දෙවෙනි සාමුවෙල් 15:1-37

  • අබ්සලොම්ගේ කුමන්ත්‍රණය (1-12)

  • දාවිත් යෙරුසලමෙන් පලා යයි (13-30)

  • අහිතොෆෙල් අබ්සලොම්ගේ පැත්තට යයි (31)

  • අහිතොෆෙල්ගේ උපදෙස් අසාර්ථක කරන්න හූෂයිව යවයි (32-37)

15  ටික කාලයකට පස්සේ අබ්සලොම් එයාටම කියලා අශ්ව රථයක් හදාගත්තා. ඒ රථයට ඉස්සරහින් දුවන්න මිනිස්සු 50දෙනෙක්වත් අශ්වයන්වත් එයා ලෑස්ති කරගත්තා.+  අබ්සලොම් පුරුද්දක් විදිහට පාන්දරින්ම නැඟිටලා නුවරේ දොරටුව ළඟට ගිහින්+ රජ ළඟට නඩු විසඳගන්න එන මිනිස්සුන්ව කතාවට අල්ලගත්තා.+ එහෙම යන කෙනෙක්ගෙන් එයා මුලින්ම ඇහුවා “ඔයා කොයි නුවරේ ඉඳන්ද ආවේ” කියලා. එතකොට ඒ කෙනා මෙහෙම කිව්වා “ඔබේ සේවකයා වන මම ඊශ්‍රායෙල්වල අහවල් ගෝත්‍රයට අයිති කෙනෙක්.”  අබ්සලොම් ඒ කෙනාගෙන් විස්තර දැනගත්තාට පස්සේ මෙහෙම කිව්වා. “ඔයා කියන දේ සාධාරණයි. හැබැයි ඔයාගේ පැමිණිල්ලට ඇහුම්කන් දෙන්න රජ කිසිම කෙනෙක්ව පත් කරලා නැහැනේ.”  එයා මෙහෙමත් කිව්වා. “මාව මේ දේශයේ විනිශ්චයකාරයා විදිහට පත් කළා නම් නඩු විසඳගන්න මං ළඟට එන හැමෝටම මම සාධාරණය ඉටු කරලා දෙනවා.”  ඒ වගේම කෙනෙක් අබ්සලොම් ළඟට ගිහින් ඔළුව නමලා එයාට ආචාර කරන්න හදද්දී අබ්සලොම් ඉක්මනටම ඒ කෙනාව ළඟට අරන් සිපගත්තා.+  නඩු විසඳගන්න රජ ළඟට ගිය හැම කෙනෙක්ටම එයා සැලකුවේ ඒ විදිහටයි. එහෙම කරලා අබ්සලොම් හරිම කපටි විදිහට ඊශ්‍රායෙල් සෙනඟගේ හිත් දිනාගත්තා.+  අවුරුදු හතරක්* ගත වුණාට පස්සේ අබ්සලොම්, රජට මෙහෙම කිව්වා. “මම යෙහෝවාට භාරයක් වුණා. ඒක ඔප්පු කරන්න මට හෙබ්‍රොන්වලට+ යන්න අවසර දෙන්න පුළුවන්ද?  ඔබේ සේවකයා වන මම සිරියාවේ ගෙෂූර්වල+ ජීවත් වුණ කාලේදී ‘යෙහෝවා මට ආපහු යෙරුසලමට යන්න අවස්ථාව දුන්නොත් මම යෙහෝවාට පූජාවක් ඔප්පු කරනවා’* කියලා පොරොන්දු වුණා.”+  එතකොට රජ “පරෙස්සමින් ගිහින් එන්න” කියලා එයාට කිව්වා. ඊටපස්සේ අබ්සලොම් හෙබ්‍රොන් නගරයට ගියා. 10  එහෙට ගියාට පස්සේ අබ්සලොම්, ඊශ්‍රායෙල්වල හැම පළාතකටම* ඔත්තුකරුවන්ව යැව්වා. අබ්සලොම් එයාලට මෙහෙම කියලා තිබුණා. “හොරණෑවේ සද්දේ ඇහුණ ගමන්ම ‘දැන් හෙබ්‍රොන්වල රජ අබ්සලොම්’+ කියලා හැමෝටම දන්වන්න.” 11  යෙරුසලමේ ඉඳන් හෙබ්‍රොන්වලට එයාත් එක්ක යන්න එන්න කියලා අබ්සලොම් මිනිස්සු 200කට කියලා තිබ්බා. එයාලා අබ්සලොම් එක්ක ගියත් එයා කරන්න හිතන් හිටපු දේ ගැන එයාලා කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ. 12  අබ්සලොම් පූජා ඔප්පු කළාට පස්සේ එයා දාවිත්ගේ උපදේශකයා+ වුණ අහිතොෆෙල්වත්+ එහෙට ගෙන්නගත්තා. ඒ වෙනකොට අහිතොෆෙල් හිටියේ එයාගේ ගම වුණ ගීලොවල.+ රජට විරුද්ධව අබ්සලොම් කරපු කුමන්ත්‍රණයට එකතු වුණ පිරිස එන්න එන්නම වැඩි වුණා.+ 13  ටික දවසකට පස්සේ පණිවිඩකරුවෙක් ඇවිත් දාවිත්ට මෙහෙම දැන්නුවා. “ඊශ්‍රායෙල්වරු අබ්සලොම්ගේ පැත්තට ගිහින්!” 14  ඒක අහපු ගමන්ම දාවිත් යෙරුසලමේ එයා එක්ක හිටපු සේවකයන් හැමෝටම මෙහෙම කිව්වා. “අපි ඉක්මනටම මෙහෙන් යමු.+ අබ්සලොම් මෙහෙට ආවොත් අපිට බේරෙන්න හම්බ වෙන එකක් නැහැ. එයා අපි හැමෝවම මරලා දායි. නුවරේ ඉන්න හැමෝවමත් කඩුවෙන් මරලා දායි.”+ 15  එතකොට රජගේ සේවකයෝ “ස්වාමීනි, ඔබ කියන ඕනෙම දෙයක් කරන්න අපි ලෑස්තියි”+ කියලා දාවිත්ට කිව්වා. 16  මාලිගාවේ හිටපු හැමෝම එක්ක රජ පිට වෙලා ගියා. එයා ගියේ මාලිගාව බලාගන්න උපභාර්යාවන් දහදෙනෙක්ව නතර කරලයි.+ 17  දාවිත් සහ එයා එක්ක හිටපු හැමෝම බෙත්මෙර්හාක් වෙන කල් ගිහින් නතර වුණා. 18  ඊටපස්සේ රජගේ සේවකයෝ හැමෝමයි, කෙරෙතිවරුයි, පෙලෙතිවරුයි,+ දාවිත් එක්ක ආපු ගාත්වල+ වැසියන් 600දෙනායි රජව පහු කරගෙන ගියා. එයාලා යද්දී එයාගේ සෙනඟ හැමෝම එතන ඉන්නවාද කියලා දාවිත් හොයලා බැලුවා. 19  එතකොට දාවිත් ගාත් ඉඳන් ආපු ඉත්තයිට+ මෙහෙම කිව්වා. “ඔයා ආපහු හැරිලා යන්න. අපිත් එක්ක එන්න ඕනෙ නැහැ. ඔයා විදේශිකයෙක් නිසා ඔයාට පුළුවන් අලුත් රජත් එක්ක ජීවත් වෙන්න. අනික ඔයා ඔයාගේ රටෙන් පැනලා ආපු නිසා ආයෙත් ඔයාට එහෙට යන්නත් බැහැ. 20  ඔයා මේ දේශයට ආවේ ළඟදී. ඒ නිසා මම යනයන තැනට ඔයාව එක්කන් යන එක හොඳ නැහැ. ඔයාගේ සහෝදරයන්වත් එක්කගෙන ඔයා ආපහු නුවරට යන්න. යෙහෝවා දෙවියන් ඔයාව අත්හරින්නේ නැතුව දිගටම ඔයාට ආදරෙන් සලකයි කියලා මට විශ්වාසයි.”+ 21  ඒත් ඉත්තයි, රජට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, ඔබ යන ඕනෙම තැනකට මාත් එනවා. මම ජීවමාන දෙවි යෙහෝවා ඉස්සරහත් ඔබ ඉස්සරහත් ඒ දේ දිවුරලා පොරොන්දු වෙනවා. ඔබ එක්ක මැරෙන්න වුණත් මම ලෑස්තියි!”+ 22  ඒක අහලා දාවිත් රජ “එහෙමනම් ඔයාත් නිම්නයෙන් එහා පැත්තට යන්න” කියලා ඉත්තයිට කිව්වා.+ ඉතින් ගාත්වල ඉඳන් ආපු ඉත්තයි නිම්නයෙන් අනිත් පැත්තට ගියා. එයාත් එක්ක හිටපු පුරුෂයන් සහ එයාලාගේ පවුල්වල අයත් එයාත් එක්ක ගියා. 23  රජ කිද්‍රොන් නිම්නය ළඟට වෙලා බලාගෙන ඉද්දී සෙනඟ නිම්නය+ හරහා ගිහින් පාළුකරය පැත්තට ගියා. ඒ වෙලාවේ ඒ අවට ජීවත් වුණ හැම කෙනෙක්ම කෑගහලා ඇඬුවා. 24  සාදොක්+ සහ සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය+ උස්සගෙන ආපු ලෙවීවරු හැමෝමත්+ සෙනඟ අතරේ හිටියා. ලෙවීවරු සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය+ එතන තිබ්බා. මුළු සෙනඟම නිම්නයෙන් අනිත් පැත්තට යද්දී අබියාතර්+ එතනට වෙලා හිටියා. 25  ඒත් රජ සාදොක්ට මෙහෙම කිව්වා. “සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය ආපහු නුවරට අරන් යන්න.+ යෙහෝවා මං ගැන සතුටු වුණොත් ඔහු මට ආපහු එහෙට යන්න අවස්ථාව දෙයි. එතකොට ගිවිසුම් පෙට්ටියයි, ශුද්ධස්ථානයයි මට ආපහු දකින්න පුළුවන් වෙයි.+ 26  ඒත් දෙවියන් මං ගැන සතුටු වෙන්නේ නැත්නම් ඔහු ඉඩහරින ඕනෙම දේකට මූණ දෙන්න මං ලෑස්තියි.” 27  පූජක සාදොක්ට රජ මෙහෙමත් කිව්වා. “ඔයා දිවැසිවරයෙක්නේ.+ ඉතින් ඔයා අබියාතර් එක්ක ආයෙත් නුවරට යන්න. යද්දී ඔයාගේ පුතා අහිමයාෂ්වත් අබියාතර්ගේ පුතා යොනාතාන්වත්+ එක්කගෙන යන්න. ඔයාලට කිසි කරදරයක් නැතුව නුවරට යන්න ලැබෙන්න කියලා මං පතනවා! 28  ඔයාගෙන් පණිවිඩයක් එන කල් මං පාළුකරයේ ගඟෙන් එගොඩ වෙන්න පුළුවන් තැනකට වෙලා බලාගෙන ඉන්නම්.”+ 29  ඉතින් සාදොක් සහ අබියාතර් සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය ආයෙත් යෙරුසලමට අරන් ගිහින් එහෙට වෙලා හිටියා. 30  දාවිත් ඔළුව වහගෙන, අඬඅඬ ඔලීව කන්දට+ නැග්ගා. එයා ඇවිදගෙන ගියේ පාවහන් නැතුවයි. දාවිත් එක්ක ගිය සෙනඟත් ඔළු වහගෙන, අඬඅඬයි ගියේ. 31  දාවිත්ට පස්සේ ආරංචි වුණා “අබ්සලොම්ගේ+ කුමන්ත්‍රණයට අහිතොෆෙලුත් එකතු වෙලා”+ කියලා. ඒක ඇහුවාම දාවිත් දෙවියන්ට මෙහෙම කිව්වා. “අනේ යෙහෝවා,+ අහිතොෆෙල් දෙන උපදෙස් මෝඩයෙක් දෙන උපදෙස්+ වගේ වෙන්න සලස්වන්න!” 32  ඊටපස්සේ දාවිත් කන්ද මුදුනට ආවා. සාමාන්‍යයෙන් දෙවියන්ට නමස්කාර කරන්න මිනිස්සු එන්නේ එතනට. දාවිත් එතන ඉද්දී අර්කීවරයෙක්+ වන හූෂයි+ එයාගේ ඇඳුමත් ඉරාගෙන, ඔළුවට දූවිලි දාගෙන දාවිත්ව හම්බ වෙන්න එතනට ආවා. 33  එතකොට දාවිත් එයාට කිව්වා “ඔයා මාත් එක්ක ආවොත් ඒක මට බරක් වෙයි. 34  හැබැයි මං වෙනුවෙන් ඔයාට එක දෙයක් කරන්න පුළුවන්. ආයෙත් නුවරට ගිහින් අබ්සලොම්ට මෙහෙම කියන්න. ‘රජ්ජුරුවනි, මම ඔබට සේවය කරන්න කැමතියි. මම ඔබේ තාත්තාටත් සේවය කළා. ඒත් දැන් මට ඕනෙ ඔබට සේවය කරන්න.’+ ඊටපස්සේ ඔයා එයා ළඟට වෙලා අහිතොෆෙල් දෙන උපදෙස් අසාර්ථක වෙන විදිහට වැඩ කරන්න.+ 35  පූජක සාදොක් සහ අබියාතරුත් නුවරේ ඉන්නවා. රජමාලිගාවේ ඉද්දී ඔයාට දැනගන්න ලැබෙන හැම තොරතුරක්ම ඒ දෙන්නාට කියන්න.+ 36  සාදොක්ගේ පුතා අහිමයාෂුයි,+ අබියාතර්ගේ පුතා යොනාතානුයි+ එහේ ඉන්නවා. දැනගන්න ලැබෙන හැම තොරතුරක්ම ඒ දෙන්නාගේ අතේ මට දන්වලා එවන්න.” 37  ඉතින් දාවිත්ගේ යාළුවා වුණ හූෂයි+ ආපහු නුවරට ගියා. ඒ වෙලාවේ අබ්සලොමුත් යෙරුසලමට ආවා.

පාදසටහන්

හෝ සමහරවිට, “අවුරුදු 40ක්.”
හෝ, “නමස්කාර කරනවා.” මූ.අ., “සේවය කරනවා.”
මූ.අ., “හැම ගෝත්‍රයකටම.”