Skip to content

පටුනට යන්න

පෙරවදන

ශුද්ධ බයිබලය කියලා කියන්නේ දෙවියන් අපි හැමෝටම කතා කරන විදිහක්. ඒක ලිඛිත වාර්තාවක්. බයිබලයේ කර්තෘව දැන අඳුරගන්න නම් අපි ඒක අධ්‍යයනය කරන්න ඕනේ. (යොහන් 17:3; 2 තිමෝති 3:16) යෙහෝවා දෙවියන් මිනිස්සු වෙනුවෙන් සහ එයාලාගේ නිවහන වන මේ පොළොව වෙනුවෙන් කරන්න අදහස් කරන දේ බයිබලය කියවලා දැනගන්න පුළුවන්.​—උත්පත්ති 3:​15; එළිදරව් 21:​3, 4.

බයිබලය තරම් මිනිස්සුන්ගේ හදවතට කතා කරන පොතක් තවත් නැහැ. ආදරේ, දයාව සහ අනුකම්පාව වගේ යෙහෝවාට තියෙන ගතිගුණ ගැන හිතන්න බයිබලය අපේ හිතේ ලොකු ආසාවක් ඇති කරනවා. බයිබලය මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දෙනවා. ඕනෙම දරුණු ප්‍රශ්නයක් දරාගන්න ඒ බලාපොරොත්තුව අපිට උදව් වෙනවා. මේ සමාජයේ තියෙන මොන මොන දේවල්ද දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ කියලා ඒකේ පැහැදිලිව එළිදරව් කරලා තියෙනවා.​—ගීතාවලිය 119:105; හෙබ්‍රෙව් 4:​12; 1 යොහන් 2:​15-17.

බයිබලය මුලින්ම ලිව්වේ හෙබ්‍රෙව්, ඇරමයික සහ ග්‍රීක භාෂාවලින්. ඒක සම්පූර්ණයෙන් හරි ඒකේ කොටසක් හරි භාෂා 3,000කට වඩා වැඩි ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. ඒක තමයි වැඩිම භාෂා ගාණකට පරිවර්තනය කරලා තියෙන සහ වැඩියෙන්ම බෙදාහැරලා තියෙන පොත. ඒත් ඒ ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද බයිබලයේම මෙහෙම කියලා තියෙනවා. “රාජ්‍යය ගැන ශුභාරංචිය [බයිබලයේ තියෙන ප්‍රධාන පණිවිඩය] සියලු ජාතීන්ට සාක්ෂියක් විදිහට පොළොව පුරාම මිනිස්සු ජීවත් වෙන හැම තැනකම දේශනා කරයි. ඊටපස්සේ අවසානය එයි.”​—මතෙව් 24:⁠14.

බයිබලයේ පණිවිඩය කොච්චර වැදගත්ද කියලා අපි තේරුම්ගත්තා. ඒ නිසා අපිට ඕනෙ වුණා මුල් ලියවිලිවල තියෙන අදහස් ඒ විදිහටම පරිවර්තනය කරන ගමන් ලේසියෙන් කියවන්න පුළුවන්, පැහැදිලි පරිවර්තනයක් කරන්න. උපග්‍රන්ථයේ තියෙන “බයිබල් පරිවර්තනයට උදව් වුණ මඟ පෙන්වීම්,” “මේ සංශෝධනයේ කැපීපේන දේවල්” සහ “බයිබලය අපේ අතට ආපු විදිහ” කියන ලිපිවල පරිවර්තනයට උදව් වුණ මඟ පෙන්වීම් කීපයක් ගැනත් මේ සංශෝධනයේ තියෙන විශේෂ දේවල් ගැනත් කතා කරලා තියෙනවා.

යෙහෝවා දෙවියන්ට ආදරේ කරන, ඔහුට නමස්කාර කරන අය නිවැරදි, තේරුම්ගන්න පුළුවන් බයිබල් පරිවර්තනයකට හරිම කැමතියි. (1 තිමෝති 2:⁠4) ඒ නිසයි අපිට ඕනෙ වුණේ නව ලොව පරිවර්තනය පුළුවන් තරම් භාෂා ගාණකට පරිවර්තනය කරන්න. ඉංග්‍රීසි භාෂාවෙන් සංශෝධනය කරපු බයිබලය සිංහල භාෂාවට පරිවර්තනය කළේ ඒ නිසයි. ආදරණීය පාඨකයෙනි, ‘දෙවියන්ව හොයන්න, ඔහුට ළං වෙන්න’ ඔයා ගන්න උත්සාහයට මේ පරිවර්තනය උදව් වෙන්න කියලා අපි යාච්ඤා කරනවා. අපේ පැතුමත් ඒකමයි.​—ක්‍රියා 17:⁠27.

නව ලොව බයිබල් පරිවර්තන කමිටුව