Skip to content

පටුනට යන්න

දෙවියන් හැම යාච්ඤාවකටම උත්තර නොදෙන්නේ ඇයි?

දෙවියන් හැම යාච්ඤාවකටම උත්තර නොදෙන්නේ ඇයි?

ස්වර්ගයේ ඉන්න අපේ ආදරණීය පියාණන් වන යෙහෝවා දෙවියන්, අපි හදවතින්ම කරන යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න හුඟක් ආසාවෙන් ඉන්නවා. ඒත් දෙවියන් හැම යාච්ඤාවකටම ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ ඇයි? ඒ වගේම යාච්ඤා කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනෙ මොන දේවල් ගැනද? ඒ ගැන බයිබලේ දීලා තියෙන මඟ පෙන්වීම් කිහිපයක් බලමු.

“ඔබ යාච්ඤා කරන විට . . . එකම දේ නැවත නැවතත් නොකියන්න.”—මතෙව් 6:7.

අපි කටපාඩමින් හරි යාච්ඤා පොතක් බලන් හරි එකම දේ ආයේ ආයේ කියනවාට දෙවියන් කැමති නැහැ. ඒ වෙනුවට දෙවියන් කැමති අපි හදවතින්ම ඔහුට කතා කරනවාටයි. ටිකක් හිතන්න, ඔයාගේ යාළුවෙක් හැමදාම ඔයාව හම්බ වෙලා එකම වචන ටික කියනවා කියලා. ඒක ඔයාට මොන තරම් වධයක් වෙයිද! හොඳ යාළුවෝ හිතේ තියෙන හැම දෙයක්ම විවෘතව කතාබහ කරනවා. අපි අපේම වචනවලින් ස්වර්ගික පියාණන් එක්ක කතා කරද්දී ඒකෙන් පෙන්වන්නේ අපි ඔහුව අපේ යාළුවෙක් හැටියට සලකනවා කියලයි.

“ඔබ ඉල්ලුවත් ඔබට කිසි දෙයක් ලැබෙන්නේ නැත. මන්ද ඔබ ඉල්ලන්නේ වැරදි චේතනාවකිනි.”—යාකොබ් 4:3.

දෙවියන් අකමැති දෙයක් ලබාගන්න හරි කරන්න හරි උදව් ඉල්ලලා අපි කරන යාච්ඤාවලට ඔහු ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා අපි දන්නවා. උදාහරණෙකට තණ්හාව ඇති කරගන්නවත් වාසනාව ගැන විශ්වාසය තියලා වැඩ කරන්නවත් එපා කියලා දෙවියන් පැහැදිලිවම කියලා තියෙනවා. එහෙමනම් සූදුවේ යෙදෙන කෙනෙක් සල්ලි දිනාගන්න තමන්ට වාසනාව උදා කරලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලුවොත් ඒ යාච්ඤාවලට ඔහු ඇහුම්කන් දෙයිද? (යෙසායා 65:11; ලූක් 12:15) දෙවියන් ඒ වගේ යාච්ඤාවලට ඇහුම්කන් දෙයි කියලා කීයටවත් හිතන්න බැහැ. දෙවියන් අපේ යාච්ඤා අහන්න නම් අපේ ඉල්ලීම් බයිබලේ තියෙන දේවලට එකඟ වෙන්න ඕනේ.

“නීතියට සවන් නොදෙන අයගේ යාච්ඤාව පවා දෙවිට පිළිකුලකි.”—හිතෝපදේශ 28:9.

දෙවියන්ගේ නීතිවලට කීකරු නොවුණු අයගේ යාච්ඤාවලට දෙවියන් අතීතයේදී ඇහුම්කන් දුන්නේ නැහැ. (යෙසායා 1:15, 16) ඔහු අදටත් වෙනස් වෙලා නැහැ. (මලාකි 3:6) අපේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙනවාට අපි කැමති නම් ඔහු දීලා තියෙන නීතිවලට එකඟව අපි ජීවත් වෙන්න ඕනේ. ඒත් කලින් අපේ අතින් වැරදි වෙලා තියෙනවා නම් දෙවියන් අපි කරන යාච්ඤාවලට කවදාවත් ඇහුම්කන් දෙන්නේ නැතුව ඉඳියිද? නැහැ. අපි කරපු වැරදි හදාගෙන, පුළුවන් උපරිමයෙන් දෙවියන්ව සතුටු වන විදිහට වැඩ කරන්න අපි උත්සාහ කරනවා නම් අපිට සමාව දෙන්න දෙවියන් හුඟක් ආසාවෙන් බලන් ඉන්නවා.—ක්‍රියා 3:19.