දෙවෙනි සාමුවෙල් 19:1-43

  • දාවිත් අබ්සලොම්ගේ මරණය ගැන දුක් වෙයි (1-4)

  • යෝවාබ් දාවිත්ව නිවැරදි කරයි (5-8අ)

  • දාවිත් ආයෙත් යෙරුසලමට එයි (8ආ-15)

  • ෂිමෙයි සමාව ඉල්ලයි (16-23)

  • මෙෆිබොෂෙත් වරදක් කළේ නැහැ කියලා හෙළි වෙයි (24-30)

  • දාවිත් බාසිල්ලයිට ගෞරවයෙන් සලකයි (31-40)

  • ගෝත්‍ර අතරේ ඇති වුණ වාදයක් (41-43)

19  ඊටපස්සේ යෝවාබ්ට මෙහෙම ආරංචි වුණා. “රජ තාමත් අබ්සලොම් ගැන දුක් වෙවී අඬනවා.”+  රජ එයාගේ පුතාගේ මරණය නිසා ගොඩක් දුකෙන් ඉන්නවා කියලා සෙනඟටත් ආරංචි වුණා. ඉතින් එදා ලොකු ජයග්‍රහණයක් ලබාගෙන තිබුණත් සෙනඟට ඒක ශෝක දිනයක් වගේ වුණා.  සෙනඟ හොරෙන්ම වගේ නුවරට ඇතුල් වුණා.+ එයාලා ආවේ හරියට යුද පිටියෙන් පලා යන්න වුණ නිසා ලැජ්ජාවෙන් හිටිය සෙනඟක් වගේ.  රජ එයාගේ මූණ වහගෙන “අනේ මගේ පුතා අබ්සලොම්, අනේ මගේ පුතා”+ කියකිය හයියෙන් ඇඬුවා.  අන්තිමට යෝවාබ්, රජ හිටපු ගෙදරට ගිහින් එයාට මෙහෙම කිව්වා. “ඔයාවයි, ඔයාගේ දුවලා+ පුතාලවයි,+ ඔයාගේ භාර්යාවන්වයි, උපභාර්යාවන්වයි+ බේරගත්ත ඔයාගේ සේවකයන්ව අද ඔයා ලැජ්ජාවට පත් කළා.  ඔයාට ආදරේ කරන අයට ඔයා වෛර කරනවා. ඔයාට වෛර කරන අයට ඔයා ආදරේ කරනවා. ඔයාගේ නිලධාරීන්ගෙන්වත් සේවකයන්ගෙන්වත් ඔයාට කිසිම වැඩක් නැහැ කියලා ඔයා අද පෙන්නුවා. මං දන්නවා අපි හැමෝම මැරිලා අබ්සලොම් විතරක් ඉතුරු වුණා නම් අද ඔයා සතුටින් ඉඳියි.  දැන් ඔයාගේ සේවකයන් ළඟට ගිහින් එයාලාගේ හිත් සැනසෙන විදිහට කතා කරන්න. මම යෙහෝවා ඉස්සරහා දිවුරලා කියන්නේ, ඔයා එයාලා එක්ක කතා කළේ නැත්නම් අද රෑ වෙද්දී ඔයාගේ එක සේවකයෙක්වත් මෙහේ ඉන්න එකක් නැහැ. එයාලා හැමෝම ඔයාව අත්හැරලා යයි. ඔයාගේ තරුණ වයසේ ඉඳන් මේ වෙන කල් ඔයාට වුණ හැම විපතකටම වඩා ඒක දරුණු වෙයි.”  ඉතින් රජ නුවරේ දොරටුව ළඟට ගිහින් ඉඳගත්තා. ඊටපස්සේ සෙනඟට දැනුම් දුන්නා “නුවරේ දොරටුව ළඟ රජ ඉන්නවා” කියලා. ඒක අහලා සෙනඟ රජ ළඟට එන්න පටන්ගත්තා. ඒත් ඊශ්‍රායෙල්වරු* එයාලාගේ ගෙවල්වලට පලා ගිහිල්ලයි තිබුණේ.+  පස්සේ ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති අය අතරේ විවාදයක් ඇති වුණා. එයාලා මෙහෙම කතා වුණා. “රජ්ජුරුවෝ තමයි අපේ සතුරන්ගෙන් අපිව බේරගත්තේ.+ ඔහු අපිව පිලිස්තිවරුන්ගෙනුත් බේරගත්තා. ඒත් අබ්සලොම් නිසා ඔහු මෙහෙන් පලා ගියා.+ 10  පස්සේ, අපි රජ විදිහට අබ්සලොම්ව තෝරගත්තත්+ ඔහු යුද්ධයේදී මැරුණා.+ ඉතින් ඇයි අපි රජ්ජුරුවන්ව ආපහු මෙහෙට එක්කගෙන එන්නේ නැත්තේ?” 11  දාවිත් රජ පූජකයන් වන සාදොක්ට+ සහ අබියාතර්ට+ මෙහෙම දන්වලා යැව්වා. “යූදා ගෝත්‍රයේ වැඩිමහල්ලන්ට මෙහෙම කියන්න.+ ‘ඊශ්‍රායෙල් සෙනඟ මාව රජමාලිගාවට ගෙන්නගන්න කතා වෙනවා කියලා මේ ගෙදර ඉද්දී මට දැනගන්න ලැබුණා. ඒත් මගේම ගෝත්‍රයේ අය මාව මාලිගාවට ගෙන්නගන්න මුකුත් කරන්නේ නැත්තේ ඇයි? 12  ඔයාලා මගේ සහෝදරයන්, මගේම පවුලේ අය.* ඇයි ඔයාලා මාව ආපහු ගෙන්නගන්න කිසි දෙයක් කරන්නේ නැත්තේ?’ 13  ඔයාලා අමාසාට+ මෙහෙම කියන්න. ‘ඔයා මගේම සහෝදරයෙක්. ඒ නිසා මම යෝවාබ් වෙනුවට ඔයාව හමුදාපති හැටියට පත් කරනවා. මම එහෙම කළේ නැත්නම් දෙවියන් මට දරුණු විදිහට දඬුවම් කරන්න ඕනේ.’”+ 14  එහෙම කියලා දාවිත් යූදාවල පුරුෂයන් හැමෝගෙම හිත් දිනාගත්තා. ඒ නිසා එයාලා හැමෝම එකඟතාවකට ඇවිත් රජට මෙහෙම දන්වලා යැව්වා. “රජ්ජුරුවනි, ඔබේ සේවකයන් එක්ක ආපහු මෙහෙට එන්න.” 15  ඉතින් රජ ආයෙත් යන්න තීරණය කළා. එයා යොර්දාන් ගඟ ළඟට ඇවිත් නතර වුණා. රජව යොර්දාන් ගඟෙන් මෙගොඩට එක්කගෙන එන්න යූදා ගෝත්‍රයේ අය ගිල්ගාල්+ නගරයට ගියා. 16  ඒ වෙලාවේ බහුරීම්වල ජීවත් වුණ බෙන්ජමින් ගෝත්‍රයට අයිති ගෙරාගේ පුතා වන ෂිමෙයි+ යූදා ගෝත්‍රයේ අයත් එක්ක දාවිත් රජව හම්බ වෙන්න ඉක්මනට ඉක්මනට ඇවිදන් ගියා. 17  ෂිමෙයි එක්ක බෙන්ජමින් ගෝත්‍රයට අයිති මිනිස්සු 1,000කුත් හිටියා. සාවුල්ගේ ගෙදර සේවය කරපු ෂීබාත්+ එයාගේ පුතාලා 15දෙනාත් සේවකයන් 20දෙනාත් එතනට ආවා. රජ යොර්දාන් ගඟ ළඟට එන්නත් කලින් එයාලා හැමෝම එතනට ඇවිත් හිටියා. 18  රජවයි, එයාගේ ගෙදර හිටපු අයවයි මෙගොඩට එක්කන් එන්න එයා* ගඟෙන් එගොඩට ගියා. රජ ඉල්ලන ඕනෙම දෙයක් කරලා දෙන්නත් එයා ලෑස්ති වෙලයි හිටියේ. රජ ගඟෙන් එගොඩ වෙන්න යද්දීම ගෙරාගේ පුතා වන ෂිමෙයි රජ ඉස්සරහා දණින් වැටිලා 19  මෙහෙම කිව්වා. “අනේ මගේ ස්වාමීනි, ඔබ යෙරුසලම අත්හැරලා ගිය දවසේදී මම ඔබට කරපු වරදට මට සමාවෙන්න. අනේ, ඒක මතක තියාගන්න එපා.+ ඒක ඔබේ හිතෙන් අයින් කරලා දාන්න. 20  මම කළේ වරදක් කියලා මම දන්නවා. මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, යෝසෙප්ගේ පෙළපතේ අනිත් හැමෝටම ඉස්සෙල්ලා මං ඔබව හම්බ වෙන්න ආවේ ඒ නිසයි.” 21  ඒක ඇහුණ ගමන්ම ෂෙරුයියාගේ+ පුතා වන අබිෂයි,+ රජට මෙහෙම කිව්වා. “ෂිමෙයිව මරලා දාන්න ඕනේ. එයා යෙහෝවා අභිෂේක කරපු රජට අපහාස කළා.”+ 22  ඒත් දාවිත් මෙහෙම කිව්වා. “ෂෙරුයියාගේ+ පුත්‍රයෙනි, මේක ඔයාලට අදාළ දෙයක් නෙමෙයි. මේක මගේ ප්‍රශ්නයක්. ඇයි ඔයාලා මං කියන දේට විරුද්ධව යන්න හදන්නේ? අද ඊශ්‍රායෙල්වල මගේ රජකම ස්ථිර වුණා. ඒ නිසා අද ඊශ්‍රායෙල් දේශයේ කිසිම කෙනෙක්ව මරන්න අවසර නැහැ.” 23  ඊටපස්සේ රජ ෂිමෙයිට මෙහෙම කිව්වා. “ඔයාව මරන්නේ නැහැ.” රජ ඒ දේ ෂිමෙයිට දිවුරලා පොරොන්දු වුණා.+ 24  සාවුල්ගේ මුනුපුරා වන මෙෆිබොෂෙත්ටත්+ ඕනෙ වුණා රජව පිළිගන්න යන්න. රජ ගිය දවසේ ඉඳන් කිසිම කරදරයක් නැතුව ආයෙත් ආපු දවස වෙන කල්ම එයා කකුල් හෝදගෙන තිබුණෙවත් රැවුල කපලා තිබුණෙවත් ඇඳුම් හෝදගෙන තිබුණෙවත් නැහැ. 25  එයා රජව හම්බ වෙන්න යෙරුසලමට* ආවාම රජ එයාගෙන් මෙහෙම ඇහුවා. “මෙෆිබොෂෙත්, ඇයි ඔයා මාත් එක්ක යන්න ආවේ නැත්තේ?” 26  එතකොට එයා මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබේ සේවකයා වන මට ඇවිදින්න අමාරු නිසා+ මගේ සේවකයාට+ මං කිව්වා ‘මට රජ එක්ක යන්න ඕනේ. ඉතින් මට බූරුවෙක්ව ගමනට ලෑස්ති කරලා දෙන්න’ කියලා. හැබැයි එයා මාව රැවැට්ටුවා. 27  එයා මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට මං ගැන බොරු කිව්වා.+ මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ සැබෑ දෙවියන්ගේ දූතයෙක් වගේ. ඒ නිසා ඔබට හොඳයි කියලා හිතෙන දෙයක් කරන්න. 28  මගේ තාත්තාගේ පවුලම නැත්තටම නැති කරලා දාන්න මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට තිබුණා. ඒත් ඔබ එහෙම කරන්නේ නැතුව ඔබ එක්ක එකට වාඩි වෙලා කෑම කන්න ඔබේ සේවකයාට ඉඩ දුන්නා.+ ඉතින් තවත් දේවල් ඔබෙන් ඉල්ලන්න මට අයිතියක් තියෙනවාද?” 29  ඒත් රජ මෙෆිබොෂෙත්ට මෙහෙම කිව්වා. “ඔයා මේ ගැන තවත් කතා කරන්නේ ඇයි? මම තීරණයක් ගත්තා ඔය දෙන්නාටම කෙත බෙදලා දෙන්න.”+ 30  එතකොට මෙෆිබොෂෙත් මෙහෙම කිව්වා. “එයාට මුළු කෙතම වුණත් දෙන්න. මගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කිසිම කරදරයක් නැතුව මාලිගාවට ආවානේ. මට ඒ ඇති.” 31  රජව යොර්දාන් ගඟ ළඟට එක්කගෙන යන්න ගිලියද්වල ජීවත් වුණ බාසිල්ලයි,+ රොගේලීම් ඉඳන් ආවා. 32  බාසිල්ලයි හුඟක් වයසක කෙනෙක්. එයාට වයස අවුරුදු 80ක්. එයා හුඟක් පොහොසත් කෙනෙක්. රජ මහනායිම්වල+ හිටපු කාලේදී එයාට ඕනෙ කරන කෑම බීම දුන්නේ බාසිල්ලයි. 33  රජ බාසිල්ලයිට කිව්වා “ඔයාත් මාත් එක්ක ගඟෙන් එගොඩ වෙලා යෙරුසලමට යන්න එන්න. එහෙදී මං ඔයාට කන්න බොන්න දීලා ඔයාව බලාගන්නම්”+ කියලා. 34  ඒත් බාසිල්ලයි රජට මෙහෙම කිව්වා. “මම තව වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා රජ්ජුරුවන් එක්ක යෙරුසලමට යන එකේ ප්‍රයෝජනයක් තියෙනවාද? 35  මට දැන් වයස අවුරුදු 80ක් වෙනවා.+ ඔබේ සේවකයා වන මට දැන් හොඳ නරක තෝරන්න බැහැ. මට කන බොන දේවල රසවත් හරියට දැනෙන්නේ නැහැ. ගායක ගායිකාවන්ගේ සින්දු අහලා සතුටු වෙන්නත් බැහැ.+ මම කොහොමද මගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ට බරක් වෙන්නේ? 36  ඔබ මට මෙච්චර හොඳින් සලකන්න ඕනෙ නැහැ මගේ ස්වාමීනි. යොර්දාන් ගඟ ළඟට ඔබත් එක්ක එන්න ලැබුණ එකම ලොකු දෙයක්. 37  ඔබේ සේවකයා වන මට ආපහු යන්න අවසර දෙන්න. මට ඕනෙ මගේම ගමේ මැරෙන්නයි. මාව මගේ තාත්තායි, අම්මායි ළඟ තැන්පත් කරනවාට මං කැමතියි.+ හැබැයි ඔබේ සේවකයා වන කිම්හාම්+ මෙතන ඉන්නවා. මගේ ස්වාමීනි, රජ්ජුරුවනි, ඔබ කැමති නම් ගඟෙන් එගොඩට යද්දී එයාව අරගෙන යන්න. ඔබට හොඳයි කියලා හිතෙන දෙයක් එයා වෙනුවෙන් කරන්න.” 38  එතකොට රජ එයාට මෙහෙම කිව්වා. “ගඟෙන් එගොඩට යද්දී මම කිම්හාම්වත් එක්කගෙන යන්නම්. මං එයා වෙනුවෙන් කරන්න ඕනෙ මොනවාද කියලා ඔයා කියන්න. ඔයා කියන ඕනෙම දෙයක් කරන්න මං ලෑස්තියි.” 39  ඊටපස්සේ මුළු සෙනඟම යොර්දාන් ගඟෙන් එගොඩ වුණා. ගඟෙන් එගොඩ වෙන්න කලින් රජ බාසිල්ලයිව+ සිපගෙන එයාට ආශීර්වාද කළා. රජගෙන් සමුගත්තාට පස්සේ බාසිල්ලයි එයාගේ ගෙදරට ගියා. 40  රජ ගඟෙන් එගොඩ වෙලා ගිල්ගාල්වලට+ යද්දී කිම්හාම් එයාත් එක්ක ගියා. යූදා ගෝත්‍රයේ මුළු සෙනඟත් ඊශ්‍රායෙල් සෙනඟගෙන් භාගයකුත් රජ එක්ක ගියා.+ 41  පස්සේ ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයිති පුරුෂයන් හැමෝම රජ ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “යූදා ගෝත්‍රයේ අපේ සහෝදරයන් ඔබවයි, ඔබේ ගෙදර ඉන්න අයවයි, ඔබේ සේවකයන්වයි යොර්දාන් ගඟෙන් මෙගොඩට අරන් ආවේ හොර රහසින්. ඇයි එයාලා අපිට නොකියා එහෙම දෙයක් කළේ?”+ 42  යූදා ගෝත්‍රයේ පුරුෂයෝ ඊශ්‍රායෙල් පුරුෂයන්ට මෙහෙම කිව්වා. “අපි එහෙම කළේ අපි රජගේ කිට්ටුම නෑයෝ නිසා.+ අපි රජගේ වියදමින් කිසිම දෙයක් කෑවාද? ඔහුව අරන් ආවා කියලා අපිට තෑග්ගක් ලැබුණාද? ඉතින් ඇයි ඔයාලා කේන්ති ගන්නේ?” 43  ඒත් ඊශ්‍රායෙල් පුරුෂයෝ යූදා ගෝත්‍රයේ පුරුෂයන්ට මෙහෙම කිව්වා. “රාජ්‍යයෙන් කොටස් දහයක්ම අයිති අපිට. ඒ නිසා දාවිත් රජට සම්බන්ධ කාරණාවලදී ඔයාලට වඩා අයිතියක් තියෙන්නේ අපිටයි. ඇයි ඔයාලා අපිට මෙච්චර පහත් විදිහට සැලකුවේ? අපේ රජව ආපහු අරගෙන එන්න වැඩි අයිතියක් තියෙන්නේ අපිට නෙමෙයිද?” ඒත් ඊශ්‍රායෙල් පුරුෂයන්ට යූදා ගෝත්‍රයේ පුරුෂයන් එක්ක වාද කරලා දිනන්න බැරි වුණා.*

පාදසටහන්

ඒ කියන්නේ අබ්සලොම්ට උදව් කරපු සෙනඟ.
මූ.අ., “මම ඔයාලාගෙම ඇට සහ මස්.”
හෝ සමහරවිට, “එයාලා.”
හෝ සමහරවිට, “යෙරුසලමේ ඉඳන්.”
හෝ, “යූදා පුරුෂයන් ඊට වඩා සැරපරුෂ විදිහට ඊශ්‍රායෙල් පුරුෂයන්ට බැන්නා.”