුසලමේ සහ යූදාවල රජ විදිහට පත් කළා.+
11 ශෙදකියා+ රජකමට පත් වෙද්දී එයාට වයස අවුරුදු 21යි. එයා යෙරුසලමේ ඉඳලා අවුරුදු 11ක් පාලනය කළා.+
12 ශෙදකියා එයාගේ දෙවි වන යෙහෝවා වැරදියි කියලා සලකන දේවල් දිගටම කළා. යෙහෝවා අණ කරපු විදිහට අනාගතවක්තෘ යෙරෙමියා එයාට අනතුරු ඇඟෙව්වත් එයා නිහතමානී වෙලා ඒවා පිළිගත්තේ නැහැ.+
13 එයා නෙබුකද්නෙෂර් රජට විරුද්ධවත් කැරලිගැහුවා.+ තමන්ට යටත් වෙලා ඉන්නවා කියලා නෙබුකද්නෙෂර් දෙවියන්ගේ නමින් ශෙදකියාගෙන් දිවුරුමක් අරන් තිබුණත් ශෙදකියා ඒක කඩ කළා. දිගටම මුරණ්ඩු විදිහට වැඩ කරපු එයා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාට කීකරු වෙන්න කැමති වුණේ නැහැ.
14 පූජකයන් අතරේ ප්‍රධානීන් විදිහට වැඩ කරපු අය වගේම සෙනඟත් දිගින් දිගටම දෙවියන්ට ද්‍රෝහි වෙලා වැඩ කළා. අවට හිටපු ජාතීන් කරපු පිළිකුල් දේවල් හැම එකක්ම එයාලා කළා. ඒ විදිහට එයාලා දෙවියන්ම තෝරගත්ත, යෙරුසලමේ තිබුණ යෙහෝවා දෙවියන්ගේ ගෘහය අපවිත්‍ර කළා.+
15 එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඔහුගේ පණිවිඩකරුවන් මාර්ගයෙන් එයාලට දිගටම අනතුරු ඇඟෙව්වා. ඔහුගේ සෙනඟ ගැන දැනුණ අනුකම්පාව නිසාත් ඔහුගේ ගෘහය විනාශ වෙනවා දකින්න අකමැති වුණ නිසාත් ඔහු එයාලට ආයේ ආයේ අනතුරු ඇඟෙව්වා.
16 ඒත් එයාලා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවන්ට නින්දා කළා.+ දෙවියන් කියපු දේවල් ගාණකටවත් ගත්තේ නැති+ එයාලා ඔහුගේ අනාගතවක්තෘවරුන්ට අපහාස කළා.+ ඔය විදිහට එයාලා හරි පාරට ගන්නම බැරි තැනට ආවා. අන්තිමට යෙහෝවාට එයාලා එක්ක හොඳටම කේන්ති ගියා.+
17 ඒ නිසා දෙවියන් කල්දිවරුන්ගේ+ රජව එයාලට විරුද්ධව එව්වා. එයා ඇවිත් එයාලාගේ තරුණයන්ව ශුද්ධස්ථානයේදීම+ කඩුවෙන් මරලා දැම්මා.+ තරුණ තරුණියන්ටවත් මහලු, අබලදුබල අයටවත් එයා කිසිම අනුකම්පාවක් පෙන්නුවේ නැහැ.+ දෙවියන් හැම දෙයක්ම එයාගේ අතට භාර දුන්නා.+
18 සැබෑ දෙවියන්ගේ ගෘහයේ තිබුණ හැම භාජනයක්ම, ලොකු පොඩි හැම දෙයක්ම එයා බැබිලෝනියට අරගෙන ගියා. ඒ විතරක් නෙමෙයි එයා යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ වටින දේවලුත් රජට සහ එයාගේ නිලධාරීන්ට අයිති වටින දේවලුත් අරන් ගියා.+
19 එයා සැබෑ දෙවියන්ගේ ගෘහයට ගිනි තියලා+ යෙරුසලමේ පවුරත් කඩලා දැම්මා.+ එහේ තිබුණ බලකොටු හැම එකකටමත් ගිනි තිබ්බා. යෙරුසලමේ තිබුණ වටින හැම දෙයක්ම එයා විනාශ කරලා දැම්මා.+
20 කඩුවෙන් මැරුම් කෑවේ නැති අයව එයා වහලුන් විදිහට බැබිලෝනියට අරගෙන ගියා.+ එයාලා කල්දිවරුන්ගේ රජටත්+ එයාගේ පුතාලටත් සේවය කළා. පර්සියානු රාජ්‍යය පාලනය කරන්න පටන්ගන්න කල්ම එයාලා එහෙම කළා.+
21 ඒ විදිහට යෙහෝවා යෙරෙමියා මාර්ගයෙන් කියපු දේ ඉටු වුණා.+ දේශයේ හිටපු අය පැවැත්තුවේ නැති හැම සබතක් වෙනුවෙන්ම දේශයට විවේකයක් ලැබෙන කල්+ දේශය පාළුවට ගියා. අවුරුදු 70 සම්පූර්ණ වෙන කල්ම දේශය පාළුවට ගිහින් තිබුණා.+
22 පර්සියාවේ රජ වුණ සයිරස්+ පාලනය කරපු පළවෙනි අවුරුද්දේදී* යෙහෝවා දෙවියන් සයිරස් රජගේ හිත පෙලඹුවා යෙරෙමියා මාර්ගයෙන් යෙහෝවා කියපු දේ+ ඉටු කරන්න. ඒ නිසා සයිරස් රජ තම රාජධානිය පුරාම පණිවිඩයක් යැව්වා. ලිඛිතවත්+ දැනුම් දුන්න ඒ පණිවිඩයේ මෙහෙම සඳහන් වුණා.
23 “පර්සියාවේ සයිරස් රජ මෙසේ දැනුම් දෙයි. ‘ස්වර්ගය පාලනය කරන දෙවි වන යෙහෝවා පොළොවේ සියලු රාජ්‍යයන් මට භාර දීලා තියෙනවා.+ ඔහු යූදා දේශයට අයිති යෙරුසලමේ ඔහු වෙනුවෙන් දේවමාලිගාවක් ගොඩනඟන්න මට අණ කළා.+ ඔබ අතරේ ඉන්න යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන සියලුදෙනාට ඔහුගේ රැකවරණය ලැබේවා! එයාලට එහෙට යන්න මම අවසර දෙනවා.’”+
පාදසටහන්
^ සමහරවිට වසන්ත කාලේ.
^ පේන විදිහට මෙතන කතා කරන්නේ සයිරස් බැබිලෝනිය පාලනය කරන්න පටන්ගත්ත පළවෙනි අවුරුද්ද ගැනයි.