Skip to content

පටුනට යන්න

බයිබලයේ තියෙන වචනවල පැහැදිලි කිරීමක්

  • අගාධය.

    ඒක ඇවිත් තියෙන්නේ අබුසොස් කියන ග්‍රීක වචනයෙන්. ඒකේ තේරුම “හරිම ගැඹුරු” නැත්නම් “මනින්න බැරි, පතුලක් නැති” කියන එකයි. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ ඒ වචනය පාවිච්චි කරන්නේ නිදහස සීමා කරන තැනක් නැත්නම් තත්වයක් විස්තර කරන්නයි. ඒ වචනයට මිනී වළ කියන අදහසත් ඇතුළත්. ඒත් ඒකට වෙන අදහසුත් තියෙනවා.—ලූක් 8:31; රෝම 10:7; එළි 20:3.

  • අග්‍රදේවදූතයා.

    ඒකේ තේරුම “දේවදූතයන් අතරේ ප්‍රධානියා” කියන එකයි. “අග්‍ර” කියන එකෙන් අදහස් කරන්නේ “නායකයා” නැත්නම් “ප්‍රධාන” කියන එකයි. බයිබලයේ “අග්‍රදේවදූත” කියන වචනය පාවිච්චි කරන්නේ ඒක වචනයෙන් විතරයි. ඒ කාරණය ගැනයි, වචනයේ තේරුම ගැනයි හිතද්දී ඉන්නේ එක අග්‍රදේවදූතයෙක් විතරයි කියලා කියන්න පුළුවන්. බයිබලයේ ඒ අග්‍රදේවදූතයාගේ නම මිකායෙල් කියලා හඳුන්වනවා.—දානි 12:1; යූද් 9; එළි 12:7.

  • අඟ.

    ඒකෙන් සතෙක්ගේ අං අදහස් කරනවා. අතීතයේදී ඒවා වතුර, තෙල් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය දාන භාජන විදිහටත් තීන්ත කූඩු විදිහටත් පාවිච්චි කළා. ඒවා සංගීත භාණ්ඩ විදිහටත් හොරණෑ විදිහටත් පාවිච්චි කළා. (1සාමු 16:1, 13, පාදසටහන්; 1රාජා 1:39; එස 9:2) “අඟ” කියන වචනය ශක්තිය, යටත් කරගන්න එක සහ ජයග්‍රහණය කියන අදහස් දෙන්න සංකේතයක් විදිහටත් යොදාගෙන තියෙනවා.—ද්වි 33:17; මීකා 4:13; සෙක 1:19.

  • අතිශුද්ධස්ථානය.

    ශුද්ධ කූඩාරමේ සහ පස්සේ කාලෙක දේවමාලිගාවේ ඇතුළටම වෙන්න තිබුණ කාමරේ. ඒකේ තමයි ගිවිසුම් පෙට්ටිය තිබුණේ. මෝසෙස්ගේ නීතියට අනුව අතිශුද්ධස්ථානයට ඇතුල් වෙන්න අවසර තිබුණේ උත්තම පූජකයාට විතරයි. එයාට එහෙම කරන්න පුළුවන් වුණේ සමඟි වෙන දවසේදී විතරයි.—නික් 26:33; ලෙවී 16:2, 17; 1රාජා 6:16; හෙබ්‍රෙ 9:3.

  • අත්හැරපු කරල් එකතු කරගන්න එක.

    අස්වැන්න නෙළන අය උවමනාවෙන් දාලා ගිය නැත්නම් එයාලට අත්හැරුණු කරල් එකතු කරගන්න එක. එහෙම දාලා ගිය ඕනෙම දෙයක් එයාලට එකතු කරගන්න අයිතිය තිබුණා. කෙත්වල මායිම වෙන කල්ම අස්වැන්න නෙළන්න එපා කියලත් ඔලීව ගස්වල සහ මිදිවැල්වල ගෙඩි ඔක්කොම කඩන්න එපා කියලත් මෝසෙස්ගේ නීතියේ කියලා තිබුණා. දෙවියන් එහෙම කිව්වේ දුප්පත්, අසරණ අයගේ, විදේශිකයන්ගේ, තාත්තා නැති දරුවන්ගේ වගේම වැන්දඹුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන්.—රූත් 2:7.

  • අනාගතවක්තෘ.

    දෙවියන් කරන්න අදහස් කරන දේ දැන්නුවේ එයාලා මාර්ගයෙන්. අනාගතවක්තෘවරු දෙවියන් වෙනුවෙන් කතා කළා. එයාලා ඉස්සරහට වෙන්න යන දේවල් ගැන කිව්වා විතරක් නෙමෙයි යෙහෝවාගේ ඉගැන්වීම්, ආඥා සහ විනිශ්චයන් ගැන කිව්වා.—ආමො 3:7; 2පේතෘ 1:21.

  • අනාචාරය.

    තමන්ගේ සැමියා/බිරිඳ හැර වෙනත් ඕනෙම කෙනෙක් එක්ක කැමැත්තෙන්ම ලිංගික සම්බන්ධකම් පවත්වන එක.—නික් 20:14; මතෙ 5:27; 19:9.

  • අනාවැකිය.

    දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලැබෙන පණිවිඩයක්. ඒක දෙවියන් කරන්න යන දෙයක් ගැන එළිදරව්වක් නැත්නම් ප්‍රකාශයක් වෙන්න පුළුවන්. දෙවියන් බලාපොරොත්තු වෙන දෙයක් ගැන පැහැදිලි කරන එක, දෙවියන් අණ කරන දෙයක් ගැන හරි විනිශ්චයක් ගැන හරි ඉස්සරහට වෙන්න යන දෙයක් ගැන හරි කියන එක අනාවැකියක් විදිහට සලකන්න පුළුවන්.—එස 37:9, 10; දානි 9:24; මතෙ 13:14; 2පේතෘ 1:20, 21.

  • අන්තිම දවස්.

    ඒ යෙදුමත් “අවසාන කාලේදී” වගේ යෙදුමුත් බයිබල් අනාවැකිවල පාවිච්චි කරලා තියෙන්නේ දෙවියන්ගේ විනිශ්චයට කලින් තියෙන කාලය ගැනත් ඒ කාලේදී සිද්ධ වෙන දේවල් ගැනත් කියන්නයි. (එස 38:16; දානි 10:14; ක්‍රියා 2:17) ඒ කාලය අවුරුදු කීපයක් වෙන්නත් පුළුවන්, අවුරුදු ගාණක් වෙන්නත් පුළුවන්. ඒක අනාවැකියෙන් අනාවැකියට වෙනස් වෙනවා. බයිබලයේ විශේෂයෙන්ම ඒ යෙදුම පාවිච්චි කරන්නේ යේසුස් පැමිණෙන කාලයේදී පවතින සමාජයේ “අන්තිම දවස්” ගැන කියන්නයි.—2තිමෝ 3:1; යාකො 5:3; 2පේතෘ 3:3.

  • අපවිත්‍රකම.

    මේකෙන් අදහස් කරන්නේ අපිරිසිදුකම හෝ සදාචාර නීති කඩ කරන එකයි. බයිබලයේ හුඟක් වෙලාවට කෙනෙක් හෝ දෙයක් අපවිත්‍රයි කියද්දී ඒකෙන් අදහස් කළේ මෝසෙස්ගේ නීතියට අනුව අපවිත්‍රයි කියලා සලකපු කෙනෙක් හෝ දෙයක්. (ලෙවී 5:2; 13:45; ක්‍රියා 10:14; එෆී 5:5)—පවිත්‍ර යටතේ බලන්න.

  • අබද්දොන්.

    ඇවැදෝන් කියන හෙබ්‍රෙව් වචනයේ තේරුම “විනාශය” කියන එකයි. ඒ වගේම “විනාශය සිද්ධ වෙන තැන” කියන දේත් ඒකෙන් අදහස් වෙන්න පුළුවන්. මුල් හෙබ්‍රෙව් පිටපත්වල ඒ වචනේ පස් වතාවක් සඳහන් වෙනවා. ඒකෙන් හතර වතාවක්ම, මිනී වළ නැත්නම් මරණය කියන වචනවලට සමාන අර්ථයක් දෙන වචනයක් විදිහට ඒක යොදාගෙන තියෙනවා. (ගීතා 88:11; යෝබ් 26:6; 28:22; හිතෝ 15:11) පේන විදිහට ඒ පදවල ඒ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ මරණයෙන් පස්සේ ශරීරය දිරාපත් වෙන එක ගැන විස්තර කරන්නයි. එළිදරව් 9:11 “අබද්දොන්” කියන වචනය යොදාගෙන තියෙන්නේ “අගාධයේ දේවදූතයාට” දීලා තියෙන නමක් විදිහට.

  • අභිෂේක.

    අභිෂේක කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයෙන් මූලිකව අදහස් කරන්නේ “දියරයක් ආලේප කරනවා” කියන එකයි. යම් කෙනෙක්ව නැත්නම් භාණ්ඩයක් විශේෂ කාර්යයක් වෙනුවෙන් කැප කරද්දී ඒ කෙනාට නැත්නම් භාණ්ඩයට තෙල් ආලේප කළා. ස්වර්ගයේ ජීවත් වෙන්න තෝරගන්න කෙනෙක්ට දෙවියන්ගේ බලය ලබා දෙන එකටත් ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ කියන්නේ අභිෂේක කරනවා කියලයි.—නික් 28:41, පාදසටහන; 1සාමු 16:13; 2කොරි 1:21.

  • අර්මගෙදොන්.

    ඒ වචනය හැදිලා තියෙන්නේ “මෙගිද්දෝ කන්ද” කියන තේරුම තියෙන හර්මෙගිදොන් කියන හෙබ්‍රෙව් වචනයෙන්. ඒ වචනය පාවිච්චි කරලා තියෙන්නේ “සියලු බලැති දෙවියන්ගේ මහත් දවසේදී සිද්ධ වෙන යුද්ධය” හඳුන්වන්නයි. ඒ යුද්ධයේදී “පොළොව පුරාම ඉන්න රජවරුන්” යෙහෝවාට විරුද්ධව සටන් කරන්න රැස් වෙනවා. (එළි 16:14, 16; 19:11-21)—මහත් පීඩාව යටතේ බලන්න.

  • අෂාෂෙල්.

    හෙබ්‍රෙව් නමක්. ඒකේ තේරුම “අතුරුදහන් වෙන එළුවා” වෙන්න පුළුවන්. සමඟි වෙන දවසේදී අෂාෂෙල් වෙනුවෙන් තෝරගත්ත එළුවාව පාළුකරයට යැව්වා. එහෙම කළේ ගෙවිලා ගිය අවුරුද්දේ ඊශ්‍රායෙල් ජාතිය කරපු පව් ඌ සංකේතාත්මක අර්ථයකින් උස්සන් යනවා කියලා පෙන්නන්නයි.—ලෙවී 16:8, 10.

  • අෂ්ටොරෙත්.

    කානානිවරුන් නමස්කාර කරපු දේවතාවියක්. එයාලා විශ්වාස කළේ එයා යුද්ධයට අධිපති සහ දරුපල ලබා දෙන දේවතාවිය කියලයි. එයාලා එයාව බාල්ගේ බිරිඳ විදිහට සැලකුවා.—1සාමු 7:3.

  • අසෙල්ජෙයියා.

    කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන එක යටතේ බලන්න.

  • අහස් දේවතාවිය.

    යෙරෙමියාගේ කාලේ සැබෑ නමස්කාරයෙන් අයින් වුණ ඊශ්‍රායෙල්වරු නමස්කාර කරපු දේවතාවියක්. සමහරු කියන්නේ ඒ දේවතාවිය බැබිලෝනිවරුන් අදහපු ඉෂ්ටාර් (අස්ටර්ටේ) කියන දේවතාවිය කියලයි. සුමේරියානු ජාතිකයන් එයාව හැඳින්නුවේ ඉනන්නා කියලයි. ඒ නමේ තේරුම “අහස් දේවතාවිය.” එයා දරුපල දෙන දේවතාවියක් කියලත් විශ්වාස කළා. අස්ටර්ටේ දේවතාවියව “අහස් මාතාව” කියලා හඳුන්වපු පුවරුවක් ඊජිප්තුවෙන් හොයාගෙන තියෙනවා.—යෙරෙ 44:19.

  • ආණ්ඩුකාරයා.

    රෝම සෙනෙට් සභාව යටතේ තිබුණ පළාතක් අධීක්ෂණය කරපු කෙනා. නීතිය ක්‍රියාත්මක කරන්න බලය වගේම හමුදා බලයකුත් එයාට තිබුණා. එයා කරන හැම දෙයක්ම සෝදිසි කරලා බලන්න සෙනෙට් සභාවට අධිකාරිය තිබුණත් ඒ පළාතේ ඉහළම අධිකාරිය තිබුණ කෙනා එයායි.—ක්‍රියා 13:7; 18:12.

  • ආදාර්.

    යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ යුදෙව් ආගමික දිනදර්ශනයේ 12වෙනි මාසය සහ යුදෙව් සාමාන්‍ය දිනදර්ශනයේ 6වෙනි මාසය හැඳින්නුවේ ඒ නමින්. පෙබරවාරි මැද ඉඳන් මාර්තු මැද දක්වා කාලය තමයි ආදාර් මාසය විදිහට හැඳින්නුවේ. (එස්ත 3:7)—උප. B15 බලන්න.

  • ආබීබ්.

    යුදෙව් ආගමික දිනදර්ශනයේ පළවෙනි මාසය සහ යුදෙව් සාමාන්‍ය දිනදර්ශනයේ හත්වෙනි මාසය මුලින්ම හැඳින්නුවේ ඒ නමින්. ඒකේ තේරුම “කොළ පාට (ධාන්‍ය) කරල්.” මාර්තු මැද ඉඳන් අප්‍රියෙල් මැද දක්වා කාලය තමයි ආබීබ් මාසය විදිහට හැඳින්නුවේ. යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ ඒක හැඳින්නුවේ නීසාන් මාසය කියලයි. (ද්වි 16:1)—උප. B15 බලන්න.

  • ආබ්.

    යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ යුදෙව් ආගමික දිනදර්ශනයේ 5වෙනි මාසය සහ යුදෙව් සාමාන්‍ය දිනදර්ශනයේ 11වෙනි මාසය හැඳින්නුවේ ඒ නමින්. ජූලි මැද ඉඳන් අගෝස්තු මැද දක්වා කාලය තමයි ආබ් මාසය විදිහට හැඳින්නුවේ. ආබ් කියන නම බයිබලයේ සඳහන් වෙලා නැහැ. ඒත් ඒ මාසය “පස්වෙනි මාසය” විදිහට ඒකේ හඳුන්වලා තියෙනවා. (ගණන් 33:38; එස්රා 7:9)—උප. B15 බලන්න.

  • ආමෙන්.

    ඒකෙන් අදහස් කරන්නේ “එසේම වේවා” නැත්නම් “ස්ථිරයි” කියන එක. “විශ්වාසවන්ත“ කියන තේරුම තියෙන අමාන් කියන හෙබ්‍රෙව් වචනයෙන් තමයි ආමෙන් කියන වචනය හැදිලා තියෙන්නේ. දිවුරුමකට, යාච්ඤාවකට නැත්නම් කියන දේකට එකඟයි කියලා පෙන්නන්නයි “ආමෙන්” කියලා කිව්වේ. එළිදරව් පොතේ ඒක පාවිච්චි කරන්නේ යේසුස්ට කියන පදවි නමක් විදිහට.—ද්වි 27:26; 1ලේක 16:36; එළි 3:14.

  • ආරක්ෂාව ලබා දෙන නගර.

    ලෙවීවරුන්ට අයිති නගර. අත්වැරදීමක් නිසා කෙනෙක් අතින් තව කෙනෙක් මැරුණොත් එයාට පුළුවන් වුණා වරදකරුව මරලා දාන්න අයිතිය තියෙන කෙනාගෙන් බේරෙන්න ඒ නගරයකට පලා යන්න. පොරොන්දු දේශයේ ඒ වගේ නගර හයක් තිබුණා. යෙහෝවාගේ මඟ පෙන්වීම යටතේ මෝසෙස් සහ පස්සේ කාලෙක යොෂුවා තමයි ඒ නගර තේරුවේ. වරදකරු ඒ නගරයකට ආවාම ඒකේ දොරටුව ළඟ හිටපු වැඩිමහල්ලන්ට එයාගේ අතින් වුණ වරද කිව්වා. එයාලා එයාව කාරුණිකව පිළිගත්තා. ඒත් එයාට සිද්ධ වුණා ඒ මරණය සිද්ධ වුණ නගරයට ගිහින් නඩු විභාගයකට මුහුණ දීලා එයාගේ නිර්දෝෂකම ඔප්පු කරන්න. එහෙම කරන්න කිව්වේ හිතාමතාම මිනී මරන අයට ඒ සැලැස්මෙන් අයුතු ප්‍රයෝජන ගන්න බැරි වෙන්නයි. ඒක හිතාමතාම කරපු දෙයක් නෙමෙයි කියලා ඔප්පු වුණොත් වරදකරුව ආරක්ෂාව ලබා දෙන නගරයට ආපහු යැව්වා. ඒත් එයාට සිද්ධ වුණා ජීවිත කාලය පුරාම නැත්නම් උත්තම පූජකයා මැරෙන කල් ඒ නගරයටම වෙලා ඉන්න.—ගණන් 35:6, 11-15, 22-29; යොෂු 20:2-8.

  • ආරම්; අරාමීය ජාතික.

    ෂෙම්ගේ පුතෙක් වුණ ආරම්ගෙන් පැවතුණ අය. අරාමීය ජාතිකයන් වැඩිදෙනෙක් ජීවත් වුණේ ලෙබනොන් කඳුකරයේ ඉඳන් මෙසපොතේමියාව දක්වාත් උතුරට වෙන්න තිබුණ ටවුරස් කඳුවැටියේ ඉඳන් ඊට පහළින් තිබුණ දමස්කය දක්වාත් එතන ඉඳන් දකුණට වෙන්න තිබුණ ප්‍රදේශවලයි. හෙබ්‍රෙව් භාෂාවෙන් ඒ මුළු ප්‍රදේශයම හැඳින්නුවේ ආරම් කියලයි. පස්සේ කාලෙක ඒකට කිව්වේ සිරියාව කියලා. එහේ ජීවත් වුණ අයට කිව්වේ සිරියානු ජාතිකයන් කියලා.—උත් 25:20; ද්වි 26:5; හොෂෙ 12:12.

  • ආරොන්ගේ පුතාලා.

    ලෙවීගේ මුනුපුරෙක් වුණ ආරොන්ගෙන් පැවතෙන අය. මෝසෙස්ගේ නීතිය යටතේ මුල්ම උත්තම පූජකයා විදිහට තෝරගත්තේ ආරොන්ව. එයාගේ පුතාලා තමයි ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ පූජකයන්ට අයිති වගකීම් ඉටු කළේ.—1ලේක 23:28.

  • ආශ්චර්යයන්; බලවත් ක්‍රියා.

    සාමාන්‍ය මිනිසෙක්ට කරන්න බැරි ක්‍රියාවක් නැත්නම් තේරුම්ගන්න බැරි සිදුවීමක්. ඒ වගේ දෙයක් කරන්නේ මිනිසෙක්ට වඩා බලවත් කෙනෙක් නැත්නම් බලවේගයකින් කියලා විශ්වාස කරනවා. ඒ අදහසම දෙන්න බයිබලයේ “ලකුණු” සහ “පුදුම හිතෙන දේවල්” වගේ වචන පාවිච්චි කරලා තියෙනවා.—නික් 4:21; ක්‍රියා 4:22; හෙබ්‍රෙ 2:4.

  • ආසියාව.

    ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ රෝමයට අයිති පළාතක් විදිහට හඳුන්වලා තියෙනවා. ඒකට වර්තමාන තුර්කියේ බස්නාහිර කොටස වගේම පැට්මොස් සහ සාමොස් වගේ වෙරළබඩ තීරයේ තියෙන දූපත් අයිති වුණා. ඒකේ අගනුවර එෆීසය. (ක්‍රියා 20:16; එළි 1:4)—උප. B13 බලන්න.

  • ඇකේයා.

    ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන තැනක්. දකුණු ග්‍රීසියේ තිබුණ රෝමයට අයිති පළාතක්. ඒකේ අගනුවර කොරින්තියයි. මුළු පෙලෝපෝනිස් ප්‍රදේශයත් ග්‍රීක අර්ධද්වීපයේ මධ්‍යම ප්‍රදේශයත් ඇකේයාවට අයිති වුණා. (ක්‍රියා 18:12)—උප. B13 බලන්න.

  • ඇපය.

    ණයක් ගත්ත කෙනෙක් තමන් ඒක ආයෙත් ගෙවනවා කියලා සහතික වෙන්න ණය දීපු කෙනාට ලබා දෙන දේ. ඒක ණය ගත්ත කෙනාට අයිති දෙයක්. ඊශ්‍රායෙල්වරු අතරේ හිටපු දුප්පත්, කිසිම හව්හරණක් නැති අයව ආරක්ෂා කරන්න ඇපයක් විදිහට ලබාගන්න දේවල් සම්බන්ධයෙන් යම් කොන්දේසි මෝසෙස්ගේ නීතියේ තිබුණා.—නික් 22:26; එස 18:7.

  • ඇඹරුම් ගල.

    රවුම් ගලක් උඩ තියපු තවත් රවුම් ගලක්. ඒකේ ධාන්‍ය අඹරලා පිටි හැදුවා. යට තිබුණ ගලේ මැද්දට වෙන්න පොල්ලක් වගේ දෙයක් හයි කරලා තිබුණා. උඩ තියෙන ගල කරකවන්න ඒක උදව් වුණා. බයිබලය ලියපු කාලයේ අතින් අඹරන පොඩි ඇඹරුම් ගල් ගොඩක් ගෙවල්වල තිබුණා. ඒවා පාවිච්චි කළේ කාන්තාවන්. ඒ පොඩි ඇඹරුම් ගල් පාවිච්චි කරලා තමයි කාන්තාවන් දවසට ඕනෙ කරන රොටි හැදුවේ. ඒ ඇඹරුම් ගලවත් ඒකේ අත්ගලවත් ඇපයක් විදිහට ගන්න එපා කියලා මෝසෙස්ගේ නීතියේ කියලා තිබුණේ ඒ නිසයි. ඒ හා සමානව හදලා තිබුණ ඊට වඩා ලොකු ඇඹරුම් ගලුත් තිබුණා. ඒවා කරකවන්න සත්තුන්ව යොදාගත්තා.—ද්වි 24:6; මාක් 9:42.

  • ඇරමයික.

    හෙබ්‍රෙව් භාෂාවට ගොඩක් කිට්ටුවෙන් යන සෙමිටික් භාෂාවක්. ඒ භාෂාවේ පාවිච්චි කරන්නෙත් හෙබ්‍රෙව් හෝඩියමයි. ඇරමයික භාෂාව මුලින්ම කතා කළේ අරාමීය ජාතිකයන් වුණත් පස්සේ කාලෙකදී ඒක ජාත්‍යන්තර භාෂාවක් වුණා. ඇසිරියානු සහ බැබිලෝනිය අධිරාජ්‍යවල ව්‍යාපාර කටයුතුවලදීත් සාමාන්‍ය කතාබහේදීත් ඒ භාෂාව පාවිච්චි කරලා තියෙනවා. පර්සියානු අධිරාජ්‍යයේ පරිපාලන කටයුතු කරපු නිල භාෂාව වුණෙත් ඒ භාෂාවයි. (එස්රා 4:7) එස්රා, යෙරෙමියා සහ දානියෙල් පොත්වල යම් කොටස් ලිව්වෙත් ඒ භාෂාවෙන්.—එස්රා 4:8–6:18; 7:12-26; යෙරෙ 10:11; දානි 2:4ආ–7:28.

  • ඇරියොපගස්.

    ඇතන්ස්වල තිබුණ උස කන්දක්. ඒක තිබුණේ ඇක්‍රොපොලිසයට වයඹ පැත්තෙන්. එහේ රැස්වීම් පවත්වපු (නඩු විභාග කරන) මණ්ඩලය හැඳින්නුවෙත් ඒ නමින්. ස්ටොයික සහ එපිකියුරිය දර්ශනවාදීන් පාවුල්ව ඇරියොපගස්වලට අරන් ආවා. එහෙම කළේ එයාගේ විශ්වාසයන් ගැන පැහැදිලි කරන්න එයාට අවස්ථාවක් දෙන්නයි.—ක්‍රියා 17:19.

  • ඇලබැස්ටර්.

    සුවඳ තෙල් දාපු පොඩි බඳුන් වර්ගයක්. මුලින්ම ඒවා හැදුවේ ඊජිප්තුවේ ඇලබැස්ට්‍රොන් ප්‍රදේශයේ තිබුණ ගල් වර්ගයකින්. සාමාන්‍යයෙන් ඒ බඳුනේ කට හදලා තිබුණේ හුඟක් හීනියට. එහෙම කළේ වටිනා සුවඳ තෙල් අහකට යන්නේ නැති වෙන්න මූඩියකින් තද කරලා වහන්න පුළුවන් වෙන්නයි. පස්සේ කාලෙක ඒවා හදන්න පාවිච්චි කරපු ගලුත් ඒ නමින්ම හැඳින්නුවා.—මාක් 14:3.

  • ඇලමොත්.

    සංගීතයට සම්බන්ධ වචනයක්. “යුවතිය; තරුණිය” කියන තේරුම තියෙන ඒ වචනයෙන් අදහස් කරන්නේ ඉහළ ස්වරයෙන් ගායනා කරන තරුණියන්ගේ හඬ ගැන වෙන්න පුළුවන්. ඒ වචනේ පාවිච්චි කරන්න ඇත්තේ යම් ස්වර ප්‍රස්ථාරයක් හරි සංගීත භාණ්ඩයක් හරි වාදනය කරන්න ඕනෙ ඉහළ ස්වරයකින් කියන දේ පෙන්නන්න වෙන්න ඇති.—1ලේක 15:20, පාදසටහන; ගීතා 46:පෙ.ස.

  • ඇල්ෆා සහ ඔමේගා.

    ඇල්ෆා සහ ඔමේගා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර සහ අන්තිම අකුර. එළිදරව් පොතේ ඒ වචන දෙක තුන් පාරක් එකට පාවිච්චි කරලා තියෙනවා. ඒ, දෙවියන්ට කියන පදවි නමක් විදිහටයි. ඒ බයිබල් පදවල ඒ යෙදුමෙන් අදහස් කරන්නේ “පටන්ගැන්ම සහ අවසානය” නැත්නම් “පළවෙනියා සහ අන්තිමයා” කියන එකයි.—එළි 1:8; 21:6; 22:13.

  • ඉතියෝපියාව.

    අතීතයේ ඉඳන් ඊජිප්තුවට දකුණින් තිබුණ රටක්. වර්තමාන ඊජිප්තුවේ දකුණු කොනට වෙන්න තියෙන ප්‍රදේශයත් වර්තමාන සුඩානයත් ඒකට අයිති වුණා. සමහර අවස්ථාවලදී හෙබ්‍රෙව් භාෂාවෙන් කූෂ්වලට කිව්වෙත් ඉතියෝපියාව කියලයි.—එස්ත 1:1.

  • ඉලිරිකම.

    ග්‍රීසියට වයඹ පැත්තෙන් තිබුණ, රෝම පාලනය යටතේ තිබුණ පළාතක්. ශුභාරංචිය දේශනා කරන්න පාවුල් ඒ දක්වාම ගියා. ඒත් එයා ඉලිරිකමේ දේශනා කළාද නැත්නම් ඒ පළාත වෙන කල් තිබුණ තැන්වල දේශනා කළාද කියන එක හරියටම සඳහන් වෙලා නැහැ. (රෝම 15:19)—උප. B13 බලන්න.

  • ඊශ්‍රායෙල්.

    යාකොබ්ට දෙවියන් දුන්න නම. පස්සේ කාලෙක එයාගෙන් පැවතෙන අයවත් ඒ නමින් හඳුන්වන්න පටන්ගත්තා. හුඟක් වෙලාවට යාකොබ්ගේ පුත්තු 12දෙනාගෙන් පැවතෙන අයව ඊශ්‍රායෙල්ගේ පුතාලා, ඊශ්‍රායෙල් සෙනඟ නැත්නම් ඊශ්‍රායෙල්වරු විදිහට හැඳින්නුවා. දකුණු රාජ්‍යයෙන් වෙන් වෙලා ගිය ගෝත්‍ර දහයේ උතුරු රාජ්‍යයත් හැඳින්නුවේ ඊශ්‍රායෙල් කියන නමින්. පස්සේ කාලෙක අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ව “දෙවියන්ගේ ඊශ්‍රායෙලය” විදිහට හඳුන්වන්න පටන්ගත්තා.—ගලා 6:16; උත් 32:28; 2සාමු 7:23; රෝම 9:6.

  • උත්තම පූජකයා.

    මෝසෙස්ගේ නීතිය යටතේ දෙවියන් ඉස්සරහට ගිහින් සෙනඟව නියෝජනය කරපු සහ අනිත් පූජකයන්ගේ වැඩ බලාගත්ත ප්‍රධාන පූජකයා. එයාව “නායක පූජකයා” විදිහටත් හඳුන්වලා තියෙනවා. (2ලේක 26:20; එස්රා 7:5) ශුද්ධ කූඩාරමේ සහ පස්සේ කාලෙක දේවමාලිගාවේ තිබුණ අතිශුද්ධස්ථානයට යන්න අවසර තිබුණේ එයාට විතරයි. අවුරුද්දට වතාවක් සමඟි වෙන දවසේ විතරයි එයා ඒකට ගියේ. යේසුස් ක්‍රිස්තුස්වත් “උත්තම පූජකයා” විදිහට හඳුන්වනවා.—ලෙවී 16:2, 17; 21:10; මතෙ 26:3; හෙබ්‍රෙ 4:14.

  • උදුන.

    ලෝහ උණු කරන්නත් ලෝහ තියෙන පස්, ගල් උණු කරන්නත් ලෝහ වර්ග එකට එකතු කරන්නත් පාවිච්චි කළා. මැටි භාජන හැදුවෙත් හුණුගල් පිච්චුවෙත් ගිනි උදුනේ. බයිබලය ලියපු කාලේ ගිනි උදුන් හැදුවේ ගඩොල්වලින් සහ ගල්වලින්. ඒකට පෝරණුවක් කියලත් කියනවා.—උත් 15:17; දානි 3:17; එළි 9:2.

  • උපභාර්යාව.

    පළවෙනි බිරිඳ ඉද්දී විවාහ කරගත්ත තව බිරිඳක්. හුඟක් වෙලාවට එහෙම විවාහ කරගත්තේ දාසියක්ව.—නික් 21:8; 2සාමු 5:13; 1රාජා 11:3.

  • උස් තැන්.

    කන්දක්, උස් බිමක් නැත්නම් මිනිස්සු හදපු වේදිකාවක් උඩ නමස්කාර කරන්න හදපු තැනක්. දෙවියන්ට නමස්කාර කරන්න උස් තැන් පාවිච්චි කරලා තිබුණත් ඒ යෙදුම බයිබලයේ වැඩි හරියක්ම පාවිච්චි කරන්නේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු තැන් ගැන කියන්නයි.—ගණන් 33:52; 1රාජා 3:2; යෙරෙ 19:5; පාදසටහන්.

  • ඌරීම් සහ තුම්මීම්.

    යෙහෝවාගේ තීරණය මොකක්ද කියලා ජාතියක් විදිහට දැනගන්න අවශ්‍ය වුණාම උත්තම පූජකයා ඒ තීරණය දැනගත්තේ මේවා පාවිච්චි කරලයි. ඒවාත් දාදු වගේ දෙයක්. උත්තම පූජකයා ශුද්ධ කූඩාරමට යද්දී එයාගේ ළයවැස්ම ඇතුළට ඌරීම් සහ තුම්මීම් දාගෙනයි ගියේ. බැබිලෝනිවරු යෙරුසලම විනාශ කළාම මේවා පාවිච්චි කරන එක නැති වෙලා ගියා.—නික් 28:30; නෙහෙ 7:65.

  • එක්රැස්වීම.

    කට්ටියක් කලින් කතා වෙලා එකට එකතු වෙන එක. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ මේ වචනය පාවිච්චි කරලා තියෙන්නේ ඊශ්‍රායෙල් සෙනඟ එයාලාගේ ආගමික උත්සවවලට එහෙම නැත්නම් හුඟක් විශේෂ අවස්ථාවන්වලට එකට එකතු වුණ එක හඳුන්වන්නයි.—ද්වි 16:8; 1රාජා 8:5.

  • එපිකියුරිය දර්ශනවාදීන්.

    ග්‍රීක දර්ශනවාදියෙක් වුණ එපිකියුරස්ගේ අනුගාමිකයන් (ක්‍රි.පූ. 341-270). කෙනෙක්ගේ ජීවිතේ ප්‍රධානම ඉලක්කය වෙන්න ඕනෙ සතුට අත් කරගන්න එකයි කියලා එයාලා ඉගැන්නුවා.—ක්‍රියා 17:18.

  • එලුල්.

    යුදෙව්වරු බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ යුදෙව් ආගමික දිනදර්ශනයේ 6වෙනි මාසය සහ යුදෙව් සාමාන්‍ය දිනදර්ශනයේ 12වෙනි මාසය හැඳින්නුවේ ඒ නමින්. අගෝස්තු මැද ඉඳන් සැප්තැම්බර් මැද දක්වා කාලය තමයි එලුල් මාසය විදිහට හැඳින්නුවේ. (නෙහෙ 6:15)—උප. B15 බලන්න.

  • එෆ්‍රායිම්.

    යෝසෙප්ගේ දෙවෙනි පුතාගේ නම. පස්සේ කාලෙක ඊශ්‍රායෙල්වරුන්ගේ එක ගෝත්‍රයක් හැඳින්නුවේ ඒ නමින්. ඊශ්‍රායෙල් රාජ්‍යය දෙකට බෙදුණාට පස්සේ ප්‍රධාන ගෝත්‍රය වුණ එෆ්‍රායිම් ගෝත්‍රය තමයි ගෝත්‍ර දහයේ රාජ්‍යය නියෝජනය කළේ.—උත් 41:52; යෙරෙ 7:15.

  • ඒතානිම්.

    යුදෙව් ආගමික දිනදර්ශනයේ හත්වෙනි මාසය සහ යුදෙව් සාමාන්‍ය දිනදර්ශනයේ පළවෙනි මාසය හැඳින්නුවේ ඒ නමින්. සැප්තැම්බර් මැද ඉඳන් ඔක්තෝබර් මැද දක්වා කාලය තමයි ඒතානිම් මාසය විදිහට හැඳින්නුවේ. යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ ඒ මාසය හැඳින්නුවේ තිෂ්රී කියලයි. (1රාජා 8:2)—උප. B15 බලන්න.

  • ඒදොම්.

    ඊසාක්ගේ පුතා වුණ ඒසව්ට දීපු තව නමක්. ඒසව්ගෙන් (ඒදොම්ගෙන්) පැවතෙන අයවත් හැඳින්නුවේ ඒ නමින්. ඒ අය තමයි මළ මුහුද සහ අකාබා බොක්ක අතරේ තිබුණ සේයිර් කියන කඳුකර ප්‍රදේශය අයිති කරගත්තේ. පස්සේ කාලෙක ඒ ප්‍රදේශය හැඳින්නුවේ ඒදොම් කියලයි. (උත් 25:30; 36:8)—උප. B3 සහ B4 බලන්න.

  • ඒපාව.

    වියළි මිනුමක්. ධාන්‍ය මනින්න පාවිච්චි කරපු භාජනය හැඳින්නුවෙත් ඒ නමින්. ඒපාවක් දියර මනින බාත් මිනුමේ ප්‍රමාණයට සමානයි. ඒකට ලීටර් 22ක් ඇල්ලුවා. (නික් 16:36; එස 45:10)—උප. B14 බලන්න.

  • ඒෆොද් ඇඳුම.

    පූජකයන් එයාලාගේ ඇඳුම්වලට උඩින් දාපු ඇඳුමක්. උත්තම පූජකයා ඇඳපු ඒෆොද් ඇඳුම අනිත් පූජකයන්ගේ ඒෆොද් ඇඳුමට වඩා විශේෂයි. ඒකේ ඉස්සරහා පැත්තේ වටිනා ගල් 12ක් අල්ලපු ළයවැස්මක් තිබුණා. (නික් 28:4, 6)—උප. B5 බලන්න.

  • ඔනික්ස්.

    අර්ධ වටිනාකමක් තියෙන මැණිකක්. ඒක අගස්ති වර්ගයට අයිති වුණත් ඊට වඩා ශක්තිමත් ගලක්. එහෙම නැත්නම් ඒක වයිරම් වැටුණු කැල්සිඩ්නි වර්ගයේ ගලක් වෙන්නත් පුළුවන්. ඔනික්ස් ගලේ කලු, දුඹුරු, රතු, අළු හෝ කොළ තීරු අතරින් සුදු තීරු තියෙනවා. ඒක උත්තම පූජකයාගේ විශේෂ ඇඳුමට අල්ලලා තිබුණා.—නික් 28:9, 12; 1ලේක 29:2; යෝබ් 28:16.

  • ඕමෙරය.

    වියළි ද්‍රව්‍ය මනින්න පාවිච්චි කරපු ඒකකයක්. ඕමෙරයක් කියන්නේ ලීටර් 2.2ක් නැත්නම් ඒපාවකින් දහයෙන් එකක්. (නික් 16:16, 18)—උප. B14 බලන්න.

  • කට්ටකුමංජල්.

    සමහර ගස්වලින් සහ පඳුරුවලින් (Boswellia වර්ගයට අයිති) ගන්න වේළුණ මැලියම් (ලාටු). ඒවා පිච්චුවාම ඒවායින් මිහිරි සුවඳක් ආවා. ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ ඔප්පු කරපු ශුද්ධ සුවඳ ද්‍රව්‍යය හදන්න ඒවාත් පාවිච්චි කළා. ධාන්‍ය පූජා ඔප්පු කරද්දී ඒවාත් එක්ක කට්ටකුමංජල් ඔප්පු කළා. ශුද්ධස්ථානයේ තියලා තිබුණ පූජා කරන රොටි ගොඩවල් උඩිනුත් ඒවායින් ටිකක් තියලා තිබුණා.—නික් 30:34-36; ලෙවී 2:1; 24:7; මතෙ 2:11.

  • කණුව.

    සමහර ජාතීන් මිනිස්සුන්ව මරන්නත් මරපු කෙනෙක්ව හැමෝටම පේන්න එල්ලලා තියන්නත් මේක පාවිච්චි කළා. එහෙම කළේ අනිත් අයට අනතුරු ඇඟවීමක් විදිහටයි. එහෙම නැත්නම් ඒ කෙනාව ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරන්න. ඇසිරියානුවන් යුද්ධ කරලා අල්ලගත්ත අයව එයාලාගේ ශරීරයේ යට කොටසේ ඉඳන් උඩ කොටසට පසාරු කරගෙන යන විදිහට හොඳට උල් කරපු කණුවක් යවනවා. ඊටපස්සේ ඒ කෙනාත් එක්කම ඒ කණුව හිටවලා තියනවා. යුදෙව් නීතියට අනුව දෙවියන්ට අපහාස කරන එක හෝ රූපවලට නමස්කාර කරන එක වගේ හරිම දුෂ්ට දේවල් කරන අයව ගල් ගහලා නැත්නම් වෙනත් විදිහකින් මුලින් මරලා ඊටපස්සේ මළ සිරුර කණුවක හෝ ගහක එල්ලුවා. එහෙම කළේ අනිත් අයට අනතුරු ඇඟවීමක් විදිහට. (ද්වි 21:22, 23; 2සාමු 21:6, 9) සමහර අවස්ථාවලදී රෝමවරු කළේ වරදකරුවෙක්ව කණුවකට තියලා ගැටගහපු එකයි. ඒ කෙනා වේදනාව, තිබහා, බඩගින්න සහ අව් රශ්මිය නිසා දවස් ගාණකට පස්සේ මැරිලා යනවා. තවත් වෙලාවලදී එයාලා වරදකරුගේ අත් සහ කකුල් කණුවට තියලා ඇණ ගහලා මරනවා. යේසුස්ට කළේ ඒ දේමයි. (ලූක් 24:20; යොහ 19:14-16; 20:25; ක්‍රියා 2:23, 36)—වධකණුව යටතේ බලන්න.

  • කන්ද නඟිද්දී ගයන ගීයක්.

    ගීතාවලිය 120–134 පෙර සටහන. ඒකේ තේරුම ගැන ගොඩක් අදහස් තියෙනවා. ඒත් හුඟදෙනෙක් විශ්වාස කරනවා ඊශ්‍රායෙල්වරු අවුරුද්දකට තුන් පාරක් උත්සව සමරන්න යෙරුසලමට යද්දී මේ ගීතිකා 15 ගායනා කරන්න ඇති කියලා. යෙරුසලම තිබුණේ යූදාවල කඳුකරයේ. එහෙට ‘නැඟගෙන’ යද්දී හරිම සතුටින් ඊශ්‍රායෙල්වරු මේ ගීතිකා ගායනා කරන්න ඇති.

  • කප්පම (බද්ද).

    එක රාජ්‍යයක් හෝ පාලකයෙක් තවත් රාජ්‍යයකට යටත් කියලා පෙන්නන්න කරපු ගෙවීම. දෙගොල්ලෝ අතරේ සාමය දිගටම තියාගන්න හෝ ආරක්ෂාව ලබාගන්නයි ඒ ගෙවීම කළේ. (2රාජා 3:4; 18:14-16; 2ලේක 17:11) එක් එක් පුද්ගලයාගෙන් අය කරපු ගාස්තුවත් ඒකෙන් අදහස් වෙන්න පුළුවන්.—නෙහෙ 5:4; රෝම 13:7.

  • කුඹල්කරු.

    මැටිවලින් භාජන, බඳුන් වගේ දේවල් හදන කෙනා. හෙබ්‍රෙව් වචනයේ මූලික අදහස “සාදන්නා” කියන එකයි. එක් එක් පුද්ගලයන්ව සහ ජාතීන්ව පාලනය කරන්න යෙහෝවාට තියෙන අයිතිය විස්තර කරන්න කුඹල්කරුට මැටිවලින් කරන්න පුළුවන් දේ හුඟක් වෙලාවට උදාහරණෙට අරන් තියෙනවා.—යෙසා 64:8; රෝම 9:21.

  • කුලුන.

    ආධාරකයක් විදිහට කෙළින් හිටවපු දෙයක් නැත්නම් ටැඹක්. අතීතයේ වෙච්ච දෙයක් නැත්නම් සිද්ධියක් සිහි කරන්න ඒ වගේ කුලුනු හිටෙව්වා. දේවමාලිගාවේ සහ සලමොන් ඉදි කරපු රාජකීය ගොඩනැඟිලිවල කුලුනු තිබුණා. වෙනත් ජාතීන්වල අය බොරු ආගමික වත්පිළිවෙත් වෙනුවෙන් කුලුනු හිටෙව්වා. ඊශ්‍රායෙල්වරුත් සමහර අවස්ථාවලදී ඒ වගේ දේවල් කළා.—විනි 16:29; 1රාජා 7:21; 14:23.

  • කුලුනු දෙක මුදුනේ තිබුණ කොටස්.

    සලමොන්ගේ දේවමාලිගාවට ඇතුල් වෙන තැන තිබුණ යාකින් සහ බෝවස් විදිහට හඳුන්වපු කුලුනු දෙක උඩ සවි කරලා තිබුණ ලොකු කොටස් දෙක. ඒවා හදලා තිබුණේ කුලුනු දෙක ලස්සන කරන්නයි. (1රාජා 7:16)—උප. B8 බලන්න.

  • කුලුඳුලා.

    මේ වචනයෙන් මූලිකවම අදහස් වුණේ තාත්තාගේ වැඩිමල් පුතාවයි. (අම්මාගේ වැඩිමල් පුතා නෙමෙයි.) බයිබලය ලියපු කාලේ වැඩිමල් පුතාට පවුලේ ගෞරවනීය තැනක් තිබුණා. තාත්තා මිය ගියාට පස්සේ පවුලේ මූලිකත්වය අරන් වැඩ කළේ වැඩිමල් පුතායි. සතෙක් බිහි කරපු පළවෙනි පිරිමි සතාව හඳුන්වන්නත් ඒ වචනේ පාවිච්චි කළා.—නික් 11:5; 13:12; උත් 25:33; කොලො 1:15, පාදසටහන.

  • කල්දියාව; කල්දිවරු.

    ටයිග්‍රීස් සහ යුප්‍රටීස් ගංගාවල ඩෙල්ටාව අවට ප්‍රදේශය සහ එහේ ජීවත් වුණ මිනිස්සුන්ව තමයි මුලින්ම ඒ විදිහට හැඳින්නුවේ. පස්සේ කාලෙක ඒ යෙදුම් පාවිච්චි කළේ බැබිලෝනියාවට අයිති මුළු ප්‍රදේශයම සහ එහේ ජීවත් වුණ මිනිස්සුන්ව හඳුන්වන්නයි. විද්‍යාව, ඉතිහාසය, භාෂා සහ තාරකා විද්‍යාව අධ්‍යයනය කරපු උගත් පිරිසක්ව හඳුන්වන්නත් “කල්දිවරුන්” කියන වචනය පාවිච්චි කළා. ඒත් ඒ අය මන්තර ගුරුකම් වගේම ජ්‍යෝතිෂයට සම්බන්ධ දේවල් කරපු අය.—එස්රා 5:12; දානි 4:7; ක්‍රියා 7:4.

  • කසය.

    ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ මේ වචනය පාවිච්චි කරද්දී ඒකෙන් ගැට දාලා තිබුණ එහෙම නැත්නම් කටු අමුණලා තිබුණ කසයක් අදහස් කළා.—යොහ 19:1.

  • කානාන්.

    නෝවාගේ මුනුපුරෙක්. හාම්ගේ හතරවෙනි පුතා. කාලයක් යද්දී කානාන්ගෙන් පැවතුණ ගෝත්‍ර 11 ඊජිප්තුවත් සිරියාවත් අතරේ තිබුණ නැඟෙනහිර මධ්‍යධරණී ප්‍රදේශය පුරා පදිංචි වුණා. ඒ ප්‍රදේශය හැඳින්නුවේ “කානාන් දේශය” විදිහටයි. (ලෙවී 18:3; උත් 9:18; ක්‍රියා 13:19)—උප. B4 බලන්න.

  • කැප කිරීමේ උත්සවය.

    ඇන්ටියෝකස් එපිෆනිස් දේවමාලිගාව අපවිත්‍ර කළාට පස්සේ ඒක පවිත්‍ර කරපු අවස්ථාව සිහි කරන්න පවත්වපු උත්සවය. ඒක කිස්ලෙව් මාසේ 25වෙනිදා පටන් අරන් දවස් අටක් පුරා පැවැත්තුවා.—යොහ 10:22.

  • කැප වුණා කියලා පෙන්නන ශුද්ධ සංකේතය.

    පිරිසිදු රත්තරන්වලින් හදපු දිලිසෙන තහඩුවක්. ඒකේ “ශුද්ධකමේ උල්පත යෙහෝවායි” කියන වචන පෙළ හෙබ්‍රෙව්වලින් කොටලා තිබුණා. උත්තම පූජකයාගේ හිස්වැස්මේ ඉස්සරහා පැත්තේ තමයි ඒ තහඩුව බැඳලා තිබුණේ. (නික් 39:30)—උප. B5 බලන්න.

  • කැබ්.

    ලීටර් 1.22කට සමාන වියළි මිනුමක්. ඒකේ ප්‍රමාණය ගණන් බලන්නේ බාත් මිනුමේ ප්‍රමාණයට අනුවයි. (2රාජා 6:25, පාදසටහන)—උප. B14 බලන්න.

  • කිසිම ලැජ්ජාවක් බයක් නැතුව හැසිරෙන එක.

    ග්‍රීක භාෂාවෙන් අසෙල්ජෙයියා. බරපතළ විදිහට දෙවියන්ගේ නීතිය කඩ කරන ඕනෙම ක්‍රියාවක් ඒකට ඇතුළත්. ඒ විදිහට වැඩ කරන කෙනෙක් කිසිම බයක් නැතුව හරි දේ පහත් කරමින් නින්දිත දේවල් කරනවා. අධිකාරියට, නීතිවලට සහ ප්‍රමිතිවලට අගෞරව කරනවා. ඒ වගේම ඒවා හෙළා දකිනවා. ඒ වචනය පොඩි පොඩි වැරදිවලට පාවිච්චි කරන්නේ නැහැ.—ගලා 5:19; 2පේතෘ 2:7.

  • කිස්ලෙව්.

    යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ යුදෙව් ආගමික දිනදර්ශනයේ නමවෙනි මාසය සහ යුදෙව් සාමාන්‍ය දිනදර්ශනයේ තුන්වෙනි මාසය. නොවැම්බර් මැද ඉඳන් දෙසැම්බර් මැද දක්වා කාලය තමයි කිස්ලෙව් විදිහට හැඳින්නුවේ. (නෙහෙ 1:1; සෙක 7:1)—උප. B15 බලන්න.

  • කෙනෙක් පිට අත තියන එක.

    කෙනෙක්ව විශේෂ වැඩකට පත් කරද්දී, සුව කරද්දී, එහෙම නැත්නම් කෙනෙක්ට ආශීර්වාද කරද්දී, දෙවියන්ගේ බලය කියන දීමනාව ලබා දෙද්දී එයා පිට අත තිබ්බා. සමහර වෙලාවලදී සතෙක්ව පූජා කරන්න කලින් ඌ පිට අත තිබ්බා.—නික් 29:15; ගණන් 27:18; ක්‍රියා 19:6; 1තිමෝ 5:22, පාදසටහන.

  • කෙමොෂ්.

    මෝවබ්වරුන්ගේ ප්‍රධාන දෙවියා.—1රාජා 11:33.

  • කෙරුබ්වරු.

    උසස් තනතුරක් තියෙන, විශේෂ වගකීම් දරන දේවදූතයන් පිරිසක්. එයාලා සෙරාෆ්වරුන්ට වඩා වෙනස්.—උත් 3:24; නික් 25:20; යෙසා 37:16; හෙබ්‍රෙ 9:5.

  • කෙවිට.

    කෙවිටක් කියන්නේ එඬේරු සත්තුන්ට හෙමිහිට අනින්න පාවිච්චි කරපු, ලෝහවලින් හදපු තියුණු උලක් තියෙන දිග පොල්ලකට. ප්‍රඥාවන්ත කෙනෙක්ගේ වචන බයිබලයේ කෙවිටකට සමාන කරලා තියෙනවා. මොකද ඒ වචන අහන කෙනා පෙලඹෙනවා ඒවා එයාගේ ජීවිතේට අදාළ කරගන්න. එඬේරෙක් හරකෙක්ට කෙවිටෙන් අනිද්දී සමහර වෙලාවට ඌ මුරණ්ඩු වෙලා කෙවිටට පයින් ගැහුවා. ඒකෙන් හානියක් වුණේ ඌටමයි. ‘කෙවිටට පයින් ගහනවා’ කියන යෙදුම ඇවිත් තියෙන්නේ ඒකෙන්.—ක්‍රියා 26:14; විනි 3:31.

  • කොරල්.

    මුහුදේ ඉන්න පුංචි ජීවීන්ගේ ඇටසැකිලිවලින් හැදෙන ගල් වගේ ශක්තිමත් දෙයක්. රතු, සුදු, කලු ඇතුළු විවිධ වර්ණවලින් යුත් කොරල් මුහුදේ තියෙනවා. අතීතයේ රතු මුහුදේ ඕන තරම් කොරල් දකින්න තිබුණා. බයිබලය ලියවුණ කාලයේ රතු කොරල් සැලකුවේ හරිම වටිනා දෙයක් විදිහට. ඒවාවලින් ආභරණ හදන ඇට වගේම විසිතුරු භාණ්ඩත් හැදුවා.—හිතෝ 8:11.

  • කොල්ලය.

    සතුරන්ව යටත් කරගත්තාට පස්සේ එයාලාගෙන් ගන්න බඩු මුට්ටු, සත්ව රැළවල් හෝ වෙනත් වටින දේවල්.—උත් 49:27; විනි 5:30.

  • කෝර්.

    වියළි දේවල් සහ දියර මනින්න පාවිච්චි කරන මිනුමක්. බාත් මිනුමට අනුව බලද්දී කෝර් මිනුමක් කියන්නේ ලීටර් 220ක් (ගැලුම් 58.1ක්). (1රාජා 5:11)—උප. B14 බලන්න.

  • ක්‍රිස්තියානීන්.

    යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන්ට දෙවියන් දුන්න නම.—ක්‍රියා 11:26; 26:28.

  • ක්‍රිස්තු විරෝධියා.

    ඒ විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුමට තේරුම් දෙකක් තියෙනවා. ක්‍රිස්තුස්ට විරුද්ධ සහ ක්‍රිස්තුස් විදිහට බොරුවට මවාපාන, ඒ කියන්නේ ක්‍රිස්තුස්ගේ තැන ගන්න හදන කෙනෙක් කියන අදහස් ඒකට ඇතුළත් වෙනවා. තමන් ක්‍රිස්තුස්ව නියෝජනය කරනවා කියලා හරි තමන් මෙසියස් කියලා හරි බොරුවට කියාගන්න ඕනෑම කෙනෙක්, සංවිධානයක් නැත්නම් කණ්ඩායමක් ක්‍රිස්තු විරෝධියෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ක්‍රිස්තුස්ට හරි ඔහුගේ ගෝලයන්ට හරි විරුද්ධ වෙන අයවත් ඒ විදිහට හඳුන්වන්න පුළුවන්.—1යොහ 2:22.

  • ක්‍රිස්තුස්.

    යේසුස්ට කියන පදවි නමක්. ඒක ඇවිත් තියෙන්නේ ක්‍රිස්ටොස් කියන ග්‍රීක වචනයෙන්. “ක්‍රිස්ටොස්” කියන වචනය “මෙසියස්” නැත්නම් “අභිෂේක කරපු කෙනා” විදිහට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට සමානයි.—මතෙ 1:16; යොහ 1:41.

  • ගණිකාව.

    විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම් පවත්වන කෙනෙක්. ඒ දේ කරන්නේ සල්ලිවලට. (“ගණිකාව” විදිහට පරිවර්තනය කරලා තියෙන පෝර්නේ කියන ග්‍රීක වචනය හැදිලා තියෙන්නේ “විකුණන්න” කියන අදහස තියෙන වචනයකින්.) ගණිකාවක් කියද්දී ගොඩක් වෙලාවට ගැහැනු අයව අදහස් කළත් පිරිමි අයත් ගණිකාවන් විදිහට වැඩ කළා කියලා බයිබලයේ තියෙනවා. මෝසෙස්ගේ නීතියට අනුව ගණිකාවක් විදිහට වැඩ කරන එක බරපතළ වරදක් විදිහටයි සැලකුවේ. ගණිකාවක් විදිහට වැඩ කරලා ලැබෙන සල්ලි පරිත්‍යාගයක් විදිහට යෙහෝවාගේ ගෘහයට ගේන්න එපා කියලා නීතියේ තිබුණා. ඒත් වෙනත් ආගම් අදහපු අය සල්ලි හම්බ කරන්න ක්‍රමයක් විදිහට දේවාලවල ගණිකාවන් තියාගත්තා. (ද්වි 23:17, 18; 1රාජා 14:24) දෙවියන්ට නමස්කාර කරනවා කියලා කිව්වත් රූපවලට හෝ වෙනත් දේවල්වලට නමස්කාර කරන මිනිස්සු, ජාතීන් නැත්නම් සංවිධාන විස්තර කරන්නත් “ගණිකාව” කියන වචනය බයිබලයේ පාවිච්චි කරලා තියෙනවා. උදාහරණෙකට “මහ බැබිලෝනිය” කියන ආගමික සංවිධානය එළිදරව් පොතේ විස්තර කරලා තියෙන්නේ ගණිකාවක් විදිහට. මොකද බලය සහ ධන සම්පත් ලබාගන්න තියෙන ආසාව නිසා එයා ලෝකේ පාලකයන් එක්ක යාළුකම් පවත්වනවා.—එළි 17:1-5; 18:3; 1ලේක 5:25.

  • ගල්පටිය.

    හම් පටියක්. එහෙම නැත්නම් සත්ව නහර හෝ පන් හෝ සත්ව කෙඳි එකට ගොතලා හදපු පටියක්. ඒ පටියේ මැද හරිය පළල්. එතනට තමයි ගලක් වගේ වීසි කරන්න පාවිච්චි කරන දේ තියන්නේ. ඒ පටියේ එක කොනක් අතට නැත්නම් මැණික් කටුවට ගැටගහලයි තිබුණේ. අනිත් කොන ඒ අතින්ම අල්ලගෙන ගල්පටිය කරකවලා ඒ කොන අතහරිනවා. ගල්පටිවලින් විදින්න දක්ෂ අය අතීතයේ හමුදාවල හිටියා.—විනි 20:16; 1සාමු 17:50.

  • ගිටිත්.

    සංගීතයට සම්බන්ධ වචනයක්. ඒකේ තේරුම හරියටම කියන්න බැහැ. පේන විදිහට ඒක ඇවිත් තියෙන්නේ ගාත් කියන හෙබ්‍රෙව් වචනයෙන්. ගාත් කියන්නේ වයින් පාගන තැනට. ඒ නිසා සමහරු විශ්වාස කරනවා ඒක වයින් හදන එක ගැන කියන ගීතවල තනුවකට යොදන වචනයක් කියලා.—ගීතා 81:පෙ.ස.

  • ගිනිවිල.

    “ගින්දරෙන් සහ ගෙන්දගම්වලින් දැවෙන” සංකේතවත් තැනක්. ඒක “දෙවෙනි මරණය” විදිහටත් විස්තර කරලා තියෙනවා. පසුතැවිලි වෙන්නේ නැති පව්කාරයන්වත් යක්ෂයාවත් මරණය සහ මිනී වළත් ඒ ගිනිවිලට වීසි කරනවා. බලවත් නොපෙනෙන කෙනෙක් වන සාතන්වත් මරණය සහ මිනී වළත් ඇත්තටම ගින්නෙන් පුච්චලා දාන්න බැහැ. ගිනිවිල කියන්නේ සදාකාලික විනාශය හඳුන්වන්න පාවිච්චි කරන සංකේතයක් මිසක් සදාකාලෙටම වධ දෙන ඇත්ත තැනක් නෙමෙයි කියලා ඒකෙන් පැහැදිලියි.—එළි 19:20; 20:14, 15; 21:8.

  • ගිලියද්.

    යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තිබුණ සරුසාර ප්‍රදේශය තමයි ඒකෙන් මූලිකවම අදහස් වෙන්නේ. ඒ ප්‍රදේශය යබ්බොක් නිම්නයේ උතුරු පැත්ත දක්වාත් දකුණු පැත්ත දක්වාත් විහිදිලා ගියා. යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තිබුණ ඊශ්‍රායෙල්වරුන්ට අයිති මුළු ප්‍රදේශයත් ගිලියද් විදිහට හඳුන්වනවා. මනස්සේ ගෝත්‍රයේ එක කොටසකුත් ගාද් සහ රූබෙන් කියන ගෝත්‍රත් ජීවත් වුණේ ඒ ප්‍රදේශයේ. (ගණන් 32:1; යොෂු 12:2; 2රාජා 10:33)—උප. B4 බලන්න.

  • ගිවිසුම.

    යම් දෙයක් කරන්න හෝ නොකර ඉන්න දෙපාර්ශවයක් නීත්‍යනුකූලව එකඟතාවකට එන එක. දෙවියන් සහ මිනිස්සු අතරෙත් මිනිස්සු දෙපිරිසක් අතරෙත් ඒ වගේ ගිවිසුම් ඇති කරගෙන තියෙනවා. සමහර අවස්ථාවලදී ගිවිසුමේ කොන්දේසි ඉටු කරන්න අවශ්‍ය වුණේ එක පාර්ශවයක් විතරයි. (ඒක හරියට පොරොන්දුවක් වගේ.) තවත් අවස්ථාවලදී ගිවිසුමට අයිති දෙපාර්ශවයම ඒකේ කොන්දේසි ඉටු කරන්න ඕනෙ වුණා. දෙවියන් සහ මිනිස්සු අතරේ ඇති කරගත්ත ගිවිසුම්වලට අමතරව පුරුෂයන්, ගෝත්‍ර, ජාතීන් සහ විවිධ කණ්ඩායම් අතරේ ඇති කරගත්ත ගිවිසුම් ගැනත් බයිබලයේ සඳහන් වෙනවා. දිගු කාලයක් තිස්සේ පවතින, හුඟදෙනෙක්ට බලපාන ගිවිසුම් ගැනත් බයිබලයේ තියෙනවා. දෙවියන් ආබ්‍රහම් එක්ක, දාවිත් එක්ක, ඊශ්‍රායෙල් ජාතිය එක්ක (මෝසෙස්ගේ නීතික ගිවිසුම) සහ දෙවියන්ගේ ඊශ්‍රායෙලය එක්ක (අලුත් ගිවිසුම) ඇති කරගත්ත ගිවිසුම් ඒවා අතරින් සමහරක්.—උත් 9:11; 15:18; 21:27; නික් 24:7; 2ලේක 21:7.

  • ගිවිසුම් පෙට්ටිය.

    ඒක හදලා තිබුණේ ඇකේෂියා ලීවලින්. ඒකට රත්තරන් ආලේප කරලයි තිබුණේ. ඒක තියලා තිබ්බේ ශුද්ධ කූඩාරමේ අතිශුද්ධස්ථානයේ. පස්සේ කාලෙක ඒක සලමොන් හදපු දේවමාලිගාවේ අතිශුද්ධස්ථානයට අරන් ගියා. ඒකේ පියන හදලා තිබුණේ තනිකර රත්තරන්වලින්. මුහුණට මුහුණ ලා ඉන්න කෙරුබ්වරුන් දෙන්නෙක් ඒ පියනට උඩින් හදලා තිබුණා. ආඥා දහය ලියලා තිබුණ ගල් පුවරු දෙක තමයි ඒකට දාලා තිබුණ වැදගත්ම දේ. (ද්වි 31:26; 1රාජා 6:19; හෙබ්‍රෙ 9:4)—උප. B5 සහ B8 බලන්න.

  • ගිවිසුම් පෙට්ටියේ පියන.

    මේකට සමාව ලබාගන්න ස්ථානය කියලත් කියනවා. සමඟි වෙන දවසේදී උත්තම පූජකයා පාප පූජාවල ලේ ඉස්සේ මේ පියන ඉස්සරහයි. මේකට පාවිච්චි කරන හෙබ්‍රෙව් වචනය හැදිලා තියෙන්නේ “පව් ආවරණය කරනවා” නැත්නම් “පව් මකලා දානවා” කියන අදහස තියෙන ක්‍රියා පදයකින්. මේ පියන හදලා තිබුණේ රත්තරන්වලින්. පියනේ කෙළවරවල් දෙකේ කෙරුබ්වරුන් දෙන්නෙක්ව හයි කරලා තිබුණා. ඒකට “ආවරණය” කියලත් කියනවා. (නික් 25:17-22, පාදසටහන; 1ලේක 28:11; හෙබ්‍රෙ 9:5)—උප. B5 බලන්න.

  • ගීතිකා.

    දෙවියන්ට නමස්කාර කරපු අය ඔහුට ප්‍රශංසා කරන්න සංගීතය එක්ක ගායනා කරපු ගීත. යෙරුසලමේ තිබුණ දේවමාලිගාවේ යෙහෝවා දෙවියන්ට ප්‍රසිද්ධියේ කරපු නමස්කාරයේදීත් මේවා ගායනා කළා.—ලූක් 20:42; ක්‍රියා 13:33; යාකො 5:13.

  • ගෙහෙන්නාව.

    හින්නොම් නිම්නයට ග්‍රීක භාෂාවෙන් කියන නම. (යෙරෙ 7:31) අතීතයේදී තිබුණ යෙරුසලමට දකුණෙන් සහ නිරිතදිගින් තමයි ඒක තිබුණේ. ඒක මළ මිනී පිරුණ තැනක් වෙයි කියලා අනාවැකියක කියලා තියෙනවා. (යෙරෙ 7:32; 19:6) සත්තුන්වත් මිනිස්සුන්වත් පණ පිටින් ගෙහෙන්නාවට වීසි කරලා පුච්චලා දැම්මා කියලවත් වධ දුන්නා කියලවත් කියන්න කිසිම සාක්ෂියක් නැහැ. ඒ නිසා කෙනෙක්ගේ අමරණීය ආත්මය සදාකාලිකව ගින්නෙන් පුච්චන තැනක් ඒකෙන් සංකේතවත් වෙනවා කියලා කියන්න බැහැ. යේසුස් සහ ඔහුගේ ගෝලයෝ ගෙහෙන්නාව කියන වචනය පාවිච්චි කළේ දෙවියන් කෙනෙක්ව “දෙවෙනි මරණයට” නැත්නම් සදාකාලික විනාශයට නියම කරලා තියෙනවා කියලා කියන්නයි.—එළි 20:14; මතෙ 5:22; 10:28.

  • ගේරා.

    ඒක ග්‍රෑම් 0.57ක (අවු. 0.01835) බර මනින ඒකකයක්. ඒක ෂෙකෙල් 1/20කට සමානයි. (ලෙවී 27:25)—උප. B14 බලන්න.

  • ගොඩැල්ල.

    හෙබ්‍රෙව්වලින් ඒ වචනය හඳුන්වන්නේ “මිල්ලෝ” කියලයි. මිල්ලෝ කියන වචනය ඇවිත් තියෙන්නේ “පුරවන්න” කියන තේරුම තියෙන වචනයකින්. ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනයේ ගොඩැල්ල කියන වචනය හඳුන්වලා තියෙන්නේ “බලකොටුව” විදිහටයි. පේන විදිහට ඒක දාවිත්ගේ නුවරේ තිබුණ තැනක් එහෙමත් නැත්නම් ඉදි කරපු යම් දෙයක් කියලා හිතන්න පුළුවන්. ඒත් ඒක හරියටම මොකක්ද කියලා දන්නේ නැහැ.—2සාමු 5:9; 1රාජා 11:27.

  • ගෝණි රෙදි.

    සාමාන්‍යයෙන් ගෝණි රෙදි හැදුවේ තද පාට එළු රෝමවලින්. දුක් වෙද්දී සාමාන්‍යයෙන් ගෝණි රෙදි තමයි ඇන්දේ.—උත් 37:34; ලූක් 10:13.

  • ග්‍රීක.

    ග්‍රීසියේ ඉන්න මිනිස්සු කතා කරන භාෂාව. ග්‍රීක ජාතිකයෙක් නැත්නම් ග්‍රීසියෙන් ආපු පවුලක කෙනෙක්. යුදෙව් නොවන අයව විස්තර කරන්නත් ග්‍රීක භාෂාවට සහ සංස්කෘතියට අනුව හැඩගැහුණු කෙනෙක්ව විස්තර කරන්නත් ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ ඒ වචනය පාවිච්චි කරනවා.—යෝවෙ 3:6; යොහ 12:20.

  • චර්මච්ඡේදනය.

    පුරුෂ ලිංගයේ පිටත තියෙන හම කපලා ඉවත් කරන එක. ආබ්‍රහම්ටයි, එයාගෙන් පැවතෙන අයටයි අනිවාර්යයෙන්ම ඒ දේ කරන්න කියලා දෙවියන් කිව්වා. ඒත් ක්‍රිස්තියානීන් ඒ දේ කරන්න අවශ්‍ය නැහැ. බයිබලයේ සමහර තැන්වල ඒ වචනය සංකේතාත්මක විදිහට පාවිච්චි කරලා තියෙනවා. වෙනත් ජාතියකට අයිති කෙනෙක්ට අපහාසයක් විදිහට “අචර්මච්ඡේදිත” කියන වචනය සමහර අවස්ථාවලදී බයිබලයේ පාවිච්චි කරනවා.—උත් 17:10; 1කොරි 7:19; ෆිලි 3:3.

  • ජටාමාංස.

    ජටාමාංස (Nardostachys jatamansi) කියලා හඳුන්වන පැළෑටියකින් ගන්න ළා රතු පාටට හුරු, ගොඩක් ගණන් සුවඳ තෙල් වර්ගයක්. ඒ තෙල් ගොඩක් ගණන් නිසා ඒවාට බාල තෙල් වර්ග එකතු කරනවා. නැත්නම් වෙන තෙල් ජාති ජටාමාංස තෙල් විදිහට විකුණනවා. ඒත් යේසුස්ට ආලේප කළේ “ඉස්තරම්ම ජටාමාංස තෙල්” කියලා මාක් සහ යොහන් දෙන්නාම කියනවා.—මාක් 14:3; යොහ 12:3.

  • ජීවන වෘක්ෂය.

    ඒදන් උයනේ තිබුණ ගහක්. ඒකේ පලතුරුවල සදහටම ජීවත් වෙන්න හැකියාව ලබා දෙන ගුණයක් තිබුණා කියලා බයිබලයේ කියන්නේ නැහැ. ඒ වෙනුවට ඒ ගහෙන් නියෝජනය වුණේ ඒකෙන් ගෙඩි කන්න දෙවියන් අවසර දෙන අයට සදාකාල ජීවනය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලයි.—උත් 2:9; 3:22.

  • ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන්.

    අනාගතයේ වෙන්න යන දේවල් ගැන කියන්න ඉර, හඳ, තාරකාවල පිහිටීම අධ්‍යයනය කරන පිරිසක්.—දානි 2:27; මතෙ 2:1.

  • ටාටරස්.

    ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවල මේ වචනය පාවිච්චි කරන්නේ නෝවාගේ කාලේ අකීකරු වුණ දේවදූතයන් දැන් ඉන්න තත්වය විස්තර කරන්න. 2 පේතෘස් 2:4 ‘වැරදි කරපු දේවදූතයන්ව ටාටරස්වලට වීසි කළා’ කියන එකෙන් අදහස් කරන්නේ නැහැ මිථ්‍යා කතාවල තියෙන ටාටරස් කියන තැනට (ඒ කියන්නේ තත්වයෙන් අඩු දෙවිවරුන් හිටපු, පොළොව යට තිබුණ හරිම අඳුරු හිරගෙයක්) එයාලව ඇත්තටම වීසි කළා කියලා. ඒ වෙනුවට ඒකෙන් අදහස් කරන්නේ ස්වර්ගයේ එයාලට නියමිත වාසස්ථාන සහ එයාලට තිබුණ වගකීම් දෙවියන් අයින් කරලා එයාලාගේ මනස් තද අන්ධකාරයෙන් වැහිලා යන්න සැලැස්සුවා කියලයි. ඒ නිසා දෙවියන් කරන්න අදහස් කරන දේවල් තේරුම්ගන්න එයාලට බැහැ. එයාලා ඉන්නේ අන්ධකාරයේ කියන එකෙන් අඟවනවා එයාලට අන්තිමට ලැබෙන්න යන දේ. ශුද්ධ ලියවිලිවල කියන්නේ එයාලවයි, එයාලාගේ පාලකයා වන සාතන් කියන යක්ෂයාවයි සදහටම විනාශ කරනවා කියලා. ටාටරස් කියද්දී අදහස් කරන්නේ ඒ කැරලිකාර දේවදූතයන් ඉන්නේ පහත්ම තත්වයක කියන එකයි. ඒක එළිදරව් 20:1-3 කතා කරන “අගාධය” නෙමෙයි.

  • ටීබෙත්.

    බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ යුදෙව් ආගමික දිනදර්ශනයේ දහවෙනි මාසෙට සහ සාමාන්‍ය දිනදර්ශනයේ හතරවෙනි මාසෙට දීපු නම. ඒක වැටෙන්නේ දෙසැම්බර් මැද ඉඳන් ජනවාරි මැද වෙන කල්. සාමාන්‍යයෙන් ඒකට කියන්නේ “දහවෙනි මාසේ” කියලයි. (එස්ත 2:16)—උප. B15 බලන්න.

  • ටෙරෆිම්.

    පවුලක් විදිහට වන්දනා කරපු දෙවිවරු නැත්නම් රූප. සමහර වෙලාවලදී පේන බලන්නත් ඒවා පාවිච්චි කළා. (එස 21:21) සමහර ඒවා මනුස්සයෙක්ගේ හැඩයට, ඒ ප්‍රමාණයට හදලා තිබුණා. තවත් ඒවා ඊට වඩා ගොඩක් පොඩියි. (උත් 31:34; 1සාමු 19:13, 16) මෙසපොතේමියාවේ කරපු කැණීම්වලින් හොයාගෙන තියෙනවා පවුලේ උරුමය ලැබෙන්නේ කාටද කියන දේ තීරණය වෙන්න ඇත්තේ ටෙරෆිම් රූප ළඟ තියෙන කෙනා අනුව කියලා. (රාකෙල් එයාගේ තාත්තාට අයිති ටෙරෆිම් රූප ගත්තේ ඒ හේතුව නිසා වෙන්න පුළුවන්.) ඊශ්‍රායෙල්වරු අතරේ ඒ වගේ දෙයක් වුණේ නැහැ. ඒත් විනිශ්චයකරුවන්ගේ කාලේදී සහ රජවරුන්ගේ කාලේදී රූපවලට නමස්කාර කරපු අය ටෙරෆිම් රූප ළඟ තියාගත්තා. විශ්වාසවන්ත රජ කෙනෙක් වුණ යොෂියා විනාශ කරපු දේවල් අතරේ ඒ රූපත් තිබුණා.—විනි 17:5; 2රාජා 23:24; හොෂෙ 3:4.

  • ඩිනාරිය.

    රෝම රිදී කාසියක්. ඒකේ බර ග්‍රෑම් 3.85ක් (අවු. 0.124ක්) විතර වුණා. ඒ කාසියේ එක පැත්තක සීසර්ගේ රූපය තිබුණා. ඩිනාරියක් කියන්නේ කුලී වැඩ කරන කෙනෙක්ගේ දවසේ වැටුප. “ඇඟ බද්ද” වෙනුවෙන් රෝමවරු යුදෙව්වන්ගෙන් අය කළෙත් මේ කාසිය. (මතෙ 22:17; ලූක් 20:24)—උප. B14 බලන්න.

  • ඩ්‍රැක්මා.

    ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ මේ වචනය පාවිච්චි කරන්නේ ග්‍රීක රිදී කාසියක් ගැන කියන්නයි. ඒ කාලේ ඒ කාසියේ බර ග්‍රෑම් 3.4ක් (අවු. 0.109ක්) වුණා. හෙබ්‍රෙව් ලියවිලිවල පර්සියාවේ පාවිච්චි කරපු රන් ඩ්‍රැක්මාවක් ගැන සඳහන් වෙනවා. ඒක දරික් කාසියට සමානයි කියලා විශ්වාස කරනවා. (නෙහෙ 7:70; මතෙ 17:24, පාදසටහන)—උප. B14 බලන්න.

  • තණ හාල්.

    පොත්ත ඉක්මනින් ගැලවෙන්නේ නැති, බාල තිරිඟු වර්ගයක්. (Triticum spelta)—නික් 9:32.

  • තම්මුස්.

    (1) දෙවියන්ගෙන් ඈත් වුණ හෙබ්‍රෙව් ජාතික කාන්තාවන් යෙරුසලමේදී අඬා වැලපුණේ මේ දෙවියා ගැනයි. තම්මුස් කියන්නේ කලින් රජ කෙනෙක්. ඒත් එයාගේ මරණයෙන් පස්සේ එයාව දේවත්වයෙන් සැලකුවා කියලා හිතනවා. සුමේරියානු ජාතිකයන්ගේ ලියවිලිවල තම්මුස්ව හඳුන්වලා තියෙන්නේ ඩුමුසි කියන නමින්. එයා දරුපල ලබා දෙනවා කියලා හිතපු ඉනන්නා (බැබිලෝනිවරුන්ට අනුව ඉෂ්ටාර්) දේවතාවියගේ සැමියා හෝ ආදරවන්තයා කියලයි එයාලා හිතුවේ. (එස 8:14) (2) බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ යුදෙව් ආගමික දිනදර්ශනයේ හතරවෙනි චන්ද්‍ර මාසෙට සහ සාමාන්‍ය දිනදර්ශනයේ දහවෙනි මාසෙට දීපු නම. ඒක වැටෙන්නේ ජූනි මැද ඉඳන් ජූලි මැද වෙන කල්.—උප. B15 බලන්න.

  • තර්ෂිෂ් නැව්.

    තර්ෂිෂ්වලට (අද ස්පාඤ්ඤය) ගිය නැව් හැඳින්නුවේ මේ නමින්. පස්සේ කාලේදී දුර ගමන් යන්න පුළුවන්, විශාල නැව් ඒ නමින් හැඳින්නුවා. සලමොන් රජයි, යෙහෝෂපාට් රජයි වෙළඳ වැඩවලට ඒ නැව් පාවිච්චි කළා.—1රාජා 9:26; 10:22; 22:48.

  • තලෙන්ත.

    බර මනින්න පාවිච්චි කරපු ලොකුම මිනුම. මුදල් විදිහටත් ඒක පාවිච්චි කළා. එක තලෙන්තයක් කි.ග්‍රෑ. 34.2ක් බරයි. ග්‍රීක තලෙන්තය සාමාන්‍ය තලෙන්තයට වඩා බරෙන් අඩුයි. ඒකේ බර කි.ග්‍රෑ. 20.4යි. (1ලේක 22:14; මතෙ 18:24)—උප. B14 බලන්න.

  • තිත්ත පැළ (පල).

    හරිම තිත්ත, සැර සුවඳක් තියෙන ගස් හෝ පැළෑටි වර්ග. දුරාචාරයේ යෙදුණාම, වහලුන් වුණාම, අයුක්තිසහගත දේවල් කළාම, දෙවියන්ව අත්හැරියාම මූණ දෙන්න වෙන අමිහිරි ප්‍රතිඵල විස්තර කරන්න බයිබලයේ ඒ යෙදුම පාවිච්චි කරලා තියෙනවා. එළිදරව් 8:11 “තිත්ත පල” කියද්දී ඒක තිත්තයි කියන අදහස විතරක් නෙමෙයි ඒක විෂයි කියන අදහසත් තියෙනවා.—ද්වි 29:18; හිතෝ 5:4; යෙරෙ 9:15; ආමො 5:7.

  • තිරය.

    ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ තිබුණ ශුද්ධස්ථානයත් අතිශුද්ධස්ථානයත් වෙන් කරපු තිර රෙද්ද. ලස්සනට වියපු ඒ රෙද්දේ කෙරුබ්වරුන්ගේ රූප මහලා තිබුණා. (නික් 26:31; 2ලේක 3:14; මතෙ 27:51; හෙබ්‍රෙ 9:3)—උප. B5 බලන්න.

  • තිෂ්රී.

    ඒතානිම් යටතේ සහ උප. B15 බලන්න.

  • දඬුකඳ.

    දඬුවම් දෙන්න පාවිච්චි කරපු උපකරණයක්. ඒකෙන් කළේ කෙනෙක්ව හිර කරලා තියන එක. සමහර ඒවාවලින් හිර කරලා තිබ්බේ කකුල් දෙක විතරයි. තවත් ඒවාවලින් කකුල් දෙකයි, අත් දෙකයි, බෙල්ලයි හිර කරලා තිබ්බා. එහෙම දඬුකඳක ගැහුවාම කෙනෙක්ට ඉන්න වුණේ දෙකට නැමිලා.—යෙරෙ 20:2; ක්‍රියා 16:24.

  • දරික්.

    පර්සියාවේ පාවිච්චි කරපු රන් කාසියක්. ඒකේ බර ග්‍රෑම් 8.4ක් (අවු. 0.27ක්). (1ලේක 29:7)—උප. B14 බලන්න.

  • දවන පූජාව.

    දවන පූජාවකදී සතෙක්ව පූජාසනය උඩ තියලා පිච්චුවා. මුළු සතාවම (ගවයාව, බැටළුවාව, එළුවාව, කොබෙයියාව, තරුණ පරෙවියාව) දෙවියන්ට ඔප්පු කළා. පූජාව ඔප්පු කරන කෙනා සතාගේ කිසිම කොටසක් තමන්ගේ පාවිච්චියට ගත්තේ නැහැ.—නික් 29:18; ලෙවී 6:9.

  • දවුල් කුරුඳු.

    දවුල් කුරුඳු (Cinnamomum cassia) කියන්නේ කුරුඳු කුලයට අයිති ගහක්. ඒ ගහේ පොත්තෙන් සුවඳ තෙලක් හැදුවා. ඒ වගේම අභිෂේක කරන්න පාවිච්චි කරපු ශුද්ධ තෛලය හදන්නත් ඒවා පාවිච්චි කළා.—නික් 30:24; ගීතා 45:8; එස 27:19.

  • දහයියා.

    කරල් පාගන සහ ධාන්‍ය පොළන කාලයේදී ධාන්‍ය ඇටවලින් ඉවත් කරන පොතු. දහයියා සංකේතයක් විදිහට කිසි වැඩකට නැති, දුෂ්ට දේවල් නියෝජනය කරන්න පාවිච්චි කරනවා.—ගීතා 1:4; මතෙ 3:12.

  • දහයෙන් කොටස.

    නමස්කාර වැඩ වෙනුවෙන් ගෙවපු කොටස. (මලා 3:10; ද්වි 26:12; මතෙ 23:23) මෝසෙස්ගේ නීතිය යටතේ අස්වැන්නෙන් සහ පලදාවෙන් ලැබෙන දහයෙන් කොටස වගේම සත්ව රැළවල්වල අලුතෙන් ඉපදෙන සතුන්ගෙන් දහයෙන් කොටස හැම අවුරුද්දකම ලෙවීවරුන්ට දුන්නා. ඒ කොටස දුන්නේ ලෙවීවරුන්ගේ ප්‍රයෝජනයට. ලෙවීවරු එයාලට හම්බ වුණ කොටසෙන්, දහයෙන් කොටසක් ආරොන්ගෙන් පැවතෙන පූජකයන් වෙනුවෙන් දුන්නා. ඒවාට අමතරව තව දේවල්වලිනුත් දහයෙන් කොටස බලාපොරොත්තු වුණා. දහයෙන් කොටසක් දෙන එක ක්‍රිස්තියානීන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

  • දාගොන්.

    පිලිස්තිවරුන්ගේ දෙවි කෙනෙක්. ඒ වචනය හැදිලා තියෙන්නේ කොහොමද කියලා හරියටම කියන්න බැහැ. ඒත් සමහර විශාරදයන් කියනවා ඒක දාග් (මාළුවා) කියන හෙබ්‍රෙව් වචනයට සම්බන්ධයි කියලා.—විනි 16:23; 1සාමු 5:4.

  • දාදු.

    තීරණ ගන්න පාවිච්චි කරපු පොඩි රවුම් ගල් නැත්නම් පොඩි ලී කෑලි. ඇඳුමේ එක කොටසක් සාක්කුවක් වගේ හදාගෙන ඒ ගල් නැත්නම් ලී කෑලි ඇතුළට දාලා හෙලෙව්වා. එහෙමත් නැත්නම් ඒවා භාජනයක් ඇතුළට දාලා හෙලෙව්වා. බිමට වැටුණු එහෙමත් නැත්නම් අතට ගත්ත ගල අනුව තමයි තීරණය ගත්තේ. නිතරම වගේ ඒ දේ කළේ යාච්ඤා කළාට පස්සෙයි. “දාදු” කියන වචනය සංකේතයක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා. ඒ, “උරුමය” නැත්නම් “වෙන් කරපු කොටස” කියන අදහස දෙන්න.—යොෂු 14:2; ගීතා 16:5; හිතෝ 16:33; මතෙ 27:35.

  • දාවිත්ගේ නුවර.

    දාවිත් යෙබූස කියන නගරය අල්ලගෙන එයාගේ මාලිගාව එහේ හැදුවාට පස්සේ ඒකට දීපු නම. ඒකට සියොන් කියලත් කියනවා. ඒක තියෙන්නේ යෙරුසලමේ ගිනිකොන පැත්තට වෙන්න. ඒක තමයි යෙරුසලමේ තියෙන පැරණිම කොටස.—2සාමු 5:7; 1ලේක 11:4, 5.

  • දාවිත්ගේ පුතා.

    ගොඩක් වෙලාවට මේ යෙදුම පාවිච්චි කළේ යේසුස්ට. දාවිත්ගේ පෙළපතින් එන කෙනෙක් රාජ්‍යයක් වෙනුවෙන් ඇති කරගත්ත ගිවිසුමේ උරුමක්කරු වෙනවා කියලා කියපු දේ ඉටු වුණේ යේසුස් මාර්ගයෙන් කියලා ඒ යෙදුමෙන් කාවැද්දුවා.—මතෙ 12:23; 21:9.

  • දිලීර රෝගය.

    දිලීරයකින් පැළෑටියකට ඇති වෙන ඕනෙම රෝගයක්. බයිබලයේ සඳහන් වෙන දිලීර රෝගය පුසිනියා (Puccinia graminis) වර්ගයට අයිති දිලීර රෝගයක් කියලා සමහර අය කියනවා.—1රාජා 8:37.

  • දිවැසිවරයා.

    දෙවියන්ගේ කැමැත්ත තේරුම්ගන්න හැකියාව තියෙන කෙනෙක්. ඒක තේරුම්ගන්න එයාට උදව් කරන්නේ දෙවියන්මයි. සාමාන්‍යයෙන් මිනිස්සුන්ට පේන්නේ නැති, තේරුම්ගන්න බැරි දේවල් දකින්න හෝ තේරුම්ගන්න හැකියාව එයාට තියෙනවා. දිවැසිවරයා විදිහට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයේ තේරුම “දකින්න” කියන එකයි. ප්‍රශ්නයක් ආවාම හොඳ උපදෙස් ලබාගන්න මිනිස්සු ගියේ දිවැසිවරයෙක් ළඟට.—1සාමු 9:9.

  • දිවුරුම.

    දෙයක් ඇත්ත කියලා සහතික කරන්න නැත්නම් කෙනෙක් යම් දෙයක් කරනවා කියලා හෝ නොකරනවා කියලා පොරොන්දු වෙන්න කරන ප්‍රකාශයක්. හුඟක් වෙලාවට ඒක තමන්ට වඩා ඉහළින් ඉන්න කෙනෙක්ට, විශේෂයෙන්ම දෙවියන්ට වෙන පොරොන්දුවක්. යෙහෝවා ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුම ස්ථිර කළේ දිවුරුමක් දීලයි.—උත් 14:22; හෙබ්‍රෙ 6:16, 17.

  • දිසාපතීන්.

    බැබිලෝනිය සහ පර්සියානු අධිරාජ්‍යවල පළාතක් භාරව හිටපු ආණ්ඩුකාරයෙක්. ඒ පැත්තේ ප්‍රධාන පාලකයා විදිහට එයාලව පත් කළේ රජ.—එස්රා 8:36; දානි 6:1.

  • දුෂ්ටයා.

    යක්ෂයා වන සාතන්ට පාවිච්චි කරන යෙදුමක්. එයා දෙවියන්ටත් දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් විරුද්ධව වැඩ කරනවා.—මතෙ 6:13; 1යොහ 5:19.

  • දෙකපොලිසය.

    ග්‍රීක ජාතිකයන්ගේ නගරවල එකතුවක්. මුලදී ඒකට නගර දහයක් ඇතුළත් වුණා. (“දහය” කියන තේරුම තියෙන ඩෙකා කියන ග්‍රීක වචනයෙන් සහ “නගරය” කියන තේරුම තියෙන පොලිස් කියන ග්‍රීක වචනයෙන් තමයි දෙකපොලිසය කියන වචනය හැදිලා තියෙන්නේ.) ගලීල මුහුදට සහ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් තිබුණ ප්‍රදේශය හැඳින්නුවෙත් දෙකපොලිසය කියලා. ඒ නගරවලින් වැඩි හරියක් තිබුණේ ඒ ප්‍රදේශයේ. වෙළඳාම් කටයුතුවලට ප්‍රසිද්ධ ඒ නගරවල ග්‍රීක සංස්කෘතියට අයිති හැම දෙයක්ම දකින්න තිබුණා. යේසුස් ඒ ප්‍රදේශය හරහා ගමන් කළත් ඔහු ඒ නගරවලට ගියා කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. (මතෙ 4:25; මාක් 5:20)—උප. A7 සහ B10 බලන්න.

  • දෙවියන් ගැන තියෙන භක්තිය.

    විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියන්ගේ පැත්ත අරන් ඔහුට ගැඹුරු ආදරයක් සහ ගෞරවයක් පෙන්නන එක, ඔහුට නමස්කාර කරන එක සහ ඔහුට සේවය කරන එක.—1තිමෝ 4:8; 2තිමෝ 3:12.

  • දෙවියන්ගේ බලය.

    දෙවියන් තමන් කැමති දේ ඉටු කරන්නේ ඔහුගේ බලය යොදාගෙනයි. ඒක යෙහෝවාගේ බලය නිසා ඒක ශුද්ධයි කියලා කියන්න පුළුවන්. මොකද ඔහු හැම අතින්ම පවිත්‍රයි, ධර්මිෂ්ඨයි. ඒ වගේම ශුද්ධ නැත්නම් යහපත් දේවල් ඉටු කරන්න දෙවියන් ඒක පාවිච්චි කරන නිසාත් ඒක ශුද්ධයි.—ලූක් 1:35; ක්‍රියා 1:8.

  • දෙවියන්ගේ රාජ්‍යය.

    මූලිකවම මේ යෙදුම පාවිච්චි කරන්නේ පාලනය කරන්න යෙහෝවාට තියෙන අයිතිය නියෝජනය කරන ඔහුගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස්ගේ ආණ්ඩුව ගැන කියන්නයි.—මතෙ 12:28; ලූක් 4:43; 1කොරි 15:50.

  • දෙවියන්ව අත්හැරලා යන එක.

    “වෙන් වෙලා ඉන්න එක” කියන තේරුම තියෙන අපොස්ටසියා කියන ග්‍රීක ක්‍රියා පදයෙන් එන යෙදුමක්. ඒ යෙදුමට “ද්‍රෝහි වෙන එක, විරුද්ධ වෙන එක, කැරලිගහන එක” කියන අදහසුත් ඇතුළත්. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ ඒ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ දෙවියන්ට නැත්නම් සත්‍ය නමස්කාරයට විරුද්ධව කැරලිගහන අය ගැන කියන්නයි.—හිතෝ 11:9; ක්‍රියා 21:21; 2තෙස 2:3.

  • දෙළුම්.

    පලතුරක්. දෙළුම් ගෙඩි වගේ හදපු ඒවා උත්තම පූජකයාගේ නිල් පාට, අත් නැති ඇඳුමේ වාටියේ අල්ලලා තිබුණා. ඒ වගේම දේවමාලිගාව ඉස්සරහා තිබුණ යාකින් සහ බෝවස් කියන කුලුනු දෙක මුදුනෙත් දෙළුම් ගෙඩි අල්ලලා තිබුණා.—නික් 28:34; ගණන් 13:23; 1රාජා 7:18.

  • දේවදූතයන්.

    මලාහ්ක් කියන හෙබ්‍රෙව් වචනය සහ ඇගලොස් කියන ග්‍රීක වචනය දේවදූතයා විදිහට පරිවර්තනය කරලා තියෙනවා. ඒ වචන දෙකේම මූලික අදහස “පණිවිඩකරු” කියන එක. ඒත් ස්වර්ගයේ ඉන්න දෙවියන්ගේ පණිවිඩකරුවන් ගැන කතා කරද්දී ඒ වචන පරිවර්තනය කරන්නේ “දෙවියන්ගේ දූතයා” නැත්නම් “දේවදූතයා” විදිහටයි. (උත් 16:7; 32:3; යාකො 2:25; එළි 22:8) දේවදූතයන් කියන්නේ ස්වර්ගයේ ජීවත් වෙන හරිම බලවත් අය. මිනිස්සුන්ව නිර්මාණය කරන්න හුඟ කාලෙකට කලින් තමයි දෙවියන් එයාලව නිර්මාණය කළේ. බයිබලයේ දේවදූතයන්ව “ශුද්ධ අය,” “දෙවියන්ගේ පුත්‍රයන්” සහ “පහන් තාරකා” විදිහටත් හඳුන්වනවා. (ද්වි 33:2, පාදසටහන; යෝබ් 1:6; 38:7) දෙවියන් එක් එක් දේවදූතයාව නිර්මාණය කළේ තනි තනි පුද්ගලයන් විදිහට. ඔහු එයාලට තමන්ගේ වර්ගයාව බෝ කරන්න හැකියාව දීලා නැහැ. දේවදූතයන් මිලියන සිය ගාණකටත් වඩා වැඩියෙන් ඉන්නවා. (දානි 7:10) හැම දේවදූතයෙක්ටම නමක් තියෙනවා කියලත් තමන්ටම කියලා පෞද්ගලිකත්වයක් තියෙනවා කියලත් බයිබලයේ පෙන්නනවා. එයාලා හරිම නිහතමානියි. ඒ නිසා අනිත් අයගෙන් නමස්කාරය ලබාගන්න එයාලා පොඩ්ඩක්වත් කැමති නැහැ. එයාලාගෙන් වැඩිදෙනෙක් එයාලාගේ නම කියන්නවත් කැමති වුණේ නැහැ. (උත් 32:29; ලූක් 1:26; එළි 22:8, 9) දේවදූතයන්ට විවිධ තනතුරු වගේම එක එක පැවරුම් දීලා තියෙනවා. යෙහෝවාගේ සිංහාසනය ඉස්සරහා සේවය කරන එක, ඔහුගේ පණිවිඩ ගෙනියන එක, යෙහෝවාට සේවය කරන මිනිස්සුන්ට උදව් කරන එක, දෙවියන්ගේ විනිශ්චයන් ක්‍රියාත්මක කරන එක සහ ශුභාරංචිය දේශනා කරන්න උදව් කරන එක වගේ දේවල් එයාලාගේ පැවරුම්වලට ඇතුළත්. (2රාජා 19:35; ගීතා 34:7; ලූක් 1:30, 31; එළි 5:11; 14:6) ඉස්සරහට අර්මගෙදොන් යුද්ධයේදී යේසුස් කරන සටනට එයාලා සහය දෙනවා.—එළි 19:14, 15.

  • දේවමාලිගාව.

    තැනින් තැනට අරන් යන්න පුළුවන් ශුද්ධ කූඩාරම වෙනුවට යෙරුසලමේ හදපු ගොඩනැඟිල්ල. ඒක තමයි ඊශ්‍රායෙල්වරු නමස්කාර කරන්න රැස් වුණ ප්‍රධාන තැන. දේවමාලිගාව මුලින්ම හැදුවේ සලමොන් රජ. ඒත් ඒක බැබිලෝනිවරුන් විනාශ කළා. බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ දේවමාලිගාව දෙවෙනි පාරට හැදුවේ සෙරුබාබෙල්. පස්සේ කාලෙක මහ හෙරොද් ඒක ආයෙත් හැදුවා. ශුද්ධ ලියවිලිවල දේවමාලිගාව ‘යෙහෝවා දෙවියන්ගේ ගෘහය’ කියලත් හඳුන්වලා තියෙනවා. (එස්රා 1:3; 6:14, 15; 1ලේක 29:1; 2ලේක 2:4; මතෙ 24:1)—උප. B8 සහ B11 බලන්න.

  • ධර්මිෂ්ඨ.

    ශුද්ධ ලියවිල්ලේ ඒ වචනය පාවිච්චි කරලා තියෙන්නේ දෙවියන්ගේ ප්‍රමිතියට අනුව හරි දේ විස්තර කරන්නයි. එහෙම නැත්නම් හරි දේ කරන කෙනෙක්ව විස්තර කරන්නයි.—උත් 15:6; ද්වි 6:25; හිතෝ 11:4; ශෙප 2:3; මතෙ 6:33.

  • ධාන්‍ය මඩිනවා.

    කරලෙන් සහ පොත්තෙන් ධාන්‍ය වෙන් කරන එක. සාමාන්‍යයෙන් මේක කරන්නේ ධාන්‍ය කරල් පොල්ලකින් තළලා. ඒත් ධාන්‍ය විශාල ප්‍රමාණයක් සුද්ද කරද්දී විශේෂ උපකරණ පාවිච්චි කළා. කමතේ අතුරලා තිබුණ ධාන්‍ය කරල් උඩින් සත්තු ලවා ලෑල්ලක්, රෝල එකක් ඇදගෙන ගියා. ඒක සාමාන්‍යයෙන් කළේ හොඳට හුළං හමපු, අනිත් තැන්වලට වඩා ටිකක් ඉහළින් තිබුණ බිමක.—ලෙවී 26:5; යෙසා 41:15; මතෙ 3:12.

  • නපුංසකයා.

    මූලික අදහස ලිංගේන්ද්‍රිය කපලා ඉවත් කරපු කෙනෙක්. රජමාලිගාවල සේවකයන් විදිහට නැත්නම් රැජිනවයි, උපභාර්යාවන්වයි බලාගන්න අය විදිහට පත් කළේ ඒ වගේ අයවයි. රජගේ මාලිගාවේ වගකීම් දරපු නිලධාරීන්වත් ඒ නමින් හැඳින්නුවා. ඒත් ඒ අය ලිංගේන්ද්‍රිය කපලා ඉවත් කරපු නපුංසකයන් නෙමෙයි. දෙවියන්ගේ රාජ්‍යය වෙනුවෙන් වැඩි සේවයක් කරන්න කැමති නිසා තමන්වම පාලනය කරගෙන විවාහ නොවී ඉන්න තීරණය කරන අයව විස්තර කරන්නත් ඒ වචනය සංකේතාත්මක අර්ථයකින් පාවිච්චි කරලා තියෙනවා.—මතෙ 19:12, පාදසටහන; එස්ත 2:15; ක්‍රියා 8:27, පාදසටහන.

  • නමස්කාර කරන්න හදපු කණුව.

    අෂේරා කියන හෙබ්‍රෙව් වචනය කානාන් ජාතිකයන්ගේ දේවතාවියක් වුණ අෂේරාව නියෝජනය කරන්න හදපු කණුව ගැන කතා කරද්දී පාවිච්චි කළා. ඒ දේවතාවිය දරුපල ලබා දෙනවා කියලා එයාලා විශ්වාස කළා. එහෙම නැත්නම් අෂේරා දේවතාවියගේ රූපය ගැන කතා කරද්දී ඒ වචනය පාවිච්චි කළා. ඒ කණු හැදුවේ ලීවලින්. එහෙම නැත්නම් ඒකේ කොටසක් හරි හැදුවේ ලීවලින්. ඒ කණු කැටයම් කරලා තිබුණේ නැහැ. ඒකට ගහක කඳක් වුණත් පාවිච්චි කරන්න ඇති.—ද්වි 16:21; විනි 6:26; 1රාජා 15:13.

  • නමස්කාර කරන්න හදපු කුලුන.

    සාමාන්‍යයෙන් ගල්වලින් හදපු දෙයක්. ඒක හැදුවේ බාල්ගේ නැත්නම් වෙනත් බොරු දෙවිවරුන්ගේ ලිංගය නියෝජනය කරන්නයි.—නික් 23:24.

  • නව සඳ.

    යුදෙව් දිනදර්ශනයට අනුව හැම මාසෙකම පළවෙනි දවස. එකට එකතු වෙන්න, හොඳට කන්න බොන්න, විශේෂ පූජා ඔප්පු කරන්න ඒ දවස වෙන් කළා. පස්සේ කාලෙකදී ඒ දවස වැදගත් ජාතික උත්සවයක් විදිහට සැමරුවා. එදාට කවුරුත් වැඩ කළේ නැහැ.—ගණන් 10:10; 2ලේක 8:13; කොලො 2:16.

  • නසරීතවරයෙක්.

    “කැප වුණ,” හෝ “වෙන් කරලා තියෙන” කියන තේරුම තියෙන හෙබ්‍රෙව් වචනයෙන් හැදුණ වචනයක්. නසරීතවරු වර්ග දෙකක් හිටියා. කැමැත්තෙන්ම ඉදිරිපත් වුණ අය සහ එහෙම අය විදිහට දෙවියන් පත් කරපු අය. පිරිමි කෙනෙක්ට හරි ගැහැනු කෙනෙක්ට හරි යෙහෝවාට විශේෂ භාරයක් වෙලා යම් කාලෙකට නසරීතවරයෙක් විදිහට ජීවත් වෙනවා කියලා පොරොන්දු වෙන්න පුළුවන්. ඒ විදිහට කැමැත්තෙන් භාරයක් වුණ කෙනෙක් මේ දේවල් තුනෙන් වළකින්න ඕනේ. එයාලට මත්පැන් බොන්නවත් මිදිවැලෙන් ගත්ත කිසිම දෙයක් කන්නවත් බැහැ. එයාලට කොණ්ඩේ කපන්න බැහැ. මළ සිරුරක් අල්ලන්නත් බැහැ. නසරීතවරයෙක් විදිහට දෙවියන් පත් කරන කෙනෙක් එයාගේ ජීවිත කාලේ පුරාම එහෙම කෙනෙක් විදිහට ඉන්න ඕනේ. එයාලාගෙන් බලාපොරොත්තු වෙන දේ යෙහෝවා එයාලට පැහැදිලිව කිව්වා.—ගණන් 6:2-7; විනි 13:5.

  • නායක පූජකයා.

    හෙබ්‍රෙව් ලියවිලිවල “උත්තම පූජකයාට” කියන තවත් නමක්. පේන විදිහට ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ “නායක පූජකයන්” කියලා පාවිච්චි කරන්නේ පූජකයන් අතරේ හිටපු ප්‍රධානතම අයව හඳුන්වන්නයි. සමහරවිට ඒ අය අතරේ තනතුරෙන් අයින් කරපු උත්තම පූජකයන් සහ පූජක කණ්ඩායම් 24 භාරව හිටපු ප්‍රධානීන් ඉන්නත් ඇති.—2ලේක 26:20; එස්රා 7:5; මතෙ 2:4; මාක් 8:31.

  • නැවත නැඟිටීම.

    මැරුණ කෙනෙක්ට ආපහු ජීවිතේ ලබා දෙන එක. අනස්ටාසිස් කියන ග්‍රීක වචනයේ තේරුම “නැඟිටිනවා, හිටගන්නවා” කියන එකයි. යෙහෝවා දෙවියන්ම යේසුස්ව නැවත නැඟිට්ටවපු අවස්ථාව ඇතුළුව නැවත නැඟිට්ටවපු අවස්ථා නමයක් ගැන බයිබලයේ කතා කරලා තියෙනවා. ඒ අවස්ථාවලදී මැරුණු අයට ජීවිතේ දුන්නේ එලියා, එලිෂා, යේසුස්, පේතෘස් සහ පාවුල්. ඒත් ඒ ආශ්චර්යයන් කළේ දෙවියන්ගේ බලයෙන් කියලා පැහැදිලියි. මේ පොළොවේ ජීවත් වෙන්න ‘ධර්මිෂ්ඨ අයව වගේම අධර්මිෂ්ඨ අයවත් මරණයෙන් නැවත නැඟිට්ටවන එක’ දෙවියන්ගේ අරමුණේ හරිම වැදගත් දෙයක්. (ක්‍රියා 24:15) ස්වර්ගයේ ජීවත් වෙන්න යන යේසුස්ගේ සහෝදරයන්ගේ නැවත නැඟිටීම ගැනත් බයිබලයේ කතා කරලා තියෙනවා. “කලින්ම සිද්ධ වෙන නැවත නැඟිටීම” නැත්නම් “පළවෙනි නැවත නැඟිටීම” කියලා හඳුන්වලා තියෙන්නේ දෙවියන්ගේ බලයෙන් අභිෂේක කරලා ඉන්න ඒ අයගේ නැවත නැඟිටීම ගැනයි.—ෆිලි 3:11; එළි 20:5, 6; යොහ 5:28, 29; 11:25.

  • නිකාය.

    යම් ඉගැන්වීමකට නැත්නම් නායකයෙක්ට පක්ෂව ඉන්න ගමන් එයාලා හදාගත්ත විශ්වාසයන් අනුගමනය කරන කණ්ඩායමක්. යුදෙව් ආගමට අයිති ප්‍රසිද්ධ කණ්ඩායම් දෙකක් වුණ පරිසිවරුන්ව සහ සද්දුසිවරුන්ව නිකායන් විදිහට හැඳින්නුවා. ක්‍රිස්තියානීන් නොවන අය ක්‍රිස්තියානීන්ව හැඳින්නුවෙත් “නිකායක්” නැත්නම් “නාසරෙත්වලින් බිහි වුණ නිකාය” විදිහටයි. එයාලා යුදෙව් ආගමෙන් කැඩිලා ගිය කණ්ඩායමක් කියලා හිතපු නිසා එහෙම කිව්වා වෙන්න පුළුවන්. කාලයක් යද්දී ක්‍රිස්තියානි සභාවෙත් නිකායන් ඇති වුණා. එළිදරව් පොතේ ‘නිකලායස්ගේ නිකායේ අය’ ගැන සඳහන් වෙලා තියෙනවා.—ක්‍රියා 5:17; 15:5; 24:5; 28:22; එළි 2:6; 2පේතෘ 2:1.

  • නිදහස ලැබෙන අවුරුද්ද.

    ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ඇතුල් වුණ දවසේ ඉඳන් එන හැම 50වෙනි අවුරුද්දම හැඳින්නුවේ එහෙමයි. ඒකට ජුබිලි අවුරුද්ද කියලත් කිව්වා. ඒ අවුරුද්දේ කෙත්වතුවල කිසි වැඩක් කළේ නැහැ. හෙබ්‍රෙව් ජාතික දාසයන්ව නිදහස් කළා. උරුමයක් විදිහට ලැබුණ ඉඩම් විකුණලා තිබ්බා නම් ඒවා ආපහු මුල් අයිතිකරුට ලබා දුන්නා. ඒ මුළු අවුරුද්දම උත්සව කාලයක්. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට මුලින්ම 50වෙනි අවුරුද්ද සමරන්න කියලා කියපු කාලේදී අද්දැක්ක සතුට, නිදහස එයාලා ඒ කාලේදීත් අද්දැක්කා.—ලෙවී 25:10.

  • නිදහස් කෙනෙක්; නිදහස් වුණ කෙනෙක්.

    රෝම පාලනය යටතේ උපතින්ම නිදහස් පුරවැසියෙක් වුණ කෙනෙක්ව තමයි “නිදහස් කෙනෙක්” විදිහට හැඳින්නුවේ. පුරවැසියෙක්ට තියෙන හැම අයිතිවාසිකමක්ම එයාට තිබුණා. “නිදහස් වුණ කෙනෙක්” කියන්නේ වහල්කමින් නිදහස් කරපු කෙනෙක්ට. නීත්‍යනුකූලව නිදහස් කරපු වහලෙක්ට රෝම පුරවැසිභාවය ලැබුණත් එයාට ආණ්ඩුවේ බලතල දරන්න අයිතිය තිබුණේ නැහැ. නීත්‍යනුකූල පියවර අරන් නිදහස් කරපු නැති වහලෙක්ට සාමාන්‍ය පුරවැසියෙක්ට තිබුණ හැම අයිතිවාසිකමක්ම ලැබුණේ නැහැ.—1කොරි 7:22.

  • නිම්නය.

    බෑවුම් දෙකක් හරි කඳු අතර හරි තියෙන පහත් බිමක්. හෙබ්‍රෙව් වචනයෙන් සමහර වෙලාවලදී අදහස් කරනවා වැහි කාලේදී විතරක් වතුර ගලන අනිත් කාලවලදී වේළිලා තියෙන දිය පාරක්. සමහර දිය පාරවල්වලට උල්පත් සම්බන්ධ වෙලා තිබුණා. ඒ නිසා ඒවා හිඳුණේ නැහැ.—උත් 26:19; ගණන් 34:5; ද්වි 8:7; 1රාජා 18:5; යෝබ් 6:15.

  • නියුමා.

    රුවා යටතේ බලන්න.

  • නියෝජිතයා.

    ඒ වචනයේ මූලික අදහස වෙන්නේ “යවනු ලැබූ කෙනෙක්” කියන එකයි. යේසුස්ව සහ අනිත් අයට සේවය කරන්න යවපු වෙනත් අයව හඳුන්වන්න ඒ වචනය පාවිච්චි කරනවා. ඒක වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ තමන්ව නියෝජනය කරන්න යේසුස්ම තෝරගත්ත ගෝලයන් 12දෙනාව හඳුන්වන්නයි.—මාක් 3:14; ක්‍රියා 14:14.

  • නිරාහාරව ඉන්න එක.

    යම් කාලයකට සම්පූර්ණයෙන්ම කෑම ගන්න එකෙන් වැළකිලා ඉන්න එක. ඊශ්‍රායෙල්වරු සමඟි වෙන දවසේදී, දුක් කරදරවලට මුහුණ දෙද්දී, දෙවියන්ගේ මඟ පෙන්වීම් ඕන වෙද්දී නිරාහාරව හිටියා. අතීතයේ ජාතියක් විදිහට මුහුණ දුන්න විපත්ති සහිත කාලවල් හතරක් සිහි කරන්න යුදෙව්වරු අවුරුද්දට හතර වතාවක් නිරාහාරව හිටියා. නිරාහාරව ඉන්න එක ක්‍රිස්තියානීන්ට අනිවාර්ය කරලා නැහැ.—එස්රා 8:21; යෙසා 58:6; ලූක් 18:12.

  • නිහියලොත්.

    ගීතාවලිය 5 පෙර සටහනේ තියෙන මේ වචනේ තේරුම හරියටම දන්නේ නැහැ. සමහරු හිතනවා ඒකෙන් නළා වර්ගයක් අදහස් කරනවා කියලා. ඒක චලිල් (බටනළාව) කියන හෙබ්‍රෙව් වචනෙන් හැදිලා තියෙනවා කියලයි හිතන්නේ. ඒත් ඒකෙන් තාලයක් විස්තර කරනවා වෙන්නත් පුළුවන්.

  • නීතිය.

    ඒ වචනයෙන් මෝසෙස්ගේ නීතිය, බයිබලයේ මුල් පොත් පහ, මෝසෙස්ට දුන්න නීතියේ තියෙන එක එක නීති නැත්නම් නීතියකට පදනම් වෙන ප්‍රතිපත්තියක් අදහස් වෙන්න පුළුවන්.—ගණන් 15:16; ද්වි 4:8; මතෙ 7:12; ගලා 3:24.

  • නීතිය ක්‍රියාත්මක කරපු නිලධාරීන්.

    බැබිලෝනිය පාලනය යටතේ තිබුණ විවිධ පළාත් පාලනය කරපු සිවිල් ආණ්ඩුකාරයන්. ඒ අයට නීතිය ගැන හොඳ දැනුමක් තිබුණා. නීතිය ක්‍රියාත්මක කරන්නත් එයාලට යම් බලතල තිබුණා. රෝමය යටතේ තිබුණ නගරවල සහ පළාත්වල හිටපු සිවිල් ආණ්ඩුකාරයන් තමයි පරිපාලන වැඩ බලාගත්තේ. සාමය රකින එක, මුදල් ගනු දෙනු අධීක්ෂණය කරන එක, නීතිය කඩ කරන අයව විනිශ්චය කරන එක, දඬුවම් නියම කරන එක සහ ඒවා ක්‍රියාත්මක කරන එක ඒ අයගේ වගකීම්වලට ඇතුළත් වුණා.—දානි 3:2; ක්‍රියා 16:20.

  • නීසාන්.

    බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ ආබීබ් මාසෙට දුන්න අලුත් නම. යුදෙව් ආගමික දිනදර්ශනයේ පළවෙනි මාසය. යුදෙව් සාමාන්‍ය දිනදර්ශනයේ හත්වෙනි මාසය. ඒක වැටෙන්නේ මාර්තු මැද ඉඳලා අප්‍රියෙල් මැද වෙන කල්. (නෙහෙ 2:1)—උප. B15 බලන්න.

  • නෙතිනිම්වරු.

    දේවමාලිගාවේ සේවය කරපු ඊශ්‍රායෙල් නොවන අය. හෙබ්‍රෙව් වචනේ මූලික අදහස “දෙනු ලැබූවන්” කියන එකයි. ඒකෙන් අදහස් කළේ දේවමාලිගාවේ වැඩවලට එයාලව දීලා තියෙනවා කියලයි. නෙතිනිම්වරුන්ගෙන් හුඟදෙනෙක් ගිබියොන්වරුන්ගෙන් පැවත ආපු අය වෙන්න ඇති. යොෂුවා එයාලට තමයි “ඊශ්‍රායෙල් සෙනඟටත් පූජාසනයටත් ඕනෙ කරන දර එකතු කරන සහ වතුර අදින වගකීම” භාර දුන්නේ.—යොෂු 9:23, 27; 1ලේක 9:2; එස්රා 8:17.

  • නෙෆිලිම්වරු.

    ජලගැල්මට කලින් මිනිස් වෙස් අරගෙන පොළොවට ආපු දේවදූතයන් පොළොවේ හිටපු කාන්තාවන් එක්ක සම්බන්ධකම් පවත්වලා ඉපදුණ පුතාලා. එයාලා අසාමාන්‍ය, හරිම දරුණු අය.—උත් 6:4, පාදසටහන.

  • නෙෆෙෂ්.

    මේක හෙබ්‍රෙව් වචනයක්. ඒකේ ග්‍රීක වචනය තමයි සීකී. මුල් ලියවිලිවල ඒ වචන පාවිච්චි කරලා තියෙන විදිහ දිහා බලද්දී ඒ වචනවලින් විස්තර කරන්නේ (1) මිනිස්සුන්ව, (2) සතුන්ව හෝ (3) කෙනෙක්ගේ නැත්නම් සතෙක්ගේ ජීවිතය කියලා පැහැදිලියි. (උත් 1:20; 2:7; ගණන් 31:28; 1පේතෘ 3:20) කෙනෙක් තමන්ගේ මුළු ජීවිතේම කැප කරනවා කියන අදහස දෙන්නත් මුල් භාෂාවල පාවිච්චි කරලා තියෙන්නේ ඒ වචන. (ද්වි 6:5; මතෙ 22:37) මුල් භාෂාවේ ඒ වචන මළ සිරුරක් ගැන කතා කරද්දීත් පාවිච්චි කරලා තියෙනවා. (ගණන් 6:6; හග් 2:13) ඒ නිසයි මේ පරිවර්තනයේ “නෙෆෙෂ්” සහ “සීකී” කියන වචන ඒ ඒ තැනට ගැළපෙන තේරුමට අනුව පරිවර්තනය කරලා තියෙන්නේ.

  • නොසැලෙන ආදරේ.

    හුඟක් වෙලාවට කෙසෙද් කියන හෙබ්‍රෙව් වචනය තමයි ඒ විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ. කෙනෙක් එක්ක තියෙන බැඳීම නිසා, ඒ කෙනාට විශ්වාසවන්තව ඉන්න නිසා එහෙමත් නැත්නම් එයා ගැන දැනෙන ළෙන්ගතුකම නිසා පෙන්නන ආදරේ ඒකෙන් අදහස් වෙනවා. නිතරම වගේ ඒක පාවිච්චි කරලා තියෙන්නේ මිනිස්සු ගැන දෙවියන්ට තියෙන ආදරේ ගැන කියන්නයි. මිනිස්සු අතරේ තියෙන ආදරේ ගැන කියන්නත් ඒක පාවිච්චි කරනවා.—නික් 34:6; රූත් 3:10, පාදසටහන.

  • පරිශුද්ධ රහස.

    දෙවියන් කරන්න අදහස් කරලා තියෙන දෙයක්. ඒත් දෙවියන් තීරණය කරලා තියෙන කාලේ එන කල් ඒ ගැන කාටවත් කියන්නේ නැහැ. ඒ ගැන කියන්නෙත් දෙවියන් කියන්න ඕනෙ කියලා තීරණය කරන අයට විතරයි.—මාක් 4:11; කොලො 1:26.

  • පරිශුද්ධ සේවය.

    කෙනෙක් දෙවියන්ට කරන නමස්කාරයට කෙළින්ම සම්බන්ධ සේවයක්.—රෝම 12:1, පාදසටහන; එළි 7:15.

  • පරිසිවරු.

    ක්‍රි.ව. පළවෙනි සියවසේදී යුදෙව් ආගමේ කැපීපෙනුණ කණ්ඩායමක්. එයාලා පූජකයන්ගෙන් පැවත ආපු අය නෙමෙයි. ඒත් එයාලා නීතිය අකුරටම පිළිපැද්ද, නීතියට දුන්න තැනම චාරිත්‍රවලට දුන්න කණ්ඩායමක්. (මතෙ 23:23) ග්‍රීක බලපෑමට එයාලා තදින්ම විරුද්ධ වුණා. නීතියේ සහ චාරිත්‍රවල විශේෂඥයන් වුණ එයාලා සාමාන්‍ය මිනිස්සුන්ව එයාලාගේ බලය යටතේ තියාගත්තා. (මතෙ 23:2-6) එයාලාගෙන් සමහරදෙනෙක් මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්. සබත පවත්වන එක, චාරිත්‍ර, පව්කාරයන්ව සහ බදු එකතු කරන අයව ඇසුරු කරන එක ගැන එයාලා යේසුස් එක්ක නිතරම වගේ ප්‍රශ්න ඇති කරගත්තා. ටාසස්වලින් ආපු සාවුල් ඇතුළුව එයාලාගෙන් කීපදෙනෙක් ක්‍රිස්තියානීන් වුණා.—මතෙ 9:11; 12:14; මාක් 7:5; ලූක් 6:2; ක්‍රියා 26:5.

  • පර්සියාව; පර්සියානුවන්.

    දේශයක් වගේම ජාතියක්. නිතරම වගේ මේදියවරුන් එක්ක සම්බන්ධ කරලයි මේ ජාතිය ගැන කතා කරන්නේ. එයාලා මේදියවරුන්ට නෑකම් කියනවා. මුල් කාලේ එයාලා යටත් කරගෙන තිබුණේ ඉරාන සානුවේ නිරිතදිග කොටස විතරයි. මහ සයිරස්ගේ පාලනය යටතේදී පර්සියානුවන් මේදියවරුන්ට වඩා බලවත් වුණා. (අතීතයේ හිටපු සමහර ඉතිහාසඥයන්ට අනුව සයිරස්ගේ තාත්තා පර්සියානු ජාතිකයෙක්. අම්මා මේදිය ජාතිකයෙක්.) ඒත් අධිරාජ්‍යයේ පාලනයට ජාතීන් දෙකම හවුල් වුණා. සයිරස් ක්‍රි.පූ. 539දී බැබිලෝනිය අධිරාජ්‍යය යටත් කරගෙන වහලුන් විදිහට හිටපු යුදෙව්වන්ට එයාලාගේ දේශයට ආපහු යන්න අවසර දුන්නා. පර්සියානු අධිරාජ්‍යය, නැඟෙනහිර පැත්තේ තියෙන ඉන්දු ගංගාවේ ඉඳන් බස්නාහිර පැත්තේ තියෙන ඊජියන් මුහුද දක්වා විහිදුණා. මහ ඇලෙක්සැන්ඩර් ක්‍රි.පූ. 331දී පර්සියානුවන්ව පරාජය කරන කල් යුදෙව්වන් හිටියේ පර්සියානුවන් යටතේ. පර්සියානු අධිරාජ්‍යය එනවා කියලා දානියෙල් දර්ශනයකින් කලින්ම දැක්කා. බයිබලයේ එස්රා, නෙහෙමියා සහ එස්තර් පොත්වල ඒ අධිරාජ්‍යය ගැන කතා කරනවා. (එස්රා 1:1; දානි 5:28; 8:20)—උප. B9 බලන්න.

  • පවතින සමාජයේ අවසාන කාලය.

    සාතන්ගේ බලපෑම යටතේ තියෙන සමාජය නැත්නම් තත්වයන් අවසන් වෙන්න කලින් පවතින කාලය. ක්‍රිස්තුස් පැමිණ සිටින්නෙත් ඒ කාලේදීමයි. යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ දේවදූතයන් “ධර්මිෂ්ඨයන් අතරින් දුෂ්ටයන්ව වෙන් කරලා” එයාලව විනාශ කරනවා. (මතෙ 13:40-42, 49) “අවසාන කාලය” ගැන දැනගන්න යේසුස්ගේ ගෝලයන්ට ලොකු උවමනාවක් තිබුණා. (මතෙ 24:3) යේසුස් ආපහු ස්වර්ගයට යන්න කලින් ඔහුගේ ගෝලයන්ට පොරොන්දු වුණා ඒ කාලය ඉවර වෙන කල්ම ඔහු එයාලා එක්ක ඉන්නවා කියලා.—මතෙ 28:20.

  • පවිත්‍ර.

    බයිබලයේ ඒ වචනය පාවිච්චි කරන්නේ ශාරීරික පිරිසිදුකම ගැන විස්තර කරන්න විතරක් නෙමෙයි. දෙවියන් ඉස්සරහා කිසිම කැළලක් නැති, දෝෂයක් නැති ජීවිතයක් දිගටම පවත්වගෙන යන එක නැත්නම් ආපහු ඒ වගේ ජීවිතයක් ගත කරන්න පටන්ගන්න එකත් ඒකෙන් අදහස් වෙනවා. ඒ කියන්නේ සදාචාරමය අතින් කැළලක් ඇති කරන වගේම දෙවියන් එක්ක තියෙන බැඳීමට හානියක් ඇති කරන හැම දේකින්ම නිදහස් ජීවිතයක් ගත කරන එකයි. මෝසෙස්ගේ නීතිය යටතේ ඒකෙන් අදහස් කළේ චාරිත්‍රානුකූලව පිරිසිදුව ඉන්න එකයි.—ලෙවී 10:10; ගීතා 51:7; මතෙ 8:2; 1කොරි 6:11.

  • පසුතැවිල්ල.

    බයිබලයේ ඒ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ කෙනෙක් කලින් ගත කරපු ජීවිතේ ගැන, තමන් කරපු වැරදි ගැන එහෙම නැත්නම් කරන්න බැරි වුණ දෙයක් ගැන හදවතින්ම දුක් වෙලා එයා හිතපු විදිහ වෙනස් කරගන්නවා කියන එක විස්තර කරන්නයි. අවංකව පසුතැවිලි වෙන කෙනෙක් එයා වැඩ කරන විදිහත් වෙනස් කරගන්නවා.—මතෙ 3:8; ක්‍රියා 3:19; 2පේතෘ 3:9.

  • පහන් තාරකාව.

    ඉර නඟින්න කලින් නැඟෙනහිර ක්ෂිතිජයේ පායන අන්තිම තරුව. ඒකෙන් අලුත් දවසක ආරම්භය දැනුම් දුන්නා.—එළි 22:16; 2පේතෘ 1:19.

  • පහන් තිර අල්ලන අඬු.

    ඒවා රත්තරන්වලින් හදලා තිබුණා. ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ තිබුණ පහන්වල තිර නිවලා දාන්න ඒවා පාවිච්චි කළා.—නික් 37:23.

  • පහන් තිර දාන භාජන.

    ඒවා හදලා තිබුණේ රත්තරන්, රිදී සහ තඹවලින්. ඒවා පාවිච්චි කළේ ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්නයි. ඒ වගේම පූජාසනයේ තිබුණ අඟුරු සහ රන් පහන් රුකේ තිබුණ පහන්වල දැවිලා ගිය පහන් තිර අයින් කරන්නත් ඒවා පාවිච්චි කළා. සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන භාජන කියලත් ඒවා හැඳින්නුවා.—නික් 37:23; 2ලේක 26:19; හෙබ්‍රෙ 9:4.

  • පහන් තිර නිවලා දාන උපකරණ.

    ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ පාවිච්චි කරපු උපකරණ. ඒවා හදලා තිබුණේ රත්තරන්වලින් නැත්නම් තඹවලින්. සමහරවිට ඒවා පහන් තිර කපලා දාන්න පාවිච්චි කරපු කතුරක් වගේ දෙයක් වෙන්න ඇති.—2රාජා 25:14.

  • පළඟැටියන්.

    රොත්ත පිටින් සංක්‍රමණය කරන විවිධ වර්ගයේ තණකොළ පෙත්තන්. මෝසෙස්ගේ නීතියට අනුව පළඟැටියා කියන්නේ කෑමට ගන්න පුළුවන් පවිත්‍ර සතෙක්. උන් රොත්ත පිටින් ඇවිත් අහු වෙන හැම දෙයක්ම කාලා දාලා ඒ පැත්තම වනසලා දානවා. ඒ නිසා උන්ව වසංගතයක් විදිහට හඳුන්වලා තියෙනවා.—නික් 10:14; මතෙ 3:4.

  • පාන පූජාව.

    පූජාවක් විදිහට පූජාසනය මත වක් කරපු වයින්. ඒක සාමාන්‍යයෙන් වෙනත් පූජාවන් එක්ක තමයි ඔප්පු කළේ. පූජාවන් වැඩි හරියක් එක්ක පාන පූජාවකුත් ඔප්පු කළා. ක්‍රිස්තියානි සහෝදරයන් වෙනුවෙන් ඇපකැප වෙලා වැඩ කරන්න තමන්ට තිබුණ කැමැත්ත ගැන කියන්න පාවුල් මේ යෙදුම සංකේතයක් විදිහට පාවිච්චි කළා.—ගණන් 15:5, 7; ෆිලි 2:17.

  • පාප පූජාව.

    මේ පූජාව ඔප්පු කළේ පව්කාරකම නිසා කෙනෙක් අතින් වැරදීමකින් වෙන පව් වෙනුවෙන්. පාප පූජාවක් විදිහට පරෙවියන්ගේ ඉඳන් වස්සන් වෙන කල් සත්ව පූජා ඔප්පු කළා. ඔප්පු කරන සතාව තීරණය වුණේ සමාව ලබාගන්න පූජාව ඔප්පු කරන කෙනාගේ වත්කමට අනුවයි.—ලෙවී 4:27, 29; හෙබ්‍රෙ 10:8.

  • පාරාදීසය.

    ලස්සන උයනක් නැත්නම් උද්‍යානයක්. ඒ වගේ තිබුණ මුල්ම තැන තමයි ඒදන්. යෙහෝවා ඒක හදලා දුන්නේ මුල් යුවළට. යේසුස් වධකණුවේ ඉද්දී ඔහුට එහා පැත්තෙන් හිටපු අපරාධකරුට ඔහු කියපු දෙයින් තේරෙනවා මේ පොළොව පාරාදීසයක් වෙනවා කියලා. 2 කොරින්ති 12:4 කතා කරන්නේ අනාගතයේ තියෙන පාරාදීසයක් ගැන. එළිදරව් 2:7 කතා කරන්නේ ස්වර්ගයේ තියෙන පාරාදීසයක් ගැන.—සල 4:13; ලූක් 23:43.

  • පාරාවෝ.

    ඊජිප්තුවේ රජවරුන්ට දුන්න නමක්. බයිබලයේ පාරාවෝ පස්දෙනෙක්ගේ නම් සඳහන් කරලා තියෙනවා. (ෂීෂක්, සෝ, තිර්හාකා, නෙකෝ සහ හොප්රා.) අනිත් අයගේ නම් සඳහන් කරලා නැහැ. ආබ්‍රහම්, මෝසෙස් සහ යෝසෙප්ගේ කාලේ හිටපු අයගේ නම් සඳහන් කරලත් නැහැ.—නික් 15:4; රෝම 9:17.

  • පාස්කුව.

    හැම අවුරුද්දකම ආබීබ් (පස්සේ කාලෙක නීසාන්) මාසේ 14වෙනිදා පවත්වපු උත්සවයක්. ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආපු එක සිහි කරන්නයි ඒ උත්සවය පැවැත්තුවේ. ඒක සමරද්දී බැටළු පැටියෙක්ව (හෝ එළුවෙක්ව) මරලා, ඌව පුච්චලා තිත්ත පලා සහ මුහුන් දාපු නැති රොටි එක්ක කෑවා.—නික් 12:27; යොහ 6:4; 1කොරි 5:7.

  • පැපිරස්.

    වතුරේ වැවෙන බට වර්ගයට අයිති පැළයක්. කූඩ, පෙට්ටි සහ බෝට්ටු වගේ දේවල් හදන්න ඒවා පාවිච්චි කරනවා. ලියන්න පාවිච්චි කරන කඩදාසිවලට සමාන දේකුත් ඒවාවලින් හැදුවා. හුඟක් ශුද්ධ ලියවිලි ලිව්වේ ඒවාවල.—නික් 2:3.

  • පැමිණෙන කාලය.

    ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ මේ යෙදුම පාවිච්චි කරලා තියෙන සමහර තැන්වලින් විස්තර කරන්නේ යේසුස් ක්‍රිස්තුස් දේවරාජ්‍යයේ රජ විදිහට පත් වුණ අවස්ථාවේ ඉඳන් මේ සමාජයේ අවසාන දවස් පුරා දිව යන කාලයයි. ක්‍රිස්තුස් පැමිණෙන කාලය කියන්නේ ඔහු ඇවිත් ඉක්මනින්ම පිටත් වෙලා යන කෙටි වෙලාවකට නෙමෙයි. ඒකෙන් සැලකිය යුතු කාල පරිච්ඡේදයක් විස්තර කරනවා.—මතෙ 24:3.

  • පැල් උත්සවය.

    කූඩාරම් උත්සවය නැත්නම් අස්වැන්න නෙළීමේ උත්සවය කියලත් හඳුන්වනවා. ඒක පැවැත්තුවේ ඒතානිම් 15-21 දක්වා කාලයෙදියි. යුදෙව් කෘෂිකාර්මික අවුරුද්දක අවසානයේදී ඒ කියන්නේ අන්තිම අස්වැන්න නෙළන කාලේ තමයි මේ උත්සවය පැවැත්තුවේ. ඒ කාලේදී ඊශ්‍රායෙල්වරු හුඟක් සතුටු වුණා වගේම හොඳ අස්වැන්නක් දුන්නාට එයාලා යෙහෝවාට ස්තුති කළා. ඒ උත්සවය පවත්වපු කාලය පුරාම එයාලා හිටියේ පැල්වල. ඒ කියන්නේ වහලක් තිබුණ මඩුවල. එයාලා එහෙම කළේ ඊජිප්තුවෙන් බේරිලා ආපු එක මතක් වෙන්නයි. ඊශ්‍රායෙල් පුරුෂයන් අනිවාර්යයෙන්ම යෙරුසලමට ගිහින් පවත්වන්න ඕනෙ උත්සව තුනෙන් එකක් වුණෙත් පැල් උත්සවයයි.—ලෙවී 23:34; එස්රා 3:4.

  • පිටපත්කරු.

    හෙබ්‍රෙව් ලියවිලි පිටපත් කරපු අය. යේසුස්ගේ කාලේ වෙද්දී ඒ යෙදුමෙන් නීතිය ගැන හොඳට දැනුවත් වෙලා හිටපු, පිළිගැනීමක් තිබුණ පිරිසක්ව අදහස් කළා. එයාලා යේසුස්ට විරුද්ධ වුණා.—එස්රා 7:6, පාදසටහන; මාක් 12:38, 39; 14:1.

  • පිම්.

    බර මනින ඒකකයක්. ඒ වගේම විවිධ යකඩ ආයුධ මුවහත් කරන්න පිලිස්තිවරුන් අය කරපු ගාණ. ඊශ්‍රායෙල්වල කරපු පුරාවිද්‍යාත්මක කැණීම්වලදී හෙබ්‍රෙව් ව්‍යාංජන අක්ෂරවලින් “පිම්” කියලා සඳහන් කරපු බර මනින්න පාවිච්චි කරපු ගල් හොයාගෙන තියෙනවා. ඒවායේ සාමාන්‍ය බර ග්‍රෑම් 7.8යි. ඒ කියන්නේ ෂෙකෙලයකින් තුනෙන් දෙකක් විතර.—1සාමු 13:20, 21, පාදසටහන.

  • පිලිස්තිය; පිලිස්තිවරු.

    ඊශ්‍රායෙල්වල දකුණු වෙරළබඩ තීරයට වෙන්න තිබුණ ප්‍රදේශයට පිලිස්තිය කියන නම තිබ්බා. ක්‍රීට්වලින් ඇවිත් එහේ පදිංචි වුණ අයව හැඳින්නුවේ පිලිස්තිවරුන් කියලා. දාවිත් එයාලව යටත් කරගත්තත් එයාලා දිගටම ස්වාධීන ජාතියක් විදිහට හිටියා. ඒ වගේම එයාලා ඊශ්‍රායෙල්වරුන්ට දිගටම හතුරුකම් කළා. (නික් 13:17; 1සාමු 17:4; ආමො 9:7)—උප. B4 බලන්න.

  • පූජකයා.

    තමන් සේවය කරන සෙනඟ ඉස්සරහා දෙවියන්ව නියෝජනය කරපු කෙනා. එයා දෙවියන් ගැනත් ඔහුගේ නීති ගැනත් සෙනඟට කියලා දුන්නා. දෙවියන් ඉස්සරහා සෙනඟව නියෝජනය කළෙත් පූජකයා. මොකද එයා තමයි පූජා ඔප්පු කළේ. ඒ වගේම සෙනඟ වෙනුවෙන් මැදිහත් වුණෙත් එයාලා වෙනුවෙන් කන්නලව් කළෙත් එයායි. මෝසෙස්ගේ නීතියට කලින් පවුලේ අයගේ පූජකයා විදිහට සේවය කළේ පවුලේ මූලිකයා. ලෙවී ගෝත්‍රයෙන් ආපු ආරොන්ගේ පවුලේ පිරිමි අය තමයි මෝසෙස්ගේ නීතිය යටතේ පූජකයන් විදිහට සේවය කළේ. ලෙවී ගෝත්‍රයේ අනිත් පිරිමින් එයාලට සහය වුණා. අලුත් ගිවිසුම ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තාම දෙවියන්ගේ ඊශ්‍රායෙල් පූජකයන්ගෙන් හැදුණ ජාතියක් වුණා. උත්තම පූජකයා විදිහට ඉන්නේ යේසුස් ක්‍රිස්තුස්.—නික් 28:41; හෙබ්‍රෙ 9:24; එළි 5:10.

  • පූජා.

    ස්තුති කරන්න, වරදක් පිළිගන්න, දෙවියන් එක්ක ආයෙත් හොඳ බැඳීමක් ඇති කරගන්න ඔහුට දීපු පරිත්‍යාග. මෝසෙස්ගේ නීතියෙන් පූජා ඔප්පු කරන එක අනිවාර්ය දෙයක් කරන කල් මිනිස්සු කැමැත්තෙන්ම සතුන් ඇතුළුව එක එක විදිහේ පූජා දෙවියන්ට ඔප්පු කළා. එහෙම කරපු මුල්ම කෙනා ආබෙල්. යේසුස් කිසිම අඩුවක් නැති පූජාවක් විදිහට ඔහුගේ ජීවිතේ ඔප්පු කළාට පස්සේ සත්ව පූජා ඔප්පු කරන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ වුණත් ක්‍රිස්තියානීන් දිගටම වෙනත් විදිහේ පූජා දෙවියන්ට ඔප්පු කරනවා.—උත් 4:4; හෙබ්‍රෙ 13:15, 16; 1යොහ 4:10.

  • පූජා කරන රොටි.

    ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ ශුද්ධස්ථානයේ තිබුණ මේසයේ තියලා තිබුණ රොටි 12. ඒවා එක ගොඩක රොටි හයක් තියෙන විදිහට ගොඩවල් දෙකක් තිබුණා. “ශුද්ධ රොටි” කියලත් ඒවා හැඳින්නුවා. හැම සබත් දවසකම පරණ රොටි අයින් කරලා දෙවියන් ඉස්සරහා අලුත් රොටි තිබ්බා. අයින් කරන රොටි සාමාන්‍යයෙන් කෑවේ පූජකයන් විතරයි. (2ලේක 2:4; මතෙ 12:4; නික් 25:30; ලෙවී 24:5-9; හෙබ්‍රෙ 9:2)—උප. B5 බලන්න.

  • පූජාසනය.

    පස්වලින්, ගල්වලින් ගල් කුට්ටියකින් නැත්නම් ලෝහයකින් ආවරණය කරපු ලීවලින් හදපු පොඩි වේදිකාවක්. ඒක උඩ දෙවියන්ට පූජා නැත්නම් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කළා. ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ ශුද්ධස්ථානයේ සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන්න පොඩි “රන් පූජාසනයක්” තිබුණා. ලීවලින් හදලා තිබුණ ඒකට රත්තරන් ආලේප කරලයි තිබුණේ. ඊට වඩා ලොකු “තඹ පූජාසනයක්” මළුවේ තියලා තිබුණා. ඒක හදලා තිබුණේ දවන පූජා ඔප්පු කරන්න. (නික් 27:1; 39:38, 39; උත් 8:20; 1රාජා 6:20; 2ලේක 4:1; ලූක් 1:11)—උප. B5 සහ B8 බලන්න.

  • පූජාසනයේ අං.

    සමහර පූජාසනවල කොන් හතරේ අංවල හැඩේට කොටස් හතරක් තිබුණා. (ලෙවී 8:15; 1රාජා 2:28)—උප. B5 සහ B8 බලන්න.

  • පූරීම්.

    හැම අවුරුද්දකම ආදාර් මාසේ 14වෙනිදා සහ 15වෙනිදා පවත්වපු උත්සවයක්. එස්තර් බිසවගේ කාලේදී යුදෙව්වන් සමූල ඝාතනයකින් බේරුණ විදිහ සිහි කරන්නයි ඒක පැවැත්තුවේ. පූරීම් කියන වචනයේ තේරුම “දාදු” කියන එකයි. ඒක හෙබ්‍රෙව් වචනයක් නෙමෙයි. පූරීම් උත්සවයට නැත්නම් දාදු උත්සවයට ඒ නම ලැබුණේ යුදෙව්වන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන දවස තීරණය කරන්න හාමාන් පූර් නැත්නම් දාදු දාපු නිසයි.—එස්ත 3:7; 9:26, පාදසටහන.

  • පෙන්තකොස්ත.

    යුදෙව් පුරුෂයන් හැමෝම අනිවාර්යයෙන්ම යෙරුසලමට ගිහින් සමරන්න ඕනෙ උත්සව තුනෙන් දෙවෙනි එක තමයි මේක. පෙන්තකොස්ත කියන වචනේ තේරුම “පනස්වෙනි (දවස)” කියන එකයි. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවල මේ වචනයෙන් හඳුන්වන්නේ හෙබ්‍රෙව් ලියවිල්ලේ “ප්‍රථම ඵල උත්සවය” නැත්නම් “සති උත්සවය” කියලා හඳුන්වන උත්සවයමයි. ඒක පැවැත්තුවේ නීසාන් 16වෙනිදා ඉඳලා දවස් 50ක් ගණන් කළාම එන දවසෙයි.—නික් 23:16; 34:22; ක්‍රියා 2:1.

  • පෙර සටහන.

    ගීතිකාවකට කලින් සඳහන් වෙන දේ. ගීතිකාව ලිව්වේ කවුද, ඒකේ පසුබිම, සංගීතය වාදනය කරන්න ඕනෙ විදිහ සහ ගීතිකාව කියන අවස්ථාව නැත්නම් ඒකේ අරමුණ ගැන ඒ කොටසෙන් දැනගන්න පුළුවන්.—ගීතාවලිය 3, 4, 5, 6, 7, 30, 38, 60, 92 සහ 102 පෙර සටහන් බලන්න.

  • පොළනවා.

    ධාන්‍ය ඇටවලින් වෙන් වුණ පොතු අයින් කරන්න පාවිච්චි කරපු ක්‍රමයක්. බයිබලයේ සිද්ධීන් වුණ කාලේ ධාන්‍ය කරල්වලට සහ ඇටවලට පොල්ලකින් ගහලා ඒක වෙන් කළාට පස්සේ සවලක හැඩය තියෙන උපකරණයකින් නැත්නම් දැති කීපයක් හයි කරපු පොල්ලකින් ඒවා උඩට වීසි කරනවා. ඒක කරන්නේ හොඳට හුළං හමන තැනක. හුළඟට දහයියා ගහගෙන යනවා. පිදුරුත් පැත්තකට අයින් වෙනවා. කමතේ ඉතුරු වෙන්නේ ධාන්‍ය ඇට විතරයි. (රූත් 3:2; යෙසා 30:24; ලූක් 3:17)—දහයියා සහ ධාන්‍ය මඩිනවා යටතේ බලන්න.

  • පෝර්නියා.

    ලිංගික දුරාචාරය යටතේ බලන්න.

  • ප්‍රථම ඵල උත්සවය; සති උත්සවය.

    පෙන්තකොස්ත යටතේ බලන්න.

  • ප්‍රධාන ගල.

    ගොඩනැඟිල්ලක බිත්ති දෙකක් එකතු වෙන තැන කොනේ තියෙන ගල. බිත්ති දෙක ශක්තිමත්ව රඳවන්න ඒ ගල පාවිච්චි කළා. ප්‍රධාන ගල් අතරින් වැදගත්ම ගල වුණේ අත්තිවාරම් ගල. ප්‍රසිද්ධ ගොඩනැඟිලි සහ නගරයක පවුර හදන්න ගත්තේ හුඟක් ශක්තිමත් ප්‍රධාන ගලක්. පොළොව නිර්මාණය කරපු එක ගැන කියද්දී ඒ යෙදුම සංකේතයක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම නිවසකට සමාන කරලා තියෙන ක්‍රිස්තියානි සභාවේ “අත්තිවාරමේ ප්‍රධාන ගල” විදිහට යේසුස්ව හඳුන්වලා තියෙනවා.—එෆී 2:20; යෝබ් 38:6.

  • ප්‍රධාන තැනැත්තා.

    ඒ ග්‍රීක යෙදුමෙන් මූලිකවම අදහස් වෙන්නේ “ප්‍රධාන නායකයා” කියන එකයි. විශ්වාසවන්ත මිනිස්සුන්ව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කරලා එයාලට සදාකාල ජීවනය ලබාගන්න උදව් කරන්න යේසුස් ක්‍රිස්තුස් ඉටු කරන අත්‍යවශ්‍ය කාර්යය ඒකෙන් විස්තර කරනවා.—ක්‍රියා 3:15; 5:31; හෙබ්‍රෙ 2:10; 12:2, පාදසටහන.

  • ප්‍රධාන නිලධාරීන්.

    බැබිලෝනිය අධිරාජ්‍යයේ හිටපු දිසාපතීන්ට වඩා නිලයෙන් අඩු නිලධාරීන් පිරිසක්. බැබිලෝනියේ රජමාලිගාවේ හිටපු උගත් අයගේ ප්‍රධානීන් විදිහටත් එයාලා වැඩ කළා. මේදිය දාරියුස් රජ පාලනය කරපු කාලේදීත් එයාලා ගැන කතා කරලා තියෙනවා.—දානි 2:48; 6:7.

  • ප්‍රීටෝරියානු ආරක්ෂක නිලධාරීන්.

    රෝම අධිරාජ්‍යයාව ආරක්ෂා කරන්න පත් කරලා හිටපු රෝම සෙබළු කණ්ඩායමක්. දේශපාලනය අතින් එයාලට කොච්චර බලයක් තිබුණාද කියනවා නම් අධිරාජ්‍යයාට සහය දෙන්න එහෙම නැත්නම් එයාව බලයෙන් පහ කරන්න පුළුවන්කම එයාලට තිබුණා.—ෆිලි 1:13, පාදසටහන.

  • බට පඳුර.

    සාමාන්‍යයෙන් වතුර තියෙන තැන්වල වැවෙන පැළ ජාති හඳුන්වන්න මේ යෙදුම පාවිච්චි කරනවා. ගොඩක් අවස්ථාවලදී මේකෙන් අදහස් කරන්නේ “අරුන්ඩෝ ඩොනැක්ස්” කියන පැළ ජාතියයි. (යෝබ් 8:11; යෙසා 42:3; මතෙ 27:29; එළි 11:1)—මනින්න පාවිච්චි කරන රිට යටතේ බලන්න.

  • බඹ.

    ජලයේ ගැඹුර මනින ඒකකයක්. බඔ 1ක් කියන්නේ මීටර් 1.8ක් (අඩි 6ක්). (ක්‍රියා 27:28)—උප. B14 බලන්න.

  • බව්තීස්මය.

    බව්තීස්ම කරනවා කියන ක්‍රියා පදයේ තේරුම “වතුරේ ගිල්වනවා,” ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වතුර යටට යවනවා කියන එකයි. තමන්ගේ අනුගාමිකයන් බව්තීස්ම වෙන්න ඕනෙ කියලා යේසුස් පෙන්නුවා. යොහන් කරපු බව්තීස්මය, දෙවියන්ගේ බලයෙන් කරන බව්තීස්මය, ගින්නෙන් කරන බව්තීස්මය සහ වෙනත් විදිහේ බව්තීස්මයන් ගැන ශුද්ධ ලියවිල්ලේ කතා කරනවා.—මතෙ 3:11, 16; 28:19; යොහ 3:23; 1පේතෘ 3:21.

  • බාත්.

    ද්‍රව මිනුම් ඒකකයක්. බාත් කියන වචනය ලියලා තියෙන මැටි බඳුන්වල කැබලි පුරාවිද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒවාට අනුව බාත් මිනුමකට ලීටර් 22ක් (ගැලුම් 5.81ක්) විතර අල්ලනවා. බයිබලයේ සඳහන් වෙන අනිත් ද්‍රව සහ වියළි මිනුම්වල ප්‍රමාණය ගණන් බලන්නේ හොයාගෙන තියෙන බාත් මිනුමේ ප්‍රමාණයට අනුවයි. (1රාජා 7:38; එස 45:14)—උප. B14 බලන්න.

  • බාල්.

    කානානිවරුන්ගේ දෙවි කෙනෙක්. අහසට අධිපති සහ වර්ෂාවත් දරුපලත් දෙන දෙවියන් විදිහට එයාව සැලකුවා. බාල්ට තරම් බලයක් තිබුණේ නැහැ කියලා සලකපු දෙවිවරුන්ව හඳුන්වන්නත් ඒ නම පාවිච්චි කළා. ඒ හෙබ්‍රෙව් වචනයේ තේරුම “අයිතිකරු; ස්වාමියා” කියන එකයි.—1රාජා 18:21; රෝම 11:4.

  • බූල්.

    යුදෙව් ආගමික දිනදර්ශනයේ අටවෙනි මාසය සහ යුදෙව් සාමාන්‍ය දිනදර්ශනයේ දෙවෙනි මාසය. ඒ වචනය හැදිලා තියෙන්නේ “අස්වැන්න; පලදාව” කියන තේරුම තියෙන වචනයකින්. ඔක්තෝබර් මැද ඉඳන් නොවැම්බර් මැද වෙන කල් කාලය තමයි බූල් මාසය විදිහට හැඳින්නුවේ. (1රාජා 6:38)—උප. B15 බලන්න.

  • බෙල්සෙබුබ්.

    භූතයන්ගේ පාලකයා වන සාතන්ට කියන තවත් නමක්. සමහරවිට ඒක එක්‍රොන්වල පිලිස්තිවරු නමස්කාර කරපු බාල්සේබුබ් කියන දෙවියන්ගේ නම කියන තවත් විදිහක් වෙන්න ඇති.—2රාජා 1:3; මතෙ 12:24.

  • භාරයක්.

    මොනවා හරි දෙයක් කරන්න, පූජාවක් හෝ තෑග්ගක් ඔප්පු කරන්න, සේවාවක් ඉටු කරන්න, නීතියෙන් කරන්න අවසර දීලා තියෙන දේකින් වැළකෙන්න දෙවියන්ට වුණ පොරොන්දුවක්. ඒක දිවුරුමක් තරම්ම බරපතළයි.—ගණන් 6:2; දේශ 5:4; මතෙ 5:33.

  • භාරයක් හැටියට දෙන පූජා.

    සමහර භාර එක්ක කැමැත්තෙන්ම දුන්න පූජා.—ලෙවී 23:38; 1සාමු 1:21.

  • භූතයන්.

    මිනිස්සුන්ට වඩා ලොකු බලයක් තියෙන, නොපෙනෙන, දුෂ්ට පිරිසක්. උත්පත්ති 6:2 එයාලව “සැබෑ දෙවියන්ගේ පුත්‍රයන්” කියලත් යූද් 6 “දේවදූතයන්” කියලත් හඳුන්වනවා. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එයාලව දුෂ්ට අය විදිහට නිර්මාණය කළා කියලා. මුලදී එයාලව නිර්මාණය කළේ දේවදූතයන් විදිහට. ඒත් නෝවාගේ කාලේදී එයාලා දෙවියන්ට විරුද්ධව කැරලිගහපු සාතන්ගේ පැත්ත අරන් දෙවියන්ට අකීකරු වෙලා හිතාමතාම ඔහුගේ සතුරන් වුණා.—ද්වි 32:17; ලූක් 8:30; ක්‍රියා 16:16; යාකො 2:19.

  • භූතවාදය.

    මිනිස්සුන්ගේ ශරීරය මැරුණත් මැරෙන්නේ නැති දෙයක් (ආත්මය) ඉතුරු වෙනවා කියන විශ්වාසය. ආත්මයට, ජීවත් වෙලා ඉන්න අය එක්ක කතා කරන්න පුළුවන් කියන එකත් ඒ ආත්මයේ බලපෑමට අහු වෙලා ඉන්න කෙනෙක් මාර්ගයෙන් එයා එහෙම කතා කරනවා කියන විශ්වාසයත් ඒකට ඇතුළත්. “භූතවාදයට සම්බන්ධ දේවල් කරන” කියලා පරිවර්තනය කරලා තියෙන ෆර්මකියා කියන ග්‍රීක වචනයේ තේරුම “මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා” කියන එකයි. ඒ වචනය භූතවාදයත් එක්ක සම්බන්ධ කළේ භූතයන්ගෙන් බලය ලබාගන්න උත්සාහ කරපු අය මත්ද්‍රව්‍ය පාවිචිච් කරපු නිසයි.—ගලා 5:20; එළි 21:8.

  • මත්ලාබන්.

    ගීතාවලිය 9 පෙර සටහනේ තියෙන වචනයක්. වැඩිදෙනෙක්ගේ පිළිගැනීමට අනුව ඒකේ තේරුම “පුතාගේ මරණය ගැන” කියන එකයි. ඒ වචනයෙන් අදහස් වෙන්නේ ප්‍රසිද්ධ වෙනත් ගීයක නමක් නැත්නම් ඒ ගීයේ මුල් වචන ටික කියලා සමහරු කියනවා. ඒක පෙර සටහනේ සඳහන් කරලා තියෙන්නේ ඒ ප්‍රසිද්ධ ගීතයේ තනුව පාවිච්චි කරලා 9වෙනි ගීතිකාව ගායනා කරන්න කියලා පෙන්නන්න වෙන්න ඇති.

  • මනින්න පාවිච්චි කරන රිට.

    මේ රිට රියන් හයක් දිගයි. සාමාන්‍ය රියනකට අනුව ඒක මීටර් 2.67ක් (අඩි 8.75ක්). දිග රියනකට අනුව ඒක මීටර් 3.11ක් (අඩි 10.2ක්). (එස 40:3, 5; එළි 11:1)—උප. B14 බලන්න.

  • මනුෂ්‍ය පුත්‍රයා.

    සුවිශේෂ පොත්වල 80 පාරක් විතර එන යෙදුමක්. ඒක පාවිච්චි කළේ යේසුස් ක්‍රිස්තුස්ට. ඒකෙන් පෙන්නුවා ඔහු නිකම්ම මිනිස් වෙස් ගත්ත දේවදූතයෙක් නෙමෙයි, ඒ වෙනුවට ඔහු ඇත්තටම මිනිසෙක් විදිහට ඉපදුණා කියලා. ඒ වගේම දානියෙල් 7:13, 14 තියෙන අනාවැකිය ඉටු කරන්නේ යේසුස් කියලත් ඒ යෙදුමෙන් පැහැදිලි වුණා. හෙබ්‍රෙව් ලියවිලිවල එසකියෙල්ට සහ දානියෙල්ටත් මේ යෙදුම පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් කාවැද්දුවේ පණිවිඩකරුවන් සහ පණිවිඩය දීපු දෙවියන් අතර කොයි තරම් වෙනසක් තියෙනවාද කියලයි.—එස 3:17; දානි 8:17; මතෙ 19:28; 20:28.

  • මන්ත්‍රණ සභාව.

    යෙරුසලමේ තිබුණ යුදෙව්වන්ගේ මහාධිකරණය. යේසුස්ගේ කාලේදී ඒකට සාමාජිකයන් 71දෙනෙක් ඇතුළත් වුණා. ඒ අය අතරේ උත්තම පූජකයා, කලින් උත්තම පූජකයන් වෙලා හිටපු අය, උත්තම පූජකයන්ගේ පවුල්වල සාමාජිකයන්, වැඩිමහල්ලන්, ගෝත්‍රවල වගේම පවුල්වල නායකයන් සහ නීතිය පිටපත් කරන අය හිටියා.—මාක් 15:1; ක්‍රියා 5:34; 23:1, 6.

  • මන්නා.

    පාළුකරයේ ගත කරපු අවුරුදු 40 පුරා ඊශ්‍රායෙල්වරු කාපු ප්‍රධාන කෑම. ඒක ආශ්චර්යයකින් යෙහෝවා එයාලට ලබා දුන්නා. සබත් දවසේ හැර අනිත් හැම දවසකදීම උදේට ඒවා බිම හැම තැනම තිබුණා. ඒවා තිබුණේ පිනි තට්ටුවක් යට. ඊශ්‍රායෙල්වරු ඒවා මුලින්ම දැකපු අවස්ථාවේදී “මේ මොනවාද” එහෙම නැත්නම් හෙබ්‍රෙව් භාෂාවෙන් “මාන් හූ” කියලා ඇහුවා. (නික් 16:13-15, 35) වෙනත් පදවල ඒවාට ‘ස්වර්ගයෙන් ධාන්‍ය’ (ගීතා 78:24), “ස්වර්ගයෙන් කෑම” (ගීතා 105:40) සහ “බලවන්තයන්ගේ කෑම” (ගීතා 78:25) කියලා කියනවා. යේසුත් සංකේතයක් විදිහට මන්නා කියන වචනය පාවිච්චි කළා.—යොහ 6:49, 50.

  • මල්කාම්.

    අම්මොන්වරුන්ගේ ප්‍රධාන දෙවියා වුණ මෝලෙක්ට කියන තවත් නමක් වෙන්න ඇති. (ශෙප 1:5)—මෝලෙක් යටතේ බලන්න.

  • මස්කිල්.

    ගීතාවලිය පොතේ ගීතිකා 13ක පෙර සටහනේ තියෙන හෙබ්‍රෙව් වචනයක්. ඒකේ තේරුම හරියටම දන්නේ නැහැ. ඒකේ අදහස “හිතන්න පොලඹවන කවියක්” කියන එක වෙන්න පුළුවන්. ‘සිහිකල්පනාවෙන් නැත්නම් ඥානවන්තව සේවය කරන්න’ කියන තේරුම තියෙන ඒ වචනයට ළඟින් යන තවත් වචනයක් තියෙනවා. සමහර අය හිතනවා මස්කිල් කියන වචනයටත් ඒ වගේ තේරුමක් තියෙනවා කියලා.—2ලේක 30:22; ගීතා 32:පෙ.ස.

  • මහත් කරුණාව.

    ග්‍රීක වචනය දෙවියන්ට සම්බන්ධ කරලා පාවිච්චි කරද්දී ඒකට ප්‍රධාන අදහස් දෙකක් තියෙනවා. එකකින් දෙවියන්ගේ ත්‍යාගශීලීකම කොච්චරද කියලා කාවද්දනවා. ඔහු ආපහු කිසිම ගෙවීමක් හෝ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව සතුටින් ලබා දෙන උදව් ඒකට ඇතුළත්. ඔහු එහෙම උදව් කරන්නේ අනිත් අයට දෙන්න තියෙන කැමැත්ත නිසයි. එයාලා ගැන දැනෙන අනුකම්පාව සහ ආදරේ නිසයි. අනිත් එකෙන් කරුණාව ලබන්න වටින්නේ නැති අයට පවා දෙවියන් පෙන්නන කරුණාව ගැන කාවද්දනවා. වැරදි කරන අයට සමාව දීලා, ක්‍රිස්තුස් මාර්ගයෙන් සදහටම ගැලවෙන්න ඒ අයට අවස්ථාව දීලා ඔහු ඒ කරුණාව පෙන්නනවා. (2කොරි 6:1; එෆී 1:7) ඒ ග්‍රීක වචනය “කරුණාව” සහ “කැමැත්තෙන්ම දීපු සම්මාදම්” විදිහටත් පරිවර්තනය කරලා තියෙනවා.—ලූක් 2:40; 1කොරි 16:3.

  • මහත් පීඩාව.

    “පීඩාව” විදිහට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ මුහුණ දෙන්න වෙන අමාරු තත්වයන් නිසා ඇති වෙන දුක නැත්නම් වේදනාව. මීට කලින් කවදාවත් ඇති වෙලා නැති “මහත් පීඩාවක්” ගැන යේසුස් කිව්වා. යෙරුසලමට අද්දකින්න වුණ මහත් පීඩාවත් විශේෂයෙන්ම ඔහු ‘තේජසක් ඇතුව එන’ කාලයේදී මිනිස්සුන්ට අද්දකින්න වෙන මහත් පීඩාවත් ඒකට ඇතුළත්. (මතෙ 24:21, 29-31) “දෙවියන්ව අඳුරගෙන නැති අයටත් අපේ ස්වාමීන් වන යේසුස් ගැන ශුභාරංචිය පිළිගන්නේ නැති අයටත්” විරුද්ධව ගේන ඒ මහත් පීඩාව පාවුල් විස්තර කරන්නේ දෙවියන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාවක් විදිහටයි. ‘මෘගයාටත් පොළොවේ රජවරුන්ටත් එයාලාගේ හමුදාවන්ටත්’ විරුද්ධව යුද්ධ කරන්න ස්වර්ගයේ සේනාවන් යේසුස්ගේ නායකත්වය යටතේ එනවා කියලා එළිදරව් 19වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. (2තෙස 1:6-8; එළි 19:11-21) ඒ මහත් පීඩාවෙන් “මහත් සමූහයක්” බේරෙනවා කියලත් බයිබලයේ කියනවා. (එළි 7:9, 14)—අර්මගෙදොන් යටතේ බලන්න.

  • මහලත්.

    ගීතාවලිය 53 සහ 88 සඳහන් ඒ වචනය සංගීතයට සම්බන්ධ වචනයක්. ඒක “දුර්වල වෙනවා; අසනීප වෙනවා” කියන තේරුම තියෙන හෙබ්‍රෙව් වචනයකින් එන වචනයක් වෙන්න ඇති. ඒ නිසා දුක්මුසු හඬකින් වාදනය කරන්න කියලා දැනුම් දෙන්න ඒ වචනය පාවිච්චි කළා කියලා හිතන්න පුළුවන්. ඒ ගීතිකා දෙකේ තියෙන දුක්මුසු තොරතුරුවලට ඒක ගැළපෙනවා.

  • මළුව; මිදුල.

    ශුද්ධ කූඩාරම වටේට වැටක් ගහලා තිබුණ එළිමහන් ප්‍රදේශය සහ පස්සේ කාලෙක දේවමාලිගාවේ ප්‍රධාන ගොඩනැඟිල්ල වටේට තාප්පයක් ගහලා වෙන් කරලා තිබුණ එළිමහන් ප්‍රදේශය හැඳින්නුවේ මළුව කියලයි. දවන පූජා ඔප්පු කරපු පූජාසනය තිබුණේ ශුද්ධ කූඩාරමේ මළුවේ සහ දේවමාලිගාවේ ඇතුල් මළුවේ. (උප. B5, B8 සහ B11 බලන්න.) රජමාලිගාවල සහ ගෙවල්වල මළු නැත්නම් මැද මිදුල් තිබුණා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—නික් 8:13; 27:9; 1රාජා 7:12; එස්ත 4:11; මතෙ 26:3.

  • මායා බලය.

    දේවල් කරන්න භූතයන්ගෙන් ලැබෙන බලය.—2ලේක 33:6.

  • මාර්ගය (පාර, මඟ).

    ශුද්ධ ලියවිල්ලේ මේ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ යෙහෝවා සතුටු වෙන විදිහට හෝ ඔහු අකමැති විදිහට වැඩ කරනවා එහෙම නැත්නම් හැසිරෙනවා කියන දේ පෙන්නන්න. යේසුස්ගේ අනුගාමිකයන් වුණ අයව හඳුන්වලා තියෙන්නේ ‘ස්වාමීන්ගේ මාර්ගයට’ අයිති අය විදිහටයි. ඒකෙන් අදහස් කළේ යේසුස් ගැන එයාලට තිබුණ විශ්වාසය නිසා එයාලා ඔහුව ආදර්ශයට අරන් ජීවත් වුණා කියලයි.—ක්‍රියා 19:9.

  • මැදිහත්කරු.

    දෙපිරිසක්ව සමාදාන කරන්න මැදිහත් වුණ කෙනෙක්. බයිබලයේ මෝසෙස්ව හඳුන්වන්නේ නීතික ගිවිසුමේ මැදිහත්කරු විදිහට. යේසුස්ව හඳුන්වන්නේ අලුත් ගිවිසුමේ මැදිහත්කරු විදිහට.—ගලා 3:19; 1තිමෝ 2:5.

  • මැසිඩෝනියාව.

    මහ ඇලෙක්සැන්ඩර්ගේ පාලනය යටතේ ප්‍රසිද්ධ වුණ, ග්‍රීසියට උතුරු පැත්තෙන් තිබුණ ප්‍රදේශයක්. රෝමවරුන් ඒ ප්‍රදේශය යටත් කරගන්න කල් ඒක තිබුණේ නිදහස් ප්‍රදේශයක් විදිහට. පාවුල් යුරෝපයේ සංචාරය කරපු මුල්ම අවස්ථාවේදී මැසිඩෝනියාව රෝම පාලනය යටතේ තිබුණ පළාතක්. පාවුල් මැසිඩෝනියාවට තුන් පාරක් ගියා. (ක්‍රියා 16:9)—උප. B13 බලන්න.

  • මික්ටැම්.

    ගීතාවලිය පොතේ ගීතිකා හයක පෙර සටහනේ සඳහන් කරලා තියෙන හෙබ්‍රෙව් වචනයක්. (ගීතා 16; 56–60) ඒකේ තේරුම හරියටම දන්නේ නැහැ. ඒත් “කොටපු වචන පෙළ” කියන අදහස තියෙන වචනයට සමාන අදහසක් ඒකට තියෙනවා කියලා හිතනවා.

  • මිදි යන්ත්‍රය (මිදි පාගන තැන).

    ස්වාභාවික හුණුගලක කපපු වළවල් දෙකක්. එක වළක් අනිත් එකට වඩා ටිකක් උඩින් තියෙන විදිහටයි ඒක හදන්නේ. ඒ වළවල් දෙක පොඩි කාණුවකින් සම්බන්ධ කරනවා. උඩින් තියෙන වළට මිදි දාලා පාගද්දී ඒ යුෂ පහළින් තියෙන වළට ගලාගෙන යනවා. දෙවියන්ගේ විනිශ්චයන් ගැන කතා කරද්දීත් මේ යෙදුම පාවිච්චි කරලා තියෙනවා.—යෙසා 5:2; එළි 19:15.

  • මිනී වළ.

    පුද්ගලයෙක්ව තැන්පත් කරන තැන නැත්නම් භූමදානය කරන තැන. මිය ගිය හැමෝගෙම තත්වය විස්තර කරන්නත් ඒ වචනය පාවිච්චි කරනවා. මිනී වළ විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ ෂෙයෝලය කියන හෙබ්‍රෙව් වචනය සහ හේදීසය කියන ග්‍රීක වචනය. කිසිම දෙයක් හිතන්නවත් කරන්නවත් බැරි තැනක් නැත්නම් තත්වයක් ගැන කියන්න බයිබලයේ ඒක සංකේතයක් විදිහට පාවිච්චි කරනවා.—උත් 47:30; දේශ 9:10; ක්‍රියා 2:31.

  • මිල්කොම්.

    අම්මොන්වරුන්ගේ දෙවියෙක්. මෝලෙක් දෙවියාට කියන තවත් නමක් වෙන්න ඇති. (1රාජා 11:5, 7) සලමොන්ගේ පාලනයේ අවසාන කාලයේදී එයා මේ බොරු දෙවියාට නමස්කාර කරන්න පූජනීය තැන් හැදුවා.—මෝලෙක් යටතේ බලන්න.

  • මීනා.

    එසකියෙල් පොතේ මෙනා විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒක කාසියක් වගේම බර මනින මිනුම් පඩියක්. පුරාවිද්‍යාඥයන් හොයාගෙන තියෙන සාක්ෂිවලට අනුව මීනා එකක් ෂෙකෙල් 50කට සමාන වුණා. ඒ වගේම ෂෙකෙලයක බර ග්‍රෑම් 11.4ක් වුණා. එහෙම බලද්දී හෙබ්‍රෙව් ලියවිලිවල සඳහන් වෙන මීනාවක බර ග්‍රෑම් 570ක් (අවු. 18.35ක්) වුණා. රජවරුන් පාවිච්චි කරපු වෙනම රියනක් තිබුණා වගේ එයාලා පාවිච්චි කරපු වෙනම මීනාවක් තිබුණා කියලා සමහරු හිතනවා. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ මීනාවක් ඩ්‍රැක්මා කාසි 100කට සමානයි. ඒකේ බර ග්‍රෑම් 340ක් (අවු. 10.9ක්) වුණා. මීනා 60ක් තලෙන්තයකට සමානයි. (එස්රා 2:69; ලූක් 19:13)—උප. B14 බලන්න.

  • මුද්‍රා තියන මුද්ද.

    මුද්දක් වගේ ඇඟිල්ලේ දාගෙන හිටපු මුද්‍රාවක්. එහෙම නැත්නම් ඒක පටියක දාලා බෙල්ලේ දාගෙන හිටියා. පාලකයෙක්ට හරි නිලධාරියෙක්ට හරි තියෙන බලතල ඒකෙන් පෙන්නුම් කළා. (උත් 41:42)—මුද්‍රාව යටතේ බලන්න.

  • මුද්‍රාව.

    අයිතිය හෝ බොරු දෙයක් නෙමෙයි කියලා පෙන්නන්න හෝ එකඟතාවකට ඇවිල්ලා කියලා පෙන්නන්න යම් දෙයක් (සාමාන්‍යයෙන් මැටි නැත්නම් ඉටි) උඩ ලකුණක් දාන්න පාවිච්චි කරන උපකරණයක්. අතීතයේ මුද්‍රා හැදුවේ ගල්, ඇත්දළ නැත්නම් ලීවල අකුරු හෝ වෙනත් රූප අනිත් පැත්තට කොටලයි. බයිබලයේ සමහර තැන්වල ඒක පාවිච්චි කරලා තියෙන්නේ සංකේතවත් අදහසක් දෙන්න. උදාහරණෙකට දෙයක් රහසක් විදිහට නැත්නම් හංගලා තියෙනවා කියලා පෙන්නන්න.—නික් 28:11; නෙහෙ 9:38; එළි 5:1; 9:4.

  • මුරකරු.

    සෙනඟකට, දේපළවලට වෙන්න පුළුවන් අනතුරුවලින් ආරක්ෂා කරන්න ඉන්න කෙනා. ගොඩක් වෙලාවට එයාට මේක කරන්න වෙන්නේ රාත්‍රියේදී. අනතුරක් දැක්කාම එයා අනතුරු ඇඟවීම් දෙනවා. නගරයකට එන අයව ඈත තියාම දකින්න පුළුවන් වෙන්න මුරකරුවන් හුඟක් වෙලාවට හිටියේ නගරේ පවුරුවල සහ මුරකොටුවල. හමුදාවේ මුරකරුවන් විදිහට සේවය කරපු අයව ආරක්ෂක භටයන් හෝ ආරක්ෂක නිලධාරීන් කියලා හැඳින්නුවා. අනාගතවක්තෘවරු ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් මුරකරුවන් විදිහට සේවය කළා. මොකද එයාලා එන්න යන විනාශයන් ගැන සෙනඟට අනතුරු ඇඟෙව්වා.—2රාජා 9:20; එස 3:17.

  • මුල්ම පල.

    අස්වැන්න නෙළන කාලයේදී නෙළාගන්න මුල්ම පලදාව, කරන යම් දෙයක මුලින්ම ලැබෙන ප්‍රතිඵලය නැත්නම් ලැබෙන මුල්ම දේ. ඊශ්‍රායෙල්වරු එයාලාගේ මුල්ම පල ඔහුට දෙයි කියලා යෙහෝවා බලාපොරොත්තු වුණා. ඒකට මිනිස්සු, සත්තු නැත්නම් අස්වැන්න ඇතුළත් වුණා. මුහුන් නොදැමූ රොටි උත්සවයේදීත් පෙන්තකොස්ත උත්සවයේදීත් ඊශ්‍රායෙල්වරු දෙවියන්ට මුල්ම පල ඔප්පු කළා. “මුල්ම පල” කියන යෙදුම ක්‍රිස්තුස්වයි, අභිෂේක ලත් ක්‍රිස්තියානීන්වයි හඳුන්වන්නත් පාවිච්චි කරලා තියෙනවා.—1කොරි 15:23; ගණන් 15:21; හිතෝ 3:9; එළි 14:4.

  • මුහුන්.

    පිටි පිපෙන්න නැත්නම් දියර පැසවන්න මිශ්‍ර කරන ද්‍රව්‍යයක්. ඒකෙන් විශේෂයෙන්ම අදහස් කළේ පිපුණ පිටි පිඩකින් ඉතුරු කරගත්ත පිටි ගුලියක්. බයිබලයේ ඒක හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ පාපය නැත්නම් පිළිකුල් කරවන දෙයක් ගැන කියන්නයි. ඇහැට පේන්නේ නැති, ඉක්මනින් වර්ධනය වෙන දෙයක් ගැන කියන්නත් ඒ වචනය යොදාගන්නවා.—නික් 12:20; මතෙ 13:33; ගලා 5:9.

  • මුහුන් නොදැමූ රොටි උත්සවය.

    ඊශ්‍රායෙල්වරු හැම අවුරුද්දකම සමරපු ප්‍රධාන උත්සව තුනෙන් පළවෙනි එක. ඒක පාස්කුවට පහුවෙනිදා ඒ කියන්නේ නීසාන් මාසේ 15වෙනිදා පටන් අරන් දවස් හතක් පුරා පැවැත්තුවා. ඒ කාලේ පුරාම එයාලට කන්න පුළුවන් වුණේ මුහුන් දාපු නැති රොටි විතරයි. එයාලා එහෙම කළේ ඊජිප්තුවෙන් බේරිලා ආපු එක සිහි කරන්නයි.—නික් 23:15; මාක් 14:1.

  • මෙරොදක්.

    බැබිලෝනිය නගරයේ ප්‍රධාන දෙවියා. බැබිලෝනියේ රජ සහ නීතිදායකයා වන හමුරාබි බැබිලෝනියාවේ අගනුවර විදිහට බැබිලෝනිය නගරය නම් කළා. ඊටපස්සේ තමයි මෙරොදක්ව (මාර්ඩුක්ව) බැබිලෝනියාවේ අය නමස්කාර කරපු දෙවිවරුන් අතරින් ප්‍රධානම දෙවියා විදිහට පිළිගත්තේ. පස්සේ කාලවලදී මෙරොදක් (මාර්ඩුක්) කියන නම වෙනුවට “බෙලූ” (“අයිතිකාරයා”) කියන පදවි නම පාවිච්චි කළා. සාමාන්‍යයෙන් මෙරොදක්ට බෙල් කියලත් කිව්වා.—යෙරෙ 50:2.

  • මෙසියස්.

    “අභිෂේක කරපු” නැත්නම් “අභිෂේක ලත් කෙනා” කියන අදහස දෙන හෙබ්‍රෙව් භාෂාවෙන් ආපු වචනයක්. මෙසියස් කියන්නේ ග්‍රීක භාෂාවෙන් ඇවිත් තියෙන “ක්‍රිස්තුස්” කියන වචනයට සමාන වචනයක්.—දානි 9:25; යොහ 1:41.

  • මේදියවරුන්; මේදිය.

    යාෆෙත්ගේ පුතා වුණ මාදයිගෙන් පැවතෙන අය. කඳුකර ප්‍රදේශයක් වුණ ඉරාන සානුවේ තමයි එයාලා පදිංචි වුණේ. පස්සේ කාලෙක ඒ ප්‍රදේශය මේදියාව විදිහට හැඳින්නුවා. මේදියවරුන් බැබිලෝනිවරුන් එක්ක එකතු වෙලා ඇසිරියාව පැරැද්දුවා. ඒ කාලයේදී පර්සියාව තිබුණේ මේදියාව යටතේ තිබුණ පළාතක් විදිහට. ඒත් සයිරස් එයාලට විරුද්ධව කැරලිගැහුවාට පස්සේ මේදියාවයි, පර්සියාවයි එකතු වෙලා මේද පර්සියානු අධිරාජ්‍යය බිහි වුණා. ඒ අධිරාජ්‍යය තමයි දෙවෙනියට පිහිටවපු බැබිලෝනිය අධිරාජ්‍යය ක්‍රි.පූ. 539දී පරාජය කළේ. පෙන්තකොස්ත 33දී මේදියවරුන් යෙරුසලමෙත් හිටියා. (දානි 5:28, 31; ක්‍රියා 2:9)—උප. B9 බලන්න.

  • මෝලෙක්.

    අම්මොන්වරුන්ගේ දෙවියෙක්. මල්කාම්, මිල්කොම් සහ මෝලොක් කියන්නෙත් මේ දෙවියාටම වෙන්න පුළුවන්. ඒක දෙවි කෙනෙක්ගේ නමක් වෙනුවට පදවි නමක් වෙන්නත් පුළුවන්. තමන්ගේ දරුවන්ව මෝලෙක්ට පූජා කරන හැම කෙනෙක්වම මරලා දාන්න කියලා මෝසෙස්ගේ නීතියේ කියලා තිබුණා.—ලෙවී 20:2; යෙරෙ 32:35; ක්‍රියා 7:43.

  • මෝලොක්.

    මෝලෙක් යටතේ බලන්න.

  • මෝසෙස්ට දීපු නීතිය.

    ක්‍රි.පූ. 1513දී සීනයි පාළුකරයේදී ඊශ්‍රායෙල් සෙනඟට මෝසෙස් මාර්ගයෙන් යෙහෝවා දීපු නීතිය. බයිබලයේ පළවෙනි පොත් පහ සාමාන්‍යයෙන් හඳුන්වන්නේ නීතිය විදිහටයි.—යොෂු 23:6; ලූක් 24:44.

  • යක්ෂයා.

    ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ සාතන්ව විස්තර කරන නමක්. ඒකේ තේරුම “අපහාස කරන්නා” කියන එකයි. යෙහෝවා ගැන බොරු චෝදනා එල්ල කරන සහ ඔහුගේ ශුද්ධ නමට, ඔහුගේ සත්‍ය වදන්වලට අපහාස කරන ප්‍රධානම කෙනා සාතන්. එහෙම කරපු මුල්ම කෙනාත් එයායි. එයාට යක්ෂයා කියන නම දීලා තියෙන්නේ ඒ නිසයි.—මතෙ 4:1; යොහ 8:44; එළි 12:9.

  • යාකොබ්.

    ඊසාක්ගේ සහ රෙබෙකාගේ පුතෙක්. පස්සේ කාලෙක යෙහෝවා එයාට ඊශ්‍රායෙල් කියන නම දුන්නා. එයාව ඊශ්‍රායෙල් සෙනඟගේ (ඊශ්‍රායෙල්වරු විදිහටත් පස්සේ යුදෙව්වන් විදිහටත් හැඳින්නුවා) පියා විදිහට සැලකුවා. එයාගේ පුතාලා 12දෙනාගෙනුයි, එයාලාගෙන් පැවතෙන අයගෙනුයි තමයි ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර 12 හැදුණේ. පස්සේ කාලෙක දිගටම යාකොබ් කියන නම ඊශ්‍රායෙල් ජාතියව නැත්නම් ඒ ජාතියට අයිති මිනිස්සුන්ව හඳුන්වන්න පාවිච්චි කළා.—උත් 32:28; මතෙ 22:32.

  • යුදෙව්.

    ගෝත්‍ර දහයේ ඊශ්‍රායෙල් රාජ්‍යය වැටිලා ගියාට පස්සේ යූදා ගෝත්‍රයට අයිති කෙනෙක්ව හඳුන්වපු විදිහ. (2රාජා 16:6) යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වුණාට පස්සේ ඊශ්‍රායෙල් දේශයට ආපහු ආපු විවිධ ගෝත්‍රවලට අයිති ඊශ්‍රායෙල්වරුන්වත් ඒ නමින් හැඳින්නුවා. (එස්රා 4:12) පස්සේ කාලෙක ඊශ්‍රායෙල්වරුන්ව වෙනත් ජාතීන්ගෙන් වෙන් කරලා හඳුන්වන්නත් ලෝකේ පුරාම ඒ වචනය පාවිච්චි කළා. (එස්ත 3:6) ක්‍රිස්තියානි සභාව තුළ කෙනෙක් අයිති වෙන්නේ මොන ජාතියටද කියන එක වැදගත් නැහැ කියලා පෙන්නලා දෙන්න පාවුල් ඒ වචනය උදාහරණෙකට ගත්තා.—රෝම 2:28, 29; ගලා 3:28.

  • යුධායුධ කට්ටලය.

    යුද්ධයට යන සෙබළුන් ආරක්ෂාවට පලඳින දේවල්. ඒකට හිස්වැස්මක්, යුද ඇඳුමක්, ඉණපටියක්, දණිස් ආවරණ සහ පලිහක් ඇතුළත්.—1සාමු 31:9; එෆී 6:13-17.

  • යුප්‍රටීස්.

    නිරිතදිග ආසියාවේ දිගම සහ වැදගත්ම ගංගාව. මෙසපොතේමියාවේ ප්‍රධාන ගංගා දෙකෙන් එකක්. ඒක ගැන මුලින්ම සඳහන් වෙන්නේ උත්පත්ති 2:14. ඒ, ඒදන් උයනේ තිබුණ ගංගා හතර ගැන කියද්දියි. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ ‘ගඟ’ කියලයි. (උත් 31:21) ඊශ්‍රායෙල්වරුන්ට දුන්න දේශයේ උතුරු සීමාව වුණෙත් යුප්‍රටීස් ගඟයි. (උත් 15:18; එළි 16:12)—උප. B2 බලන්න.

  • යූදා.

    යාකොබ්ට එයාගේ බිරිඳ වුණ ලෙයාගෙන් ලැබුණ හතරවෙනි පුතා. යාකොබ් මැරෙන්න ළං වෙලා ඉද්දී කියපු අනාවැකියේදී යූදාගේ පෙළපතින් හැමදාටම පාලනය කරන ශ්‍රේෂ්ඨ පාලකයෙක් එනවා කියලා එයා කිව්වා. යේසුස් මනුෂ්‍යයෙක් විදිහට මේ ලෝකෙට බිහි වුණේ යූදාගේ පෙළපතින්. යූදාගෙන් පැවතගෙන ආපු ගෝත්‍රයත් ගෝත්‍ර දෙකේ රාජ්‍යයත් හැඳින්නුවේ යූදා කියන නමින්. දකුණු රාජ්‍යය විදිහට හැඳින්නුව යූදා රාජ්‍යය හැදිලා තිබුණේ යූදා සහ බෙන්ජමින් කියන ගෝත්‍ර දෙකෙන්. ඒකට පූජකයන් සහ ලෙවීවරුනුත් ඇතුළත් වුණා. යූදාට අයිති වුණේ දේශයේ දකුණු පැත්ත. ඒකට යෙරුසලම සහ දේවමාලිගාව අයිති වුණා.—උත් 29:35; 49:10; 1රාජා 4:20; හෙබ්‍රෙ 7:14.

  • යෙදූතුන්.

    ගීතාවලිය 39, 62 සහ 77 පෙර සටහන්වල සඳහන් වෙන වචනයක්. ඒකේ තේරුම හරියටම දන්නේ නැහැ. පේන විදිහට ඒ පෙර සටහන්වල සඳහන් වෙන්නේ ගීතිකා ගායනා කරන්න ඕනෙ කරන මඟ පෙන්වීම්. සමහරවිට ගායනා කරන ශෛලිය නැත්නම් පාවිච්චි කරන්න ඕනෙ සංගීත භාණ්ඩය ඒකෙන් දැනුම් දෙන්න ඇති. යෙදූතුන් කියන නමින් ලෙවී ගෝත්‍රයට අයිති සංගීතඥයෙක් හිටියා. ඉතින් එයාටයි, එයාගේ පුතාලටයි ආවේණික ශෛලිය නැත්නම් සංගීත භාණ්ඩයක් ඒකෙන් අදහස් කරන්නත් ඇති.

  • යෙහෝවා.

    දෙවියන්ගේ නම සඳහන් කරලා තියෙන හෙබ්‍රෙව් අක්ෂර හතර සිංහලෙන් ලියන්නේ එහෙමයි. ඒ නම 7,000 වාරයකට වැඩියෙන් මේ පරිවර්තනයේ සඳහන් වෙනවා.—උප. A4 සහ A5 බලන්න.

  • රාජ යෂ්ටිය.

    පාලකයෙක්ට තියෙන බලය පෙන්නන්න එයා අතේ තියාගෙන ඉන්න සැරයටිය.—උත් 49:10; හෙබ්‍රෙ 1:8.

  • රාහබ්.

    යෝබ්, ගීතාවලිය සහ යෙසායා පොත්වල ඒ නම පාවිච්චි කරලා තියෙන්නේ සංකේතයක් විදිහට. (යොෂුවා පොතේ කතා කරලා තියෙන රාහබ් නෙමෙයි.) අවට පදවලින් තේරුම්ගන්න පුළුවන් යෝබ් පොතේ රාහබ් කියන්නේ දැවැන්ත මුහුදු සතෙක්ට කියලා. තවත් තැන්වල ඒ මුහුදු සතාගෙන් නියෝජනය කරන්නේ ඊජිප්තුව.—යෝබ් 9:13; ගීතා 87:4; යෙසා 30:7; 51:9, 10.

  • රියන.

    දිග පළල මනින මිනුමක්. දළ වශයෙන් වැලමිටේ ඉඳන් මැද ඇඟිල්ලේ උඩටම වෙන කල් තියෙන දිග. ඊශ්‍රායෙල්වරු සාමාන්‍යයෙන් පාවිච්චි කරපු රියනේ දිග සෙ.මී. 44.5ක් (අඟල් 17.5ක්) විතර වුණා. එයාලා ඊට වඩා දිග රියනකුත් පාවිච්චි කළා. ඒක සාමාන්‍ය රියනට වඩා අල්ලක් දිගයි. ඒකේ දිග සෙ.මී. 51.8ක් (අඟල් 20.4ක්) විතර වුණා. (උත් 6:15; ලූක් 12:25, පාදසටහන)—උප. B14 බලන්න.

  • රුවා.

    මේක හෙබ්‍රෙව් වචනයක්. ඒකේ ග්‍රීක වචනය තමයි නියුමා. හුඟක් බයිබල්වල ඒ වචන පරිවර්තනය කරලා තියෙන්නේ “ආත්මය” කියලයි. හැබැයි ඒක නිවැරදි පරිවර්තනයක් නෙමෙයි. ඒ වචන දෙකේ සරලම අදහස හුස්ම කියන එකයි. ඒ වගේම (1) හුළඟ, (2) පොළොවේ ඉන්න ජීවීන්ව ජීවත් කරන බලය නැත්නම් ජීවන හුස්ම, (3) කෙනෙක්ගේ හදවත නැඹුරු වෙන දේ සහ දෙයක් කියන්න හෝ කරන්න කෙනෙක්ව පොලඹවන දේ, (4) නොපෙනෙන කෙනෙක්ගෙන් ලැබෙන පණිවිඩ, (5) නොපෙනෙන ජීවීන් සහ (6) දෙවියන්ගේ බලයත් අදහස් වෙනවා. (නික් 35:21; ගීතා 104:29; මතෙ 12:43; ලූක් 11:13) ඒ නිසයි මේ පරිවර්තනයේ “රුවා” සහ “නියුමා” කියන වචන ඒ ඒ තැනට ගැළපෙන තේරුමට අනුව පරිවර්තනය කරලා තියෙන්නේ.

  • රූප; රූප නමස්කාරය.

    හිතින් මවාගත්ත නැත්නම් ඇත්තටම තියෙන ඕනෙම දේක හැඩේට නමස්කාර කරන්න හදපු පිළිමයක්. රූපයකට ගෞරව කරන එක, ආදරේ කරන එක, නමස්කාර කරන එක නැත්නම් භක්තියෙන් සලකන එකට තමයි රූප නමස්කාරය කියලා කියන්නේ.—ගීතා 115:4; ක්‍රියා 17:16; 1කොරි 10:14.

  • ලකුණ.

    කැපිලා පේන මොනවා හරි දෙයක්, ක්‍රියාවක්, සිද්ධියක්, අවස්ථාවක්, නැත්නම් අසාමාන්‍ය ප්‍රදර්ශනයක්. ඒක උදව් වෙනවා දැන් නැත්නම් අනාගතයේ වෙන දෙයක් අවබෝධ කරගන්න.—උත් 9:12, 13; 2රාජා 20:9; මතෙ 24:3; එළි 1:1.

  • ලාදුරු රෝගය.

    හමේ ඇති වෙන දරුණු රෝගයක්. බයිබලයේ සඳහන් වෙන ලාදුරු රෝගය අද අපි ලාදුරු කියලා හඳුන්වන රෝගයට සීමා වෙන්නේ නැහැ. මොකද බයිබලයේ කතා කරන ලාදුරු රෝගය මිනිස්සුන්ට විතරක් නෙමෙයි ඇඳුම්වලටත් ගෙවල්වලටත් බලපෑවා.—ලෙවී 14:54, 55; ලූක් 5:12.

  • ලිංගික දුරාචාරය.

    ග්‍රීක භාෂාවෙන් පාවිච්චි කරන්නේ පෝර්නියා කියන වචනයයි. දෙවියන් තහනම් කරලා තියෙන සමහර ලිංගික ක්‍රියාවන් ගැන කතා කරද්දී ශුද්ධ ලියවිල්ලේ ඒ වචනය පාවිච්චි කරලා තියෙනවා. ඒකට විවාහයෙන් පිට ලිංගික සම්බන්ධකම්, ගණිකා වෘත්තිය, විවාහ වෙලා නැති අය අතරේ සිද්ධ වෙන ලිංගික සම්බන්ධකම්, සමලිංගික සම්බන්ධකම් සහ සත්තු එක්ක ලිංගිකව හැසිරෙන එක ඇතුළත්. “මහ බැබිලෝනිය” කියලා හඳුන්වන ආගමික සංවිධාන බලය සහ ධන සම්පත් ලබාගන්න මේ ලෝකේ පාලකයන් එක්ක යාළුකම් පවත්වන විදිහ විස්තර කරන්නත් එළිදරව් පොතේ පාවිච්චි කරලා තියෙන්නේ මේ යෙදුම. මොකද එයා වැඩ කරන්නේ ගණිකාවක් වගේ. (එළි 14:8; 17:2; 18:3; මතෙ 5:32; ක්‍රියා 15:29; ගලා 5:19)—ගණිකාව යටතේ බලන්න.

  • ලියවිල්ල.

    සත්ව හම්වලින් නැත්නම් පැපිරස්වලින් හදලා තිබුණ දිග කඩදාසියක් වගේ දෙයක්. සාමාන්‍යයෙන් ඒක පොඩි පොල්ලක ඔතලයි තිබුණේ. ඒකේ එක පැත්තක විතරයි ලිව්වේ. දෙවියන්ගේ වචනය ලිව්වෙත් ඒවා පිටපත් කළෙත් මේ වගේ ලියවිලි පාවිච්චි කරලයි. ඒවා තමයි බයිබලය ලියපු කාලේ සාමාන්‍යයෙන් ලියන්න පාවිච්චි කළේ.—යෙරෙ 36:4, 18, 23; ලූක් 4:17-20; 2තිමෝ 4:13.

  • ලෙප්ටන්.

    ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල ලියපු කාලේ යුදෙව්වන් පාවිච්චි කරපු පොඩිම කාසිය. ඒක හදලා තිබුණේ තඹවලින් නැත්නම් ලෝකඩවලින්. බයිබල් පරිවර්තන කීපයක ඒක හඳුන්වලා තියෙන්නේ “පොඩි කාසියක්” විදිහට. (මාක් 12:42; ලූක් 21:2; පාදසටහන්.)—උප. B14 බලන්න.

  • ලෙබනොන් කඳුවැටිය.

    ලෙබනොන්වල තියෙන කඳුවැටි දෙකෙන් එකක්. ලෙබනොන් කඳුවැටිය තියෙන්නේ බස්නාහිර පැත්තේ. ලෙබනොන්වලට විරුද්ධ පැත්තේ තියෙන කඳුවැටිය (ඇන්ටිලෙබනොන්) තියෙන්නේ නැඟෙනහිර පැත්තේ. ඒ කඳුවැටි දෙක අතරේ සෑහෙන දුරක් යන කල් සරුසාර නිම්නයක් දකින්න තියෙනවා. මධ්‍යධරණී වෙරළ තීරය එක්කම තමයි ලෙබනොන් කඳුවැටිය පටන්ගන්නේ. ඒකේ උසම තැන් මීටර් 1,800ත් 2,100ත් (අඩි 6,000ත් 7,000ත්) අතර වෙනවා. අතීතයේදී ලෙබනොන් දේවදාර ගස්වලින් වැහිලා තිබුණා. ඒවා හුඟක් වටින නිසා ඒ අවට හිටපු ජාතීන් අතරේ ඒවාට ලොකු ඉල්ලුමක් තිබුණා. (ද්වි 1:7; ගීතා 29:6; 92:12)—උප. B7 බලන්න.

  • ලෙවී; ලෙවීවරුන්.

    යාකොබ්ට එයාගේ බිරිඳ වුණ ලෙයාගෙන් ලැබුණ තුන්වෙනි පුතා. එයාගෙන් පැවතගෙන ආපු ගෝත්‍රය හැඳින්නුවෙත් ඒ නමින්. ලෙවීවරුන් අතරේ තිබුණ ප්‍රධාන කණ්ඩායම් තුන පැවතගෙන ආවේ එයාගේ පුතාලා තුන්දෙනාගෙන්. සමහර අවස්ථාවලදී “ලෙවීවරුන්” කියන වචනය පාවිච්චි කරන්නේ මුළු ගෝත්‍රයේම ඉන්න අය ගැන කියන්නයි. හැබැයි සාමාන්‍යයෙන් ලෙවීවරුන් කිව්වාම ඒකට ආරොන්ගේ පවුලෙන් පැවතගෙන ආපු පූජකයන් ඇතුළත් වුණේ නැහැ. ලෙවී ගෝත්‍රයට උරුමයක් විදිහට පොරොන්දු දේශයේ ඉඩම් ලැබුණේ නැහැ. ඒත් අනිත් ගෝත්‍රවලට අයිති ප්‍රදේශවල තිබුණ නගර 48ක් එයාලට දීලා තිබුණා.—ද්වි 10:8; 1ලේක 6:1; හෙබ්‍රෙ 7:11.

  • ලෙවීයාතන්.

    පේන විදිහට ජලයේ ජීවත් වුණ සතෙක්. සමහරවිට යෝබ් 3:8 සහ 41:1 ඒ වචනය පාවිච්චි කරනවා ඇත්තේ කිඹුලා එහෙමත් නැත්නම් හරිම ශක්තිමත්, විශාල වෙනත් සතෙක් ගැන කියන්න වෙන්න ඇති. ගීතාවලිය 104:26 ඒකෙන් අදහස් කරන්නේ තල්මහෙක් වෙන්න පුළුවන්. වෙනත් පදවල ඒ වචනය සංකේතයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා ඒකෙන් එක සතෙක් ගැන විතරක් කියනවා කියලා කියන්න බැහැ.—ගීතා 74:14; යෙසා 27:1.

  • ලොග්.

    බයිබලයේ සඳහන් වෙන පොඩිම දියර මිනුම. යුදෙව් තල්මුඩයට අනුව ලොග් එකක් කියන්නේ හින මිනුම් 1/12ක්. ඒ මිනුමට අනුව බලද්දී ලොග් එකකට ලීටර් 0.31ක් අල්ලනවා. (ලෙවී 14:10, පාදසටහන)—උප. B14 බලන්න.

  • වධකණුව.

    ස්ටාව්රොස් කියන ග්‍රීක වචනයේ තේරුම කෙළින් හිටවපු කණුව කියන එකයි. යේසුස්ව මැරුවේ ඒ වගේ කණුවක. යේසුස්ගේ කාලෙට සියවස් ගාණකට කලින් වෙනත් ආගම්වල හිටපු අය ආගමික සංකේතයක් විදිහට පාවිච්චි කරපු කුරුසය ඒ ග්‍රීක වචනයෙන් අදහස් කළා කියන්න කිසිම සාක්ෂියක් නැහැ. ඒ වචනය “වධකණුව” කියලා පරිවර්තනය කරන එකෙන් තමයි මුල් භාෂාවේ අදහස හරියටම එන්නේ. මොකද යේසුස්ගේ අනුගාමිකයන් වධ වේදනාවලට, හිංසාවලට සහ ලැජ්ජාවට මුහුණ දෙනවා කියද්දී පාවිච්චි කරලා තියෙන්නෙත් ස්ටාව්රොස් කියන ග්‍රීක වචනයම තමයි. (මතෙ 16:24; හෙබ්‍රෙ 12:2)—කණුව යටතේ බලන්න.

  • වන්දිය.

    වහල්කමින්, දඬුවමකින්, වේදනාවකින්, පාපයෙන් නැත්නම් දෙන්න බැඳිලා ඉන්න දේකින් නිදහස් වෙන්න ගෙවන දෙයක්. ඒ ගෙවන දේ හැම තිස්සේම සල්ලි නෙමෙයි. (යෙසා 43:3) වන්දියක් දෙන එක විවිධ අවස්ථාවලදී අත්‍යවශ්‍ය දෙයක් වුණා. උදාහරණෙකට ඊශ්‍රායෙල්වරුන්ට අයිති හැම කුලුඳුල් පුතෙක්ම සහ සතෙක්ම අයිති වුණේ යෙහෝවාට. යෙහෝවාගේ සේවය වෙනුවෙන්ම වෙන් කරලා තිබුණ එයාලවයි, ඒ සතුන්වයි නිදහස් කරන්න වන්දියක් නැත්නම් වන්දි මුදලක් ගෙවන්න වුණා. (ගණන් 3:45, 46; 18:15, 16) ගවයෙක් නිදැල්ලේ ගිහින් කාව හරි මැරුවොත් උගේ අයිතිකරුට මරණ දඬුවම නියම වෙනවා. ඒකෙන් නිදහස් වෙන්න නම් නියම කරන වන්දිය අයිතිකරු ගෙවන්න ඕනේ. (නික් 21:29, 30) ඒත් හිතාමතාම තව කෙනෙක්ව මරන කෙනෙක්ට වන්දියක් ගෙවලා නිදහස් වෙන්න බැහැ. (ගණන් 35:31) බයිබලයේ විශේෂයෙන්ම කතා කරන වන්දිය තමයි දෙවියන්ට කීකරු වෙන මිනිස්සුන්ව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කරන්න ක්‍රිස්තුස් තමන්ගේ ජීවිතය පූජා කරලා ගෙවපු වන්දිය.—ගීතා 49:7, 8; මතෙ 20:28; එෆී 1:7.

  • වන්දි පූජාව.

    කෙනෙක් තමන් අතින් වුණ වරදකට ඔප්පු කරපු පූජාවක්. වෙනත් පාප පූජාවලට වඩා ඒක ටිකක් වෙනස්. සමහර වෙලාවට කෙනෙක්ගේ අතින් වුණ වරදක් නිසා ගිවිසුමකට සම්බන්ධ අයිතීන් එයාට අහිමි වුණා. ඒත් වන්දි පූජාවක් ඔප්පු කරලා ඒ අයිතීන් ආයෙත් ලබාගන්නත් ලැබෙන දඬුවමින් නිදහස් වෙන්නත් එයාට පුළුවන් වුණා.—ලෙවී 7:37; 19:22; යෙසා 53:10.

  • වරද.

    දීලා තියෙන නීතියක් කඩ කරන එක. බයිබලයේ මේ වචනය පාවිච්චි කරලා තියෙන්නේ “පාපය” කියන එකට සමාන වචනයක් විදිහටයි.—ගීතා 51:3; රෝම 5:14.

  • වසංගත.

    වේගයෙන් පැතිරෙන, මාරාන්තික රෝග. හුඟක් වෙලාවට ඒක දෙවියන් දෙන දඬුවමකට සම්බන්ධයි.—ගණන් 14:12; එස 38:22, 23; ආමො 4:10.

  • වහල්කමට අරන් යන එක; පිටුවහල් කිරීම.

    කෙනෙක්ව තමන්ගේ ගෙදරින්, මව්රටින් පිටමං කරන එක. සාමාන්‍යයෙන් රටක් අල්ලගත්ත අය තමයි එහෙම කරන්න කියලා නියෝග කළේ. හෙබ්‍රෙව් වචනයේ තේරුම “පිට වෙලා යන එක.” අවස්ථා දෙකකදී ඊශ්‍රායෙල්වරුන්ව මහා පරිමාණයෙන් පිටුවහල් කළා. මුලින්ම ගෝත්‍ර දහයේ උතුරු රාජ්‍යයට අයිති අයව ඇසිරියානුවන් පිටුවහල් කළා. ඊටපස්සේ ගෝත්‍ර දෙකේ දකුණු රාජ්‍යයට අයිති අයව බැබිලෝනිවරුන් පිටුවහල් කළා. වහල්කමට අරන් ගිය ඒ දෙපිරිසගෙන් සුළු පිරිසක්ව පර්සියානු පාලකයා වුණ සයිරස් ආයෙත් එයාලාගේ දේශයට යැව්වා.—2රාජා 17:6; 24:16; එස්රා 6:21.

  • වැඩිමහල්ලා.

    වයසින් වැඩි කෙනෙක්. ඒත් ශුද්ධ ලියවිල්ලේ ඒක වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ජාතියක් නැත්නම් පිරිසක් අතරේ අධිකාරියක් සහ වගකීමක් දරන කෙනෙක් ගැන කියන්නයි. එළිදරව් පොතේ ස්වර්ගයේ ඉන්න අය ගැන කතා කරද්දීත් ඒ වචනය පාවිච්චි කරලා තියෙනවා. සභාවේ පෙරමුණ අරන් වැඩ කරන අය ගැන සඳහන් කරද්දී ප්‍රෙස්බිටෙරොස් කියන ග්‍රීක වචනය පරිවර්තනය කරලා තියෙන්නේ “වැඩිමහල්ලා” විදිහටයි.—නික් 4:29; හිතෝ 31:23; 1තිමෝ 5:17; එළි 4:4.

  • වැලපෙන එක.

    කාගේ හරි මරණයක් නිසා එහෙමත් නැත්නම් විපතක් නිසා දැනෙන දුක පෙන්නන විදිහක්. බයිබලය ලියපු කාලේදී යම් කාලයක් පුරා වැලපෙන එක සිරිතක් වෙලා තිබුණා. ඒකට හයියෙන් අඬන එක, විශේෂ ඇඳුම් අඳින එක, ඔළුවට අළු දාගන්න එක, ඇඳුම් ඉරාගන්න එක සහ පපුවට ගහගන්න එක ඇතුළත් වුණා. මළ ගෙවල්වලට ගිහින් කුලියට හඬා වැලපෙන අයත් හිටියා. සමහර අවස්ථාවලදී මළ ගෙවල්වලට ඒ වගේ අයට ආරාධනා කළා.—උත් 23:2; එස්ත 4:3; එළි 21:4.

  • විනිශ්චයකරුවන්.

    ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කරන්න රජවරුන්ව පත් කරන්න කලින් එයාලව සතුරන් අතින් බේරගන්න දෙවියන් පත් කරපු පුරුෂයන්.—විනි 2:16.

  • විනිශ්චය දවස.

    කණ්ඩායම්වලට, ජාතීන්ට නැත්නම් පොදුවේ මිනිස්සුන්ට තමන් කරපු දේවල් ගැන දෙවියන්ට වග කියන්න වෙන නිශ්චිත දවසක් නැත්නම් කාලයක්. සමහරවිට ඒ කාලේදී මරණයට සුදුස්සන් විදිහට විනිශ්චය ලබන අයව විනාශ කරලා දායි. එහෙම නැත්නම් සමහරුන්ට එයාලාගේ ජීවිත ගලවගෙන හැමදාටම ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙයි. යේසුස් ක්‍රිස්තුස් සහ ඔහුගේ නියෝජිතයන් ඉස්සරහට එන “විනිශ්චය දවස” ගැන කතා කළා. ජීවත් වෙලා ඉන්න අයව විතරක් නෙමෙයි මැරුණ අයවත් ඒ කාලේදී විනිශ්චය කරනවා.—මතෙ 12:36.

  • විනිශ්චයාසනය.

    සාමාන්‍යයෙන් ඒක එළිමහනේ තිබුණ උස වේදිකාවක්. ඒකට යන්න පඩි පෙළක් හදලා තිබුණා. බලධාරීන් ඒකේ ඉඳගෙන සෙනඟට කතා කළා. එයාලා ගත්ත තීරණ දැනුම් දුන්නා. “දෙවියන්ගේ විනිශ්චයාසනය” සහ “ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය” කියන යෙදුම්වලින් සංකේතවත් කරන්නේ මිනිස්සුන්ව විනිශ්චය කරන්න දෙවියන් ඇති කරලා තියෙන සැලැස්මයි.—රෝම 14:10, පාදසටහන; 2කොරි 5:10; යොහ 19:13.

  • වියගහ.

    කෙනෙක්ගේ උරහිස මත තියලා තිබුණ පොල්ලක්. ඒකේ කෙළවරවල් දෙකේ බඩු එල්ලලා තිබුණා. එහෙම නැත්නම් එකට බැඳලා හිටපු සත්තු (සාමාන්‍යයෙන් හරක්) දෙන්නෙක්ගේ කර උඩින් තියපු ලීයක් නැත්නම් ලී රාමුවක්. උන්ගේ කරේ තිබුණ ඒ ලීයේ හෝ ලී රාමුවේ උදව්වෙන් තමයි කෙත්වල වැඩවලට පාවිච්චි කරපු උපකරණ හෝ කරත්ත උන් ඇදගෙන ගියේ. වහලුන් බර දේවල් උස්සගෙන යන්න හුඟක් වෙලාවට වියගස් පාවිච්චි කරපු නිසා වහල්කමට යන එක, තව කෙනෙක්ට යටත් වෙන එක, දුක් පීඩා විඳින එක විස්තර කරන්න වියගහ කියන යෙදුම පාවිච්චි කරලා තියෙනවා. වියගහ අයින් කරනවා, කඩලා දානවා කියද්දී වහල්කමෙන්, දුක් පීඩාවලින් සහ බලෙන් වැඩ ගන්න එකෙන් නිදහස් වෙනවා කියන දේ අදහස් වෙනවා.—ලෙවී 26:13; මතෙ 11:29, 30.

  • වියත.

    අතේ ඇඟිලි දිග ඇරගෙන ඉද්දී මාපටැඟිල්ලේ ඉඳලා පොඩි ඇඟිල්ල වෙන කල් තියෙන දුර. සෙ.මී. 44.5ක රියනකට අනුව වියතක දිග සෙ.මී. 22.2ක් (අඟල් 8.75ක්). (නික් 28:16; 1සාමු 17:4)—උප. B14 බලන්න.

  • වේශ්‍යාකම.

    ලිංගික දුරාචාරය යටතේ බලන්න.

  • ශාපය.

    යම් කෙනෙක්ට තර්ජනය කරන එක නැත්නම් යම් කෙනෙක්ට, දේකට නරකක් වෙන්න කියලා කියන එක. අසභ්‍ය වචන පාවිච්චි කරන එකවත් දරුණු විදිහට කේන්තිය පිට කරන එකවත් ඒකෙන් අදහස් කළේ නැහැ. සාමාන්‍යයෙන් ශාපයක් කළේ නරකක් වෙන්න යනවා කියන දේ දැනුම් දෙන්නයි. ශාපයක් කරන්නේ දෙවියන් එහෙමත් නැත්නම් අධිකාරියක් තියෙන වෙනත් කෙනෙක් නම් ඒක සාමාන්‍ය ශාපයකට වඩා බරපතළයි කියලත් ඒක අනාගතයේදී අනිවාර්යයෙන්ම වෙනවා කියලත් ඒකෙන් අදහස් වෙනවා.—උත් 12:3; ගණන් 22:12; ගලා 3:10.

  • ශාස්ත්‍ර කියන කෙනා.

    අනාගතයේදී වෙන්න යන දේවල් තමන්ට කියන්න පුළුවන් කියලා කියන කෙනෙක්. මන්තර ගුරුකම් කරන පූජකයන්, පේන කියන අය, ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයන් සහ ඒ වගේ වෙනත් අයව බයිබලයේ ඒ විදිහට හඳුන්වලා තියෙනවා.—ලෙවී 19:31; ද්වි 18:11; ක්‍රියා 16:16.

  • ශුද්ධ; ශුද්ධකම.

    යෙහෝවා තුළ දකින්න තියෙන ගතිලක්ෂණයක්. කරන, කියන, හිතන කිසිම දේක දෝෂයක් නැති, හැම අතින්ම පවිත්‍ර කියන අදහස ඒකට ඇතුළත්. (නික් 28:36; 1සාමු 2:2; හිතෝ 9:10; යෙසා 6:3) ශුද්ධ කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනය මිනිස්සු (නික් 19:6; 2රාජා 4:9, පාදසටහන), සත්තු (ගණන් 18:17), දේවල් (නික් 28:38; 30:25; ලෙවී 27:14), තැන් (නික් 3:5; යෙසා 27:13), කාලවල් (නික් 16:23; ලෙවී 25:12) සහ කරන දේවල් (නික් 36:4) ගැන කියන්නත් පාවිච්චි කරනවා. ඒ වචනය පාවිච්චි කරලා තියෙන්නේ ඒවා වෙන් කරලා තියෙනවා, විශේෂයි එහෙම නැත්නම් ශුද්ධ දෙවියන්ට හරි ඔහුගේ සේවය වෙනුවෙන් හරි කැප කරලා තියෙනවා කියලා පෙන්නන්නයි. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලෙත් ඒ වචන දෙක පාවිච්චි කරන්නේ දෙවියන්ට කැප කරලා තියෙනවා කියන අදහස දෙන්නයි. ඒ වගේම කෙනෙක්ගේ හැසිරීම නිර්මලයි, පවිත්‍රයි කියලා කියන්නත් ඒ වචන පාවිච්චි කරනවා.—ක්‍රියා 3:21; 2කොරි 7:1; 1පේතෘ 1:15, 16.

  • ශුද්ධ කූඩාරම.

    ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවෙන් නිදහස් වෙලා ආවාට පස්සේ නමස්කාර වැඩ වෙනුවෙන් පාවිච්චි කරපු කූඩාරම. ඒක තැනින් තැනට ගෙනියන්න පුළුවන් විදිහටයි හදලා තිබුණේ. යෙහෝවාගේ ගිවිසුම් පෙට්ටිය තියලා තිබුණේ ඒක ඇතුළේ. ගිවිසුම් පෙට්ටියෙන් දෙවියන් එයාලත් එක්ක ඉන්නවා කියලා නියෝජනය වුණා. ශුද්ධ කූඩාරම තියලා තිබුණ තැන තමයි පූජා ඔප්පු කරන්නත් නමස්කාර වැඩ කරන්නත් පාවිච්චි කළේ. සමහර අවස්ථාවලදී ඒක “හමු වීමේ කූඩාරම” විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒක හදලා තිබුණේ ලී රාමු එකට හිටවලා කෙරුබ්වරුන්ගේ රූප මහලා තිබුණ ලිනන් රෙදිවලින් ඒවා ආවරණය කරලයි. ඒ කූඩාරම කොටස් දෙකකට බෙදලා තිබුණා. පළවෙනි එකට කිව්වේ ශුද්ධස්ථානය කියලයි. දෙවෙනි එක අතිශුද්ධස්ථානය. (යොෂු 18:1; නික් 25:9)—උප. B5 බලන්න.

  • ශුද්ධ රොටි.

    පූජා කරන රොටි යටතේ බලන්න.

  • ශුද්ධ ලියවිල්ල.

    දේවවචනය විදිහට සලකන ලියවිලි. මේ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ විතරයි.—ලූක් 24:27; 2තිමෝ 3:16.

  • ශුද්ධස්ථානය.

    නමස්කාරය වෙනුවෙන් වෙන් කරපු ශුද්ධ තැනක්. හුඟක් වෙලාවට ඒකෙන් අදහස් කළේ ශුද්ධ කූඩාරම නැත්නම් යෙරුසලමේ තිබුණ දේවමාලිගාව. දෙවියන් ඉන්න ස්වර්ගය විස්තර කරන්න ඒ වචනය පාවිච්චි කරනවා. (නික් 25:8, 9; 2රාජා 10:25; 1ලේක 28:10; එළි 11:19) ඒ වගේම ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ දකින්න තිබුණ මුල්ම සහ ලොකුම කාමරයටත් ශුද්ධස්ථානය කියලා කිව්වා. ඒක ඇතුළටම වෙන්න තිබුණ අතිශුද්ධස්ථානයෙන් වෙන් කරලයි තිබුණේ. රන් පහන් රුකත් සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන රන් පූජාසනයත් පූජා කරන රොටි තියපු මේසයත් රන් භාණ්ඩත් ශුද්ධ කූඩාරමේ ශුද්ධස්ථානයේ තියලා තිබුණා. රන් පූජාසනයත් රන් පහන් රුක් දහයත් පූජා කරන රොටි තියපු මේස දහයත් දේවමාලිගාවේ ශුද්ධස්ථානයේ තියලා තිබුණා. (නික් 26:33; හෙබ්‍රෙ 9:2)—උප. B5 සහ B8 බලන්න.

  • ශුභාරංචිය.

    ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ ඒ වචනය පාවිච්චි කරන්නේ දෙවියන්ගේ රාජ්‍යය ගැනත් යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන අයට ලැබෙන ගැලවීම ගැනත් කියන ශුභාරංචිය විස්තර කරන්නයි.—ලූක් 4:18, 43; ක්‍රියා 5:42; එළි 14:6.

  • ශෝක ගීය.

    විලාප ගීයක්. ඒ කියන්නේ යාළුවෙක්ගේ නැත්නම් ආදරේ කරන කෙනෙක්ගේ මරණය නිසා දැනෙන දුක ප්‍රකාශ කරන්න රචනා කරපු ගීතයක් නැත්නම් ගී තනුවක්.—2සාමු 1:17; ගීතා 7:පෙ.ස.

  • ෂීව්.

    යුදෙව් ආගමික දිනදර්ශනයේ දෙවෙනි මාසෙට සහ යුදෙව් සාමාන්‍ය දිනදර්ශනයේ අටවෙනි මාසෙට මුලින් දීපු නම. ඒක වැටෙන්නේ අප්‍රියෙල් මැද ඉඳලා මැයි මැද වෙන කල්. යුදෙව් තල්මුඩයේ සහ බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ ලියපු පොත්වල ඒ මාසේ හඳුන්වලා තියෙන්නේ ඊයාර් කියලා. (1රාජා 6:37)—උප. B15 බලන්න.

  • ෂෙකෙල්.

    හෙබ්‍රෙව්වරු බර මනින්න සම්මතයක් විදිහට පාවිච්චි කරපු මිනුම. ඒක මුදල් විදිහටත් පාවිච්චි කළා. ෂෙකෙලයක බර ග්‍රෑම් 11.4යි. ‘ශුද්ධස්ථානයේ තියෙන ෂෙකෙලය’ තමයි නිවැරදි බර විදිහට සැලකුවේ. රජමාලිගාවෙත් සම්මත ෂෙකෙලයක් තියෙන්න ඇති. ඒක සාමාන්‍ය ෂෙකෙලයට වඩා වෙනස්.—නික් 30:13.

  • ෂෙබට්.

    බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ යුදෙව් ආගමික දිනදර්ශනයේ 11වෙනි මාසෙට සහ සාමාන්‍ය දිනදර්ශනයේ 5වෙනි මාසෙට දීපු නම. ඒක වැටෙන්නේ ජනවාරි මැද ඉඳන් පෙබරවාරි මැද වෙන කල්. (සෙක 1:7)—උප. B15 බලන්න.

  • ෂෙමිනිත්.

    සංගීතයේ පාවිච්චි කරන වචනයක්. ඒකේ තේරුම “අටවෙනි” කියන එකයි. ඒකෙන් අදහස් කරන්නේ පහළ ස්වරයක් වෙන්න පුළුවන්. වාදනය කරද්දී ඒ වචනයෙන් ඇඟෙව්වේ පහළ ස්වරයකින් වාදනය කරන්න ඕනෙ කියලයි. ගීත ගායනා කරන අයට ඒ වචනයෙන් ඇඟෙව්වේ පහළ ස්වරයකින් ගීතය කියන්න ඕනෙ කියලයි. ඒකත් එක්ක වාදනය කරන සංගීතයත් පහළ ස්වරවලින් තිබුණා.—1ලේක 15:21, පාදසටහන; ගීතා 6:පෙ.ස.; 12:පෙ.ස.

  • ෂෙයෝලය.

    ග්‍රීක භාෂාවේ හේදීසය කියන වචනයට සමාන හෙබ්‍රෙව් වචනයක්. ඒක පරිවර්තනය කරලා තියෙන්නේ “මිනී වළ” විදිහටයි.—උත් 37:35; ගීතා 16:10; ක්‍රියා 2:31.

  • සංගීත අධ්‍යක්ෂක.

    පේන විදිහට ගීතාවලිය පොතේ මේ හෙබ්‍රෙව් යෙදුම පාවිච්චි කරන්නේ ගීත පෙළගස්සපු, ඒවා ගායනා කරන එක අධීක්ෂණය කරපු, ලෙවීවරුන් අතරේ හිටපු ගායකයන්ව පුහුණු කරපු සහ විශේෂ අවස්ථාවලදී සංගීත කණ්ඩායම මෙහෙයවපු කෙනාව හඳුන්වන්නයි. වෙනත් පරිවර්තනවල මේ යෙදුම “අධ්‍යක්ෂක” නැත්නම් “නායක වාද්‍යකරු” විදිහට පරිවර්තනය කරලා තියෙනවා.—ගීතා 4:පෙ.ස.; 5:පෙ.ස.

  • සද්දුසිවරු.

    යුදෙව් ආගමේ කැපීපෙනුණ නිකායක්. පොහොසත්, රදල කුලයට අයිති අය වගේම පූජකයන් ඒ නිකායේ හිටියා. දේවමාලිගාවේ කරපු වැඩවලට එයාලා ගොඩක් බලපෑම් කළා. පරිසිවරුන්ගේ චාරිත්‍ර සහ එයාලාගේ වෙනත් විශ්වාසයන් සද්දුසිවරු පිළිගත්තේ නැහැ. නැවත නැඟිටීම ගැනවත් දේවදූතයන් ගැනවත් එයාලා විශ්වාස කළේ නැහැ. එයාලා යේසුස්ට විරුද්ධ වුණා.—මතෙ 16:1; ක්‍රියා 23:8.

  • සබත.

    හෙබ්‍රෙව් වචනයක්. ඒකේ තේරුම “විවේක ගන්නවා” කියන එකයි. ඒ දවස යුදෙව් සතියේ හත්වෙනි දවසයි. (සිකුරාදා ඉර බහින වෙලාවේ ඉඳන් සෙනසුරාදා ඉර බහින වෙලාව වෙන කල්.) අවුරුද්දේ අනිත් උත්සව දවස් වගේම 7වෙනි සහ 50වෙනි අවුරුදු සබත් විදිහට හඳුන්වලා තියෙනවා. සබත් දවසේදී දේවමාලිගාවේ කරන සේවාවන් ඇරෙන්න වෙන කිසිම වැඩක් කරන්න බැහැ. සබත් අවුරුද්දේදී දේශයේ කිසිම වගා කටයුත්තක් කරන්න බැහැ. ඒ වගේම හෙබ්‍රෙව් ජාතිකයෙක් ණය අරන් තියෙනවා නම් ඒක ගෙවන්න කියලා ඒ අවුරුද්දේදී බල කරන්න බැහැ. මෝසෙස්ගේ නීතියෙන් සබත් දවසේ වළකින්න කියලා කියපු දේවල් සාධාරණයි. ඒත් ආගමික නායකයන් ඒ නීතියට තව තව නීති එකතු කළා. ඒ නිසා යේසුස්ගේ කාලේ වෙද්දී සබත පවත්වන එක සෙනඟට අමාරු දෙයක් වුණා.—නික් 20:8; ලෙවී 25:4; ලූක් 13:14-16; කොලො 2:16.

  • සභාව.

    යම් අරමුණක් වෙනුවෙන් නැත්නම් යම් වැඩක් කරන්න එකතු වෙලා ඉන්න පිරිසක්. හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල ඊශ්‍රායෙල් ජාතිය හඳුන්වන්න ඒ වචනය පාවිච්චි කරනවා. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ, එක එක පැතිවල තිබුණ ක්‍රිස්තියානි සභාවන් ගැන කියන්නත් ඒක පාවිච්චි වෙනවා. ඒත් ඒක වැඩියෙන්ම පාවිච්චි කරන්නේ පොදුවේ ක්‍රිස්තියානීන් හැමෝවම හඳුන්වන්නයි.—1රාජා 8:22; ක්‍රියා 9:31; රෝම 16:5.

  • සභාව රැකබලා ගන්න කෙනා.

    එපිස්කොපොස් කියන ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ ආරක්ෂාවක් ලබා දෙන අරමුණින් කරන අධීක්ෂණයක්. ඒ වගකීම තමයි ක්‍රිස්තියානි සභාවේ “වැඩිමහල්ලෙක්ට” තියෙන්නෙත්. පත් කරපු කෙනෙක්ව “වැඩිමහල්ලෙක්” (ප්‍රෙස්බිටෙරොස්) කියලා හඳුන්වද්දී ඒකෙන් පෙන්නන්නේ අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්ට තියෙන ගතිගුණ එයාට තියෙනවා කියලා. “සභාව රැකබලා ගන්න කෙනෙක්” කියලා කියද්දී ඒකෙන් පෙන්නන්නේ ඒ පත්වීමත් එක්ක එයාට ලැබෙන වගකීම්.—ක්‍රියා 20:28; 1තිමෝ 3:2-7; 1පේතෘ 5:2.

  • සමඟි වෙන දවස.

    ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ දවස් අතරින් වැදගත්ම දවස. ඒ දවස ‘යොම් කිපූර්‘ කියලත් හැඳින්නුවා. (ඒ වචනය ඇවිත් තියෙන්නේ “ආවරණ කරන දවස” කියන අර්ථය තියෙන යොම් හක්කිපූරිම් කියන හෙබ්‍රෙව් වචනයෙන්.) ඒක පවත්වන්නේ ඒතානිම් 10වෙනිදා. ඒ දවසේදී ඊශ්‍රායෙල්වරු ශුද්ධ එක්රැස්වීමක් පැවැත්තුවා වගේම නිරාහාරව හිටියා. ඒක සබත් දවසක් වුණ නිසා එයාලා එදිනෙදා කරපු වැඩ එදාට කළේ නැහැ. (ලෙවී 23:27, 28) ශුද්ධ කූඩාරමේ සහ පස්සේ කාලෙක දේවමාලිගාවේ තිබුණ අතිශුද්ධස්ථානයට උත්තම පූජකයා ඇතුල් වුණේ අවුරුද්දට එක දවසයි. ඒ, සමඟි වෙන දවසෙදියි. එහෙට ගියාම එයා එයාගෙත් අනිත් ලෙවීවරුන්ගෙත් සෙනඟගෙත් පව් වෙනුවෙන් ඔප්පු කරපු පූජාවල ලේ දෙවියන්ට ඔප්පු කළා. ඒ පූජාවලින් නියෝජනය වුණේ යේසුස්ගේ ජීවිත පූජාවයි. ඒක එක පාරක් විතරක් ඔප්පු කළත් ඒකේ ප්‍රයෝජන හැමදාටම තියෙනවා. ඒ පූජාව නිසා මිනිස් වර්ගයාගේ පව්වලට සමාව ලබාගන්නත් යෙහෝවා එක්ක සමාදාන වෙන්නත් එයාලට අවස්ථාව ලැබෙනවා.—ලෙවී 5:10; 23:28; කොලො 1:20; හෙබ්‍රෙ 9:12.

  • සමරිතානුවන්.

    ඒක මුලින් පාවිච්චි කළේ ගෝත්‍ර දහයකින් හැදුණු උතුරු රාජ්‍යයේ හිටපු ඊශ්‍රායෙල්වරු ගැන කතා කරද්දී. ඒත් ක්‍රි.පූ. 740දී ඇසිරියානුවන් සමාරිය යටත් කරගත්තාට පස්සේ එහෙට විදේශිකයන්ව ගෙනල්ලා පදිංචි කෙරෙව්වා. පස්සේ කාලෙක සමරිතානුවන් කියද්දී ඒ අයත් ඒකට ඇතුළත් වුණා. යේසුස්ගේ කාලේදී ඒකෙන් අදහස් කළේ එක ජාතියක් නැත්නම් ආණ්ඩුවක් යටතේ හිටපු පිරිසක් නෙමෙයි. ඒ වෙනුවට අතීතයේ තිබුණ නගරයක් වුණ ෂීකෙම් අවටත් සමාරිය අවටත් ජීවත් වුණ ආගමික නිකායක්. ඒ නිකායට අයිති අයගේ විශ්වාසයන් යුදෙව් ආගමික විශ්වාසයන්ට වඩා ගොඩක් වෙනස්.—යොහ 8:48.

  • සමාජය; සමාජ ක්‍රම.

    මේ යෙදුම පාවිච්චි කරලා තියෙන්නේ අයිඔන් කියන ග්‍රීක වචනය පරිවර්තනය කරන්න. ඒ ග්‍රීක වචනය වර්තමානයේ සිද්ධ වෙන දේවල් විස්තර කරන්න හෝ යම් කාල පරිච්ඡේදයක් නැත්නම් යුගයක් කැපීපේන්න හේතු වෙන ලක්ෂණ විස්තර කරන්න පාවිච්චි කරලා තියෙනවා. බයිබලයේ “මේ සමාජයේ තියෙන දේවල්” කියලා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ ලෝකේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේවල් සහ ලෝකේ මිනිස්සු ජීවත් වෙන විදිහ. (2තිමෝ 4:10) දෙවියන් නීතිය දුන්නාම යම් සමාජ ක්‍රමයක් බිහි වුණා කියලා කියන්න පුළුවන්. ඒක ඊශ්‍රායෙල් යුගය හෝ යුදෙව් යුගය කියලා සමහරු කියනවා. යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් දෙවියන්ට පුළුවන් වුණා වෙනස් විදිහේ සමාජයක් හඳුන්වලා දෙන්න. මුලින් ඒකට ඇතුළත් වුණේ අභිෂේක ලත් ක්‍රිස්තියානීන්. ඒත් එක්කම අලුත් යුගයක් පටන්ගත්තා. නීතියෙන් පෙන්නුම් කරපු හැම දෙයක්ම ඒ යුගයේදී සැබෑ වුණා. ඒ යෙදුම බහු වචනයෙන් පාවිච්චි කරද්දී අතීතයේ තිබුණ හැම සමාජ ක්‍රමයක්ම හෝ ඉස්සරහට එන්න යන හැම සමාජ ක්‍රමයක්ම අදහස් වෙනවා.—මතෙ 24:3; මාක් 4:19; රෝම 12:2; 1කොරි 10:11.

  • සමාරිය.

    ගෝත්‍ර දහයකින් හැදිලා තිබුණ ඊශ්‍රායෙල් රාජ්‍යයේ අගනුවර. අවුරුදු 200ක් විතර යන කල් උතුරු රාජ්‍යයේ අගනුවර වුණේ ඒකයි. ඒ රාජ්‍යය යටතේ තිබුණ මුළු ප්‍රදේශයම හඳුන්වන්නත් ඒ වචනේ පාවිච්චි කළා. සමාරිය නගරේ ඉදි කරලා තිබුණේ ඒ නමින්ම හඳුන්වපු කන්ද උඩ. යේසුස්ගේ කාලේ වෙද්දී සමාරිය කියන්නේ පළාතක්. ඒක තිබුණේ උතුරෙන් තිබුණ ගලීලයත් දකුණින් තිබුණ යුදයත් අතර. යේසුස් ගිය ගමන්වලදී දේශනා කරන්න ඒ පළාතට ගියේ නැහැ. ඒත් සමහර වෙලාවලදී ඔහු ඒ පළාත හරහා ගියා. ඒ වගේ වෙලාවලදී එහේ ජීවත් වුණ අයට ඔහු කතා කළා. සමරිතානුවන්ට දෙවියන්ගේ බලය ලැබුණ වෙලාවේදී පේතෘස් දේවරාජයයේ දෙවෙනි යතුර පාවිච්චි කළා. (1රාජා 16:24; යොහ 4:7; ක්‍රියා 8:14)—උප. B10 බලන්න.

  • සම් ලියවිලි.

    බැටළුවන්ගේ, එළුවන්ගේ නැත්නම් වස්සන්ගේ හම්වලින් තමයි ඒවා හැදුවේ. ඒවා පැපිරස්වලට වඩා කල් පවතිනවා. බයිබලය ලියන්නත් ඒවා පාවිච්චි කළා. පාවුල් තිමෝතිට ගේන්න කියලා කියපු සම් ලියවිලි හෙබ්‍රෙව් ලියවිල්ලට අයිති කොටස් වෙන්න පුළුවන්. මළ මුහුදේ ලියවිලිවලින් සමහරක් ලියලා තියෙන්නේ සම් ලියවිලිවල.—2තිමෝ 4:13.

  • සර්ටිස්.

    උතුරු අප්‍රිකාවේ ලිබියාව කියන රටේ වෙරළබඩ තියෙන විශාල මුහුදු බොකු දෙකක්. ඒවා එච්චර ගැඹුරු නැහැ. ඒත් වඩදිය, බාදියේ බලපෑම නිසා ඒවායේ තිබුණ වැලි කණ්ඩි නිතර වෙනස් වුණා. ඒ නිසා අතීතයේ හිටපු නාවිකයන් ඒ මුහුදු බොකුවලට බයයි. (ක්‍රියා 27:17)—උප. B13 බලන්න.

  • සලමොන්ගේ ශාලාව.

    යේසුස්ගේ කාලේ තිබුණ දේවමාලිගාවේ පිටත මළුවට නැඟෙනහිරට වෙන්න තිබුණ තීරුව. ඒකට වහලයකුත් තිබුණා. ඒක සලමොන් හදපු දේවමාලිගාවෙන් ඉතුරු වුණ කොටසක් කියලා වැඩිදෙනෙක් විශ්වාස කළා. යේසුස් ‘ශීත කාලේදී’ ඒ කොටසේ ඇවිද ඇවිද හිටියා කියලත් මුල් කාලේ හිටපු ක්‍රිස්තියානීන් නමස්කාර වැඩවලට එතන හම්බ වුණා කියලත් සඳහන් වෙනවා. (යොහ 10:22, 23; ක්‍රියා 5:12)—උප. B11 බලන්න.

  • සහායක සේවකයා.

    ඩීයාකොනොස් කියන ග්‍රීක වචනයෙන් එන යෙදුමක්. ඒක හුඟක් වෙලාවට පරිවර්තනය කරලා තියෙන්නේ “සේවකයා” විදිහටයි. “සහායක සේවකයෙක්” කියන්නේ සභාවේ මැඩිමහල් මණ්ඩලයට සහය දෙන කෙනෙක්. ඒ සේවය කරන්න නම් කෙනෙක්ට සහායක සේවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන බයිබලයේ තියෙන සුදුසුකම් තියෙන්න ඕනේ.—1තිමෝ 3:8-10, 12.

  • සහෝදරයාගේ බිරිඳව විවාහ කරගන්න එක.

    පස්සේ කාලෙක මෝසෙස්ගේ නීතියට ඇතුළත් කරපු චාරිත්‍රයක්. පුතෙක් නැතුව මිය ගිය තමන්ගේ සහෝදරයාගේ බිරිඳව විවාහ කරගෙන සහෝදරයාගේ නමින් දරුවන් බිහි කරන්නයි ඒ සැලැස්ම ඇති කළේ.—උත් 38:8; ද්වි 25:5.

  • සාතන්.

    “විරුද්ධකාරයා” කියන අදහස තියෙන හෙබ්‍රෙව් වචනයක්. බයිබලයේ සාමාන්‍යයෙන් ඒ වචනය පාවිච්චි කරලා තියෙන්නේ දෙවියන්ගේ ප්‍රධාන සතුරා වන සාතන් කියන යක්ෂයාටයි.—යෝබ් 1:6; මතෙ 4:10; එළි 12:9.

  • සැබෑ දෙවියන්.

    හාඑලෝහිම් සහ හාඑල් කියන හෙබ්‍රෙව් වචන දෙක පරිවර්තනය කරලා තියෙන්නේ “සැබෑ දෙවියන්” විදිහට. හුඟක් තැන්වල එහෙම පාවිච්චි කරලා තියෙන්නේ බොරු දෙවිවරුන්ට වඩා යෙහෝවා වෙනස් කියලා පෙන්නන්න. ඔහු තමයි එකම සැබෑ දෙවියන් කියලා පෙන්නන්න. ඒ වගේ තැන්වල “සැබෑ දෙවියන්” කියලා පරිවර්තනය කරන එකෙන් මුල් අදහස ඒ විදිහටම දෙන්න පුළුවන්.—උත් 5:22, 24; 46:3; ද්වි 4:39.

  • සිනගෝගය.

    ඒ වචනයේ තේරුම “එකට එකතු කරනවා, එක්රැස්වීමක්” කියන එකයි. ඒත් ගොඩක් බයිබල් පදවල ඒකෙන් අදහස් කරන්නේ යුදෙව්වන් ලියවිලි කියවන්න, මඟ පෙන්වීම් දෙන්න, දේශනා කරන්න සහ යාච්ඤා කරන්න එකට රැස් වුණ ගොඩනැඟිල්ලක් හෝ තැනක්. යේසුස්ගේ කාලේ වෙද්දී සාමාන්‍ය නගරයක එක සිනගෝගයක් තිබුණා. ලොකු නගරවල එකකට වඩා තිබුණා.—ලූක් 4:16; ක්‍රියා 13:14, 15.

  • සියුස්.

    ගොඩක් දෙවිවරු ගැන විශ්වාසය තියපු ග්‍රීකවරුන් මහ දෙවියන් විදිහට සලකපු කෙනා. ලිස්ත්‍රාවේ හිටපු අය බානබස් සියුස් දෙවියා කියලා හිතුවා. ලිස්ත්‍රාවට කිට්ටුවෙන් හොයාගෙන තියෙන පුවරුවල “සියුස්ගේ පූජකයන්” සහ “හිරු දෙවියන් වන සියුස්” කියලා සඳහන් වෙනවා. මෝල්ටා දූපතේ ඉඳන් පාවුල් ගමන් කරපු නැවේ ‘සියුස්ගේ පුතාලා’ දෙන්නාගේ රූප කැටයම් කරලා තිබුණා. ඒ සහෝදරයන් දෙන්නා කැස්ටර් සහ පොලොක්ස් කියන නිවුන්නු.—ක්‍රියා 14:12; 28:11.

  • සියොන්; සියොන් කන්ද.

    යෙබූසිවරුන්ට අයිති, පවුරුවලින් වට වුණ යෙබූස කියන නගරෙට දීපු නම. ඒක තිබුණේ යෙරුසලමේ ගිනිකොන පැත්තට වෙන්න තිබුණ කන්දේ. දාවිත් ඒ නගරේ අල්ලගත්තාට පස්සේ රජමාලිගාව ඒ නගරේ හැදුවා. ඊටපස්සේ ඒක “දාවිත්ගේ නුවර” කියලා හඳුන්වන්න පටන්ගත්තා. (2සාමු 5:7, 9) දාවිත් ගිවිසුම් පෙට්ටිය එහෙට ගෙනාවාට පස්සේ යෙහෝවා සියොන් කන්ද සැලකුවේ ශුද්ධ කන්දක් විදිහට. පස්සේ කාලෙක සියොන් කියද්දී මොරියා කන්දේ දේවමාලිගාව තිබුණ ප්‍රදේශයත් ඒකට අයිති වුණා. සමහර වෙලාවලදී ඒකෙන් මුළු යෙරුසලමම අදහස් වුණා. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිලිවල ඒ නම පාවිච්චි කරලා තියෙන්නේ සංකේතයක් විදිහට.—ගීතා 2:6; 1පේතෘ 2:6; එළි 14:1.

  • සිරියාව; සිරියානුවන්.

    ආරම්; අරාමීය ජාතික යටතේ බලන්න.

  • සීකී.

    නෙෆෙෂ් යටතේ බලන්න.

  • සීලාහ්.

    ගීතාවලිය සහ හබක්කුක් පොතේ දකින්න තියෙන වචනයක්. ගීත ගායනා කරද්දී නැත්නම් සංගීතය වාදනය කරද්දී නතර කරන්න ඕනෙ තැන් ඒකෙන් පෙන්නනවා වෙන්න පුළුවන්. එහෙම නතර කළේ කියපු දේ ගැන හිතලා බලන්න හෝ කියපු දේ හොඳට කාවද්දන්න. ග්‍රීක ‘සෙප්ටුඅජින්ට්’ පරිවර්තනයේ ඒකට “ඩියාප්සල්මා” කියලා දාලා තියෙනවා. ඒකේ තේරුම “සංගීත විරාමයක්” කියන එකයි.—ගීතා 3:4; හබ 3:3.

  • සීවාන්.

    බැබිලෝනියෙන් නිදහස් වෙලා ආවාට පස්සේ යුදෙව් ආගමික දිනදර්ශනයේ තුන්වෙනි මාසෙට සහ සාමාන්‍ය දිනදර්ශනයේ නමවෙනි මාසෙට දීපු නම. ඒක වැටෙන්නේ මැයි මැද ඉඳන් ජූනි මැද වෙන කල්. (එස්ත 8:9)—උප. B15 බලන්න.

  • සීසර්.

    රෝමවරුන්ගේ වාසගමක්. පස්සේ කාලෙකදී ඒක රෝම අධිරාජ්‍යවරුන්ව හඳුන්වපු පදවි නමක් වුණා. ඔගස්ටස්, ටයිබීරියස් සහ ක්ලෝදියස් කියන අයගේ නම් බයිබලේ සඳහන් වුණත් නීරෝගේ නම සඳහන් වෙන්නේ නැහැ. ඒත් සීසර් කියන පදවි නම එයාටත් පාවිච්චි කළා. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ “සීසර්” කියන නම සාමාන්‍ය බලධාරීන්ව නැත්නම් ආණ්ඩුව නියෝජනය කරන්නත් පාවිච්චි කරනවා.—මාක් 12:17; ක්‍රියා 25:12.

  • සුවඳ ද්‍රව්‍යය.

    මිහිරි සුවඳක් තියෙන මැලියම්වල සහ බෝල්සම්වල එකතුවක්. හෙමිහිට පිච්චෙන ඒ ද්‍රව්‍යය පිච්චෙද්දී ඒකෙන් මිහිරි සුවඳක් නැඟෙනවා. ශුද්ධ කූඩාරමේ සහ දේවමාලිගාවේ පාවිච්චියට ද්‍රව්‍ය හතරකින් විශේෂ සුවඳ ද්‍රව්‍යයක් හැදුවා. ශුද්ධස්ථානයේ සුවඳ දුම් ඔප්පු කරන පූජාසනයේ ඒක උදේ හවස ඔප්පු කළා. සමඟි වෙන දවසේදී ඒක අතිශුද්ධස්ථානයේ ඔප්පු කළා. ඒකෙන් සංකේතවත් කළේ දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් කරන, ඔහුගේ හිත සතුටු කරන යාච්ඤා. සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන එක ක්‍රිස්තියානීන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.—නික් 30:34, 35; ලෙවී 16:13; එළි 5:8.

  • සුවඳ ලාටු.

    කොමිෆෝරා (Commiphora) වර්ගයට අයිති පොඩි ගස් සහ කටු පඳුරු වර්ග කීපයකින්ම ගන්න සුවඳ මැලියම් ජාතියක්. අභිෂේක කරද්දී පාවිච්චි කරපු ශුද්ධ තෛලය හදන්න පාවිච්චි කරපු ද්‍රව්‍ය අතරේ සුවඳ ලාටුත් තිබුණා. ඇඳුම්, ඇඳවල් වගේ දේවල් සුවඳවත් කරන්නත් ඇඟට ගාන තෙල් නැත්නම් වෙනත් ආලේපන හදන්නත් සුවඳ ලාටු පාවිච්චි කළා. මළ සිරුරක් තැන්පත් කරන්න කලින් දේහය සූදානම් කරන්නත් සුවඳ ලාටු යොදාගත්තා.—නික් 30:23; හිතෝ 7:17; යොහ 19:39.

  • සූදානම් වෙන දවස.

    සබත් දවසට කලින් දවස. යුදෙව්වන් සබතට අවශ්‍ය දේවල් ලෑස්ති කරගත්තේ ඒ දවසෙයි. අද අපි සිකුරාදා විදිහට සලකන දවසේ ඉර බැහැලා ගියාට පස්සේ සූදානම් වෙන දවස ඉවර වෙලා සබත් දවස පටන්ගත්තා. යුදෙව්වන් දවසක් විදිහට සැලකුවේ එක හවසක ඉඳන් ඊළඟ හවස වෙන කල්.—මාක් 15:42; ලූක් 23:54.

  • සෙයා.

    වියළි දේවල් මනින්න පාවිච්චි කරපු මිම්මක්. දියර මනින්න පාවිච්චි කරපු බාත් මිනුමට අනුව සෙයා මිනුමක් කියන්නේ ලීටර් 7.33ක්. (2රාජා 7:1)—උප. B14 බලන්න.

  • සෙරාෆ්වරු.

    ස්වර්ගයේ තියෙන යෙහෝවාගේ සිංහාසනය වටේට ඉන්න දේවදූතයන් පිරිසක්. සෙරෆිම් කියන හෙබ්‍රෙව් වචනයේ තේරුම “ගිනිගන්න අය” කියන එකයි.—යෙසා 6:2, 6.

  • සොලවන පූජාව.

    මේ පූජාව ඔප්පු කරද්දී පූජාව ගේන කෙනා එයාගේ අත් උඩ පූජාව තියාගෙන ඉන්නවා. පූජකයා ඒ කෙනාගේ අත්වලට යටින් තමන්ගේ අත් දෙක තියලා පූජාව ඒ මේ අත හොලවනවා. එහෙම නැත්නම් පූජකයාම පූජාව ඒ මේ අත හෙලෙව්වා. ඒ විදිහට ඒ මේ අත හොලවපු එකෙන් පෙන්නුවේ ඒ පූජාව යෙහෝවාට ඔප්පු කරනවා කියලයි.—ලෙවී 7:30.

  • සොහොන් ගෙවල්.

    මේ විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ මෙනෙයිමයිඔන් කියන ග්‍රීක වචනය. ඒක ඇවිත් තියෙන්නේ “සිහි වෙන්න” කියන අදහස තියෙන ක්‍රියා පදයෙන්. මිය ගිය කෙනාව මතකයේ තියෙනවා කියන දේ ඒකෙන් පෙන්නුවා.—යොහ 5:28, 29.

  • ස්ටොයික දර්ශනවාදීන්.

    ග්‍රීක දර්ශනවාදීන් පිරිසක්. එයාලා විශ්වාස කළේ හොඳට හිතලා දේවල් තේරුම්ගන්න එකෙන් සහ ස්වභාවධර්මයෙන් ඉඩ දෙන විදිහට ජීවත් වෙන එකෙන් තමයි සතුට ලැබෙන්නේ කියලා. කිසිම වේදනාවක් හෝ කිසිම සතුටක් දැනෙන්නේ නැති කෙනෙක් ඇත්තටම ප්‍රඥාවන්ත කෙනෙක් කියලයි එයාලා සැලකුවේ.—ක්‍රියා 17:18.

  • ස්තුති පූජා.

    දෙවියන් දීලා තියෙන දේවල්වලට, ඔහු පෙන්නන නොසැලෙන ආදරේට ඔහුට ස්තුති කරන්නත් ප්‍රශංසා කරන්නත් ඔප්පු කරන හවුල් පූජා. පූජාවට ඔප්පු කරන සතාගේ මස් වගේම මුහුන් දාලා හදපු රොටි සහ මුහුන් දාන්නේ නැතුව හදපු රොටි කනවා. ඒ මස්, පූජාව ඔප්පු කරන දවසේම කන්න ඕනේ.—2ලේක 29:31.

  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය.

    යේසුස්ගේ මරණය සිහි කරන අවස්ථාව. ඒ අවස්ථාවේදී ක්‍රිස්තුස්ගේ ශරීරය සහ ලේ නියෝජනය කරන මුහුන් දාපු නැති රොටි කන්න සහ වයින් බොන්න දෙනවා. බයිබලයේ ක්‍රිස්තියානීන්ට මේ දවස පවත්වන්න කියලා කියලා තියෙන නිසා ඒකට “සිහි කිරීම” කියලත් කියනවා.—1කොරි 11:20, 23-26.

  • හමු වීමේ කූඩාරම.

    මෝසෙස්ගේ කූඩාරමටත් පාළුකරයේදී මුලින්ම හදපු ශුද්ධ කූඩාරමටත් මේ යෙදුම පාවිච්චි කරලා තියෙනවා.—නික් 33:7; 39:32.

  • හම් (සම්) භාජන.

    එළුවෙක්ගේ හරි බැටළුවෙක්ගේ හරි සම්පූර්ණ හමෙන් බෝතලයක් විදිහට පාවිච්චි කරන්න හදන දෙයක්. සාමාන්‍යයෙන් ඒවාට දාන්නේ වයින්. වයින් දැම්මේ අලුත් හම් භාජනවලට. මොකද වයින් පැසවද්දී කාබන් ඩයොක්සයිඩ් පිට වෙන නිසා හම් භාජනය ඇතුළෙන් ලොකු තෙරපීමක් වෙනවා. අලුත් හම ඇදිලා ඒ පීඩනය දරාගන්නවා. ඒත් පරණ හම් භාජන දැනටමත් ඇදිලා තියෙන නිසා ඒ පීඩනයට පැළිලා යනවා.—යොෂු 9:4; මතෙ 9:17.

  • හර්මීස්.

    ග්‍රීක දෙවි කෙනෙක්. එයා සියුස්ගේ පුතා කියලා මිනිස්සු විශ්වාස කළා. එක අවස්ථාවකදී ලිස්ත්‍රාවේ හිටපු අය හිතුවා පාවුල් හර්මීස් කියන දෙවියා කියලා. මොකද එයාලා විශ්වාස කළා හර්මීස් කියන්නේ දෙවිවරුන්ගේ පණිවිඩකරු වගේම කතාවට ගොඩක් දක්ෂ දෙවි කෙනෙක් කියලා.—ක්‍රියා 14:12.

  • හවුල් පූජාව.

    යෙහෝවා එක්ක සාමකාමී බැඳීමක් ඇති කරගන්න ඔප්පු කරපු පූජාවක්. පූජාව ඔප්පු කරපු කෙනා, එයාගේ පවුලේ අය, පූජාව ඔප්පු කරපු පූජකයා සහ ඒ වෙලාවේ සේවය කරපු පූජකයන් හැමෝම ඒ පූජාව කෑමට ගත්තා. සතාගේ තෙල් කොටස් යෙහෝවාට ලබා දුන්නා. ඒවා පිච්චෙද්දී නඟින දුම ඔහු සැලකුවේ මිහිරි සුවඳක් විදිහටයි. සතාගේ ජීවිතය නියෝජනය කරන ලේත් යෙහෝවාට දුන්නා. ඒක හරියට පූජකයනුත් පූජාව ඔප්පු කරපු අයත් යෙහෝවා එක්ක එකට ඉඳගෙන කෑමක් ගන්නවා වගේ. ඒකෙන් පෙන්නුවේ එයාලා යෙහෝවා එක්ක සාමකාමී බැඳීමක් ඇති කරගෙන තියෙනවා කියලයි.—ලෙවී 7:29, 32; ද්වි 27:7.

  • හැතැක්මයක්.

    දුර මනින ඒකකයක්. ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ලේ මුල් පිටපත්වල ඒ වචනය සඳහන් වෙන්නේ මතෙව් 5:41 විතරයි. ඒ පදයේ කතා කරන්නේ රෝමවරුන් පාවිච්චි කරපු හැතැක්මය ගැන වෙන්න පුළුවන්. ඒක මීටර් 1,479.5ක් (අඩි 4,854ක්) වුණා. ලූක් 24:13, යොහන් 6:19 සහ යොහන් 11:18 “හැතැක්ම” කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. ඒත් මුල් පිටපත්වල ඒ පදවල ඒ දුර සඳහන් කරලා තිබුණේ ස්ටේඩියාවලින්.—උප. B14 බලන්න.

  • හිගෙයීයන්.

    සංගීතය මෙහෙයවන කෙනා දෙන මඟ පෙන්වීමක්. ගීතාවලිය 9:16 ඒක පාවිච්චි කරලා තියෙන්නේ වාදනය කරන සංගීතය නතර කරලා ගැඹුරු නාදයකින් වීණාව වාදනය කරන්න කියන එක හරි ගැඹුරින් කල්පනා කරන්න පොඩි විවේකයක් ගන්න කියන එක හරි දැනුම් දෙන්න වෙන්න ඇති.

  • හිතෝපදේශය.

    වචන කීපයකින් වැදගත් පාඩමක් හෝ සත්‍ය කරුණක් උගන්නන ප්‍රඥාවන්ත කියමනක් එහෙම නැත්නම් කෙටි කතාවක්. බයිබලයේ හිතෝපදේශ තියෙන්නේ සංකීර්ණ කාරණා විදිහට නැත්නම් තේරවිලි විදිහට. හිතෝපදේශයකින් හුඟක් වෙලාවට කරන්නේ මනසේ පින්තූරයක් ඇඳලා සත්‍ය කරුණක් හිතට කාවද්දන එකයි. සමහර මිනිස්සුන්ව විහිළුවට ලක් කරන්න එහෙම නැත්නම් පහත් කරලා සලකන්න සමහර කියමන් පාවිච්චි කළා.—දේශ 12:9; 2පේතෘ 2:22.

  • හින.

    දියර මනින මිනුමක්. ඒවා මනින භාජනයත් හැඳින්නුවේ ඒ නමින්. ඉතිහාසඥ ජොසීෆස් කියපු දේකට අනුව හින මිනුමක් ලීටර් 3.67කට සමානයි කියලා හිතන්න පුළුවන්. (නික් 29:40)—උප. B14 බලන්න.

  • හිසොප්.

    හීනි අතු සහ කොළ තියෙන පැළෑටි වර්ගයක්. පවිත්‍ර කරන චාරිත්‍රවලදී ලේ හරි වතුර හරි ඉහින්න ඒක පාවිච්චි කළා. සමහරවිට ඒක මාජරම් (Origanum maru; Origanum syriacum) කියන පැළෑටිය වෙන්න ඇති. යොහන් 19:29 සඳහන් වෙන්නේ අත්තකට ගැටගහලා තිබුණ මාජරම් පැළෑටියක් නැත්නම් සෝගම් (Sorghum vulgare) වර්ගයට අයිති පැළෑටියක් වෙන්න ඇති. ඒ පැළෑටියට දිග අතු තියෙනවා. ඒ නිසා ඒ වගේ අත්තකට ඇඹුල් වයින් පොඟවපු ස්පොන්ජියක් හයි කරලා, ඒක යේසුස්ගේ කටට ළං කරන්න පුළුවන් වුණා.—නික් 12:22; ගීතා 51:7.

  • හිස්වැස්ම.

    රෙද්දක් ඔළුව වටේට ඔතලා ඔළුවට දාපු පලඳනාවක්. උත්තම පූජකයාගේ හිස්වැස්ම හදලා තිබුණේ හොඳම ලිනන්වලින්. ඒකේ ඉස්සරහා පැත්තේ නිල් පාට ලණුවකින් ගැටගහපු රන් තහඩුවක් තිබුණා. රජ එයාගේ ඔටුන්න දැම්මේ හිස්වැස්මට උඩින්. යෝබ් කිව්වා යුක්තිය හිස් පලඳනාවක් වගේ එයා පැලඳගත්තා කියලා.—නික් 28:36, 37; යෝබ් 29:14; එස 21:26.

  • හෙබ්‍රෙව්.

    මේ වචනය මුලින්ම පාවිච්චි කරලා තියෙන්නේ ආබ්‍රම්ව (ආබ්‍රහම්ව) හඳුන්වන්න. ඒ, එයාව අමෝරිවරුන්ගෙන් වෙන් කරලා පෙන්නන්න. ඊටපස්සේ ආබ්‍රහම්ගේ මුනුපුරා වුණ යාකොබ්ගෙන් පැවතෙන අය ගැන සහ එයාලා කතා කරන භාෂාව ගැන කියන්න මේ වචනය පාවිච්චි කරනවා. යේසුස්ගේ කාලේ වෙද්දී හෙබ්‍රෙව් භාෂාවට ගොඩක් ඇරමයික යෙදුම් එකතු වෙලා තිබුණා. ක්‍රිස්තුස් සහ ඔහුගේ ගෝලයන් කතා කළෙත් ඒ භාෂාව.—උත් 14:13; නික් 5:3; ක්‍රියා 26:14.

  • හෙරොද්.

    යුදෙව්වන්ව පාලනය කරපු රජ පෙළපත හඳුන්වපු නම. ඒ අයව පත් කරලා තිබුණේ රෝමයෙන්. යෙරුසලමේ දේවමාලිගාව ආයෙත් ගොඩනඟපු එකටත් යේසුස්ව මරලා දාන අදහසින් දරුවන්ව මරලා දාන්න නියෝග කරපු එකටත් මහ හෙරොද් රජ ප්‍රසිද්ධ වෙලා හිටියා. (මතෙ 2:16; ලූක් 1:5) මහ හෙරොද් රජගේ පුතාලා වුණ හෙරොද් ආකෙලාවුස්ට සහ හෙරොද් අන්තිපස්ට එයාලාගේ තාත්තාගේ රාජ්‍යයට අයිති ප්‍රදේශ භාර දීලා තිබුණා. (මතෙ 2:22) දිසාපති වුණ අන්තිපස්ව හුඟක් අය හැඳින්නුවේ “රජ” විදිහට. ක්‍රිස්තුස් පොළොවේ සේවය කරපු අවුරුදු තුනහමාරේදීත් ක්‍රියා 12වෙනි පරිච්ඡේදය වෙන කල් විස්තර කරන දේවල් සිද්ධ වුණ කාලයේදීත් පාලනය කළේ එයා. (මාක් 6:14-17; ලූක් 3:1, 19, 20; 13:31, 32; 23:6-15; ක්‍රියා 4:27; 13:1) ඊටපස්සේ මහ හෙරොද්ගේ මුනුපුරා වුණ 1වෙනි හෙරොද් අග්‍රිපා ටික කාලයක් පාලනය කළාට පස්සේ දේවදූතයෙක් එයාට පහර දුන්නා. (ක්‍රියා 12:1-6, 18-23) ඊටපස්සේ පාලනය කළේ එයාගේ පුතා වුණ 2වෙනි හෙරොද් අග්‍රිපා. යුදෙව්වන් රෝමවරුන්ට විරුද්ධව කැරලිගහපු කාලය වෙන කල් එයා පාලනය කළා.—ක්‍රියා 23:35; 25:13, 22-27; 26:1, 2, 19-32.

  • හෙරොද්ගේ පක්ෂයට අයිති අය.

    රෝමවරුන්ගේ පාලනය යටතේ බලයට ආපු හෙරොද්වරුන්ගේ දේශපාලනික අරමුණුවලට සහයෝගය දුන්න, ජාතිවාදයට උල්පන්දම් දීපු පක්ෂයක්. සද්දුසිවරුන් කීපදෙනෙකුත් මේ පක්ෂයට සම්බන්ධ වෙලා ඉන්න ඇති කියලා හිතන්න පුළුවන්. හෙරොද්ගේ පක්ෂයේ හිටපු අය පරිසිවරුන් එක්ක එකතු වෙලා යේසුස්ට විරුද්ධව වැඩ කළා.—මාක් 3:6.

  • හේදීසය.

    හෙබ්‍රෙව් භාෂාවේ ෂෙයෝලය කියන වචනයට සමාන ග්‍රීක වචනය. ඒක පරිවර්තනය කරලා තියෙන්නේ “මිනී වළ” විදිහටයි.—මිනී වළ යටතේ බලන්න.

  • ‘හොඳ නරක හඳුනාගැනීම’ කියන නමින් හඳුන්වන ගහ.

    හරි දේ සහ වැරදි දේ මොකක්ද කියලා මිනිස්සුන්ට පෙන්නලා දෙන්න දෙවියන්ට තියෙන අයිතිය නියෝජනය කරන්න ඔහු පාවිච්චි කරපු ගහ. ඒක තිබුණේ ඒදන් උයනේ.—උත් 2:9, 17.

  • හොරණෑව.

    ලෝහවලින් හදපු තූර්ය භාණ්ඩයක්. සංඥා දෙන්න සහ සංගීත භාණ්ඩයක් විදිහට ඒක පාවිච්චි කළා. ගණන් කතාව 10:2 තියෙන විදිහට රිදීවලින් හොරණෑ දෙකක් හදන්න කියලා යෙහෝවා කිව්වා. සෙනඟව එකට රැස් කරන්න, කූඩාරම් අකුළගෙන වෙන තැනකට යන්න, යුධ ප්‍රකාශ කරන්න ඒ හොරණෑ පිඹලා තමයි සංඥා දුන්නේ. සත්තුන්ගේ අංවලින් හදපු හොරණෑවල හැඩේ වක්‍රාකාරයි. ඒත් මේවා හදලා තිබුණේ හරි කෙළින්. දේවමාලිගාවේදී වාදනය කරපු සංගීත භාණ්ඩ අතරෙත් හොරණෑ තිබුණා. ඒත් ඒවාවල හැඩය මොන වගේද කියලා හරියටම දන්නේ නැහැ. හොරණෑ හඬත් එක්ක තමයි යෙහෝවාගේ විනිශ්චයන් හෝ දෙවියන් තීරණය කරලා තියෙන වෙනත් වැදගත් සිද්ධීන් ගැන කියලා තියෙන්නේ.—2ලේක 29:26; එස්රා 3:10; 1කොරි 15:52; එළි 8:7–11:15.

  • හොරෙබ්; හොරෙබ් කන්ද.

    සීනයි කන්ද වටේට තිබුණ කඳුකර ප්‍රදේශය. සීනයි කන්දට කියන තවත් නමක්. (නික් 3:1; ද්වි 5:2)—උප. B3 බලන්න.

  • හෝමරය.

    වියළි දේවල් මනින මිනුමක්. ඒක කෝර් මිනුමට සමානයි. බාත් මිනුමේ ප්‍රමාණයට අනුව හෝමරයක් කියන්නේ ලීටර් 220ක්. (ලෙවී 27:16)—උප. B14 බලන්න.

  • ළයවැස්ම.

    ඊශ්‍රායෙල්වරුන්ගේ උත්තම පූජකයා ශුද්ධස්ථානයට යද්දී පපු ප්‍රදේශයේ පැලඳගෙන හිටපු ඇඳුමක්. ඒකට මැණික් ගල් අල්ලලා තිබුණා. ඒකට කිව්වේ “දෙවියන්ගේ තීරණ දැනුම් දෙන ළයවැස්ම” කියලයි. මොකද යෙහෝවාගේ විනිශ්චයන් දැනගන්න පාවිච්චි කරපු ඌරීම් සහ තුම්මීම් තිබුණේ ඒ ළයවැස්මේ නැම්ම ඇතුළේ. (නික් 28:15-30)—උප. B5 බලන්න.