දෙවෙනි ලේකම් 7:1-22

  • දේවමාලිගාව යෙහෝවාගේ තේජසින් පිරිලා යයි (1-3)

  • කැප කරන උත්සවය (4-10)

  • යෙහෝවා සලමොන්ට දර්ශනය වෙයි (11-22)

7  සලමොන් යාච්ඤා කරලා ඉවර වුණ ගමන්ම+ ස්වර්ගයෙන් ගින්නක් ඇවිත්+ දවන පූජාවයි, අනිත් පූජාවනුයි දවලා දැම්මා. යෙහෝවා දෙවියන්ගේ තේජස නිසා ගෘහය දීප්තිමත් ආලෝකයකින් පිරිලා ගියා.+  ඒ වෙලාවේ පූජකයන්ට යෙහෝවා දෙවියන්ගේ ගෘහයට ඇතුල් වෙන්න බැරි වුණා. මොකද යෙහෝවාගේ තේජස නිසා යෙහෝවා දෙවියන්ගේ ගෘහය දීප්තිමත් ආලෝකයකින් පිරිලා තිබුණා.+  බිමට ගල් අතුරලා තිබ්බ තැන හිටපු ඊශ්‍රායෙල්වරු හැමෝම ස්වර්ගයෙන් ආපු ගින්නත් ගෘහයට උඩින් තිබ්බ යෙහෝවාගේ තේජසත් දැක්කා. ඒක දැක්ක ගමන්ම එයාලා දණින් වැටිලා ඔළුව පහත් කරලා යෙහෝවාට ස්තුති කළා. “මොකද ඔහු යහපත්. ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”  ඊටපස්සේ රජයි, මුළු සෙනඟයි යෙහෝවා දෙවියන්ට පූජා ඔප්පු කළා.+  සලමොන් රජ ගවයන් විසිදෙදාහකුයි, බැටළුවන් එක්ලක්ෂ විසිදාහකුයි පූජා විදිහට ඔප්පු කළා. ඒ විදිහට රජයි, මුළු සෙනඟයි සැබෑ දෙවියන්ගේ ගෘහය නමස්කාර වැඩකටයුතු වෙනුවෙන් විවෘත කළා.+  පූජකයන් එයාලට නියමිත තැන්වල හිටගෙන හිටියා. ලෙවීවරුත් යෙහෝවාට ස්තුති කරන්න පාවිච්චි කරපු සංගීත භාණ්ඩ අතේ තියාගෙන එයාලට නියමිත තැන්වල හිටගෙන හිටියා.+ (දාවිත් රජ ඒ සංගීත භාණ්ඩ හැදුවේ යෙහෝවාට ස්තුති කරන්නයි. ඒ වගේම ඒවා* මාර්ගයෙන් දෙවියන්ට මෙහෙම ප්‍රශංසා කරන්නයි. “ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”) එයාලා ඉස්සරහා හිටගෙන හිටපු පූජකයන් හරිම සද්දෙන් හොරණෑ පිම්බා.+ ඒ වෙලාවේ මුළු සෙනඟම හිටියේ හිටගෙන.  ඊටපස්සේ සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහය ඉස්සරහා තිබුණ මළුවේ මැද කොටස ශුද්ධ තැනක් විදිහට වෙන් කළා. එයා දවන පූජායි,+ හවුල් පූජාවල තෙල් කොටසුයි ඔප්පු කළේ එතනයි. මොකද එයා හදපු තඹ පූජාසනය+ දවන පූජා, ධාන්‍ය පූජා+ සහ තෙල් කොටස්+ ඔප්පු කරන්න ප්‍රමාණවත් වුණේ නැහැ.  සලමොන් රජ ඊශ්‍රායෙල් සෙනඟ එක්ක එකතු වෙලා දවස් හතක් පුරා ලොකු උත්සවයක් පැවැත්තුවා.+ ඒකට ලේබෝහමාත්* ඉඳන් ඊජිප්තු නිම්නය*+ වෙන කල් තිබුණ ප්‍රදේශවලින් විශාල සෙනඟක් ආවා.  එයාලා පූජාසනය කැප කරන්න දවස් හතක් වෙන් කළා. තව දවස් හතක් පුරා උත්සවයක්* පැවැත්තුවා. අටවෙනි දවසේදී* එයාලා විශේෂ රැස්වීමක් පැවැත්තුවා.+ 10  හත්වෙනි මාසේ 23වෙනි දවසේදී රජ සෙනඟව ගෙවල්වලට යැව්වා. සෙනඟ+ ගොඩක් සතුටින් එයාලාගේ ගෙවල්වලට ගියා. දාවිත් සහ සලමොන් වෙනුවෙනුත් තමන්ගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරු වෙනුවෙනුත් යෙහෝවා කරපු හැම යහපත් දෙයක් ගැනම එයාලා ගොඩක් සතුටු වුණා.+ 11  සලමොන් රජ යෙහෝවා දෙවියන්ගේ ගෘහයත් රජමාලිගාවත් හැදුවා.+ යෙහෝවා දෙවියන්ගේ ගෘහය වෙනුවෙන් කරන්න සැලසුම් කරපු හැම දෙයක්මත් රජමාලිගාව වෙනුවෙන් කරන්න හිතපු හැම දෙයක්මත් එයා සාර්ථකව කරලා ඉවර කළා.+ 12  යෙහෝවා රාත්‍රියේදී සලමොන්ට දර්ශනය වෙලා+ මෙහෙම කිව්වා. “ඔයා කරපු යාච්ඤාවට මම ඇහුම්කන් දුන්නා. මේ ගෘහය පූජා ඔප්පු කරන ස්ථානය විදිහට මම තෝරගත්තා.+ 13  වැස්ස ලැබෙන්නේ නැති විදිහට මං අහසේ කවුළු වහලා දැම්මාම, දේශය පාළු කරන්න මං පළඟැටියන්ට අණ කළාම එහෙම නැත්නම් මගේ සෙනඟට මම වසංගතයකින් පහර දුන්නාම 14  මගේ නම දරන මගේ සෙනඟ+ එයාලා කරන වැරදි ගැන පසුතැවිලා+ මට යාච්ඤා කරයි. එයාලා එයාලාගේ වැරදි අත්හැරලා+ මගේ මඟ පෙන්වීම් පැතුවොත් මම ස්වර්ගයේ ඉඳන් එයාලට සවන් දෙනවා. මම එයාලට සමාව දීලා එයාලාගේ දේශය ආපහු සරු තැනක් කරනවා.+ 15  දැන් ඉඳන් මම මේ ස්ථානය දිහා බලාගෙන ඉන්නවා. මේ ගෘහයේ ඉඳන් කරන යාච්ඤාවට මම සවන් දෙනවා.+ 16  මගේ නම හැමදාටම ගෞරවයට පත් වෙන්න මං මේ ගෘහය විශේෂ තැනක් විදිහට තෝරගත්තා.+ ඒ නිසා මම මේ ගෘහය රැකබලා ගන්නවා. ඒක හැමදාටම මගේ මතකයේ තියෙනවා.+ 17  “මං ඔයාට අණ කරපු හැම දේකටම කීකරු වෙලා ඔයාත් ඔයාගේ තාත්තා වුණ දාවිත් වගේ මගේ මඟ පෙන්වීම් පිළිපදින්න. මගේ නියෝගවලට සහ තීන්දුවලට කීකරු වෙන්න.+ 18  ඔයා එහෙම කරනවා නම් මං ඔයාගේ රජකම ස්ථිර කරනවා.+ ‘ඊශ්‍රායෙල් දේශයේ රජකම හැමදාමත් ඔයාගේ පෙළපතට ලැබෙයි’+ කියලා ඔයාගේ තාත්තා වුණ දාවිත් එක්ක මම ඇති කරගත්ත ගිවිසුමට එකඟව මම වැඩ කරනවා.+ 19  ඒත් ඔයා මගෙන් ඈත් වෙලා ගිහින් මං ඔයාට දුන්න අණපනත් කඩ කරලා වෙනත් දෙවිවරුන් ඉස්සරහා වැඳ වැටිලා එයාලට නමස්කාර කළොත්+ 20  මං ඊශ්‍රායෙල්වරුන්ට දුන්න මගේ දේශයෙන් එයාලව උදුරලා දානවා.+ මගේ නමට ගෞරවයක් ගේන්න මං තෝරගත්ත මේ ගෘහය මං අත්හරිනවා. මං ඒක දිහා බලන්නෙවත් නැහැ. අනිත් ජාතීන් අතරේ මම මේ ගෘහය නින්දාවට ලක් වෙන්න සලස්වනවා.* එයාලා මේ ගෘහය දිහා බලලා හිනා වෙයි.+ 21  මේ ගෘහයත් නටබුන් ගොඩක් වෙයි. ඒක පහු කරගෙන යන හැමෝම පුදුමයෙන් ඒක දිහා බලලා+ මෙහෙම අහයි. ‘මේ දේශයටයි, මේ ගෘහයටයි යෙහෝවා දෙවියන් මේ වගේ දෙයක් කළේ ඇයි?’+ 22  එතකොට එයාලා මෙහෙම කියයි. ‘ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආපු+ එයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාව එයාලා අත්හැරියා.+ එයාලා හරිම ආසාවෙන් වෙනත් දෙවිවරු පස්සේ ගිහින් ඒ දෙවිවරු ඉස්සරහා වැඳ වැටිලා එයාලට නමස්කාර කළා.+ ඒ හින්දා තමයි ඔහු එයාලට මේ ඔක්කොම කරදර ගෙනාවේ.’”+

පාදසටහන්

මූ.අ., “එයාලා.” මෙතන කතා කරන්නේ ලෙවීවරු ගැන වෙන්න පුළුවන්.
හෝ, “හමාත්වල දේශ සීමාවේ.”
ඒ කියන්නේ පැල් උත්සවය.
ඒ කියන්නේ උත්සවයෙන් පස්සේ දවස. නැත්නම් 15වෙනි දවස.
මූ.අ., “ගෘහය ගැන කියමන් හදන්න සලස්වනවා.”