Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 31

යෙහෝවා දෙවියන් පියවර ගන්න කල් ඉවසීමෙන් බලන් ඉන්න

යෙහෝවා දෙවියන් පියවර ගන්න කල් ඉවසීමෙන් බලන් ඉන්න

“මම ඉවසිල්ලෙන් බලා සිටින්නෙමි.”—මීකා 7:7.

ගීතිකාව 128 අවසානය දක්වා විඳදරාගන්න

මේ ලිපියෙන් *

1-2. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

හිතන්න අත්‍යවශ්‍ය පාර්සලයක් ලැබෙන කල් ඔයා ආසාවෙන් බලන් ඉන්නවා කියලා. හිතපු දවසට ඒ පාර්සලය ලැබුණේ නැත්නම් ඔයා ඒ ගැන වධ වෙනවා නේද? ඒක ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. මොකද හිතෝපදේශ 13:12 මෙහෙම කියනවා. “බලාපොරොත්තු වන දේ ප්‍රමාද වූ විට සිත කලකිරෙන්නේය.” හැබැයි ඒ පාර්සලය පරක්කු වෙන්න සාධාරණ හේතු තියෙනවා කියලා ඔයා දැනගත්තොත් ඒක එන කල් ඉවසීමෙන් බලන් ඉන්න ඔයාට ලේසි වෙයි.

2 ‘ඉවසීමෙන් බලා සිටින්න’ උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. (මීකා 7:7) ඒ වගේම යෙහෝවා දෙවියන් පියවර ගන්න කල් අපි ඉවසීමෙන් බලන් ඉන්න ඕන අවස්ථා දෙකක් ගැනත් ඉවසීමෙන් බලන් ඉන්න අයට ලැබෙන ආශීර්වාද ගැනත් මේ ලිපියෙන් බලනවා.

ඉවසීමෙන් බලාගෙන ඉන්න එක ගැන තියෙන බයිබල් ප්‍රතිපත්ති

3. හිතෝපදේශ 13:11 තියෙන ප්‍රතිපත්තියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

3 ඉවසන එක කොච්චර වැදගත්ද කියලා හිතෝපදේශ 13:11 කියන මේ දෙයින් පැහැදිලි වෙනවා. “වෙහෙස මහන්සියක් නොමැතිව උපයාගන්න තැනැත්තාගේ වස්තුව අඩු වී යන්නේය. නමුත් දෑතේ වීර්යයෙන් උපයාගන්නාගේ වස්තුව තව තවත් වැඩි වන්නේය.” ඒ බයිබල් පදයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? එතන කියන්නේ ඥානවන්ත කෙනෙක් වෙහෙස මහන්සි වෙලා ටිකෙන් ටික දේවල් කරනවා කියලා. ඒ නිසා දේවල් සාර්ථකව කරන්න එයාට පුළුවන් වෙනවා.

4. හිතෝපදේශ 4:18 අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

4 හිතෝපදේශ 4:18 කියනවා, “ධර්මිෂ්ඨයන්ගේ මාවත්, අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය මෙනි” කියලා. මේ බයිබල් පදයේ කතා කරන්නේ යෙහෝවා දෙවියන් ඔහු අරමුණු කරලා තියෙන දේවල් ඔහුගේ සෙනඟට ටිකෙන් ටික තේරුම් කරලා දෙන විදිහ ගැනයි. හැබැයි කෙනෙක් ජීවිතේ වෙනස්කම් කරගෙන යෙහෝවා දෙවියන්ට ළං වෙන විදිහ තේරුම්ගන්නත් මේ බයිබල් පදය උදව් වෙනවා. කෙනෙක්ට එක දවසකින් යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න බැහැ. ඒකට යම් කාලයක් යනවා. ඒ දේ කරන්න නම් අපි දිගටම යෙහෝවා දෙවියන් බයිබලය සහ ඔහුගේ සංවිධානය මාර්ගයෙන් දෙන මඟ පෙන්වීම් හොඳින් අධ්‍යයනය කරලා ඒවා ජීවිතේට අදාළ කරගන්න ඕනේ. එතකොට යේසුස්ට තියෙනවා වගේ ගුණාංග ටිකෙන් ටික වර්ධනය කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ වගේම යෙහෝවා දෙවියන්ව තවත් හොඳින් දැන හඳුනා ගන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. යේසුස් ඒක උදාහරණෙකින් පැහැදිලි කළේ කොහොමද කියලා බලමු.

පැළයක් ටිකෙන් ටික වර්ධනය වෙනවා වගේ ශුභාරංචිය පිළිගන්න කෙනෙක් සත්‍ය මාර්ගයේ දියුණු වෙන්නේ ක්‍රමානුකූලවයි (5 ඡේදය බලන්න)

5. යේසුස් උදාහරණෙකින් පැහැදිලි කළේ මොකක්ද?

5 යේසුස් අපි දේශනා කරන සත්‍ය පණිවිඩය අවංක කෙනෙක්ගේ හිතේ පැළ වෙන බීජයකට සමාන කළා. ඔහු මෙහෙම කිව්වා. “බීජය පැළ වී උසට වැඩී ඇති ආකාරය ඔහු [වපුරන්නා] දකියි. නමුත් එය සිදු වුණේ කොහොමද කියා ඔහු දන්නේ නැහැ. මුලින්ම පොළොවෙන් මතු වන්නේ කුඩා අංකුරයක්. ඉන්පසුව ක්‍රමානුකූලව ඒ අංකුරය පැළයක් බවට වැඩී එහි කරල් හටගනී. අන්තිමට සම්පූර්ණයෙන් පැසී ඇති ධාන්‍ය කරල් එහි දක්නට ලැබෙයි.” (මාක් 4:27, 28) පැළයක් ටිකෙන් ටික වැඩෙනවා වගේ අපේ පණිවිඩය ආසාවෙන් පිළිගන්න කෙනෙක් සත්‍ය මාර්ගයේ ටිකෙන් ටික දියුණු වෙන විදිහ යේසුස් ඒ උදාහරණෙන් පැහැදිලි කළා. ඉතින් අපේ ශිෂ්‍යයන් ටිකෙන් ටික යෙහෝවා දෙවියන්ට ළං වෙද්දී එයාලම එයාලගේ ජීවිතේ හුඟක් වෙනස්කම් කරගන්නවා කියලා අපිට පෙනෙයි. (එෆී. 4:22-24) හැබැයි ඒ පුංචි බීජයට වර්ධනය දුන්නේ යෙහෝවා දෙවියන් කියලා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ.—1 කොරි. 3:7.

6-7. යෙහෝවා දෙවියන් පොළොව නිර්මාණය කරපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 යෙහෝවා දෙවියන් කවදාවත් හදිස්සි වෙලා වැඩ කරන්නේ නැහැ. ඔහු කරන හැම දෙයක්ම හොඳට වෙලාව අරන් හරියට කරනවා. දෙවියන් එහෙම කරන එකෙන් ඔහුගේ නමට ලොකු ගෞරවයක් ලැබෙනවා වගේම අනිත් අයටත් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණෙකට දෙවියන් පියවරෙන් පියවර මේ පොළොව නිර්මාණය කරපු විදිහ බලන්න.

7 යෙහෝවා දෙවියන් පොළොව නිර්මාණය කරද්දී ඒකේ ‘දිග පළල නියම කළා’ කියලත් ‘අත්තිවාරම් සවිමත්ව දැම්මා’ කියලත් ‘ප්‍රධාන ගල තැබුවා’ කියලත් බයිබලේ කියනවා. (යෝබ් 38:5, 6) ඒ වගේම දෙවියන් පොළොව පියවරෙන් පියවර නිර්මාණය කරද්දී නිර්මාණය කරපු දේවල් ආපහු පරීක්ෂා කරලා බලන්නත් කාලය ගත්තා. (උත්. 1:10, 12) යෙහෝවා දෙවියන් ටිකෙන් ටික මේ පොළොව ලස්සන කරද්දී දේවදූතයන් කොච්චර ආසාවෙන් ඒ දිහා බලාගෙන ඉන්න ඇද්ද! බයිබලේ කියනවා එයාලා “සතුටු සිතින් ප්‍රශංසා” කළා කියලා. (යෝබ් 38:7) මේ පොළොව නිර්මාණය කරන්න දෙවියන් අවුරුදු දහස් ගාණක් ගත්තත් හැම දෙයක්ම නිර්මාණය කරලා ඉවර වුණාට පස්සේ, ‘ඒ සියල්ල ඉතා හොඳින් සාදා තිබුණා’ කියලා ඔහු දැක්කා.—උත්. 1:31.

8. අපි ඊළඟට බලන්න යන්නේ මොනවාද?

8 ඉවසීමෙන් බලන් ඉන්න එක කොච්චර වැදගත්ද කියලා පෙන්නන ප්‍රතිපත්ති ගොඩක් බයිබලේ තියෙනවා කියලා අපි සාකච්ඡා කරපු තොරතුරුවලින් පැහැදිලියි. යෙහෝවා දෙවියන් පියවර ගන්න කල් අපි ඉවසීමෙන් බලන් ඉන්න ඕන අවස්ථා දෙකක් ගැන දැන් අපි බලමු.

ඉවසීමෙන් බලන් ඉන්න ඕනෙ මොන අවස්ථාවලදීද?

9. අපි ඉවසීමෙන් බලන් ඉන්න ඕනෙ එක අවස්ථාවක් මොකක්ද?

9 අපේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙන කල්. පීඩාවකට මුහුණ දෙන්න වුණාම එහෙම නැත්නම් යම් දුර්වලකමක් ජය ගන්න උදව් ඕනෙ වුණාම අපි යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරනවා. සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපේ යාච්ඤාවට යෙහෝවා දෙවියන්ගෙන් තාමත් උත්තරයක් ලැබුණේ නැහැනෙ කියලා. අපි කරන සමහර යාච්ඤාවලට යෙහෝවා දෙවියන් ඉක්මනින්ම උත්තරයක් දෙන්නේ නැත්තේ ඇයි?

10. අපේ යාච්ඤාවලට යෙහෝවා දෙවියන් උත්තර දෙන කල් අපි ඉවසීමෙන් බලන් ඉන්න ඕනෙ ඇයි?

10 බයිබලේ යෙහෝවා දෙවියන්ව හඳුන්වලා තියෙන්නේ යාච්ඤා අසන තැනැත්තා විදිහටයි. (ගීතා. 65:2) යාච්ඤා කරන එකෙන් අපි පෙන්නන්නේ ඔහු ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා කියලා. (හෙබ්‍රෙ. 11:6) දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්න අපිට උදව් කරන්න කියලා අපි ඉල්ලද්දී ඒ යාච්ඤාවට එකඟව අපි ජීවත් වෙන්න කොච්චර උත්සාහ කරනවාද කියලා යෙහෝවා දෙවියන් බලනවා. (1 යොහ. 3:22) ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඉවසීමෙන් අපේ දුර්වලකම ජය ගන්න අපි අපේ උපරිමය කරන්න ඕනේ. අපි කරන සමහර යාච්ඤාවලට ඉක්මනින්ම පිළිතුරක් ලැබෙන්නේ නැහැ කියලා යේසුස් කියපු මේ දෙයින් පැහැදිලියි. “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි. නොකඩවාම තට්ටු කරන්න. එවිට ඔබට විවෘත කර දෙනු ලැබෙයි. මන්ද ඉල්ලමින් සිටින සියල්ලන්ට ලැබෙයි. සොයමින් සිටින සියල්ලන්ට සම්බ වෙයි. තට්ටු කරමින් සිටින සියල්ලන්ට විවෘත කර දෙනු ලැබෙයි.” (මතෙ. 7:7, 8) යේසුස් කියපු ඒ උපදෙස හිතට අරගෙන අපි ‘නොකඩවා යාච්ඤා කරනවා’ නම් යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම අපේ යාච්ඤාවලට උත්තර දෙයි.—කොලො. 4:2.

කාරණය ගැන යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළාට පස්සේ දිගටම ඉවසීමෙන් බලාගෙන ඉමු (11 ඡේදය බලන්න) *

11. අපේ යාච්ඤාවට උත්තර ලැබෙන්න පරක්කුයි කියලා හිතුණොත් හෙබ්‍රෙව් 4:16 අපිට උදව් වෙන්නේ කොහොමද?

11 අපේ යාච්ඤාවලට උත්තර ලැබෙන්න පරක්කුයි කියලා අපිට හිතුණත් ‘අපිට අවශ්‍ය වෙලාවේදී’ අනිවාර්යයෙන්ම අපිට උදව් කරනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (හෙබ්‍රෙව් 4:16 කියවන්න.) ඒ නිසා අපි හිතපු තරම් ඉක්මනට දේවල් සිද්ධ වුණේ නැති වුණාම දෙවියන්ට දොස් කියන්න හොඳ නැහැ. උදාහරණෙකට හුඟක් අය අවුරුදු ගාණක් තිස්සේ දුෂ්ටකමට නිමාවක් ගෙනල්ලා දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා. ඒ විදිහට යාච්ඤා කරන්න කියලා යේසුත් කිව්වා. (මතෙ. 6:10) හැබැයි අපිට ඕනෙ වෙලාවට විනාශය ආවේ නැහැ කියලා හිතලා යෙහෝවා දෙවියන් ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එක කොයි තරම් මෝඩකමක්ද! (හබ. 2:3; මතෙ. 24:44) මොකද යෙහෝවා දෙවියන් විනාශය ගේන “දවස හා වේලාව” දැනටමත් තීරණය කරලා ඉවරයි. විනාශය ආවාම අපි හැමෝටම තේරෙයි දෙවියන් ඒක ගෙනාවේ නියම වෙලාවේදී කියලා. (මතෙ. 24:36; 2 පේතෘ. 3:15) ඒ නිසා යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවලට උත්තර දෙන කල් විශ්වාසයෙන්, ඉවසීමෙන් බලන් ඉන්න එක කොච්චර වැදගත්ද!

ඉවසීමෙන් බලන් ඉන්න එක ගැන යෝසෙප්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? (12-14 ඡේද බලන්න)

12. අපිට ඉවසීමෙන් බලන් ඉන්න එක අමාරු වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවකද?

12 යුක්තිය ඉටු වෙන කල්. ජාතිය, කුලය, සංස්කෘතිය, ගැහැණු පිරිමි භේදය වගේ දේවල් නිසා හුඟක් අයට අසාධාරණකම්වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය ශාරීරික නැත්නම් මානසික ආබාධ තියෙන අයව පහත් කරලා සලකනවා. තමන්ගේ විශ්වාසයන් නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ගොඩක් පීඩාවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අසාධාරණකම්වලට මුහුණ දෙන්න වෙද්දී යේසුස් කියපු මේ වචන අපි මතක තියාගන්න එක හරිම වැදගත්. “ගැලවීම ලබන්නේ අවසානය දක්වාම විඳදරාගන්නා තැනැත්තායි.” (මතෙ. 24:13) හැබැයි සභාවේ කෙනෙක් බරපතළ වරදක් කරනවා කියලා ඔයාට දැනගන්න ලැබුණොත් මොකද කරන්නේ? වැඩිමහල්ලන්ට ඒ ගැන දැනුම් දුන්නාට පස්සේ යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් වැඩිමහල්ලන් ඒ කාරණය විසඳන කල් අපි ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. කෙනෙක් බරපතළ වරදක් කළාම වැඩිමහල්ලන් ගන්නේ මොන වගේ පියවරද?

13. සභාවේ කෙනෙක් බරපතළ වරදක් කළාම වැඩිමහල්ලන් ගන්න පියවර මොනවාද?

13 සභාවේ කෙනෙක් බරපතළ වරදක් කරලා තියෙනවා කියලා දැනගන්න ලැබුණාම වැඩිමහල්ලන් මොනවාද කරන්නේ? ඒ කාරණය දිහා යෙහෝවා දෙවියන් බලන විදිහ තේරුම්ගන්න එයාලා “ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව” ඉල්ලලා යාච්ඤා කරනවා. (යාකො. 3:17) එයාලට ඕනෙ “පව්කාර තැනැත්තාගේ වරදින් ඔහුව ඉවතට හරවාගන්නයි.” (යාකො. 5:19, 20) ඒ විතරක් නෙවෙයි සභාව ආරක්ෂා කරගන්නත් සිද්ධ වෙච්ච දේ නිසා වේදනාවෙන් ඉන්න අයව සනසන්නත් එයාලා එයාලට පුළුවන් හැම දේම කරනවා. (2 කොරි. 1:3, 4) කෙනෙක් බරපතළ වරදක් කරලා තියෙනවා කියලා දැනගත්තාම වැඩිමහල්ලන් හදිස්සි වෙලා තීරණ ගන්නේ නැහැ. මුලින්ම කාලය අරන් ඒ කාරණයට සම්බන්ධ හැම තොරතුරක් ගැනම එයාලා හොයලා බලනවා. ඊටපස්සේ යාච්ඤා කරලා වරද කරපු කෙනාට ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන උපදෙස් සහ “සුදුසු ප්‍රමාණයට” හික්මවීම් ලබා දෙනවා. (යෙරෙ. 30:11) මේ වගේ බරපතළ කාරණා හදිස්සි වෙන්නෙත් නැතුව අනවශ්‍ය විදිහට කල් දාන්නෙත් නැතුව යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට අනුව වැඩිමහල්ලන් විසඳද්දී සභාවේ හැමෝටම ඒකෙන් ප්‍රයෝජන ලැබෙනවා. වැඩිමහල්ලන් එයාලගේ උපරිමයෙන් කාරණා හරි විදිහට විසඳුවත් සිද්ධ වෙච්ච දේ නිසා හානියක් වුණ අයගේ වේදනාව දිගටම තියෙන්න ඉඩ තියෙනවා. ඔයාත් ඒ වගේ දේකට මුහුණ දුන්න කෙනෙක් නම් ඒ තත්වයෙන් ගොඩ එන්න ඔයාට පුළුවන් කොහොමද?

14. සභාවේ කෙනෙක් කරපු දෙයක් නිසා ඔයා ගොඩක් වේදනාවෙන් ඉන්නවා නම් ඔයාට උදව් වෙන්නේ මොන බයිබල් ආදර්ශයද?

14 සභාවේ කෙනෙක් හරි වෙන කෙනෙක් හරි කරපු දෙයක් නිසා ඔයා ලොකු වේදනාවකින්ද ඉන්නේ? එහෙනම් යෙහෝවා දෙවියන්ට කාරණා භාර දීලා ඉවසීමෙන් බලන් හිටපු බයිබල් ආදර්ශ ඔයාට උදව් වෙයි. ඒ අයගෙන් එක් කෙනෙක් තමයි යෝසෙප්. එයාගෙම අයියලා එයාට අසාධාරණ විදිහට සැලකුවත් යෝසෙප් කවදාවත් එයාලට වෛර කළේ නැහැ. ඒ වෙනුවට එයා හැම දෙයක්ම දෙවියන්ට භාර දීලා ඔහුට ජීවිතේ මුල් තැන දුන්නා. ඒ නිසා දෙවියන් එයාට ගොඩක් ආශීර්වාද කළා. (උත්. 39:21) කාලයක් යද්දී යෝසෙප්ට එයාගේ සහෝදරයන්ට මුළු හදවතින්ම සමාව දෙන්නත් දෙවියන් එයා ළඟින්ම ඉඳලා එයාට උදව් කරපු විදිහ තේරුම්ගන්නත් පුළුවන් වුණා. (උත්. 45:5) අපිත් කාරණා යෙහෝවා දෙවියන්ට භාර දීලා ඔහුට තවත් ළං වෙන්න උත්සාහ කරනවා නම් යෝසෙප් වගේ සහනය අද්දකින්න අපිටත් පුළුවන් වෙනවා.—ගීතා. 7:17; 73:28.

15. සිද්ධ වුණ අසාධාරණයක් දරාගන්න සහෝදරියකට උදව් වුණේ මොකක්ද?

15 අද අපිට මුහුණ දෙන්න වෙන අසාධාරණකම් යෝසෙප් මුහුණ දුන්න අසාධාරණකම් තරම්ම බරපතළ නැති වුණත් ඒවාවලින් අපේ හිත රිදෙනවා. අපිට අසාධාරණ විදිහට සලකන කෙනා සත්‍යයේ හිටියත් නැතත් අපි බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් ඒකට හොඳින් මුහුණ දෙන්න අපිට පුළුවන් වෙනවා. (ෆිලි. 2:3, 4) මේ අද්දැකීම බලන්න. එක සහෝදරියකට දැනගන්න ලැබුණා එයාත් එක්ක වැඩ කරන කාන්තාවක් එයා ගැන බොරු දේවල් පතුරුවලා තියෙනවා කියලා. ඒ නිසා එයාට ගොඩක් දුක හිතුණා. කලබල වෙලා වැඩ කරනවා වෙනුවට අසාධාරණකම් වෙද්දී යේසුස් කළේ මොනවාද කියලා එයා කල්පනා කළා. මිනිස්සු යේසුස්ට කොච්චර අපහාස කළත් ඔහු එකට එක කළේ නැහැ කියලා එයා මතක් කරගත්තා. (1 පේතෘ. 2:21, 23) ඊටපස්සේ ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැතුව කාරණය අමතක කරලා දාන්න එයා තීරණය කළා. කාලයක් ගියාට පස්සේ ඒ සහෝදරියට දැනගන්න ලැබුණා එයා ගැන බොරු පතුරුවපු කෙනාට බරපතළ අසනීපයක් තියෙනවා කියලා. එයා ඒ දේවල් කියන්න ඇත්තේ ලොකු පීඩනයකින් හිටපු නිසයි කියලා ඒ සහෝදරිය තේරුම්ගත්තා. ඉතින් කලබල වෙලා දේවල් කරන්නේ නැතුව ඉවසීමෙන් දේවල් විඳදරාගත්ත එක ගැන ඒ සහෝදරිය ගොඩක් සතුටු වුණා.

16. අසාධාරණයකට මුහුණ දෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවාද? (1 පේතෘස් 3:12)

16 සිද්ධ වෙච්ච අසාධාරණයක් නිසා හරි වෙන හේතුවක් නිසා හරි ඔයා ඉන්නේ ලොකු දුකකින් නම් ‘බිඳුණු සිත් ඇති අයට යෙහෝවා දෙවියන් ළං වෙලා ඉන්නවා’ කියලා මතක තියාගන්න. (ගීතා. 34:18) හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ට භාර දීලා ඉවසීමෙන් බලන් ඉන්න ඔයාට ඔහු ගොඩක් ආදරෙයි. (ගීතා. 55:22) මුළු පොළොවම විනිශ්චය කරන යෙහෝවා දෙවියන්ට හැම දෙයක්ම පේනවා කියලා අමතක කරන්න එපා. (1 පේතෘස් 3:12 කියවන්න.) ඉතින් අපි මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම හරිම වෙලාවට යෙහෝවා දෙවියන් විසඳයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් නේද?

ඉවසීමෙන් බලන් ඉන්න අයට ලැබෙන ආශීර්වාද

17. යෙසායා 30:18 යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙන්නේ මොකක්ද?

17 යෙසායා 30:18 මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න මහත් ආශාවකින් බලා සිටියි. ඔහු ඔබ වෙනුවෙන් පියවර ගෙන ඔබට දයාව පෙන්වයි. මන්ද යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන දෙවි කෙනෙකි. ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම සන්තෝෂවත්ය.” හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ට භාර දීලා ඉවසීමෙන් බලන් ඉන්න අයට මේ කාලෙදිත් අනාගතයෙදිත් ඔහු පුදුමාකාර විදිහට ආශීර්වාද කරනවා.

18. අපිට ලැබෙන්න යන ආශීර්වාද මොනවාද?

18 ළඟදීම අපිට ලස්සන පාරාදීස පොළොවක හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ කාලෙදි අසාධාරණකම්, දුක, කඳුළ, වේදනාව නැත්තටම නැති වෙලා යනවා. දැන් අපි අද්දකින අමිහිරි දේවල් ආයෙ කවදාවත් අපිට අද්දකින්න වෙන්නේ නැහැ. (එළි. 21:4) අපිට සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය හැම දෙයක්ම ඒ කාලෙදි ඇති තරම් අපිට තියෙන්න යනවා. (ගීතා. 72:16; යෙසා. 54:13) ඒක මොන තරම් ලස්සන කාලයක්ද!

19. යෙහෝවා දෙවියන් මේ කාලේ අපිව සූදානම් කරන්නේ මොනවාටද?

19 දෙවියන්ගේ පාලනය යටතේ තියෙන ඒ ලස්සන කාලේ වැඩි ඈතක නෙවෙයි. අපේ නරක ගුණාංග අයින් කරගන්නත් දෙවියන් ආස කරන ලස්සන ගුණාංග ඇති කරගන්නත් දැන් ඉඳලාම ඔහු අපිට උදව් කරන්නේ ඒ කාලෙට අපිව සූදානම් කරන්නයි. ඒ නිසා මොන දේට මුහුණ දෙන්න වුණත් යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙන හැම දෙයක්ම ඔහු ඉටු කරන කල් අපි දිගටම ඉවසීමෙන් බලාගෙන ඉමු.

ගීතිකාව 118 “විශ්වාසය තවත් ශක්තිමත් කරන්න”

^ 5 ඡේ. ‘වයසට යන්න කලින් පාරාදීසේ එයි කියලයි මං නම් හිතාගෙන හිටියේ’ කියලා සත්‍යයේ ගොඩ කාලයක් හිටපු සමහර අය කියනවා ඔයා අහලා ඇති. ගොඩක් අමාරු කාලෙක ජීවත් වෙන අපි හැමෝම කැමති මේ දුෂ්ට සමාජය ඉක්මනින්ම විනාශ වෙනවාටයි. හැබැයි අපි ඉවසීමෙන් බලාගෙන ඉන්න පුරුදු වෙන එක හරිම වැදගත්. ඒක කරන්න අපිට උදව් වෙන සමහර බයිබල් ප්‍රතිපත්ති ගැන අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම යෙහෝවා දෙවියන් පියවර ගන්න කල් අපිට ඉවසීමෙන් බලන් ඉන්න වෙන අවස්ථා දෙකක් ගැනත් ඉවසීමෙන් බලන් ඉන්න අයට ලැබෙන ආශීර්වාද ගැනත් අපි මේ ලිපියෙන් බලන්න යනවා.

^ 56 ඡේ. පින්තූරේ අදහස 11වෙනි පිටුව: සහෝදරියක් පුංචි කාලේ ඉඳලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න පුරුදු වෙලා ඉන්නවා. පුංචි කාලෙදි එයාගේ දෙමව්පියන් එයාට යාච්ඤා කරන්න කියලා දුන්නා. යෞවන වයසේදී එයා පුරෝගාමි සේවය පටන්ගත්තාම සේවයට උදව් කරන්න කියලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා. අවුරුදු ගාණකට පස්සේ එයාගේ මහත්තයා බරපතළ විදිහට අසනීප වුණාම ඒ තත්වයට හොඳින් මුහුණ දෙන්න දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා. දැන් එයා වැන්දඹුවක්. පුංචි කාලේ ඉඳලාම යෙහෝවා දෙවියන් එයාට උදව් කළා වගේ දැනුත් එයාට උදව් කරනවා කියන විශ්වාසයෙන් එයා යෙහෝවා දෙවියන්ට දිගටම යාච්ඤා කරනවා.