දෙවෙනි සාමුවෙල් 7:1-29

  • දේවමාලිගාව හදන්න දාවිත්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ (1-7)

  • දාවිත්ගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා කියලා ඇති කරගත්ත ගිවිසුම (8-17)

  • දාවිත්ගේ ස්තුති යාච්ඤාව (18-29)

7  දාවිත් එයාටම කියලා හදපු මාලිගාවේ පදිංචි වුණා.+ යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය නිසා ඒ වෙද්දී දාවිත් රජ ගත කළේ සතුරන්ගෙන් කිසිම කරදරයක් නැති සාමකාමී ජීවිතයක්.  දවසක් අනාගතවක්තෘ නාතන්ට+ රජ මෙහෙම කිව්වා. “මම දේවදාර ලීවලින් හදපු මාලිගාවක ජීවත් වෙද්දී+ සැබෑ දෙවියන්ට අයිති ගිවිසුම් පෙට්ටිය තියෙන්නේ කූඩාරමක.”+  ඒ වෙලාවේ නාතන්, රජට කිව්වා “යෙහෝවාගේ ආශීර්වාදය ඔයාට තියෙනවා. ඉතින් ඔයාගේ හිතේ තියෙන ආසාව ඉටු කරගන්න”+ කියලා.  එදා රෑ යෙහෝවා නාතන්ට මෙහෙම කිව්වා.  “ඔයා මගේ සේවකයා වන දාවිත්ට මේ දේ කියන්න. ‘යෙහෝවා දෙවියන් ඔයාට මෙහෙම කියනවා. “ඔයා ඇයි මට ගෘහයක් හදන්නේ?+  මම ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් අරන් ආපු දවසේ ඉඳන් අද වෙන කල් මට ගෘහයක් තිබුණේ නැහැ.+ එදා ඉඳන් මම හිටියේ තැනින් තැනට අරන් යන කූඩාරමක.+  ඊශ්‍රායෙල්වරු එක්ක තැනින් තැනට ගිය ඒ කාලයේදී ‘මට දේවදාර ලීවලින් නිවසක් හැදුවේ නැත්තේ ඇයි’ කියලා මං කවදාවත් අහලා තියෙනවාද? මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව රැකබලා ගන්න පත් කරපු ගෝත්‍රවල අධිපතීන්ගෙන් මං ඒ වගේ දෙයක් අහලා තියෙනවාද?”’  මගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. “ඔයා තණබිම්වල බැටළුවන්ව බලාගත්ත කාලයේදී+ මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා වෙන්න මම ඔයාව තෝරගත්තා.+  ඔයා යන ඕනෙම තැනකට මමත් ඔයා එක්ක එනවා.+ ඔයාගේ හැම සතුරෙක්වම මම විනාශ කරනවා.+ මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිස්සු වගේ මම ඔයාවත් ශ්‍රේෂ්ඨ කෙනෙක් කරලා ඔයාගේ නම ගෞරවයට පත් කරනවා.+ 10  මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට ජීවත් වෙන්න තැනක් වෙන් කරලා එයාලව එහේ පදිංචි කරවනවා. කාගෙන්වත් හිරිහැරයක් නැතුව එයාලා එහේ ජීවත් වෙයි. ආයේ කවදාවත් දුෂ්ටයන් එයාලට හිරිහැර කරන්නේ නැහැ.+ 11  මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව බලාගන්න මම විනිශ්චයකරුවන්ව+ පත් කරපු කාලයේ ඉඳන් මේ වෙන කල් එයාලා සතුරන්ගෙන් පීඩා වින්දා. ඒත් ඒ කිසිම සතුරෙක්ගෙන් ආයෙත් ඔයාලට කරදරයක් වෙන්නේ නැහැ.+ “‘“යෙහෝවා වන මම ඔයාගෙන් රාජකීය පෙළපතක් බිහි කරනවා. යෙහෝවා වන මමයි ඔයාට ඒ පොරොන්දුව දුන්නේ.+ 12  ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මැරුණාට පස්සේ+ ඔයාගේ පෙළපතින් එන ඔයාගෙම පුතෙක්ට මම ඔයාගේ රාජ්‍යය භාර දෙනවා. මම එයාගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා.+ 13  මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් ගොඩනඟන්න මම තෝරගන්නේ එයාවයි.+ මම එයාගේ සිංහාසනය සදහටම ස්ථිර කරනවා.+ 14  මම එයාට තාත්තා කෙනෙක් වෙනවා. එයා මගේම පුතෙක් වෙනවා.+ එයාගේ අතින් වරදක් වුණොත් මම එයාට අවවාද කරනවා. මිනිස්සු* වේවැලකින් කෙනෙක්ට දඬුවම් කරනවා වගේ එයාට දඬුවම් කරනවා.+ 15  සාවුල් මගේ ආදරේ නැති කරගත්ත නිසා මම එයාව රජකමෙන් අයින් කළා.+ ඒත් ඔයාගේ පුතාට මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. මම හැමදාමත් එයාට නොසැලෙන ආදරයක් පෙන්නනවා. 16  ඔයාගේ රාජ්‍යයත් ඔයාගෙන් පැවතෙන රාජකීය පෙළපතත් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඔයාගේ සිංහාසනය හැමදාටම පවතිනවා.”’”+ 17  දෙවියන් දර්ශනයකින් හෙළි කරපු ඒ හැම දේම නාතන් දාවිත්ට දැනුම් දුන්නා.+ 18  ඒක ඇහුවාට පස්සේ දාවිත් රජ, යෙහෝවා ඉස්සරහට ගිහින් මෙහෙම යාච්ඤා කළා. “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, ඔබ මං වෙනුවෙන් මෙච්චර දේවල් කරන්න මම කවුද? මම උසස් පවුලකින් ආපු කෙනෙක්ද?+ ඔබෙන් මෙච්චර ආශීර්වාද ලබන්න තරම් මම වටින කෙනෙක් නෙමෙයි. 19  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, ඔබේ සේවකයා වන මං වෙනුවෙන් ඔබ මෙච්චර දේවල් කරලත් මගේ පෙළපත සෑහෙන කාලයක් පුරා පවතිනවා කියලත් ඔබ මට කිව්වා. ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ ඒ වගේ නියෝගයක්* දුන්නේ පොළොවේ ඉන්න හැම කෙනෙක්ම වෙනුවෙන්. 20  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, ඔබේ සේවකයා වන මාව ඔබ හොඳින් හඳුනනවා.+ ඉතින් මම තව මොනවා කියන්නද? 21  ඔබ මේ හැම පුදුම දෙයක්ම කරලා ඔබේ සේවකයා වන මටත් ඒ ගැන දැන්නුවා.+ ඔබ ඒ දේවල් කළේ ඔබේම හදවතින් පෙලඹිලයි.* ඔබේ පොරොන්දු ඉටු කරන්නයි. 22  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, ඔබ ඇත්තටම ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්.+ ඔබට සමාන වෙන කිසි කෙනෙක් නැහැ.+ ඔබ හැර වෙන කිසිම දෙවි කෙනෙකුත් නැහැ.+ අපි අහලා තියෙන හැම දේකින්ම ඒක ඔප්පු වෙනවා. 23  ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට සමාන තවත් ජාතියක් ඉන්නවාද?+ එයාලව ඔබේ සෙනඟ කරගන්න ඕනෙ නිසා ඔබ එයාලව බේරගෙන+ එයාලා වෙනුවෙන් හිතාගන්නවත් බැරි, පුදුම දේවල් කරලා+ ඔබටම ශ්‍රේෂ්ඨ නමක් ඇති කරගත්තා.+ ඔබ ඊජිප්තුවෙන් බේරගත්ත ඔබේ සෙනඟ වෙනුවෙන් වෙනත් ජාතීන්වත් එයාලාගේ දෙවිවරුන්වත් දේශයෙන් පන්නලා දැම්මා. 24  ඔබ ඊශ්‍රායෙල්වරුන්ව හැමදාටම ඔබේම සෙනඟ විදිහට භාරගත්තා.+ යෙහෝවා, දැන් අපේ දෙවියන් ඔබයි.+ 25  “යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා ගැනත් එයාගෙන් පැවතෙන පෙළපත ගැනත් ඔබ කියපු දේ හැමදාටම ඒ විදිහටම ඉටු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. ඔබ පොරොන්දු වුණ හැම දෙයක්ම ඒ විදිහටම ඉටු වෙන්න ඕනේ!+ 26  ඔබේ නම හැමෝම ඉස්සරහා සදහටම ගෞරවයට පත් වෙන්න ඕනේ!+ එතකොට හැමෝම කියයි ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා තමයි ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්’ කියලා. ඔබේ සේවකයා වන මගේ පෙළපත හැමදාටම ඔබ ඉස්සරහා පවතින්න ඕනේ!+ 27  ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා, ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියනි, ඔබ මට කිව්වා ‘මම ඔයාගෙන් රාජකීය පෙළපතක් බිහි කරනවා’+ කියලා. ඔබේ සේවකයා වන මට මෙහෙම යාච්ඤා කරන්න තරම් ධෛර්යයක් ලැබුණේ ඔබ ඒ ගැන මට දන්වපු නිසයි. 28  ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, සැබෑ දෙවියන් ඔබයි. ඔබේ සේවකයා වෙනුවෙන් මේ හැම යහපත් දෙයක්ම කරනවා කියලා ඔබ පොරොන්දු වුණා. මං දන්නවා ඔබ කියන හැම දෙයක්ම සත්‍යයයි කියලා.+ 29  ඒ නිසා ඔබේ සේවකයාගේ පෙළපතට දිගටම ආශීර්වාද කරන්න. ඒ පෙළපත හැමදාටම ඔබ ඉස්සරහා පවතින්න කියලා මං පතනවා!+ ශ්‍රේෂ්ඨතම පාලකයාණෙනි, යෙහෝවා දෙවියනි, ඔබ පොරොන්දු වුණ විදිහටම ඔබේ සේවකයාගේ පෙළපතට හැමදාටම ආශීර්වාද කරන්න.”+

පාදසටහන්

හෝ සමහරවිට, “ආදම්ගේ පුතාලා.”
හෝ, “ඒ මඟ පෙන්වීම්.”
හෝ, “ඔබේ කැමැත්තට එකඟවයි.”