දෙවෙනි සාමුවෙල් 13:1-39

  • අම්නොන් තාමර්ව දූෂණය කරයි (1-22)

  • අබ්සලොම් අම්නොන්ව මරයි (23-33)

  • අබ්සලොම් ගෙෂූර්වලට පලා යයි (34-39)

13  දාවිත්ගේ පුතා වුණ අබ්සලොම්ට තාමර්+ කියලා සහෝදරියක් හිටියා. එයා හරිම ලස්සන තරුණියක්. දාවිත්ගේ පුතෙක් වුණ අම්නොන්ට+ තාමර් ගැන ආදරයක් ඇති වුණා.  අම්නොන් එයාගේ සහෝදරිය වුණ තාමර් ගැන හිතලාම ලෙඩ වුණා. මොකද තාමර් කන්‍යාවක් නිසා අම්නොන්ට එයාගේ ආසාව ඉටු කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.  අම්නොන්ට යෙහොනාදාබ්+ කියලා යාළුවෙක් හිටියා. යෙහොනාදාබ් දාවිත්ගේ සහෝදරයා වුණ ෂිමෙයාහ්ගේ+ පුතා. එයා හරිම කපටි කෙනෙක්.  එක දවසක් යෙහොනාදාබ් අම්නොන්ගෙන් මෙහෙම ඇහුවා. “රජ්ජුරුවන්ගේ පුතා වෙලත් ඇයි ඔයා හැම තිස්සේම දුකෙන් ඉන්නේ?” එතකොට අම්නොන් කිව්වා “මං අබ්සලොම්ගේ සහෝදරිය තාමර්ට ගොඩක් ආදරෙයි”+ කියලා.  ඒක ඇහුවාම යෙහොනාදාබ් එයාට මෙහෙම කිව්වා. “ඔයා ලෙඩින් වගේ ඇඳට වෙලා ඉන්න. එතකොට ඔයාගේ තාත්තා ඔයාව බලන්න එයි. එයා ආවාම ඔයා එයාට මෙහෙම කියන්න. ‘මගේ සහෝදරිය තාමර්ට කියන්න මං ළඟට එන්න කියලා. මං ලෙඩින් ඉන්න නිසා එයාට කියන්න මට කෑම* ටිකක් හදලා දෙන්න කියලා. එයාට කියන්න මං ඉස්සරහම ඒවා හදලා එයාගේ අතින්ම මට කන්න දෙන්න කියලා.’”  ඉතින් අම්නොන් යෙහොනාදාබ් කියපු දේ අහලා අසනීපයෙන් ඉන්න කෙනෙක් වගේ ඇඳට වෙලා හිටියා. රජ එයාව බලන්න ආවාම අම්නොන්, රජට මෙහෙම කිව්වා. “මං ළඟට ඇවිත් මට කෑම ටිකක් හදලා දෙන්න කියලා මගේ සහෝදරිය තාමර්ට කියන්න. මං ඉස්සරහම රොටි දෙකක් හදලා එයාගේ අතින්ම මට කන්න දෙන්න කියලත් එයාට කියන්න.”  එතකොට දාවිත් තාමර්ට පණිවිඩයක් යවලා මෙහෙම දැන්නුවා. “ඔයාගේ සහෝදරයා අම්නොන්ට සනීප නැහැ. එයාගේ ගෙදරට ගිහින් එයාට කෑම ටිකක් හදලා දෙන්න පුළුවන්ද?”  ඊටපස්සේ තාමර් එයාගේ සහෝදරයා වන අම්නොන්ගේ ගෙදරට ගියා. එයා එහෙට යද්දී අම්නොන් හිටියේ ඇඳේ හාන්සි වෙලා. තාමර් එයා ඉස්සරහම පිටි අනලා රොටි හැදුවා.  ඊටපස්සේ එයා තැටියෙන් රොටි ටික අරගෙන එයා ඉස්සරහා තිබ්බා. ඒත් අම්නොන් රොටි කෑවේ නැහැ. එයා කෑගහලා කිව්වා “හැමෝම මෙතනින් යන්න” කියලා. එතකොට හැමෝම එතනින් ගියා. 10  අම්නොන් තාමර්ට මෙහෙම කිව්වා. “කෑම ටික ඇඳ ළඟට අරන් ඇවිත් ඔයාගෙම අතින් මට කවන්න.” ඉතින් තාමර් එයා හදපු රොටි එයාගේ සහෝදරයා වන අම්නොන්ගේ ඇඳ ළඟට අරන් ගියා. 11  තාමර් එයා ළඟට ගියාම අම්නොන් එයාව බදාගෙන කිව්වා “මගේ සහෝදරිය, මාත් එක්ක එකට ඉන්න” කියලා. 12  ඒත් තාමර් මෙහෙම කිව්වා. “අනේ අයියේ, එහෙම කරන්න එපා. මට ලැජ්ජා කරන්න එපා. මේක හරිම පහත් වැඩක්.+ ඊශ්‍රායෙල් දේශයේ ඒ වගේ දෙයක් වෙන්න හොඳ නැහැ.+ 13  ඔයා මට ලැජ්ජා කළොත් මං කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නේ? ඊශ්‍රායෙල් දේශයේ හැමෝම ඔයාව කිසි කමකට නැති කෙනෙක් විදිහට සලකයි. ඉතින් ඔයාගේ හිතේ තියෙන ආසාව ගැන රජට කියන්න. එයා ඔයාට මාව නොදී ඉන්න එකක් නැහැ.” 14  ඒත් අම්නොන් තාමර් කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ. එයා තාමර්ව දූෂණය කරලා එයාට නින්දා කළා. 15  ඊටපස්සේ අම්නොන් එයාට වෛර කරන්න පටන්ගත්තා. එයා තාමර්ට ආදරේ කළාටත් වඩා වැඩියෙන් එයාට වෛර කරන්න පටන්ගත්තා. ඒ නිසා අම්නොන් තාමර්ට මෙහෙම කිව්වා. “තවත් මෙතනට වෙලා ඉඳන් ඉන්නේ නැතුව යනවා යන්න!” 16  එතකොට තාමර් මෙහෙම කිව්වා. “අනේ අයියේ, මට මෙහෙන් යන්න කියන්න එපා. ඒක ඔයා මට කරපු දේට වඩා දුෂ්ට දෙයක්!” ඒත් අම්නොන් එයා කියපු දේ ගාණකටවත් ගත්තේ නැහැ. 17  ඊටපස්සේ අම්නොන් එයාගේ සේවකයාට එන්න කියලා “මෙයාව එළියට දාලා දොර වහලා දාන්න” කියලා කිව්වා. 18  ඉතින් සේවකයා තාමර්ව කාමරයෙන් එළියට අරන් ගිහින් දොර වහලා දැම්මා. (සාමාන්‍යයෙන් රජගේ දුවලා කන්‍යාවන් වෙලා ඉද්දී විශේෂ ඇඳුමක්* ඇන්දා. ඒ වෙලාවේ තාමර් ඇඳගෙන හිටියෙත් ඒ වගේ ඇඳුමක්.) 19  තාමර් එයාගේ ඔළුවට අළු දාගෙන+ එයා ඇඳන් හිටපු විශේෂ ඇඳුම ඉරාගත්තා. ඊටපස්සේ එයා අත් දෙක ඔළුව උඩ තියාගෙන හයියෙන් අඬඅඬ එතනින් ගියා. 20  තාමර්ගේ සහෝදරයා වන අබ්සලොම්+ එයාව දැක්කාම මෙහෙම ඇහුවා. “ඔයාට මෙහෙම කළේ ඔයාගේ සහෝදරයා අම්නොන්ද? එයා ඔයාගේ සහෝදරයානේ.+ ඉතින් මේ ගැන කිසිම දෙයක් කතා කරන්න යන්න එපා. වෙච්ච දේ ගැන දුක් වෙවී ඉන්නත් එපා.” ඊටපස්සේ තාමර් එයාගේ සහෝදරයා වන අබ්සලොම්ගේ ගෙදර නැවතුණා. ඒ සිද්ධියෙන් පස්සේ තාමර් කාවවත් ආශ්‍රය කළේ නැහැ. 21  තාමර්ට සිද්ධ වුණ දේ ගැන දාවිත් රජට ආරංචි වුණාම එයාට හුඟක් කේන්ති ගියා.+ ඒත් අම්නොන් එයාගේ වැඩිමල් පුතා නිසා දාවිත් එයාට ගොඩක් ආදරේ කළා. ඉතින් එයාගේ හිත රිද්දන්න දාවිත් කැමති වුණේ නැහැ. 22  අම්නොන් එයාගේ සහෝදරිය වන තාමර්ට ඒ වගේ පහත් දෙයක් කරපු නිසා+ අබ්සලොම් අම්නොන්ට වෛර කළා.+ ඒත් එයා අම්නොන්ට කිසිම දෙයක් කියන්න ගියේ නැහැ. 23  ඒ සිද්ධිය වෙලා අවුරුදු දෙකක් ගත වුණා. ඒ කාලේ අබ්සලොම්ගේ සේවකයන් එයාට අයිති බැටළුවන්ගේ ලොම් කපකපයි හිටියේ. ඒ, එෆ්‍රායිම්+ ළඟ තියෙන බාල්හාෂොර් කියන තැන. අබ්සලොම් එයාත් එක්ක බාල්හාෂොර්වලට යන්න එන්න කියලා රජගේ පුතාලා හැමෝටම ආරාධනා කළා.+ 24  අබ්සලොම් දාවිත්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, මේ දවස්වල මගේ බැටළුවන්ගේ ලොම් කපනවා. රජතුමනි, ඔයාත් මාත් එක්ක එහෙට යන්න එන්න. ඔයාගේ සේවකයන්වත් එක්කන් එන්න.” 25  ඒත් රජ එයාට මෙහෙම කිව්වා. “අපි හැමෝම එහෙට ආවොත් ඔයාට ඒක කරදරයක් වෙයි. ඒ නිසා පුතේ, මං නෑවිත් ඉන්නම්.” අබ්සලොම් කීප සැරයක්ම රජට එන්න කිව්වත් රජ එන්න කැමති වුණේ නැහැ. ඒත් රජ අබ්සලොම්ට ආශීර්වාද කළා. 26  එතකොට අබ්සලොම් “ඔයා එන්නේ නැත්නම් මගේ සහෝදරයා වන අම්නොන්ට අපිත් එක්ක එන්න අවසර දෙන්න”+ කියලා රජගෙන් ඉල්ලුවා. එතකොට රජ ඇහුවා “එයාව මොකටද එක්කගෙන යන්නේ” කියලා. 27  අම්නොන්ටයි, රජගේ අනිත් පුතාලටයි යන්න රජ අවසර දෙන කල් අබ්සලොම් එයාට කරදර කළා. 28  පස්සේ අබ්සලොම් එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “අම්නොන් වයින් බීලා සතුටින් ඉන්න වෙලාවක ‘අම්නොන්ව මරලා දාන්න’ කියලා මං ඔයාලට කියන්නම්. එතකොට ඔයාලා එයාව මරලා දාන්න. කිසි දේකට බය වෙන්න එපා. මමනේ ඔයාලට ඒක කරන්න කියන්නේ. ඒ නිසා ඔයාලා හිතට ධෛර්යය අරන් ඒක කරන්න.” 29  අබ්සලොම්ගේ සේවකයෝ එයා අණ කරපු විදිහටම අම්නොන්ව මරලා දැම්මා. රජගේ අනිත් පුතාලා ඒක දැක්කාම බය වෙලා කොටළුවන් පිට නැඟලා එතනින් පැනලා ගියා. 30  එයාලා පැනලා යන අතරතුරේ දාවිත්ට මෙහෙම ආරංචි වුණා. “රජගේ පුතාලා හැමෝවම අබ්සලොම් මරලා දාලා! එක් කෙනෙක්ටවත් බේරෙන්න ලැබුණේ නැහැ.” 31  ඒක ඇහුවාම රජ එයාගේ ඇඳුම් ඉරාගෙන බිම වැතිරුණා. එයාගේ සේවකයන් හැමෝමත් එයාලාගේ ඇඳුම් ඉරාගෙන දාවිත් ළඟට වෙලා හිටියා. 32  ඒත් දාවිත්ගේ සහෝදරයා වුණ ෂිමෙයාහ්ගේ+ පුතා වන යෙහොනාදාබ්+ දාවිත්ට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, බය වෙන්න එපා. ඔබේ හැම පුතෙක්වම මරලා නැහැ. මරලා තියෙන්නේ අම්නොන්ව විතරයි.+ අබ්සලොම් තමයි එයාව මරන්න අණ කරලා තියෙන්නේ.+ අම්නොන් එයාගේ සහෝදරිය වන තාමර්ව+ දූෂණය කරපු දවසේ ඉඳන්+ එයා අම්නොන්ව මරන්න බලාගෙනයි හිටියේ. 33  මගේ ස්වාමීනි, රජතුමනි, කලබල වෙන්න එපා. ‘ඔබේ පුතාලා හැමෝම මැරුණා’ කියලා ඔබට ආරංචි වුණත් මරලා තියෙන්නේ අම්නොන්ව විතරයි.” 34  අම්නොන්ව මරලා දැම්මාට පස්සේ අබ්සලොම් ඒ දේශයෙන් පලා ගියා.+ නුවරේ මුරකරු හැරිලා බලද්දී එයා දැක්කා කඳුකරයේ ඉඳන් ලොකු සෙනඟක් නුවර පැත්තට එනවා. 35  එතකොට යෙහොනාදාබ්+ “අර බලන්න, ඔබේ පුතාලා දැන් එනවා. ඔබේ සේවකයා වන මම කිව්වේ ඇත්ත” කියලා රජට කිව්වා. 36  එයා ඒක කියලා ඉවර වෙනවාත් එක්කම රජගේ පුතාලා හොඳටම අඬඅඬ එතනට ආවා. රජ සහ එයාගේ සේවකයොත් එයාලා එක්ක එකතු වෙලා හුඟක් ඇඬුවා. 37  දාවිත් රජ දවස් ගාණක්ම අම්නොන් ගැන දුක් වෙවී හුඟක් ඇඬුවා. ඔය අතරේ අබ්සලොම් අමිහුද්ගේ පුතා වන තල්මයි ළඟට පලා ගියා. තල්මයි+ ගෙෂූර් දේශයේ රජ. 38  අබ්සලොම් ගෙෂූර්වල+ අවුරුදු තුනක් ජීවත් වුණා. 39  අම්නොන් නැති දුක තුනී වෙලා ගියාට පස්සේ දාවිත් රජට අබ්සලොම්ව බලන්න ලොකු ආසාවක් ඇති වුණා.

පාදසටහන්

මූ.අ., “ලෙඩ වෙලා ඉන්න කෙනෙක්ට දෙන කෑම.”
හෝ, “වැඩ දාපු ඇඳුමක්.”