අනාරක්ෂිත හැඟීම්වලින් ගොඩ එන්න නම් . . .
අලුත උපන් දරුවෙක් තරම් අසරණ කෙනෙක් තවත් නැහැ. මෙලොව එළිය දැකපු දා ඉඳන් අපේ රැකවරණය වුණේ දෙමව්පියන්. අපි යන්තම් අඩිය තියලා ඇවිදින්න හදද්දී අමුත්තන්ව දැක්කේ යෝධයෝ වගේ. දෙමව්පියන් අපි ළඟ නැත්නම් ඒ අයව දැකලා අපි බය වුණා. ඒත් අම්මා හරි තාත්තා හරි අත අල්ලගත්තාම අපිට දැනුණේ ලොකු ආරක්ෂාවක්.
පුංචි කාලෙදී දෙමව්පියන් අපිට ආදරේ කරලා අපිව දිරිගැන්නුව නිසා හොඳින් දේවල් කරන්න පුළුවන් වුණා. ඒ අය අපිට ආදරෙයි කියලා තේරුණාම ආරක්ෂාවක් දැනුණා. අපි හොඳින් දේවල් කරනවා කියන සහතිකය ඒ අය දුන්නාම තව තවත් හොඳින් දේවල් කරන්න අපි පෙලඹුණා.
පාසැල් යන්න පටන්ගත්තාම හම්බ වුණ යාළුවෝ නිසාත් ආරක්ෂාවක් දැනුණා. ඒකෙන් අපේ බය නැති වෙලා පාසැල් වටපිටාව හුරු පුරුදු තැනක් වුණා.
ඒ සිතුවිලි අපිව ළමා කාලයට ගෙනියනවා. සමහර දරුවන්ට ඉන්නේ යාළුවෝ ටිකදෙනයි. හුඟක් දරුවන්ට දෙමව්පියන්ගේ රැකවරණය ලැබෙන්නෙත් නැති තරම්. මෙලිසා * මෙහෙම කියනවා. “පවුලේ අය එකට එකතු වෙලා සතුටින් කාලය ගත කරන පින්තූර දැක්කාම ‘මගේ පුංචි කාලෙත් ඒ වගේ වුණා නම්’ කියලා මට හිතෙනවා.”
හැදුණ වැඩුණ විදිහෙන් අනාරක්ෂිත හැඟීම්
ළමා කාලෙදී ආදරේ, දිරිගැන්වීම අඩුවෙන් ලැබුණ හින්දා ඔයාට ඔයා ගැනම විශ්වාසයක් ගොඩනඟාගන්න බැරි වෙන්න ඇති. දෙමව්පියන් නිතරම රණ්ඩු කරලා අන්තිමේදී විවාහය කැඩුණ හැටි ඔයාට මතක් වෙනවා ඇති. ඒ ඔයා හින්දා කියලා හිතලා ඔයාටම දොස් පවරගත්ත හැටිත් මතක් වෙයි. නැත්නම් අම්මා හරි තාත්තා හරි ඔයාට දරුණු විදිහට ගැහුව එක බැන්න එක මතක් වෙන්නත් පුළුවන්.
ආදරය කරුණාව නොලැබුණ දරුවෙක් කොයි වගේ කෙනෙක් වෙයිද? සමහරු නව යොවුන් වියේදීම මත්ද්‍රව්‍යවලට, මත්පැන්වලට ඇබ්බැහි වෙනවා. තව අය කල්ලිවලට බැඳිලා මට දැන් ආරක්ෂාව තියනවා කියලා හිතනවා. තවත් යෞවනයන් ආදරේ, සෙනෙහස ලැබෙයි කියලා හිතලා ඉක්මනින්ම පෙම් සබඳතාවල පැටලෙනවා. ඒත් ඒ බැඳීම් හුඟක් වෙලාවට වැඩි කල් තියෙන්නේ නැති හින්දා වෙන්නේ අන්ත අසරණ තත්වයකට පත් වෙන්නයි.
ඒ තත්වයේ ඉන්න හැම යෞවනයෙක්ම ලොකු ප්‍රශ්නවල පැටලෙන්නේ නැති වුණත් තමන් වටින්නේ නැහැ කියන හැඟීම ඒ අයට ඇති වෙන්න පුළුවන්. ඇනා මෙහෙම කියනවා. “අම්මා මගේ හොඳක් කිව්වෙවත් මට ආදරේ පෙන්නුවෙවත් නැහැ. නිතරම කිව්වේ මං
කිසිකමකට නැහැ කියලා. ඒ හින්දා මට හිතුණේ ඇත්තටම මගෙන් කිසි වැඩක් නැහැ කියලයි.”අනාරක්ෂිත හැඟීමක් ඇති වෙන්නේ අපි හැදුණු වැඩුණු විදිහ හින්දා විතරක් නෙමෙයි. දික්කසාදයක් හින්දත් මහලු වියේදී ඇති වෙන දුබලතා හින්දත් තමන්ගේ පෙනුම ගැන හුඟක් හිතන හින්දත් ඒ වගේ හැඟෙන්න පුළුවන්. හේතුව මොකක් වුණත් ඒ නිසා අපේ සතුට නැති වෙන්නත් අනිත් අය එක්ක තියෙන සබඳතා බිඳ වැටෙන්නත් ඉඩ තියෙනවා. අනාරක්ෂිත හැඟීම් නැති කරගන්න නම් කරන්න ඕන මොනවාද?
දෙවියන් අපි ගැන සැලකිලිමත්
අපිට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි දෙවියන්. ඔහු අපිට උදව් කරන්න කැමතියි.
අනාගතවක්තෘ යෙසායා මාර්ගයෙන් දෙවියන් කිව්වේ මෙහෙමයි. “කලබල නොවන්න. මන්ද ඔබේ දෙවි මමය. මම ඔබව ශක්තිමත් කරන්නෙමි. ඔබට පිහිට වන්නෙමි. ධර්මිෂ්ඨකම නමැති මාගේ දකුණතින් ඔබව තදින් අල්ලාගන්නෙමි.” (යෙසායා 41:10, 13) දෙවියන් අපේ අත අල්ලගෙන අපිව ශක්තිමත් කරනවා කියලා දැනගන්න ලැබෙන එක කොයි තරම් සහනයක්ද! ඒ නිසා කලබල වෙන්න කිසිම හේතුවක් නැහැ.
හිත කලබල වුණත් දෙවියන්ගේ අත අල්ලගෙන හිටපු අය ගැන බයිබලයේ කියනවා. උදාහරණෙකට සාමුවෙල්ගේ අම්මා වන හන්නා දරුවන් නැති හින්දා හුඟක් කලකිරුණා. නිතරම ඇයව සමච්චලයටත් ලක් වුණා. ඒ නිසා හන්නා නොකා නොබී දුකෙන් හිටියා. (1 සාමුවෙල් 1:6, 8) ඒත් හිතේ තියෙන හැම දේම දෙවියන්ට කිව්වාට පස්සේ කනස්සල්ලෙන් මිදෙන්න ඇයට පුළුවන් වුණා.—1 සාමුවෙල් 1:18.
දාවිත්ටත් අනාරක්ෂිත හැඟීම් ඇති වුණ වෙලාවල් තිබුණා. සාවුල් රජ අවුරුදු ගාණක් තිස්සේ ඔහුව මරන්න පස්සෙන් පැන්නුවා. අවස්ථා කීපයකදීම ඔහු බේරුණේ නූලෙන්. ඒ වගේ වෙලාවලදී ඔහුට හැඟුණේ ගොඩ එන්න බැරි තරමටම ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්නවා කියලයි. (ගීතාවලිය 55:3-5; 69:1) ඒත් ඔහු ලිව්වේ මෙහෙමයි. “මම සුවෙන් නිදාගන්නෙමි. යෙහෝවා දෙවියනි, ඔබ මට කිසිදු බියක් නොමැතිව සැනසීමෙන් ජීවත් වීමට සලස්වන්නෙහිය.”—ගීතාවලිය 4:8.
හන්නා සහ දාවිත් හිතේ තියෙන දේවල් යෙහෝවා දෙවියන්ට බාර දුන්නාම ඔහු ඒ අයගේ හිත ශක්තිමත් කෙරුවා. (ගීතාවලිය 55:22) ඒ වගේ ශක්තියක් ලබාගන්න අපිටත් පුළුවන්ද?
අනාරක්ෂිත හැඟීම්වලින් මිදෙන්න ක්‍රම 3ක්
1. යෙහෝවා දෙවියන්ව පියෙක් කියලා විශ්වාස කරන්න.
යේසුස් අපෙන් ඉල්ලුවේ ඔහුගේ පියාණන් වන ‘එකම සැබෑ දෙවිව’ හඳුනගන්න කියලයි. (යොහන් 17:3) ‘ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නෙමෙයි’ කියලා පාවුල් සහතික කෙරුවා. (ක්‍රියා 17:27) යාකොබ් ලිව්වෙත් “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලයි.—යාකොබ් 4:8.
කනස්සල්ලෙන් මිදෙන්න නම් අපේ දෙවි පියාණන් අපිට ආදරෙයි, අපි ගැන සැලකිලිමත් කියලා තේරුම්ගන්න ඕනේ. ඒ විශ්වාසය ඇති වෙන්න කාලයක් ගියත් ඒක ලොකු උදව්වක් කියලා හුඟදෙනෙක් තේරුම් අරන් තියෙනවා. කැරලයින් මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන් මගේම තාත්තා කියලා දැනුණාම හිතේ තියෙන හැම දේම ඔහුට කියන්න මට පුළුවන් වුණා. ඒකෙන් ලොකු සහනයක් ලැබුණා.”
“අම්මායි තාත්තායි මාව දාලා ගියාම මං තනි වුණා. මට දැනුණ බය නැති කරගන්න උදව් කෙරුවේ යෙහෝවා දෙවියන්. මගේ ප්‍රශ්න ගැන කියලා උදව් ඉල්ලුවාම ඔහු මට උදව් කෙරුවා” කියලා රේචල් කිව්වා. *
2. යෙහෝවා දෙවියන්ට ආදරේ අයව හොයාගන්න.
අනිත් අයව සහෝදර සහෝදරියන් හැටියට සලකන්න කියලා යේසුස් ඔහුගේ ගෝලයන්ට ඉගැන්නුවා. ඔහු ඔවුන්ට කිව්වේ “ඔබ සියලුදෙනාම සහෝදරයෝ” කියලයි. (මතෙව් 23:8) ඔහුගේ ගෝලයෝ එකිනෙකාට ප්‍රේම කරමින් එක පවුලක් වගේ ඉන්නවා දකින්නයි ඔහු කැමති වුණේ.—මතෙව් 12:48-50; යොහන් 13:35.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවල අය අනිත් අයට ආදරය, කරුණාව පෙන්නලා තමන් එක පවුලක අය කියන හැඟීම ඇති කරන්න උත්සාහ කරනවා. (හෙබ්‍රෙව් 10:24, 25) සිත්තැවුලෙන්, වේදනාවෙන් ඉන්න වෙලාවට සභා රැස්වීම්වලින් හුඟදෙනෙක්ට ලොකු සහනයක් ලැබිලා තියෙනවා.
ඊවා මෙහෙම කියනවා. “මගේ දුක තේරුම්ගත්ත හොඳ යාළුවෙක් සභාවේ හිටියා. එයා මට ඇහුම්කන් දීලා, මට ඇහෙන්න බයිබලය කියවලා, මාත් එක්ක යාච්ඤා කරලා මං තනි වෙලා නැහැ කියලා දැනෙන්න සැලැස්සුවා. මගේ හිතේ තියෙන හැම දේම කියලා දුක තුනී කරගන්න එයා මට උදව් කෙරුවා. ඒ නිසා ආරක්ෂාවක් තියෙනවා කියලා දැනෙන්න පටන්ගත්තා.” රේචල් කියන්නෙත් මෙහෙමයි. “අපේ සභාවෙන් මට අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි හම්බ වුණා. ඒගොල්ලන් මට ආදරෙන් සැලකුව නිසා රැකවරණයක් තියෙනවා කියලා මට දැනුණා.”
3. අනිත් අයට ආදරය, කරුණාව පෙන්වන්න.
අනිත් අයට ආදරය, කරුණාව පෙන්වද්දී ශක්තිමත් මිතුදම් ඇති වෙනවා. යේසුස් කිව්වේ “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙනවා” කියලයි. (ක්‍රියා 20:35) “දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි” කියලත් කිව්වා. (ලූක් 6:38) අපි අනිත් අයට වැඩියෙන් ආදරය කරද්දී ඒ අයගේ ආදරයත් අපිට ලැබෙනවා.
අපි ආදරය පෙන්වද්දී, අපිට ආදරය ලැබෙද්දී සුරක්ෂිතබවක් දැනෙනවා. බයිබලයේ කියන්නේ ‘ප්‍රේමය සදාතනිකයි’ කියලා. (1 කොරින්ති 13:8) “මං ගැන අඩුවෙන් හිතන එක හොඳ නැහැ කියලා මං දන්නවා. ඒ සිතුවිලි අයින් කරගන්න මට උදව් වුණේ මං ගැන අමතක කරලා අනිත් අයට උදව් කරපු එක. ඒකෙන් මට ලොකු සතුටක් දැනෙනවා” කියලා මාරියා කිව්වා.
සුරක්ෂිත කාලයක් හැමෝටම
කලින් කිව්ව දේවල් කෙරුවා කියලා අනාරක්ෂිත හැඟීම් එකපාරටම නැති වෙන්නේ නැහැ. ඒත් ලොකු වෙනසක් කරන්න ඒවාට පුළුවන්. කැරලයින් කියන්නේ මෙහෙමයි. “ඉඳලා හිටලා බයක් දැනුණත් දෙවියන් මං ගැන සැලකිලිමත් කියලා දන්න නිසා මගේ වටිනාකමක් තියෙනවා කියලා මට හැඟෙනවා. ආරක්ෂාවක් තියෙනවා කියලා දැනෙන්න සලස්වන යාළුවොත් දැන් මට ඉන්නවා.” රේචල් කිව්වෙත් මෙහෙමයි. “දුකක් දැනෙද්දී ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් මට හොඳ මඟ පෙන්වීම් දෙනවා. හරි විදිහට දේවල් දිහා බලන්න මට උදව් කරනවා. ඊටත් වඩා හැමදාම කතා කරන්න පුළුවන් තාත්තා කෙනෙකුත් මට ස්වර්ගයේ ඉන්නවා. මගේ ජීවිතේ වෙනස් වුණේ ඒ නිසයි.”
මේ පොළොව හැම අතින්ම සුරක්ෂිතව ඉන්න පුළුවන් පාරාදීසයක් වෙනවා කියලා බයිබලයේ කියනවා
මේ පොළොව හැම අතින්ම සුරක්ෂිතව ඉන්න පුළුවන් පාරාදීසයක් වෙනවා කියලා බයිබලයේ කියනවා. ඒකේ කියන්නේ මෙහෙමයි. “ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.” (මීකා 4:4) ඒ කාලෙදී අපිට ආරක්ෂාවක් නැහැ කියලා හැඟෙන්න සලස්වන, අපිට හානි කරන කිසි කෙනෙක් නැහැ. හිතෙන් මකලා දාන්න බැරි වුණ දුක් වේදනා ‘නැවත කිසි දිනක මතකයට නැඟෙන්නෙත් නැහැ.’ (යෙසායා 65:17, 25) දෙවියන් සහ ඔහුගේ පුත්‍රයා වන යේසුස් ‘ධර්මිෂ්ඨ සමාජයක් බිහි කරනවා.’ එදාට ‘ජනයා සදහටම කිසි කරදරයක් නොමැතිව සුරක්ෂිතව කල් ගෙවනවා.’—යෙසායා 32:17.
^ 5 ඡේ. නම් වෙනස් කර ඇත.
^ 21 ඡේ. දෙවියන්ට ළං වෙන්න කැමති අයට බයිබලයේ තියෙන තොරතුරු දැනගන්න නොමිලේ උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කැමතියි.