Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

අත් සේදීම යේසුස්ගේ සතුරෝ ලොකු ප්‍රශ්නයක් කරගත්තේ ඇයි?

යේසුස්ගෙත් ගෝලයන්ගෙත් වරදක් අල්ලගන්න බලාගෙන හිටිය සතුරෝ ඔහුට චෝදනා කරපු එක කාරණයක් තමයි අත් සේදීම. ශරීරයෙන් යම් ශ්‍රාවයක් පිට වුණාම, ලාදුරු වැලඳුණාම, මළ සිරුරක් ස්පර්ශ වුණාම පවිත්‍ර වෙන්න කරන්න ඕනෙ මොනවද කියලා මෝසෙස්ට දීපු නීතියේ සඳහන් වුණා. ඒ වගේම අපවිත්‍ර දේවල් අයින් කරන්න ඕනෙ කොහොමද කියලත් නීති තිබුණා. පූජා ඔප්පු කරලා, සෝදලා නැත්නම් වතුර ඉහලා ඒක කරන්න පුළුවන් කියලා නීතියේ සඳහන් වුණා.—ලෙවී. 11–15 පරි.; ගණන්. 19 පරි.

නීතියේ තිබුණ ඒ කාරණා ලොකු කරගත්ත යුදෙව් රබ්බිවරු ඒවාට තවත් හුඟක් දේවල් එකතු කළා. ඒ ගැන පොතක මෙහෙම කියනවා. ‘කෙනෙක් අපවිත්‍ර වෙන්නේ කොහොමද, එයා නිසා තව කෙනෙක් අපවිත්‍ර වෙන්නේ කොහොමද, කොච්චර දුරකටද, අපවිත්‍ර වෙන්න ඉඩ තියෙන්නේ මොන වගේ භාජනද, පවිත්‍ර වෙන්න අනුගමනය කරන්න ඕනෙ මොන වගේ වත්පිළිවෙත්ද වගේ කාරණා ගැන එයාලා අන්තයටම ගියා.’

සතුරන් එක අවස්ථාවක යේසුස්ගෙන් මෙහෙම ඇහුවා. “ඔබේ ගෝලයන් පුරාණයේ සිටි මිනිසුන් ඇති කරගත් සම්ප්‍රදායන්ට ගරු කරන්නේ නැතුව අපවිත්‍ර අත්වලින් කෑම කන්නේ ඇයි?” (මාක් 7:5) එයාලා එහෙම ඇහුවේ ශරීර සෞඛ්‍යය ගැන හිතලා නෙමෙයි. කෑමට කලින් අත්වලට වතුර වත් කරන එක එයාලා චාරිත්‍රයක් කරගෙන තිබුණ නිසයි. කලින් පොතේ සඳහන් මේ දෙයින් ඒක පැහැදිලියි. “වතුර වත් කරන්න පාවිච්චි කරන්න ඕනෙ මොන වගේ භාජනද, සුදුසු මොන වතුරද, වතුර වත් කරන්නේ කවුද, අතේ කොයි තරම් ප්‍රමාණයක් හෝදන්න ඕනෙද කියන කාරණා ගැන ඒ අය අතර නිතරම වාද ඇති වුණා.”

මිනිසුන් හදාගත්ත නීති ගැන යේසුස් හිතපු විදිහ ඔහු සතුරන්ට කියපු මේ දෙයින් පැහැදිලියි. “ඔබ සැමගේ කුහකකම මොන තරම්ද! යෙසායා ඔබ ගැන පළ කළ අනාවැකිය ඔබට හොඳින්ම ගැළපෙනවා. එහි ලියා තිබෙන්නේ මෙයයි. ‘මේ ජනයා තම තොල්වලින් මට [යෙහෝවා දෙවිට] ගෞරව කරති. නමුත් ඔවුන්ගේ සිත මා වෙතින් බොහෝ ඈත්ව තිබේ. ඔවුන් මට කරන නමස්කාරයෙන් පලක් නැත. මන්ද ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන් ඇති කරගත් ආඥා පමණයි.’ එහෙයින් ඔබත් දෙවිගේ ආඥාවන් අත්හැර මිනිසුන්ගේ සම්ප්‍රදායන්වලට ඇලී සිටිනවා.”—මාක් 7:6-8.