දෙවෙනි ලේකම් 8:1-18

  • සලමොන් හදපු වෙනත් දේවල් (1-11)

  • දේවමාලිගාවේ කරන නමස්කාරය සංවිධානය කරයි (12-16)

  • සලමොන්ගේ නැව් (17, 18)

8  සලමොන්ට යෙහෝවා දෙවියන්ගේ ගෘහය සහ තමන්ගේ රජමාලිගාව හදන්න අවුරුදු 20ක් ගියා.+  ඊටපස්සේ සලමොන්, හීරාම්+ රජගෙන් එයාට ලැබුණ නගර අලුතෙන් ගොඩනඟලා ඒ නගරවල ඊශ්‍රායෙල්වරුන්ව පදිංචි කෙරෙව්වා.  ඒ වගේම එයා හමාත්ෂෝබාවලට විරුද්ධව සටන් කරලා ඒක යටත් කරගත්තා.  ඊටපස්සේ සලමොන් පාළුකරයේ තිබුණ තද්මොර් නගරයේ ආරක්ෂාව තව වැඩි කළා.* හමාත්වල+ එයා ගොඩනඟපු ගබඩා නගර+ හැම එකකමත් ආරක්ෂාව තව වැඩි කළා.  එයා ඉහළ බෙත්හෝරොන්+ සහ පහළ බෙත්හෝරොන්වලත්+ පවුරු ඉදි කරලා ඒවාට දොරවල් සහ අගුල් දාලා ඒවාවල ආරක්ෂාව වැඩි කළා.  සලමොන් බාලාත්+ නගරය, එයාට අයිති ගබඩා නගර, අශ්ව රථ ගාල් කරපු හැම නගරයක්ම+ සහ අසරුවන්ව පදිංචි කරවපු නගර ගොඩනැඟුවා. සලමොන් යෙරුසලමෙයි, ලෙබනොන්වලයි, එයාගේ පාලනය යටතේ තිබුණ හැම ප්‍රදේශයකමයි එයා කැමති හැම දෙයක්ම ගොඩනැඟුවා.  ඊශ්‍රායෙල් ජාතියට අයිති නැති+ හිත්තීවරුන්ගෙන්, අමෝරිවරුන්ගෙන්, පෙරිස්සිවරුන්ගෙන්, හිවීයවරුන්ගෙන් සහ යෙබූසිවරුන්ගෙන්+ ඉතුරු වුණ සෙනඟක් හිටියා.  ඊශ්‍රායෙල්වරුන්ට දේශයෙන් අයින් කරලා දාන්න බැරි වුණ අයගෙන් තමයි එයාලා පැවතෙන්නේ.+ සලමොන් ඒ හැමෝවම මෙහෙකාරකමට ගත්තා. එයාලා අද වෙන කල්ම මෙහෙකාරකම් කරනවා.+  ඒත් සලමොන් ඊශ්‍රායෙල්වරුන්ගෙන් කිසිම කෙනෙක්ව මෙහෙකාරකමට ගත්තේ නැහැ.+ එයාලා සලමොන්ගේ යුධ භටයන්, හමුදාවේ නිලධාරීන්ගේ ප්‍රධානීන්, අශ්ව රථ පදවන්නන්ගේ සහ අසරුවන්ගේ ප්‍රධානීන් විදිහට+ සේවය කළා. 10  සලමොන් රජ යටතේ හිටපු උසස් නිලධාරීන්ගෙන් 250දෙනෙක් වැඩ කරපු අයව අධීක්ෂණය කළා.+ 11  දාවිත්ගේ නුවරේ හිටපු පාරාවෝගේ දුවව+ සලමොන් එයා වෙනුවෙන් හදපු මාලිගාවට+ එක්කගෙන ගියා. මොකද සලමොන් මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය තිබ්බ ඕනම තැනක් ශුද්ධයි.+ ඉතින් එයා මගේ බිරිඳ වුණත් ඊශ්‍රායෙල්වල රජ වුණ දාවිත්ගේ මාලිගාවේ එයා ජීවත් වෙන එක හරි නෑ.” 12  ඊටපස්සේ සලමොන් එයා හදපු යෙහෝවා දෙවියන්ගේ පූජාසනය උඩ යෙහෝවාට දවන පූජා+ ඔප්පු කළා. ඒ පූජාසනය+ තිබුණේ ශුද්ධස්ථානයට ඇතුල් වෙන තැන තිබුණ ශාලාව+ ඉස්සරහා. 13  මෝසෙස් අණ කරලා තිබුණ විදිහට හැම දවසකම ඔප්පු කරන්න ඕනෙ පූජා, සබත් දවස්වලදී+ සහ නව සඳ පායන දවස්වලදී+ ඔප්පු කරන්න ඕනෙ පූජා සලමොන් ඔප්පු කළා. ඒ වගේම අවුරුද්දට තුන් පාරක් පවත්වන්න නියම කරලා තිබුණ උත්සවවලදී+ ඒ කියන්නේ මුහුන් නොදැමූ රොටි උත්සවයේදී,+ සති උත්සවයේදී+ සහ පැල්* උත්සවයේදී+ ඔප්පු කරන්න ඕනෙ පූජාත් එයා ඔප්පු කළා. 14  ඒ වගේම සලමොන් පූජකයන්ව කණ්ඩායම්වලට බෙදුවා.+ එයා ඒක කළේ එයාගේ තාත්තා වුණ දාවිත් පූජකයන් සේවය කරන්න ඕනෙ විදිහ ගැන නියෝග කරලා තිබුණ දේට අනුවයි. ඊට අමතරව එයා ලෙවීවරුන්ටත් එයාලට නියමිත පැවරුම් දුන්නා. හැමදාම දෙවියන්ට ප්‍රශංසා ගී ගායනා කරන එක,+ පූජකයන් ඉස්සරහා සේවය කරන එක ඒ පැවරුම්වලට ඇතුළත් වුණා. ඒ වගේම විවිධ දොරටු ළඟ සේවය කරන්න දොරටු පාලකයන්වත් කණ්ඩායම්වලට බෙදුවා.+ එයා ඒ හැම දෙයක්ම කළේ සැබෑ දෙවියන්ගේ සේවකයෙක් වුණ දාවිත් අණ කරපු විදිහටයි. 15  විවිධ දේවල් සම්බන්ධයෙන් සහ ගබඩා කාමර සම්බන්ධයෙන් රජ පූජකයන්ටයි, ලෙවීවරුන්ටයි දීලා තිබුණ නියෝග එයාලා ඒ විදිහටම පිළිපැද්දා. 16  යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ අත්තිවාරම දාපු දවසේ+ ඉඳලා ගෘහය හදලා ඉවර වෙන දවස වෙන කල්ම සලමොන් කරපු හැම වැඩක්ම හොඳට සැලසුම් කරලා තිබුණා.* ඔය විදිහට යෙහෝවා දෙවියන්ගේ ගෘහය සම්පූර්ණයෙන්ම හදලා ඉවර කළා.+ 17  ඊටපස්සේ තමයි සලමොන් ඒදොම් දේශයේ මුහුදු තීරයේ+ තිබුණ එෂියොන්ගෙබෙර්+ සහ ඒලොත්වලට+ ගියේ. 18  හීරාම්+ සලමොන්ට නැව් සහ ඒ නැව්වල වැඩ කරන්න අද්දැකීම් තියෙන නාවිකයන්ව යැව්වා. ඒ අය වැඩ කළේ හීරාම්ගේ සේවකයන් යටතෙයි. එයාලා සලමොන්ගේ සේවකයන් එක්ක ඕෆීර්වලට+ ගිහින් එහෙන් රත්තරන්+ තලෙන්ත* 450ක් සලමොන් රජට ගෙනාවා.+

පාදසටහන්

හෝ, “නගරය ආයෙත් ගොඩනැඟුවා.”
හෝ, “තාවකාලික මඩු.”
හෝ, “සංවිධානය කරලා තිබුණා; සාර්ථකව අවසන් කළා.”
තලෙන්තයක් කියන්නේ කි.ග්‍රෑ. 34.2ක්. උප. B14 බලන්න.