හැමෝටම ආදරය පෙන්වන්න පුළුවන් කොහොමද?
මුල්ම මිනිසා වුණු ආදම්ගෙන් පැවතෙන අපි හැමෝම අයිති වෙන්නේ එකම පවුලකට. සාමාන්‍යයෙන් පවුලක සාමාජිකයන් එකිනෙකාට ආදරයෙන්, ගෞරවයෙන් සලකන්න ඕනෙ වුණත් අද නම් ඒ වගේ දෙයක් දකින්න නැති තරම්. හැබැයි අපේ ආදරණීය දෙවියන් බලාපොරොත්තු වුණේ ඒ වගේ දෙයක් නෙවෙයි.
ආදරය පෙන්වන එක ගැන ශුද්ධ ලියවිල්ලේ කියන්නේ මොනවාද?
“ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.”—ලෙවී කතාව 19:18.
“ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න.”—මතෙව් 5:44.
අනිත් අයට ආදරය කරන කෙනෙක් කොයි වගේද?
ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයෙක් මොන වගේද කියලා දෙවියන් ඔහුගේ ලියවිල්ලේ 1 කොරින්ති 13:4-7 විස්තර කරලා තියෙනවා. ඒ වගේ කෙනෙක් . . .
“බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය.”
මේ ගැන හිතන්න. ඔයාගේ අතින් වරදක් වුණු වෙලාවක අනිත් අය ඔයාත් එක්ක කේන්ති ගන්නේ නැතුව ඉවසීමෙන්, කරුණාවෙන් කටයුතු කරද්දී ඔයාට හැඟෙන්නේ කොහොමද?
‘ඊර්ෂ්‍යා කරන්නේ නැත.’
මේ ගැන හිතන්න. අනිත් අය කොයි වෙලෙත් ඔයාව සැක කරනවා නම් ඔයාට ඊර්ෂ්‍යා කරනවා නම් ඔයාට හැඟෙන්නේ කොහොමද?
“තමාගේම වාසිය සොයන්නේ නැත.”
මේ ගැන හිතන්න. අනිත් අය කොයි වෙලෙත් එයාලගෙම අදහස් හරියි කියලා හිතන්නේ නැතුව ඔයාගේ අදහස්වලටත් ගරු කරනවා නම් ඔයාට හැඟෙන්නේ කොහොමද?
“අමනාපයක් සිතේ තබාගන්නේ නැත.”
මේ ගැන හිතන්න. කෙනෙක් අතින් පාපයක් වුණත් එයා ඒ ගැන අවංකවම පසුතැවිලි වෙනවා නම් දෙවියන් කැමැත්තෙන්ම ඒ කෙනාට සමාව දෙනවා. ඔහු ‘අපි අතින් සිදු වෙන වැරදි සැමදා මතකයේ තබාගන්නේවත් සදහටම අප සමඟ අමනාපයෙන් සිටින්නේවත් නැහැ.’ (ගීතාවලිය 103:9) අපි අතින් වෙන වැරදිවලට අනිත් අය අපිට සමාව දෙනවාට අපි කැමතියි. ඒ නිසා අපිත් අනිත් අය අතින් වෙන වැරදිවලට සමාව දෙන්න කැමැත්තෙන් ඉන්න ඕනේ.—ගීතාවලිය 86:5.
“අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත.”
මේ ගැන හිතන්න. අපිට කරදරයක් වුණාම අනිත් අය ඒ ගැන සතුටු වෙනවාට අපි කැමති නැහැ. ඒ නිසා අනිත් අයට කරදරයක් වුණාම අපි ඒ ගැන සතුටු වෙන්නෙත් නැහැ. අඩුම තරමේ අපිට නපුරු විදිහට සලකන කෙනෙක්ට වුණත් අපි එහෙම කරන්නේ නැහැ.
දෙවියන්ගේ ආශීර්වාද අද්දකින්න නම් අපි වයස, ජාතිය, ආගම බලන්නේ නැතුව හැම කෙනෙක්ටම ආදරය කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි අවශ්‍යතාව තියෙන අයට උදව් කරන එක.