දෙවෙනි ලේකම් 6:1-42

  • සලමොන් සෙනඟට කතා කරයි (1-11)

  • දේවමාලිගාව කැප කරද්දී සලමොන් කරපු යාච්ඤාව (12-42)

6  එතකොට සලමොන් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන්ම කිව්වා ඔහු ගන වලාකුළක වාසය කරනවා කියලා.+  දෙවියනි, ඔබට වාසය කරන්න මං තේජවත් ගෘහයක් ගොඩනැඟුවා. ඒක ඔබට හැමදාටම ඉන්න පුළුවන් ස්ථිර වාසස්ථානයක්.”+  ඊටපස්සේ රජ එතන හිටගෙන හිටපු ඊශ්‍රායෙල් සෙනඟ දිහාවට හැරිලා එයාලට ආශීර්වාද කරන්න පටන්ගත්තා.+  එයා මෙහෙම කිව්වා. “ඊශ්‍රායෙල් සෙනඟගේ දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා! ඔහු මගේ තාත්තා වුණ දාවිත්ට පොරොන්දු වුණ මේ දේ ඔහුගෙම අතින් ඔහු ඉටු කළා.  ‘මගේ සෙනඟව ඊජිප්තුවෙන් පිටතට ගෙනාපු දවසේ ඉඳලා මේ වෙන කල් මගේ නම ගෞරවයට පත් කරන්න ගෘහයක් හදන්න+ ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති එක නගරයක්වත් මං තෝරගත්තේ නැහැ. මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට මම කිසිම මනුස්සයෙක්ව තෝරගත්තෙත් නැහැ.  ඒත් මම මගේ නම ගෞරවයට පත් කරන්න යෙරුසලම තෝරගත්තා.+ ඒ වගේම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න මම දාවිත්ව තෝරගත්තා.’+  ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවය ගේන්න ගෘහයක් හදන්න මගේ තාත්තා වුණ දාවිත්ගේ හිතේ ලොකු ආසාවක් තිබුණා.+  ඒත් යෙහෝවා මගේ තාත්තාට මෙහෙම කිව්වා. ‘මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් හදන්න ඔයා ලොකු ආසාවකින් ඉන්නවා කියලා මං දන්නවා. ඔයාගේ හිතේ තියෙන ඒ ආසාව ගැන මං සතුටු වෙනවා.  හැබැයි ඒ ගෘහය හදන්නේ ඔයා නෙමෙයි. ඔයාට ඉපදෙන ඔයාගෙම පුතෙක් තමයි මගේ නමට ගෞරවය ගේන ඒ ගෘහය හදන්නේ.’+ 10  යෙහෝවා දෙවියන් පොරොන්දු වුණ දේ ඔහු ඉටු කළා. යෙහෝවා පොරොන්දු වුණ විදිහටම+ මගේ තාත්තා වුණ දාවිත්ට පස්සේ ඊශ්‍රායෙල්වරුන්ගේ රජ විදිහට මාව පත් කළා.+ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නමට ගෞරවය ගේන්න මං ගෘහයක් හැදුවා. 11  එතන මම ගිවිසුම් පෙට්ටිය තිබ්බා. ඊශ්‍රායෙල් සෙනඟ එක්ක යෙහෝවා ඇති කරගත්ත ගිවිසුම ඇතුළත් ගල් පුවරු දෙක තියලා තියෙන්නේ ඒ පෙට්ටිය ඇතුළේ.”+ 12  ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහා හිටපු සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ පූජාසනය ඉදිරියේ හිටගෙන අත් දෙක අහස දිහාවට ඉස්සුවා.+ 13  (සලමොන් තඹවලින් වේදිකාවක් හදලා ඒක මළුවේ+ මැද තියලා තිබුණා. ඒකේ දිග රියන්* පහයි, පළල රියන් පහයි, උස රියන් තුනයි. රජ හිටගෙන හිටියේ ඒක උඩ.) ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහා හිටපු රජ දණගහලා, අත් දෙක අහස දිහාවට උස්සලා+ 14  මෙහෙම කිව්වා. “යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, අහසෙවත් පොළොවෙවත් ඔබ වගේ කිසිම දෙවි කෙනෙක් නැහැ. මුළු හදවතින්ම ඔබේ මඟ පෙන්වීම් විශ්වාසවන්තව පිළිපදින ඔබේ සේවකයන්ට ඔබ පෙන්නන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එයාලා එක්ක ඔබ ඇති කරගත්ත ගිවිසුම ඔබ කවදාවත් කඩ කරන්නෙත් නැහැ.+ 15  ඔබේ සේවකයා වුණ දාවිත්ට දීපු පොරොන්දුව ඔබ ඉටු කළා.+ මගේ තාත්තා වුණ දාවිත්ට ඔබ පොරොන්දු වුණ දේ අද ඔබේ අතින්ම ඔබ ඉටු කළා.+ 16  යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, ඔබේ සේවකයා වුණ දාවිත්ට ඔබ මෙහෙම පොරොන්දු වුණා. ‘ඔයා මගේ මඟ පෙන්වීම් විශ්වාසවන්තව පිළිපැද්ද විදිහටම+ ඔයාගේ පුතාලත් මගේ මඟ පෙන්වීම් විශ්වාසවන්තව පිළිපදින්න ඕනේ. ඒ විදිහට එයාලා මගේ නීති පිළිපැදලා එයාලා ජීවත් වෙන විදිහ ගැන සැලකිලිමත් වුණොත්+ ඊශ්‍රායෙල් දේශයේ මං ඉස්සරහා රජකම ලබන්න හැමදාමත් ඔයාගේ පෙළපතේ කෙනෙක් ඉඳියි.’ දෙවියනි, ඒ පොරොන්දුව ඉටු කරන්න. 17  අනේ යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, ඔයාගේ සේවකයා වුණ දාවිත්ට ඔයා දුන්න පොරොන්දුව ඒ විදිහටම ඉටු කරන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. 18  “දෙවියනි, ඇත්තටම ඔබට මේ පොළොවේ මිනිස්සු එක්ක වාසය කරන්න පුළුවන්ද?+ ඔබට වාසය කරන්න ඉමක් කොනක් නැති මේ මුළු අහස්තලයවත් ප්‍රමාණවත් නැහැ.+ එහෙමනම් මං හදපු මේ ගෘහය ඔබට ප්‍රමාණවත් වෙන්නේ කොහොමද?+ 19  අනේ යෙහෝවා, මගේ දෙවියනි, ඔයාගේ සේවකයාගේ මේ කන්නලව්වට සවන් දෙන්න. මගේ යාච්ඤාව අහන්න. උදව් ඉල්ලලා ඔයාගේ සේවකයා කරන මේ යාච්ඤාවට ඇහුම්කන් දෙන්න. 20  මේ ගෘහය ඔයාගේ නම දරනවා+ කියලා ඔයාම කිව්වා. ඉතින් රෑ දවල් දෙකේම ඔයාගේ ඇස් මේ ගෘහය දිහාවට යොමු කරන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ සේවකයා මේ ගෘහය දිහාවට හැරිලා කරන යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න. 21  උදව් ඉල්ලලා ඔයාගේ සේවකයා කරන කන්නලව්වලට වගේම ඔයාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු මේ ගෘහය දිහාවට හැරිලා උදව් ඉල්ලලා කරන කන්නලව්වලටත් සවන් දෙන්න.+ ඔයාගේ වාසස්ථානය වන ස්වර්ගයේ ඉඳන්+ ඒවාට සවන් දීලා අපිට සමාව දෙන්න.+ 22  “දෙවියනි, මනුස්සයෙක් තව කෙනෙක්ට විරුද්ධව වැරැද්දක් කළා කියලා චෝදනාවක් ලබන්න පුළුවන්. ඒ වරද කළේ නැහැ කියලා ඒ මනුස්සයාගෙන් දිවුරුමක් ගත්තාට පස්සේ* එයා මේ ගෘහයේ තියෙන ඔබේ පූජාසනය ඉස්සරහට ආවොත්+ 23  අනේ දෙවියනි, ස්වර්ගයේ ඉඳන් ඒ නඩුව අහලා ඔබේ සේවකයන් වන ඒ දෙන්නාව විනිශ්චය කරන්න. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්න. වරද කරපු කෙනාට දඬුවම් කරලා එයා කරපු දේ එයා පිටටම හරවන්න.+ වරද නොකරපු කෙනා නිර්දෝෂයි* කියලා හෙළි කරලා එයාගේ ධර්මිෂ්ඨකමට අනුව එයාට ආශීර්වාද කරන්න.+ 24  “ඔබට විරුද්ධව දිගටම වැරදි කරන නිසා+ ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු එයාලාගේ සතුරන් අතින් පරදින්න පුළුවන්. ඒත් එයාලා ආපහු ඔබ ළඟට ඇවිල්ලා මේ ගෘහයේදී+ ඔබ ඉස්සරහා ඔබේ නම ගෞරවයට පත් කරලා+ දයාව පෙන්නන්න කියලා ඔබට කන්නලව් කළොත්+ 25  ස්වර්ගයේ ඉඳන් එයාලට ඇහුම්කන් දෙන්න+ කියලා ඔබෙන් ඉල්ලනවා. ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු කරපු වැරදිවලට සමාව දීලා එයාලටයි, එයාලාගේ මුතුන්මිත්තන්ටයි ඔබ දීපු දේශයට ආපහු එයාලව අරගෙන එන්න.+ 26  “සෙනඟ ඔබට විරුද්ධව දිගටම වැරදි කරන නිසා+ දේශයට වැස්ස ලැබෙන්නේ නැති විදිහට ඔබ අහසේ කවුළු වහලා දාන්න+ පුළුවන්. ඔබ එයාලව ඒ විදිහට හික්මවපු නිසා එයාලා කරපු වැරදි අත්හැරලා මේ ගෘහය දිහාවට හැරිලා ඔබේ නම ගෞරවයට පත් කරලා යාච්ඤා කළොත්+ 27  ස්වර්ගයේ ඉඳන් එයාලට ඇහුම්කන් දෙන්න කියලා ඔබෙන් ඉල්ලනවා. ඔබේ සේවකයන් කරපු වැරදිවලට සමාව දෙන්න. ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට එයාලා යන්න ඕන හරි පාර කියලා දෙන්න.+ ඊටපස්සේ ඔබේ සෙනඟට උරුමයක් විදිහට දීපු ඔබේ දේශයට ආයෙත් වැස්ස ලබා දෙන්න.+ 28  “මේ දේශයේ ඉන්න අය සාගතයකින්+ හරි වසංගතයකින්+ හරි පීඩා විඳින්න පුළුවන්. වියළි සුළං, දිලීර රෝග,+ පළඟැටි රංචු+ නිසා දේශයේ තියෙන ගස් කොළන් විනාශ වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් සතුරන් ඇවිල්ලා එයාලාගේ නගර වටලන්න පුළුවන්.+ ඒ වගේ වෙලාවලදී වගේම වෙන ඕනෙම වසංගතයකින් හරි රෝගයකින් හරි පහර කද්දී+ 29  එයාලා තනි තනියෙන් නැත්නම් මුළු ඊශ්‍රායෙල් සෙනඟම එකට එකතු වෙලා යාච්ඤා කරයි. (මොකද ඒ එක් එක් කෙනා තමයි දන්නේ තමන්ගේ ප්‍රශ්නේ සහ වේදනාව.)+ එයාලා මේ ගෘහය දිහාවට හැරිලා අත් උස්සලා කරන+ හැම යාච්ඤාවකටම,+ දයාව පෙන්නන්න කියලා කරන හැම කන්නලව්වකටම+ 30  ඔබේ වාසස්ථානය+ වන ස්වර්ගයේ ඉඳන් ඇහුම්කන් දීලා එයාලට සමාව දෙන්න.+ එයාලාගේ හිතේ තියෙන දේ ඔබ දන්න නිසා එයාලා එක් එක් කෙනා කරලා තියෙන දේවල්වලට අනුව එයාලට ආශීර්වාද කරන්න. (ඇත්තටම මිනිස්සුන්ගේ හිතේ තියෙන දේ දන්නේ ඔබ විතරයි.)+ 31  එතකොට එයාලා අපේ මුතුන්මිත්තන්ට ඔබ දීපු මේ දේශයේ ජීවත් වෙන හැම දවසකදීම ඔබේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වෙලා ඔබ ගැන ලොකු ගෞරවයක් සහ බයක් ඇතුව ඉඳියි. 32  “ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට අයිති නැති විදේශිකයෙක් ඔබේ ශ්‍රේෂ්ඨ නම* ගැනයි,+ ඔබ ඔබේ මහත් බලය හරිම පුදුම විදිහට පාවිච්චි කරලා කරපු දේවල් ගැනයි අහලා ඈත දේශයක ඉඳන් ඇවිත් මේ ගෘහය දිහාවට හැරිලා යාච්ඤා කරන්න පුළුවන්.+ 33  එයාගේ ඒ යාච්ඤාවට ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ ඉඳන් ඇහුම්කන් දීලා එයා ඉල්ලන හැම දෙයක්ම ඉටු කරලා දෙන්න කියලා ඔබෙන් ඉල්ලනවා. එතකොට ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු වගේ පොළොවේ ඉන්න හැම කෙනෙක්මත් ඔබේ නම දැනගෙන,+ ඔබ ගැන ගරුබියක් ඇතුව ජීවත් වෙයි. ඒ වගේම මං හදපු මේ ගෘහය ඔබේ නමට ගෞරවයක් ගේනවා කියලත් එයාලා දැනගනියි. 34  “සතුරන්ට විරුද්ධව යුද්ධ කරන්න ඔබ ඔබේ සෙනඟව යැව්වාම+ එයාලා ඉන්න ඕනෙම තැනක ඉඳලා එයාලා ඔබ තෝරගත්ත නුවර පැත්තට හැරිලා යාච්ඤා කරයි.+ දෙවියනි, ඔබේ නමට ගෞරවයක් ගේන්න මං හදපු මේ ගෘහය දිහාවට හැරිලා එයාලා ඔබට යාච්ඤා කළොත්+ 35  ස්වර්ගයේ ඉඳන් එයාලට ඇහුම්කන් දෙන්න. එයාලාගේ යාච්ඤාවලටත් කන්නලව්වලටත් ඇහුම්කන් දීලා එයාලාගේ උදව්වට එන්න.+ 36  “ඔබේ සෙනඟ ඔබට විරුද්ධව වැරදි කරන්න ඉඩ තියෙනවා. (මොකද වැරදි කරන්නේ නැති කිසිම මනුස්සයෙක් නැහැ.)+ ඒ නිසා සෙනඟත් එක්ක ඔබට ගොඩක් කේන්ති ගිහින් සතුරන්ට එයාලව යටත් කරගන්න ඔබ ඉඩහරියි. ඒ සතුරන් එයාලව වහලුන් විදිහට ගොඩක් දුර තියෙන එහෙම නැත්නම් ළඟ තියෙන දේශයකට අරන් යයි.+ 37  සෙනඟ කරපු වැරදි ගැන ඒ දේශයේ ඉද්දී එයාලා තේරුම්ගන්න ඉඩ තියෙනවා. එතකොට එයාලා ආපහු ඔබ ළඟට ඇවිල්ලා ගොඩක් බැගෑපත් වෙලා මෙහෙම කන්නලව් කරයි. ‘අපි පව් කළා. අපි ඔයාට විරුද්ධව ගොඩක් වැරදි කළා. අපි වැඩ කළේ හරිම දුෂ්ට විදිහටයි.’+ 38  සතුරන්ගේ දේශයේ වහලුන් විදිහට+ ඉද්දී සෙනඟ මුළු හදවතින්ම ඔබ ළඟට හැරිලා එයි.+ එහෙම කරන්න එයාලට පුළුවන් හැම දෙයක්ම* එයාලා කරයි. ඒ විදිහට සෙනඟ ආපහු ඔබ ළඟට ඇවිත් එයාලාගේ මුතුන්මිත්තන්ට ඔබ දුන්න දේශයේ ඔබ තෝරගත්ත නුවර+ දිහාවට හැරිලා, ඔබේ නමට ගෞරවයක් ගේන්න මං හදපු ගෘහය දිහාවට හැරිලා යාච්ඤා කළොත් 39  ඔබේ වාසස්ථානය වන ස්වර්ගයේ ඉඳලා එයාලට ඇහුම්කන් දෙන්න. එයාලාගේ යාච්ඤාවලටත් කන්නලව්වලටත් ඇහුම්කන් දීලා සෙනඟට උදව් කරන්න.+ ඔබේ සෙනඟ ඔබට විරුද්ධව කරපු වැරදිවලට සමාව දෙන්න. 40  “අනේ මගේ දෙවියනි, මේ ස්ථානයේ ඉඳන්* යාච්ඤා කරද්දී අපි දිහා බලලා අපිට ඇහුම්කන් දෙන්න.+ 41  යෙහෝවා දෙවියනි, ඔබේ ශක්තියට ලකුණක් වන ගිවිසුම් පෙට්ටියත් එක්ක ඔබත් මේ ගෘහයට ඇවිත් නතර වෙන්න.+ යෙහෝවා දෙවියනි, ගැලවීම ලබා දෙන්නේ ඔබයි කියලා ඔබේ පූජකයන් මාර්ගයෙන් පෙන්නන්න. ඔබ ලබා දෙන යහපත් දේවල් නිසා ඔබට විශ්වාසවන්තව ඉන්න අය සතුටු වේවා!+ 42  අනේ යෙහෝවා දෙවියනි, ඔබ අභිෂේක කරපු තැනැත්තාව අත්හරින්න එපා.*+ ඔබේ සේවකයා වුණ දාවිත්ට ඔබ නොසැලෙන ආදරයක් පෙන්නපු විදිහ කවදාවත් අමතක කරන්න එපා.”+

පාදසටහන්

රියනක් කියන්නේ සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්). උප. B14 බලන්න.
හෝ, “ඒ මනුස්සයාට ශාපයක් කළාට පස්සේ.” ඒකෙන් අදහස් කරන්නේ දිවුරුම දුන්නේ බොරුවට නම් එහෙම නැත්නම් එයා ඒක කඩ කළොත් දඬුවම හැටියට එයාට ශාපය ලැබෙන්න ඕනෙ කියන එකයි.
මූ.අ., “ධර්මිෂ්ඨයි.”
හෝ, “ඔබ කරපු කියපු දේවල්.”
හෙබ්‍රෙව් භාෂාවෙන් නෙෆෙෂ්. “පැහැදිලි කිරීමක්” බලන්න.
හෝ, “මේ ස්ථානය ගැන.”
මූ.අ., “අභිෂේක කරපු තැනැත්තාගෙන් ඔබේ මුහුණ ඉවතට හරවගන්න එපා.”