දෙවෙනි ලේකම් 5:1-14

  • දේවමාලිගාව කැප කරන්න සූදානම් වෙයි (1-14)

    • ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට අරන් එයි (2-10)

5  ඒ විදිහට සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් කරන්න තිබුණ හැම දෙයක්ම කරලා ඉවර කළා.+ ඊටපස්සේ සලමොන් එයාගේ තාත්තා වුණ දාවිත් කැප කරපු දේවල්+ වගේම රත්තරන්, රිදී සහ වටින අනිත් හැම දෙයක්ම ගෙනල්ලා සැබෑ දෙවියන්ගේ ගෘහයේ භාණ්ඩාගාරයේ තිබ්බා.+  ඒ කාලේදී සලමොන් රජ ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු වැඩිමහල්ලන්ව ඒ කියන්නේ ගෝත්‍රවල ප්‍රධානීන් හැමෝවමයි, ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල ප්‍රධානීන්වයි රැස් කළා. එයාලා යෙරුසලමට ආවේ දාවිත්ගේ නුවර+ වුණ සියොන්වල+ තිබුණ යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය දේවමාලිගාවට අරගෙන එන්නයි.  හත්වෙනි මාසේ උත්සවය*+ පවත්වන කාලේදී ඊශ්‍රායෙල් පුරුෂයන් හැමෝම රජ ඉස්සරහට ආවා.  ඊශ්‍රායෙල්වරු අතරේ හිටපු වැඩිමහල්ලන් හැමෝම ආවාම ලෙවීවරුන් ගිවිසුම් පෙට්ටිය උස්සගෙන එන්න පටන්ගත්තා.+  පූජකයන් සහ ලෙවීවරුන් ගිවිසුම් පෙට්ටියයි, හමු වීමේ කූඩාරමයි,+ කූඩාරමේ තිබුණ ශුද්ධ උපකරණ හැම එකක්මයි ගෙනාවා.  සලමොන් රජ එයා රැස් කරපු ඊශ්‍රායෙල්වරු හැමෝමත් එක්ක ගිවිසුම් පෙට්ටිය ඉස්සරහා හිටගෙන හිටියා. ඒ වෙලාවේ කොච්චර බැටළුවන් සහ ගවයන් ප්‍රමාණයක් පූජා කළාද කියනවා නම්+ උන්ව ගණන් කරන්න බැරි තරම්.  ඊටපස්සේ පූජකයන් යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය තියන්න නියම කරලා තිබුණ තැනට ඒ කියන්නේ ගෘහය ඇතුළෙම තිබුණ අතිශුද්ධස්ථානයට ඒක ගෙනල්ලා කෙරුබ්වරුන්ගේ පියාපත් යටින්+ ඒක තිබ්බා.  කෙරුබ්වරුන්ගේ පියාපත් ගිවිසුම් පෙට්ටිය තිබුණ තැනට ඉහළින් විහිදිලා තිබුණා. ඒ විදිහට කෙරුබ්වරුන්ගේ පියාපත් ගිවිසුම් පෙට්ටියට සහ ඒකේ පොලුවලට+ සෙවණක් වගේ වුණා.  ගිවිසුම් පෙට්ටියේ පොලු කොච්චර දිගද කියනවා නම් ඒ පොලුවල අගිස් අතිශුද්ධස්ථානයට ඉස්සරහින් තිබුණ ශුද්ධස්ථානයට පෙනුණා. ඒත් එළියේ ඉඳන් බලද්දී නම් ඒවා පෙනුණේ නැහැ. ඒවා අද වෙන කල් එතනම තියෙනවා. 10  හොරෙබ්වලදී මෝසෙස් ගිවිසුම් පෙට්ටිය ඇතුළෙන් තියපු ගල් පුවරු දෙක හැරෙන්න වෙන මුකුත් ඒක ඇතුළේ තිබුණේ නැහැ.+ ඒ ගල් පුවරු දෙක මෝසෙස්ට දුන්නේ ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත් වෙලා ආවාට පස්සේ+ යෙහෝවා එයාලා එක්ක ගිවිසුමක්+ ඇති කරගත්ත වෙලාවෙදියි. 11  පූජකයන් ශුද්ධස්ථානයෙන් එළියට ආවා. (පූජකයන් අයිති වුණ කණ්ඩායම මොකක් වුණත්+ එතනට ඇවිත් හිටපු එයාලා හැමෝම පවිත්‍ර වෙලයි හිටියේ.)+ 12  ඒ වෙලාවේ ආසාෆ්,+ හේමාන්+ සහ යෙදූතුන්+ යටතෙයි, එයාලාගේ පුතාලා සහ සහෝදරයන් යටතෙයි සේවය කරපු ලෙවීවරුන්ගේ ගායකයන්+ අනර්ඝ රෙදිවලින් මහපු ඇඳුම් ඇදගෙන හිටියා. අත්තාළම්, වීණා, කුඩා වීණා එයාලාගේ අතේ තිබුණා. එයාලා පූජාසනයට නැඟෙනහිර පැත්තේ හිටගෙන හිටියා. එයාලත් එක්ක පූජකයෝ 120දෙනෙක් හොරණෑ පිඹපිඹ හිටියා.+ 13  හොරණෑ පිම්ඹ අයයි, ගායකයනුයි එක හඬින් යෙහෝවා දෙවියන්ට මෙහෙම ස්තුති ප්‍රශංසා කළා. “මොකද ඔහු යහපත්. ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”+ හොරණෑවලින්, අත්තාළම්වලින් සහ අනිත් සංගීත භාණ්ඩවලින් නැඟුණ හඬින් යෙහෝවාට ලොකු ප්‍රශංසාවක් ලැබුණා. එහෙම ප්‍රශංසා කරද්දීම යෙහෝවා දෙවියන්ගේ ගෘහය වලාකුළකින් පිරිලා ගියා.+ 14  ඒ වලාකුළ නිසා පූජකයන්ට එතන ඉඳන් එයාලාගේ සේවය කරන්න බැරි වුණා. මොකද යෙහෝවාගේ තේජස නිසා සැබෑ දෙවියන්ගේ ගෘහය දීප්තිමත් ආලෝකයකින් පිරිලා ගියා.+

පාදසටහන්

ඒ කියන්නේ පැල් උත්සවය.