Skip to content

පටුනට යන්න

ජීර්ණ පද්ධතිය පුරා විහිදිලා තියෙන ආන්ත්‍රික ස්නායු පද්ධතිය (නිල් පාටින්)

ආන්ත්‍රික ස්නායු පද්ධතිය - තවත් මොළයක්ද?

ආන්ත්‍රික ස්නායු පද්ධතිය - තවත් මොළයක්ද?

මොළේ කියන්නේ සංකීර්ණ ස්නායු පද්ධතියක්. ඒ වගේ ස්නායු පද්ධති ඔයාගේ ශරීරයේ තවත් තැන්වල තියෙනවා කියලා ඔයා දන්නවාද? ඒ අතරින් එකක් කොච්චර සංකීර්ණද කියනවා නම් සමහර විද්‍යාඥයන් ඒකට කියන්නේ “දෙවෙනි මොළය” කියලයි. හැබැයි ඒක තියෙන්නේ ඔයාගේ බඩේ. ඒ තමයි ආන්ත්‍රික ස්නායු පද්ධතිය.

අපි කන කෑම, දහනය වෙන ක්‍රියාවලිය හරිම සංකීර්ණයි. ඒක පිටිපස්සේ ලොකු වැඩ කොටසක් සිද්ධ වෙනවා. ඒ නිසා අපේ මොළේ නිර්මාණය කරලා තියෙන්නේ ඒ ක්‍රියාවලියට සම්බන්ධ හුඟක් දේවල් ආන්ත්‍රික ස්නායු පද්ධතිය හරහා කෙරෙන විදිහටයි.

ආන්ත්‍රික ස්නායු පද්ධතියේ නියුරෝන මිලියන 200ත් 600ත් අතර ප්‍රමාණයක් තියෙනවා. මේ නියුරෝන ජීර්ණ පද්ධතිය පුරාම විහිදිලා තියෙනවා. ආන්ත්‍රික ස්නායු පද්ධතියෙන් කෙරෙන වැඩ කොටස මොළයේ තියෙන ස්නායු හරහා කරන්න වුණා නම් ඒ සඳහා අවශ්‍ය කරන ස්නායුවල ගනකම ගොඩක් වැඩි වෙනවා කියලා විද්‍යාඥයන් කියනවා. එක පොතක සඳහන් වෙනවා “ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ ක්‍රියාවලිය දෙවෙනි මොළය හරහා සිද්ධ වෙන එක හොඳ සැලැස්මක්” කියලා.—The Second Brain.

“රසායනික කම්හලක්”

අපි කන කෑම දිරවන්න නම් රසායනිකයන් රාශියක් හරි වෙලාවට නිපදවෙන්න ඕනේ. ඒවා නියමිත මාත්‍රාවට මිශ්‍ර වෙලා හරි තැනට යවන්නත් ඕනේ. ඒක හරිම පුදුමාකාර ක්‍රියාවලියක්. උදාහරණයකට අපේ අන්ත්‍රයේ නැත්නම් බඩවැලේ ඇතුල් පැත්තේ විශේෂ සෛල වර්ගයක් තියෙනවා. ඒවාට පුළුවන් අපි කන කෑමවල තියෙන රසායනිකයන් මොනවාද කියලා හරියටම හඳුනාගන්න. ඒ ලැබෙන තොරතුරු, ආහාර පොඩි කොටස්වලට කඩන්න ඕනෙ කරන එන්සයිම වර්ග තීරණය කරන්න ආන්ත්‍රික ස්නායු පද්ධතියට උදව් වෙනවා. ඒ වගේම ආහාරවල රසායනික ද්‍රව්‍යයන්ට සහ ආම්ලිකතාවයට අනුව ඒ යවන එන්සයිමවල අවශ්‍ය වෙනස්කම් කරන්නෙත් ආන්ත්‍රික ස්නායු පද්ධතියමයි. මහාචාර්යවරයෙක් වන ගැරී මාවේ ආන්ත්‍රික ස්නායු පද්ධතිය “රසායනික කම්හලක් වගේ” කියලා හඳුන්වපු එක පුදුමයක් නෙමෙයි.

ආන්ත්‍රික ස්නායු පද්ධතියෙන් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ වැඩි කොටසක් පාලනය වෙනවා. උදාහරණයකට බඩවැල් හරහා ආහාර යවන ක්‍රියාවලිය ගැන හිතන්න. ආන්ත්‍රික ස්නායු පද්ධතියෙන් ලැබෙන සංඥාවලට අනුව බඩවැල් එක තැනකින් පටන් අරන් ටික ටික හැකිළෙනවා, ලිහිල් වෙනවා. එතකොට ආහාර ඉදිරියට තල්ලු වෙනවා. මේ ක්‍රියාවලිය කොච්චර වේගයකින් ඒ වගේම කොච්චර ශක්තියක් යොදවලා වෙන්න ඕනෙද කියලා තීරණය කරන්නේ ආන්ත්‍රික ස්නායු පද්ධතියයි.

ආන්ත්‍රික ස්නායු පද්ධතිය අපේ ශරීරයේ ආරක්ෂාව ගැනත් ගොඩක් සැලකිලිමත්. ආහාරවලින් හානිකර බැක්ටීරියා ශරීරයට ඇතුල් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ වගේ බැක්ටීරියා එක්ක සටන් කරන්න අපේ ශරීරයට උදව් වෙන වසා සෛලවලින් සියයට 70ත් 80ත් අතර ප්‍රමාණයක් අපේ බඩේ තියෙන එක කොච්චර හොඳද! හිතන්න ඔයා නරක් වෙච්ච කෑමක් කාලා ශරීරයට හානිකර බැක්ටීරියා ඇතුල් වුණා කියලා. ඒ වෙලාවේ ආන්ත්‍රික ස්නායු පද්ධතිය ආහාර ඉදිරියට තල්ලු කරන ක්‍රියාවලිය වේගවත් කරනවා. ඒ වගේ වෙලාවට බඩඑළිය යෑම මාර්ගයෙන් ඒ හානිකර දේවල් පුළුවන් තරම් ඉක්මනට අපේ ශරීරයෙන් පිට වෙනවා. සමහර වෙලාවට වමනය යන්නත් ඉඩ තියෙනවා.

හොඳ අදහස් හුවමාරුවක්

ආන්ත්‍රික ස්නායු පද්ධතිය මොළේ එක්කත් නිතර තොරතුරු හුවමාරු කරගන්නවා. උදාහරණයකට අපිට බඩගින්නක් ඇති කරවන ඒ වගේම කන්න ඕනෙ ප්‍රමාණය මොළේට දැනුම් දෙන හෝමෝන පාලනය කරන්න මේ පද්ධතිය ලොකු වැඩ කොටසක් කරනවා. ඒ වගේම අපි කෑම කාලා ඇති වුණාම මොළේට සංඥාවක් යවන්නෙත් කාලා වැඩි වුණාම සමහරවිට අපිට වමනෙට වගේ එන්නෙත් මේ පද්ධතියෙන් මොළේට යවන සංඥා නිසයි.

මේ ලිපිය කියවන්නත් කලින් මොළය සහ ආහාර ජීර්ණ පද්ධතිය අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා ඔයාට හිතිලා ඇති. උදාහරණයකට මේදය නැත්නම් තෙල් අඩංගු කෑම කනකොට ඔයාට අමුතු සතුටක් දැනිලා තියෙනවාද? පර්යේෂකයන් කියන්නේ සමහරවිට මේ දේ වෙන්නේ ආන්ත්‍රික ස්නායු පද්ධතියෙන් මොළේට යවන “සතුටුදායක සංඥා” නිසා කියලයි. මානසික පීඩනයෙන් ඉද්දී ගොඩක් අය හිතට සතුටක් ඇති කරවන කෑම ජාති කන්නේ ඇයි කියලා ඒකෙන් අපිට තේරුම්ගන්න පුළුවන්. ආන්ත්‍රික ස්නායු පද්ධතිය කෘත්‍රිම විදිහට සතුටු කරන ක්‍රමයක් හොයාගත්තොත් ඒක මානසික අවපීඩනය වගේ රෝගවලට හොඳ ප්‍රතිකාරයක් වෙයි කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා.

මොළය සහ ජීර්ණ පද්ධතිය අතර තියෙන සම්බන්ධය නිසා තවත් දේවල් සිද්ධ වෙනවා. මොළේට ලොකු පීඩනයක් දැනෙන වෙලාවට, උදාහරණයකට බයක්, කම්පනයක් ඇති වුණ වෙලාවක “බඩ ගොර ගොර ගානවා” නැත්නම් “බඩ පෙරළෙනවා” වගේ දෙයක් ඔයාට දැනිලා තියෙනවාද? එහෙම වෙන්නේ ආන්ත්‍රික ස්නායු පද්ධතිය බඩවැල්වලට යන්න ඕනෙ රුධිරය වෙන පැත්තකට හරවන නිසා වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට බඩවැල්වල හැකිලීම, ලිහිල් වීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන විදිහට වඩා වෙනස් විදිහකට කරන්න කියලා මොළෙන් ආන්ත්‍රික ස්නායු පද්ධතියට සංඥාවක් යවන නිසා කෙනෙක්ට වමනෙට වගේ එන්නත් පුළුවන්.

ආන්ත්‍රික ස්නායු පද්ධතිය කොච්චර දේවල් කළත් ඔයා වෙනුවෙන් තීරණ ගන්නවත් ඔයා වෙනුවෙන් හිතන්නවත් ඒකට බැහැ. තවත් විදිහකින් කියනවා නම් ඒක තවත් මොළයක් නෙමෙයි. ඒත් දැනට හොයාගෙන තියෙන දේවල්වලින් ආන්ත්‍රික ස්නායු පද්ධතිය කොච්චර සංකීර්ණද කියලා විද්‍යාඥයන් තේරුම් අරන් තියෙනවා. ඊළඟ සැරේ ඔයා කෑමක් කන්න යද්දී ඔයා කන කෑම කොච්චර සංකිර්ණ ක්‍රියාවලියක් හරහා යනවාද කියලා ටිකක් හිතලා බලන්න.