දෙවෙනි සාමුවෙල් 10:1-19

  • අම්මොන්වරුන්ව සහ සිරියානුවන්ව පරාජය කරපු අවස්ථා (1-19)

10  පස්සේ කාලෙක අම්මොන්වරුන්ගේ+ රජ මැරුණා. ඊටපස්සේ රජ වුණේ එයාගේ පුතා වුණ හානුන්.+  ඒ ගැන දාවිත්ට ආරංචි වුණාම එයා මෙහෙම කිව්වා. “නාහාෂ් රජ ජීවතුන් අතරේ ඉද්දී එයා මට ගොඩක් ආදරෙන්, කරුණාවෙන්* සැලකුවා. මාත් එයාගේ පුතා හානුන්ට ඒ විදිහටම සලකන්න ඕනේ.” තාත්තාගේ මරණය නිසා දුකෙන් ඉන්න හානුන්ව සනසන්න දාවිත් එයාගේ සේවකයන් කීපදෙනෙක්ව යැව්වා. හැබැයි දාවිත්ගේ සේවකයන් අම්මොන්වරුන්ගේ දේශයට ආවාම  ඒ දේශයේ අධිපතීන් එයාලාගේ ස්වාමියා වුණ හානුන්ට මෙහෙම කිව්වා. “ඔබ හිතනවාද දාවිත් ඔබව සනසන්න මිනිස්සුන්ව එවලා තියෙන්නේ ඔබේ තාත්තාට ගෞරවයක් විදිහටයි කියලා? අපේ නගරේ ගැන ඔත්තු බලලා ඒක අල්ලගන්නයි එයාලව මෙහෙට එවලා තියෙන්නේ.”  ඒක ඇහුවාම හානුන් රජ, දාවිත්ගේ සේවකයන්ගේ රැවුලෙන් එක පැත්තක් සම්පූර්ණයෙන්ම කපලා,+ තට්ටම් පේන විදිහට එයාලාගේ ඇඳුම් කොටටම කැපුවා. ඊටපස්සේ එයාලව එහෙන් පිටත් කරලා යැව්වා.  සිද්ධ වුණ දේ ආරංචි වුණාම දාවිත් ඉක්මනින්ම එයාලව හම්බ වෙන්න පිරිසක්ව යැව්වා. මොකද වෙච්ච දේ නිසා ඒ අය හිටියේ හුඟක් ලැජ්ජාවෙන්. ඉතින් දාවිත් එයාලට මෙහෙම දන්වලා යැව්වා. “ඔයාලාගේ රැවුල් ආයෙත් වැවෙන කල් යෙරිකෝවට වෙලා ඉන්න.+ ඊටපස්සේ ආයෙත් එන්න.”  අම්මොන්වරු දැනගත්තා දාවිත් එයාලත් එක්ක ඉන්නේ කේන්තියෙන් කියලා. ඒ නිසා එයාලා බෙත්රෙහොබ්වලයි,+ ෂොබාවලයි+ ජීවත් වුණ සිරියානුවන්ගේ පාබළ හමුදාවෙන් 20,000කුත් මයකාවල+ රජ සහ එයාගේ සෙබළු 1,000කුත් ඉෂ්ටොබ්වල* සෙබළු 12,000කුත් කුලියට ගත්තා.+  ඒ ගැන දැනගත්තාම දාවිත් යෝවාබ්වයි, එයාගේ මුළු හමුදාවයි සටනට පිටත් කරලා යැව්වා. එයාගේ හොඳම සෙබළුත් ඒ අතරේ හිටියා.+  අම්මොන්වරු එයාලාගේ නගරේ දොරටුව ඉස්සරහට ගිහින් සටන් කරන්න පෙළ ගැහුණා. රෙහොබ් සහ ෂොබාවලින් ආපු සිරියානුවනුයි, ඉෂ්ටොබ්වලින්* සහ මයකාවලින් ආපු සෙබළුයි රැස් වෙලා හිටියේ එළිමහනේ.  සතුරු හමුදාව ඉස්සරහිනුයි, පිටිපස්සෙනුයි පහර දෙන්න බලාගෙන ඉන්නවා කියලා දැක්කාම යෝවාබ්, ඊශ්‍රායෙල් හමුදාවේ හිටපු දක්ෂම සෙබළුන් කණ්ඩායමක් තෝරගෙන සිරියානුවන්ට පහර දෙන්න එයාලව පෙළ ගැස්සුවා.+ 10  එයා ඉතුරු සෙබළුන්ව එයාගේ සහෝදරයා වුණ අබිෂයිට+ භාර දීලා එයාලට කිව්වා අම්මොන්වරුන්ට+ පහර දෙන්න පෙළ ගැහෙන්න කියලා. 11  ඊටපස්සේ එයා අබිෂයිට මෙහෙම කිව්වා. “සිරියානුවන් අපිව පරද්දනවා කියලා ඔයාලා දැක්කොත් ඔයාලා අපේ උදව්වට එන්න. අම්මොන්වරු එක්ක සටන් කරන්න ඔයාලට අමාරු වුණොත් අපි ඔයාලාගේ උදව්වට එන්නම්. 12  අපි හිතට ධෛර්යය අරන් සටන් කරමු!+ අපේ සෙනඟ වෙනුවෙනුත් අපේ දෙවියන්ගේ නුවරවල් වෙනුවෙනුත් අපි එඩිතරව සටන් කරන්න ඕනේ. යෙහෝවාට හොඳයි කියලා හිතෙන දේ ඔහු අනිවාර්යයෙන්ම කරයි.”+ 13  යෝවාබ් සහ එයාගේ හමුදාව සිරියානුවන්ට පහර දුන්නා. සිරියානුවන් පලා ගියා.+ 14  සිරියානුවන් පලා යනවා දැක්කාම අබිෂයි එක්ක සටන් කරකර හිටපු අම්මොන්වරුත් පලා ගිහින් නගරයට ඇතුල් වුණා. ඊටපස්සේ යෝවාබ් ආපහු යෙරුසලමට ගියා. 15  ඊශ්‍රායෙල්වරු අතින් පරාජයට පත් වුණ සිරියානුවන් ආයෙත් එයාලාගේ සේනාව රැස් කරගෙන සටන් කරන්න ලෑස්ති වුණා.+ 16  හදද්එෂෙර්+ රජ පණිවිඩකරුවන් යවලා මහ ගඟ*+ අවට ප්‍රදේශයේ හිටපු සිරියානුවන්ට එන්න කිව්වා. ඊටපස්සේ එයාලා හදද්එෂෙර්ගේ හමුදාපති වුණ ෂෝබාක් එක්ක හෙලාම්වලට ආවා. 17  ඒ ගැන දාවිත්ට ආරංචි වුණ ගමන්ම එයා මුළු හමුදාවම රැස් කරගෙන යොර්දාන් ගඟෙන් එගොඩ වෙලා හෙලාම්වලට ගියා. සිරියානුවන්ගේ හමුදාව පෙළ ගැහිලා දාවිත්ට විරුද්ධව සටන් කරන්න පටන්ගත්තා.+ 18  ඒත් දාවිත් සිරියානුවන්ගේ අශ්ව රථ පදවන අය 700කුත් අසරුවන් 40,000කුත් එයාලාගේ හමුදාපති වුණ ෂෝබාක්වත් මරලා එයාලව පැරැද්දුවා.+ ඒ නිසා සිරියානුවන් ඊශ්‍රායෙල්වරුන්ගෙන් පලා ගියා. 19  හදද්එෂෙර් රජ යටතේ හිටපු හැම රජෙක්වම ඊශ්‍රායෙල්වරු පරද්දපු නිසා එයාලා ඉක්මනටම ගිහින් ඊශ්‍රායෙල්වරු එක්ක සමාදාන වුණා. එයාලා ඊශ්‍රායෙල්වරුන්ට සේවය කරන්නත් පටන්ගත්තා.+ එදායින් පස්සේ අම්මොන්වරුන්ට උදව් කරන්න සිරියානුවන් බය වුණා.

පාදසටහන්

හෝ, “නොසැලෙන ආදරෙන්.”
හෝ, “ටොබ්වල පුරුෂයන්ගෙන්.”
හෝ, “ටොබ්වල පුරුෂයන්.”
ඒ කියන්නේ යුප්‍රටීස් ගඟ.