Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

දේවදූතයන්

දේවදූතයන්

පොත් පත්වල, චිත්‍රපටිවල දේවදූතයන්ගේ පින්තූර අපි දැකලා තියෙනවා. ඇත්තටම දේවදූතයන් කියන්නේ කාටද? එයාලා මොනවාද කරන්නේ?

දේවදූතයන් කියන්නේ කාටද?

බයිබලයේ කියන දේ:

 

සියලු බලය ඇති දෙවියන් මේ පොළොවත් මිනිසුන්වත් හදන්න කලින් මිනිසුන්ට වඩා උසස්, බලවත්, බුද්ධිමත් ජීවීන් පිරිසක් නිර්මාණය කළා. එයාලා ජීවත් වෙන්නේ මිනිසුන්ට නොපෙනෙන ස්වර්ගයේ, දෙවියන් එක්ක. (යෝබ් 38:4, 7) ඒ බලවත් ජීවීන්ව බයිබලයේ හඳුන්වන්නේ “දේවදූතයන්” කියලයි.—හෙබ්‍රෙව් 1:7. *

දේවදූතයන් කීදෙනෙක් ඉන්නවාද? දෙවියන්ගේ සිංහාසනය වටේට දේවදූතයන් “බොහෝදෙනෙක්” ඒ කියන්නේ “දසදහස් වර දසදහසක්ද දහස් වර දහසක්ද” ඉන්නවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. (එළිදරව් 5:11) දේවදූතයන්ගේ ගණන බයිබලයේ ඒ විදිහට විස්තර කරලා තියෙන එකෙන් පැහැදිලි වෙනවා දේවදූතයන් අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා. මොකද ඒ බයිබල් පදේ සඳහන් සංඛ්‍යාව ගණන් කරලා බැලුවත් එතැනම මිලියන සිය ගාණක් දේවදූතයන් ඉන්නවා.

සිංහාසනය වටා සිටි දේවදූතයන් බොහෝදෙනෙකුගේ හඬ මට ඇසිණ. ඔවුන්ගේ ගණන දසදහස් වර දසදහසක්ද දහස් වර දහසක්ද විය.’—එළිදරව් 5:11.

අතීතයේදී දේවදූතයන් කළේ මොනවාද?

බයිබලයේ කියන දේ:

 

දෙවියන්ගේ පණිවුඩකරුවන් හැටියට හුඟක් වෙලාවට දේවදූතයන් සේවය කරලා තියෙනවා. * ඒ වගේම දෙවියන් දේවදූතයන් යොදාගෙන ආශ්චර්යයනුත් කරලා තියෙනවා. ආබ්‍රහම් එයාගේ පුතා වන ඊසාක්ව පූජා කරද්දී ඒක වළක්වන්නත් එයාට ආශීර්වාද කරන්නත් දෙවියන් යොදාගත්තේ දේවදූතයෙක්වයි. (උත්පත්ති 22:11-18) දෙවියන් මෝසෙස්ගේ ජීවිතය වෙනස් මඟකට යොමු කරන පැවරුම ලබා දුන්නෙත් දේවදූතයෙක් මාර්ගයෙන්. (නික්මයාම 3:1, 2) දානියෙල්ව සිංහ ගුහාවකට දාපු වෙලාවේ දෙවියන් “දූතයෙකුව එවා සිංහයන්ගේ කටවල්” වහලා දැම්මා.—දානියෙල් 6:22.

ඒ අවස්ථාවේදී කටු පඳුරෙන් නැඟුණු ගින්නක් තුළින් යෙහෝවා දෙවිගේ දූතයා [මෝසෙස්ට] පෙනිණ.”—නික්මයාම 3:2.

මේ කාලයේ දේවදූතයන් කරන්නේ මොනවාද?

බයිබලයේ කියන දේ:

 

මේ කාලයේ දේවදූතයන් කරන දේවල් ගැන හැම තොරතුරක්ම අපිට දැනගන්න විදිහක් නැහැ. ඒත් අවංක මිනිසුන්ට දෙවියන් ගැන දැනගන්න උදව් කිරීමේ කාර්යයට දේවදූතයන් හවුල් වෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.—ක්‍රියා 8:26-35; 10:1-22; එළිදරව් 14:6, 7.

යෙහෝවා දෙවියන් යාකොබ්ට දකින්න සලස්වපු සිහිනයකදී එයා දැක්කා පොළොවේ ඉඳන් ස්වර්ගය දක්වා තිබුණු “ඉණිමඟක්” දිගේ දේවදූතයන් නඟිමින් බහිමින් ඉන්න විදිහ. (උත්පත්ති 28:10-12) යෙහෝවා දෙවියන් පොළොවේ ඉන්න ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට උදව් කරන්න දේවදූතයන්ව යොදාගන්නවා කියන දේ ඒකෙන් අපිට තේරුම්ගන්න පුළුවන්. යාකොබ් පවා ඒ දේ තේරුම්ගන්න ඇති.—උත්පත්ති 24:40; නික්මයාම 14:19; ගීතාවලිය 34:7.

“පොළොවේ සිට ස්වර්ගය දක්වා උස් වූ ඉණිමඟක් තිබූ අතර දේවදූතයන් එම ඉණිමඟ දිගේ නඟිමින් බසිමින් සිටියා.”උත්පත්ති 28:12.

^ 6 ඡේ. ඒ දේවදූතයන්ගෙන් සමහරදෙනෙක් දෙවියන්ට අකීකරු වුණා. එයාලාව හඳුන්වන්නේ “භූතයන්” කියලයි.—ලූක් 10:17-20.

^ 11 ඡේ. බයිබලයේ “දේවදූතයා” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් සහ ග්‍රීක වචනවල තේරුම “පණිවුඩකරු” යන්නයි.