Skip to content

පටුනට යන්න

සංචාරක අමුත්තාගේ පුදුම සවාරිය

සංචාරක අමුත්තාගේ පුදුම සවාරිය

ආක්ටික් මුහුදුළිහිණියන් ගැන ඔයා අහලා ඇති. පර්යේෂකයන් හිතාගෙන හිටියේ ආක්ටික් ප්‍රදේශයේ ඉඳන් ඇන්ටාක්ටිකාවට ගිහින් එන්න උන් කි.මී. 35,200ක් විතර පියාඹනවා කියලා. ඒත් උන් ඊටත් වඩා දුරක් පියාඹනවා කියලා ඔයා දන්නවාද?

පින්තූරේ පෙන්වන විදිහට ආක්ටික් මුහුදුළිහිණියාගේ ගමන කෙළින් එකක් නෙමෙයි

කඩදාසි ඇමුණුම් කටුවක් තරම් බර පුංචි උපකරණයක් මේ කුරුල්ලන් කිහිපදෙනෙක්ගේ කකුල්වල සවි කරපු පර්යේෂකයන් උන් කොච්චර දුරක් පියාඹනවාද කියලා හොයලා බැලුවා. පුදුමේ කියන්නේ සමහර කුරුල්ලෝ කි.මී. 90,000ක විතර දුරකුත් එක කුරුල්ලෙක් කි.මී. 96,000ක් දුර සවාරියකුත් ගිහින් තිබුණා. සතෙක් සංක්‍රමණය කරපු වැඩිම දුර ඒකයි. උන් යන දුර ගැන හොයාගෙන තිබුණු තොරතුරු අලුත් කළේ ඇයි?

ඒ උන් යන ගමනේ හැඩය ගැන හොයාගත්ත තොරතුරු නිසයි. ආක්ටික් මුහුදුළිහිණියන් කොහෙන් ගමන පටන්ගත්තත් උන් යන්නේ කෙළින් ගමනක් නෙමෙයි. ඒ වෙනුවට උන් යන්නේ පින්තූරේ පෙන්වලා තියෙන විදිහට S අකුරේ හැඩේට. උන් එහෙම යන්නේ හුළඟ හමන දිසාවට පියාඹන නිසයි.

ආක්ටික් මුහුදුළිහිණියාගේ ආයු කාලේ අවුරුදු 30ක් විතර. ඒ කාලේ ඇතුළත උන් කි.මී. ලක්ෂ 24ක් විතර පියාඹනවා. ඒක තුන්හතර වතාවක් හදට ගිහින් එන්න යන දුර. “ග්‍රෑම් 100කට වඩා පොඩ්ඩක් බර කුරුල්ලෙක්ට ඒ තරම් හපන්කමක් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්නත් බැහැ” කියලා එක ගවේශකයෙක් කියනවා. මේ සවාරිය නිසා උත්තර ධ්‍රැවයේ වගේම දක්ෂිණ ධ්‍රැවයේත් ග්‍රීෂ්ම කාලය ගත කරන්න උන්ට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා වෙන කිසිම සතෙක්ට වඩා වැඩිපුර කාලයක් හිරු එළිය විඳින්න උන්ට පුළුවන් කියලා එක පොතක කියනවා.—Life on Earth: A Natural History.