තුන්වෙනි යොහන් 1:1-14

  • සුබ පැතුම් සහ යාච්ඤා (1-4)

  • ගායස්ව අගය කරනවා (5-8)

  • මුල් තැන ගන්න කැමති දියොත්‍රෙෆස් (9, 10)

  • දෙමේත්‍රියස් ගැන හොඳ කතා වෙනවා (11, 12)

  • හම්බ වෙන්න එන්න හිතන් ඉන්නවා. සුබ පැතුම් (13, 14)

 වැඩිමහල්ලෙක් වන* මම මේ ලියුම ලියන්නේ මං ගොඩක් ආදරේ කරන මගේ හිතවත් සහෝදරයා වන ගායස්ට.  මගේ ආදරණීය සහෝදරයා, ඔයා නිරෝගීව, සතුටින් ඉන්නවා කියලා මං දන්නවා. හැමදාමත් ඔයාට ඒ විදිහටම ඉන්න ලැබෙන්න කියලා මං යාච්ඤා කරනවා.  ඔයා සත්‍ය ඉගැන්වීම්වලට විශ්වාසවන්තව ඇලිලා ඉන්නවා කියලා සහෝදරයන් ඇවිත් මට කිව්වාම මට දැනුණේ කියාගන්න බැරි තරම් සතුටක්. ඔයා දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙයි කියන එක ගැන මට කිසිම සැකයක් නැහැ.+  මගේ දරුවන් දිගටම සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවා+ කියලා අහන්න ලැබෙන එක තරම් සතුටක් තවත් මට නැහැ.  මගේ ආදරණීය සහෝදරයා, හඳුනන්නේ නැති සහෝදරයන් වෙනුවෙන් වුණත් ඔයා ගොඩක් දේවල් කරනවා.+ ඒකෙන් තේරෙනවා ඔයා දෙවියන්ට කොච්චර විශ්වාසවන්තව ඉන්නවාද කියලා.  ඔයා එයාලට ආදරෙන් සලකපු විදිහ ගැන එයාලා සභාවේ හැමෝම ඉස්සරහා කියලා තියෙනවා. එයාලා යද්දී දෙවියන් සතුටු වෙන විදිහට, එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් හැම උදව්වක්ම කරන්න කියලත් මං ඔයාගෙන් ඉල්ලනවා.+  මොකද එයාලා තැනින් තැනට ගිහින් සේවය කරන්නේ දෙවියන්ගේ නම වෙනුවෙනුයි. ඒ සේවය කරන්න එයාලා වෙනත් ජාතීන්ගෙන්* කිසි දෙයක් ඉල්ලුවේ නැහැ.+  ඒ නිසා ඒ වගේ අයට ආදරෙන් සලකන්න අපි බැඳිලා ඉන්නවා.+ එහෙම කරද්දී සත්‍යය වෙනුවෙන් වැඩ කරන එයාලාගේ හවුල් සේවකයන් වෙන්න අපිටත් පුළුවන් වෙනවා.+  මං සභාවට ලියුමක් එව්වා. ඒත් දියොත්‍රෙෆස් අපි කියන කිසිම දෙයක් පිළිගන්න කැමති නැහැ.*+ එයාට ඕනෙ සහෝදරයන් අතරේ මුල් තැන ගන්න.+ 10  මට එන්න ලැබුණොත් එයා කරන දේවල් මං අනිවාර්යයෙන්ම හෙළි කරනවා. මොකද එයා දිගටම අපිට අපහාස වෙන විදිහේ කතා පතුරුවනවා.+ පිටින් එන සහෝදරයන්ව එයා ගෞරවයෙන් පිළිගන්නේ නැහැ+ විතරක් නෙමෙයි එයාලව පිළිගන්න ආසාවෙන් ඉන්න අයට ඒක කරන්න දෙන්නෙත් නැහැ. ඒ අයව සභාවෙන් අයින් කරලා දාන්නත් හදනවා. 11  මගේ සහෝදරයා, නපුරු අයව ආදර්ශයට ගන්න එපා. ඒ වෙනුවට යහපත් දේවල් කරන අයව ආදර්ශයට ගන්න.+ යහපත් දේවල් කරන අය තමයි දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට එකඟව වැඩ කරන්නේ.+ ඒත් නපුරු දේවල් කරන අය දෙවියන්ව හඳුනන්නේ* නැහැ.+ 12  දෙමේත්‍රියස් යහපත් ගුණාංග තියෙන කෙනෙක් කියලා සහෝදරයන් හැමෝම කියනවා. එයා සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙන එකෙනුත් තේරෙනවා එයාලා කියන දේ ඇත්ත කියලා. අපිත් ඒකට සාක්ෂි දෙනවා. අපි දෙයක් කිව්වොත් ඒක විශ්වාස කරන්න පුළුවන් කියලා ඔයා දන්නවා. 13  ඔයාට කියන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඒවා ලියුමක ලියලා එවන්න මං කැමති නැහැ. 14  මං හිතාගෙන ඉන්නේ ඉක්මනින්ම ඔයාව බලන්න එන්නයි. එතකොට අපි හම්බ වෙලා ඒ දේවල් ගැන කතා කරමු. ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං යාච්ඤා කරනවා.* මෙහේ ඉන්න යාළුවොත් ඔයාට සුබ පතනවා. ඔයා එක්ක ඉන්න යාළුවන් හැමෝටමත් මගේ සුබ පැතුම් දෙන්න.

පාදසටහන්

හෝ, “මහලු වයසේ ඉන්න.”
මෙතන කතා කරන්නේ යේසුස්ව විශ්වාස කරන්නේ නැති, යුදෙව් ජාතියට අයිති නැති අය ගැනයි.
මූ.අ., “ගෞරවයෙන් පිළිගන්නේ නැහැ.”
මූ.අ., “දැකලා.”
මූ.අ., “ඔයාට සමාදානය ලැබේවා!”