Skip to content

පටුනට යන්න

දෙවිට තව හොඳින් සේවය කරන්න අනිත් අයටත් උදව් කරන්න

දෙවිට තව හොඳින් සේවය කරන්න අනිත් අයටත් උදව් කරන්න

“මා ඔබට දෙන්නේ හොඳ උපදෙස්ය.”—හිතෝ. 4:2.

ගීතිකා: 93, 96

1, 2. දෙවිට තව හොඳින් සේවය කරන්න අපි අනිත් අයව පුහුණු කරන්න ඕනෙ ඇයි?

යේසුස් ලොකු වෙහෙසක් දැරුවේ දේවරාජ්‍යය ගැන දේශනා කරන්න. ඒත් ගෝලයන්ව පුහුණු කරන්නත් ඔහු කාලය ගත්තා. දේශනා කරන්න, උගන්වන්න, දෙවිගේ රැළ ආදරෙන් බලාගන්න යේසුස් එයාලට කියලා දුන්නා. (මතෙ. 10:5-7) ෆිලිප් කියන්නේ දේශනා සේවයේ උද්‍යෝගයෙන් හවුල් වුණ කෙනෙක්. එයාත් එයාගේ දුවලා 4දෙනාව සේවයට හොඳින් පුහුණු කළා. (ක්‍රියා 21:8, 9) අනිත් අයව පුහුණු කරන්න අපිටත් වගකීමක් තියෙනවා. ඒ ඇයි?

2 ලෝකෙ පුරාම ශුභාරංචිය පිළි අරන් සභාවට එකතු වෙන අයගේ ගාණ එන්න එන්නම වැඩි වෙනවා. තාම බව්තීස්ම වෙලා නැති ඒ අයව පුහුණු කරන්න ඕනේ. බයිබලේ කියවලා, පෞද්ගලිකව අධ්‍යයනය කරන එකේ තියෙන වටිනාකම තේරුම්ගන්න එයාලට උදව් කරන්න ඕනේ. දේශනා කරන්න, උගන්වන්න එයාලව පුහුණු කරන්න ඕනේ. ළඟදී බව්තීස්ම වුණ සහෝදරයන්ව අනාගතයේදී සහායක සේවකයන්, වැඩිමහල්ලන් විදිහට සේවය කරන්න පුහුණු කරන එකත් අත්‍යවශ්‍යයි. දෙවිට තව හොඳින් සේවය කරන්න අලුත් අයට අත දෙන්න අපි හැමෝටම පුළුවන්.—හිතෝ. 4:2.

බයිබලේ අධ්‍යයනය කරන විදිහ කියලා දෙන්න

3, 4. (අ) සේවය හොඳින් කරන්න නම් පෞද්ගලික අධ්‍යයනය කරන එක වැදගත් කියලා පාවුල් පෙන්නුවේ කොහොමද? (ආ) පෞද්ගලික අධ්‍යයනය කරන්න කියලා බයිබල් ශිෂ්‍යයන්ව උනන්දු කරන්න නම් අපි මොනවද කරන්න ඕනේ?

3 බයිබලේ කියවලා, ඒක අධ්‍යයනය කරන එක වැදගත් ඇයි? ඒ ගැන පාවුල් කොලොස්සි සභාවේ අයට මෙහෙම කිව්වා. ‘අප ඔබ වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරන්නේ දෙවිගේ කැමැත්ත පිළිබඳ පූර්ණ හා නිවැරදි දැනුමක් ඔබට ලැබෙන්න කියලයි.’ දෙවි බලාපොරොත්තු වෙන දේ ගැන දැනුවත් වුණොත් විතරයි ‘යෙහෝවා දෙවිව සියල්ලේදී සතුටු කරමින් ඔහුට ඔබින ආකාරයකින් ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්නේ.’ ඒ වගේම දෙවි භාර දීලා තියෙන කාර්යය කරද්දී “සෑම යහපත් ක්‍රියාවක්ම කරමින් හොඳ ප්‍රතිඵල ලබන්න” පුළුවන් වෙන්නෙත් එතකොටයි. (කොලො. 1:9, 10) ඒකෙන් තේරෙන්නේ දෙවිට හොඳින් සේවය කරන්න නම් අපි හැමෝම නිතිපතා බයිබලේ අධ්‍යයනය කරන්න ඕනෙ කියලයි. ඒක තේරුම්ගන්න අපේ බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන එක කොච්චර වැදගත්ද!

4 අපි නිතිපතා බයිබලේ අධ්‍යයනය කරන්නේ නැත්නම් ඒකේ වටිනාකම තේරුම්ගන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න අපිට බැහැ. අපි බයිබලේ කියවලා ඒ ගැන හොඳට හිතනවා නම් අපේ ජීවිතේට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. මිනිසුන්ගේ හදවතට දැනෙන විදිහට දේශනා කරන්නත් අපිට පුළුවන් වෙනවා. සේවයේ යද්දී කවුරු හරි අපෙන් අමාරු ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට බයිබලෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්නේ අපි බයිබලේ අධ්‍යයනය කරනවා නම් විතරයි. යේසුස්, පාවුල් වගේ අය අත් නෑර ශුභාරංචිය දේශනා කරපු විදිහ ගැන බයිබලේ තියෙන වාර්තා කියවද්දී මොන තරම් දරුණු පීඩා ආවත් අත් නෑර දෙවිට සේවය කරන්න අපිත් පෙලඹෙනවා. බයිබලේ අධ්‍යයනය කරද්දී අපි ඉගෙනගත්ත දේවල්, ඒවා අපිට උදව් වුණ විදිහ ගැන අනිත් අය එක්ක කතා කරද්දී බයිබලේ තියෙන ගැඹුරු කාරණා හොයන්න එයාලත් පෙලඹෙයි.

5. නිතිපතා බයිබලේ අධ්‍යයනය කරන්න ශිෂ්‍යයෙක්ව පුහුණු කරන්න පුළුවන් කොහොමද?

5 නිතිපතා බයිබලේ අධ්‍යයනය කරන්න බයිබල් ශිෂ්‍යයෙක්ව පුහුණු කරන්න පුළුවන් කොහොමද? මුලින්ම බයිබල් පාඩමට හොඳින් සූදානම් වෙන විදිහ එයාට පෙන්නන්න. පාඩමට අදාළ අමතර තොරතුරු ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොතේ උපග්‍රන්ථයෙන් බලන්න කියලත්, බයිබල් පද කලින්ම බලන්න කියලත් එයාව දිරිගන්වන්න. රැස්වීම්වලට සූදානම් වෙන විදිහත් කියලා දෙන්න. එතකොට අදහස් ඉදිරිපත් කරන්න එයාට පුළුවන්. හැම ‘මුරටැඹ,’ ‘පිබිදෙව්!’ කලාපයක්ම කියවන්න කියලත් උනන්දු කරන්න. බයිබලේ තියෙන දේවල් ගැන ප්‍රශ්නයක් ඇති වුණාම ‘වොච්ටවර් ලයිබ්‍රරි’ එකෙන්, ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එකෙන් උත්තර හොයන විදිහ එයාට පෙන්නන්න. ඒ විදිහට එයාට උදව් කරද්දී බයිබලේ පෞද්ගලිකව අධ්‍යයනය කරන්න එයාට ආසා හිතෙයි.

6. (අ) බයිබලේ වටිනාකම තේරුම්ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? (ආ) බයිබලේ වටිනාකම තේරුම්ගත්තම ශිෂ්‍යයෙක් පෙලඹෙන්නේ මොකක් කරන්නද?

6 පෞද්ගලික අධ්‍යයනය කරන්න කියලා ශිෂ්‍යයාට බල කරනවා වෙනුවට අපේ ඉලක්කය වෙන්න ඕනෙ බයිබලය වටිනා පොතක් කියන දේ තේරුම්ගන්න එයාට උදව් කරන එකයි. මොකද යෙහෝවා දෙවිව හොඳින් හඳුනගන්න පුළුවන් වෙන්නේ බයිබලෙන්. ඒ නිසා අධ්‍යයනය කරන එක කොච්චර රසවත් දෙයක්ද කියලා තේරුම්ගන්න එයාට උදව් කරන්න. අධ්‍යයනයෙන් යෙහෝවා දෙවි ගැන දැනගන්න තරමට මේ වචන ඇත්තක් කියලා එයාටත් දැනෙයි. “දෙවිට ළං වී සිටීම මට යහපතකි. ඔහු මාගේ රක්ෂස්ථානයයි.” (ගීතා. 73:28) දෙවිට ළං වෙන්න උත්සාහ කරන අයට දෙවි නිසැකවම ඔහුගේ බලය ලබා දෙනවා.

දේශනා කරන්න, හොඳ ගුරුවරුන් වෙන්න පුහුණු කරන්න

7. දේශනා කරන්න යේසුස් අනිත් අයව පුහුණු කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

7 යේසුස් ගෝලයන්ව පුහුණු කරපු විදිහෙන් අපිට හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යේසුස් සේවයේ යද්දී ගෝලයන්වත් එක්කගෙන ගියා. ඒ නිසා ඔහු දේශනා කරපු විදිහ බලලා ඉගෙනගන්න එයාලට පුළුවන් වුණා. සේවය කරද්දී අදාළ කරගන්න මඟ පෙන්වීමුත් ඔහු එයාලට දුන්නා. (මතෙ. 10 පරි.) [1] ඒ නිසා වැඩි දවසක් යන්න කලින් හොඳ ගුරුවරුන් වෙන්න එයාලට පුළුවන් වුණා. (මතෙ. 11:1) දේශනා සේවය තව හොඳින් කරන්න අලුත් අයව පුහුණු කරන්න අපිටත් පුළුවන්. එහෙම කරන්න පුළුවන් පැති දෙකක් බලමු.

8, 9. (අ) තනි තනි පුද්ගලයන් එක්කත් හොඳ සාකච්ඡාවන් කරන්න යේසුස්ට පුළුවන් වුණේ කොහොමද? (ආ) සේවයේදී මිත්‍රශීලී වෙන්න අලුත් අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

8 මිනිසුන් එක්ක මිත්‍රශීලී වෙන්න. යේසුස් දේශනා කළේ හුඟදෙනෙක් රැස් වුණ තැන්වලදී විතරක් නෙමෙයි, තනි තනි පුද්ගලයන්ටත් ඔහු කතා කළා. ළිඳෙන් වතුර ගන්න ආපු සමාරියේ ස්ත්‍රිය එක්ක ඔහු මිත්‍රශීලීව කතා කරපු නිසා හොඳ සාකච්ඡාවක් කරන්න පුළුවන් වුණා. (යොහ. 4:5-30) බදු එකතු කරන්නෙක් වුණ මතෙව් එක්ක මිත්‍රශීලීව කතා කරපු යේසුස් ‘මගේ ගෝලයෙක් වෙන්න’ කියලා එයාට ආරාධනා කළා. ඒක පිළිගත්ත මතෙව් යේසුස්ටයි, ගෝලයන්ටයි එයාගේ ගෙදර කෑමකට එන්න කිව්වා. එහෙදී හම්බ වුණ අය එක්ක කතා කරන්නත් යේසුස් කලේ ගත්තා.—මතෙ. 9:9; ලූක් 5:27-39.

9 නාසරෙත් නුවරේ මිනිසුන් ගැන නතානියෙල් හිතාගෙන හිටියේ වැරදියට වුණත් යේසුස් එයා එක්කත් මිත්‍රශීලීව කතා කළා. ඒ නිසා යේසුස් නාසරෙත් නුවරේ කෙනෙක් වුණත් ඔහු උගන්වපු දේවල් තවත් දැනගන්න එයා කැමති වුණා. (යොහ. 1:46-51) නිකම්ම පණිවිඩේ කියනවා වෙනුවට මිනිසුන් එක්ක මිත්‍රශීලීව කතා කරද්දී එයාලා අපිට සවන් දෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා ඒ සිද්ධියෙන් පැහැදිලියි. [2] ඒ පැත්තෙන් තව දියුණු වෙන්න අලුත් ප්‍රචාරකයන්ට අපි උදව් කරද්දී සේවයෙන් වැඩි සතුටක් ලබන්න එයාලටත් පුළුවන්.

10-12. (අ) උනන්දුවක් දක්වපු අයගේ විශ්වාසය වැඩි කරගන්න යේසුස් උදව් කළේ කොහොමද? (ආ) හොඳ ගුරුවරුන් වෙන්න අලුත් ප්‍රචාරකයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

10 සවන් දෙන්න කැමති අය වෙනුවෙන් කාලේ දෙන්න. යේසුස් කොච්චර කාර්යබහුල වුණත් පණිවිඩේ ආසාවෙන් අහපු අයට උගන්වන්න කාලේ ගත්තා. දවසක් ලොකු සෙනඟක් යේසුස්ගෙන් ඉගෙනගන්න විලක් ළඟ රැස් වුණා. පේතෘස්ගේ ඔරුවට නැඟපු යේසුස්, ගොඩබිමෙන් ටිකක් ඈතට ගිහින් ඒ අයට ඉගැන්නුවා. ඊටපස්සේ යේසුස්ට ඕන වුණා පේතෘස්ටත් වැදගත් පාඩමක් කියලා දෙන්න. ඔහු ආශ්චර්යයක් කරලා දැලට මාළු ගොඩක් අහු වෙන්න සැලැස්සුවා. “මෙතැන් පටන් ඔබ අල්ලන්නේ මිනිසුන්වයි” කියලා ඊටපස්සේ ඔහු පේතෘස්ට කිව්වා. ඒක හිතට ගත්ත පේතෘස් සහ එයා එක්ක හිටපු අය “ඔරු ගොඩට ඇද දමා සෑම දෙයක්ම අත්හැර ඔහු අනුව ගියා.”—ලූක් 5:1-11.

11 නිකදේමස්ටත් ඕනෙ වුණා යේසුස්ගෙන් ඉගෙනගන්න. ඒත් එයා මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙක් නිසා මිනිසුන් මොනවා හිතයිද කියලා බය වුණා. ඒ නිසා එයා යේසුස්ව හම්බ වෙන්න ගියේ රාත්‍රියේ. රෑ වෙලා නිසා එයාව පිටත් කරලා අරිනවා වෙනුවට යේසුස් එයාට කාලේ දුන්නා. වටිනා සත්‍යයන් ඉගැන්නුවා. (යොහ. 3:1, 2) සවන් දෙන්න ආසාවෙන් හිටපු අයගේ විශ්වාසය වැඩි කරගන්න යේසුස් උදව් කළේ හරිම කැමැත්තෙන්. අපිත් උනන්දුව දක්වන අයව බලන්න යන්න ඕනෙ එයාලට පහසු වෙලාවල. බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න එයාලට උදව් කරන්න අපි කාලේ දෙන්න ඕනේ.

12 අලුත් ප්‍රචාරකයන් එක්ක සේවයේ යද්දී පොඩි හරි උනන්දුවක් දක්වපු අයව ආයෙත් බලන්න යන්න කියලා දිරිගන්වන්න අපිට පුළුවන්. නැවත බැලීම්වලට, පාඩම්වලට යද්දී එයාලවත් එක්කගෙන යන්න. අනිත් අයට උගන්වන්නේ කොහොමද කියලා එතකොට එයාලත් ඉගෙනගනියි. තව කෙනෙක්ට දෙවි ගැන උගන්වලා ලබන සතුට අද්දකින්නත් එයාලට පුළුවන් වෙයි. උනන්දුව දක්වපු අයව ආයෙත් බලන්න යන්න, බයිබල් පාඩම් පටන්ගන්න එයාලත් පෙලඹෙයි. නැවත බැලීමකට ගියාම ඒ කෙනා ගෙදර හිටියේ නැතත් උත්සාහය අත්හරින්නේ නැතුව ඉන්නත් එයාලා ඉගෙනගනියි.—ගලා. 5:22; “ උත්සාහය අත්හැරියේ නැහැ” යන කොටුව බලන්න.

සභාවේ අය ගැන ආදරයක් ඇති කරගන්න උදව් කරන්න

13, 14. (අ) අනිත් අයට සේවය කරන්න කැප කිරීම් කරපු බයිබලේ සඳහන් අය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? (ආ) සභාවේ අය වෙනුවෙන් සේවය කරන්න යෞවනයන්ව, අලුත් අයව පුහුණු කරන්න ඔයාට පුළුවන් කොහොමද?

13 අපි අපේ සහෝදරයන්ට ආදරේ කරයි කියලා, එයාලා වෙනුවෙන් සේවය කරයි කියලා යෙහෝවා දෙවි බලාපොරොත්තු වෙනවා. (1 පේතෘස් 1:22; ලූක් 22:24-27 කියවන්න.) යේසුස් අනිත් අයට උදව් කරන්න ඔහුට පුළුවන් උපරිමය කළා. ජීවිතේ පවා දුන්නා. (මතෙ. 20:28) දොර්කස් ‘බොහෝ යහපත් දේවල් කළා. නිතරම අනුන්ට කරුණාව දක්වමින් නොයෙකුත් දේවල් එයාලට තෑගි කළා.’ (ක්‍රියා 9:36, 39) රෝමයේ හිටපු සහෝදරයන් වෙනුවෙන් මරියා “බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළා.” (රෝම 16:6) සභාවේ අය වෙනුවෙන් යහපත් දේවල් කරන එකේ වටිනාකම තේරුම්ගන්න අලුත් අයට උදව් කරන්න පුළුවන් කොහොමද?

සභාවේ අයට ආදරේ කරන්න, එයාලා වෙනුවෙන් සේවය කරන්න අලුත් අයව පුහුණු කරන්න (13 සහ 14 ඡේද බලන්න)

14 මහලු අයව, අසනීපෙන් ඉන්න අයව බලන්න යද්දී අලුත් අයවත් එක්කගෙන යන්න. අවස්ථාව සුදුසුයි නම් ඒ වගේ අයව බලන්න යද්දී දරුවන්ව හවුල් කරගන්න දෙමාපියන්ට පුළුවන්. වයසක අය වෙනුවෙන් කරන්න යම් දේවල් තියෙනවා නම් ඒවාට යෞවනයන්ව, අලුත් අයව හවුල් කරගන්න වැඩිමහල්ලන්ට පුළුවන්. අපි සභාවේ අයට ආදරෙන් සලකනවා දකිද්දී අලුත් අයත් එහෙම කරන්න ඉගෙනගනියි. උදාහරණෙකට පිටිසර පැත්තක සේවයේ ගිය වැඩිමහල්ලෙක් ඒ පැත්තේ හිටපු සහෝදරයන්ගේ දුක සැප බලන්නත් නිතරම ගියා. සභාවේ අයට ඒ සහෝදරයා පෙන්නපු සැලකිල්ල එයාත් එක්ක නිතරම වගේ සේවයේ ගිය යෞවනයා දැක්කා. අනිත් අය වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් මොනවද කියලා හිතලා බලන්න ඒකෙන් එයාත් පෙලඹුණා.—රෝම 12:10.

15. සභාවේ සහෝදරයන්ව පුහුණු කරන්න වැඩිමහල්ලන් කාලේ ගන්න ඕනෙ ඇයි?

15 සභාවේ අයට උගන්වන වගකීම දෙවි භාර දුන්නේ සහෝදරයන්ට. ඒ නිසා සභාවේ අයගේ හිතට දැනෙන විදිහට උගන්වන්න එයාලා පුහුණු වෙන්න ඕනේ. ඔයා වැඩිමහල්ලෙක් නම් සහායක සේවකයෙක් දේශනයක් දෙන්න පෙරහුරු කරද්දී එයාට ඇහුම්කන් දීලා, හදාගන්න ඕන පැති පෙන්නලා දෙන්න ඔයාට පුළුවන්ද?—නෙහෙ. 8:8. [3]

16, 17. (අ) තව හොඳින් සේවය කරන්න පාවුල් තිමෝතිට උදව් කළා කියන්නේ ඇයි? (ආ) අනාගතයේදී සභාව රැකබලා ගන්න සහෝදරයන්ව පුහුණු කරන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

16 සභා රැකබලා ගන්න තව තවත් සහෝදරයන් ඕනෙ නිසා හුඟදෙනෙක්ව ඒ සඳහා පුහුණු කරන්න ඕනේ. නියෝජිතයෙක්, වැඩිමහල්ලෙක් වුණ පාවුල් තිමෝතිව පුහුණු කළා විතරක් නෙමෙයි අනිත් අයව පුහුණු කරන්න කියලත් එයාට කිව්වා. “ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබ ලබන මහත් කරුණාව තුළින් දිගටම ශක්තිමත් වන්න. එලෙසම බොහෝ සාක්ෂිකරුවන් ඉදිරියෙහි ඔබ මගෙන් අසා දැනගත් දේවල් විශ්වාසවන්ත පුරුෂයන් අතරේ බෙදාගන්න. එවිට අන් අයට ඉගැන්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ටද හැකි වේ” කියලා පාවුල් කිව්වා. (2 තිමෝ. 2:1, 2) දේශනා සේවයේදී මිනිසුන්ගේ හදවතටම කතා කරන්න, සහෝදරයන්ට උදව් කරන්න තිමෝති පාවුල්ගෙන් ඉගෙනගත්තා.—2 තිමෝ. 3:10-12.

17 තිමෝතිව හොඳින් පුහුණු කරන්න ඕන වුණ නිසා පාවුල් එයාත් එක්ක හුඟක් කාලේ ගත කළා. (ක්‍රියා 16:1-5) අද ඉන්න වැඩිමහල්ලන්ටත් පුළුවන් පාවුල්ව ආදර්ශයට ගන්න. සහෝදරයන්ව දිරිගන්වන්න යද්දී සුදුසුකම් තියෙන සහායක සේවකයන්ව හවුල් කරගන්න වැඩිමහල්ලන්ට පුළුවන්. ආදරෙන්, ඉවසීමෙන් සහෝදරයන් එක්ක වැඩ කරන්න, හොඳ ගුරුවරුන් වෙන්න, දෙවිගේ රැළ රැකබලා ගද්දී යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න එතකොට එයාලත් ඉගෙනගනියි.—1 පේතෘ. 5:2.

කල් නොදමා අනිත් අයව පුහුණු කරන්න

18. තව හොඳින් සේවය කරන්න අනිත් අයව පුහුණු කරන එක වැදගත් දෙයක් විදිහට අපි සලකන්න ඕනෙ ඇයි?

18 හොඳින් දේශනා කරන්න, උගන්වන්න අලුත් අය හුඟදෙනෙක්ව පුහුණු කරන්න ඕනේ. සභාව රැකබලා ගන්න අවශ්‍ය සුදුසුකම් අත් කරගන්න තව සහෝදරයන් හුඟදෙනෙක්ට උදව් කරන්නත් ඕනේ. දෙවිගේ හැම සේවකයෙක්ම හොඳින් පුහුණු වෙලා ඔහුට සේවය කරනවා දකින්නයි දෙවි ආස. අලුත් අයව පුහුණු කිරීමේ වගකීම දෙවි අපිට දීලා තියෙන්නේ ඒ නිසයි. යේසුස් සහ පාවුල් ඒ වගකීම හරියටම ඉටු කළා. අපිත් ඒ දෙන්නව ආදර්ශයට ගමු. විනාශයට කලින් තව හුඟදෙනෙකුට දේශනා කරන්න තියෙන නිසා පුළුවන් තරම් දෙනෙක්ට තව හොඳින් සේවය කරන්න උදව් කරන්න අපි අදිටන් කරගමු.

19. අනිත් අයව පුහුණු කරන්න ඔයා දරන වෑයම සාර්ථක වෙයි කියලා නිසැක වෙන්න පුළුවන් ඇයි?

19 අලුත් අයව පුහුණු කරන්න ලොකු කාලයක් යනවා. වෙහෙසකුත් දරන්න ඕනේ. ඒත් ඒ දේ හොඳින් කරන්න යෙහෝවා දෙවි සහ යේසුස් අපිට උදව් කරයි කියලා නිසැකයි. අපි පුහුණු කරපු අය එයාලා ඉගෙනගත්ත දේවල් සභාවේදී, දේශනා සේවයේදී අදාළ කරගන්නවා දකිද්දී අපිට ලොකු සතුටක් දැනෙයි. (1 තිමෝ. 4:10) අනිත් අයට උදව් කරන අතරේ දෙවිට තව හොඳින් සේවය කරන්න ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම අත් නෑර කරන්න.

^ [1] (7 ඡේදය) යේසුස් දීපු මඟ පෙන්වීම්වලට මේවා ඇතුළත් වුණා. (1) දේශනා කරන්න ඕනෙ දේවරාජ්‍යය ගැන. (2) එදිනෙදා දේ ගැන වද නොවී දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න. (3) මිනිසුන් එක්ක වාද කරන්න එපා. (4) විරුද්ධවාදිකම් එද්දී දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න. (5) මිනිසුන්ට භය වෙන්න එපා.

^ [2] (9 ඡේදය) සේවයේදී හොඳ සංවාදයක් කරන විදිහ ගැන යෝජනා ‘සේවා පාසැල්’ පොතේ 62-64 දක්වා පිටුවල තියෙනවා.

^ [3] (15 ඡේදය) දක්ෂ විදිහට දේශනයක් දෙන්න උදව් වෙන යෝජනා ‘සේවා පාසැල්’ පොතේ 52-61 දක්වා පිටුවල තියෙනවා.