නිර්මාණයක්ද?
කන්දක් වැනි කෙන්දක්
ගල්පරයක නැත්නම් නැව් බඳක ඇලිලා ඉන්න බෙල්ලන්ව ඔයා දැකලා ඇති. ඒ බෙල්ලන් අතරින් යාත්‍රා බෙල්ලාට එහෙම ඇලිලා ඉන්න උදව් වෙන්නේ උගේ කපාටයයි. ඒත් මුහුදු බෙල්ලා ඊට වඩා වෙනස්. ඌට ඇලිලා ඉන්න උදව් වෙන්නේ උගේ ඇඟේ තියෙන සිහින් කෙඳි විශේෂයක්. ඒ කෙඳි ආධාරයෙන් ඌට යම් ප්‍රමාණයකට එහෙ මෙහෙ යන්නත් පහසුවෙන් කෑම හොයාගන්නත් පුළුවන්. ඕනෙ නම් වෙනස්ම තැනකට වුණත් යන්න ඌට පුළුවන්. මේ කෙඳි බැලූ බැල්මට හරිම සියුම් වගෙයි පෙනෙන්නේ. ඒත් මුහුදේ චණ්ඩ රළ පහරටවත් ඒවා කැඩෙන්නේ නම් නැහැ. ඒ කොහොමද?
මේ ගැන හිතන්න: මුහුදු බෙල්ලාගේ කෙන්දක එක කොටසක් හරිම සියුම් ඒ වගේම ඇදෙනසුලුයි. ඒත් අනිත් කොටසට තියෙන්නේ තද ස්වභාවයක්. පර්යේෂකයන් කියන්නේ කෙන්දේ ඇදෙනසුලු කොටසේ ප්‍රමාණය සියයට 20ක් සහ අනිත් කොටස සියයට 80ක් කියලයි. ඒ ප්‍රතිශතයන්වල අනුපාතය තමයි කෙන්දේ ශක්තිමත්භාවයේ රහස. මේ නිසා ඕනෑම පීඩනයක් දරාගන්න මේ කෙඳිවලට පුළුවන්.
මහාචාර්යවරයෙක් වන ගයි ජෙනින් මෙහෙම කියනවා. “මේ කෙඳි ගැන කරපු පර්යේෂණවලින් ලැබුණ ප්‍රතිඵල හරිම පුදුමාකාරයි. එකිනෙකට වෙනස් කොටස් දෙකක් එකට සම්බන්ධ වෙලා ඒ කෙඳි හැදිලා තියෙන විදිහ තමයි ඒවායේ විශේෂත්වය.” මේ කෙඳිවල සැකැස්ම අනුකරණය කරලා ගොඩනැඟිලිවලට සහ මුහුද යටින් යන යාත්‍රාවලට විවිධ උපකරණ සවි කරන්න, මාංස පේශි ඇටකටුවලට සම්බන්ධ කරන්න, ශල්‍යකර්මවල කැපුම් වහන්න වගේ දේවල් කරන්න පුළුවන් වෙයි කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා. “මැලියම් වර්ග නිපදවීමේ තාක්ෂණය දියුණු කරන්න අවට පරිසරය අපිට ගොඩක් උදව් වෙනවා” කියලා ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් වන හර්බට් වෙයිට් කියනවා.
ඔයාගේ නිගමනය මොකක්ද? මුහුදු බෙල්ලාට ශක්තිමත් කෙඳි ලැබුණේ පරිණාමය නිසාද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කළ නිසාද?